මෙසේ තීර්ථකයන් ඒ පාත්‍රය නිසා සිටාණන් හා බල පොර ගන්නා සේ කරන්නා වූ උත්සාහයෙන් සදවසෙක් පලා ගිය. සත්වන දවස් මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු වූ ගෞතම ගෝත්‍රයෙහි උපන්නා වූ බුදුරජාණන්ගේ ඖරසපුත්‍ර වූ ආයුෂ්මත් වූ මුගලන් මහතෙරුන් වහන්සේ හා ආයුෂ්මත් වූ පිණ්ඩොල භාරද්වාජ මහතෙරුන් වහන්සේ හා දෙදෙනා වහන්සේ සිංහසමූහයෙකින් පිටත් වූ සිංහපොව්වන් දෙදෙනකු සේ බුදුන් වසන වේළුවනාරාමයෙන් පිටත් ව රජගහ නුවරට සිඟා වඩනා සේක් එක්තරා එක් ගලතලක් පිට වැඩසිට සිවුරු වළඳනා සේක.
එ වේලෙහි මඟ දර පැන් සොයා ඇවිදුනා වූ ස්ත්‍රී පුරුෂයෝ “පෙර මෙ නුවර ‘අපි රහතුම්හ, අපි රහතුම්හ’ යි කියා ඇවිදුනෝ බෙහෙව. ලොව රහතුන් නැති බවු සැක නැති ව ම දතුම්හ. අසුවල් සිටාණන්ගේ දොර සඳුන් පාත්‍රයක් ආකාශයෙහි තිබෙන්නේ අදට සත් දවස ය. අහසින් ගොස් ගතහෙන්නා වූ එකෙකුත් නැත”යි කිය කියා සාමාන්‍යයෙන් තපස් කරන්නවුන්ට දොඩ දොඩා බැණ බැණ යන්නාහු ය.
එ වේලෙහි මුගලන් තෙරුන් වහන්සේ ඔවුන් කියන බස් අසා පිණ්ඩොල භාරද්වාජ මහතෙරුන් වහන්සේගේ මුහුණ බලා “ඇවැත්නි! තෙලෙ සත්ත්‍වයන් දොඩාගෙන යන බස් ඇසූ ද, ඔහු බුදුසස්නට දඟලාලා බැණගෙන යන්නාහ. අප වැනියන් තොප වැනියන් ඇසිය දී අපගේ බුදුන්ගේ ශාසනයට සත්ත්‍වයන් අනාදර බිණීම ද අප වැනියන් තොප වැනියන් අසා ඉවසීම ද සුදුස්සෙක් නො වෙයි. යව, තෙපි ආකාශයෙන් ගොස් සිටාණන්ට පෙළහර පෑ ඒ පාත්‍රය ගෙන අප බුදුන්ගේ හා ඔබ දරුවන්ගේ හා බල ලෝක වාසීන්ට දක්වා පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි පවත්නා බුදුසස්නෙහි තුඩ තුඩ ස්තුති කරවාපියන පරිද්දෙන් ශාසනබලයක් පෑ බලව”යි වදාළ සේක.
එ බසට පිණ්ඩොල භාරද්වාජ මහතෙරුන් වහන්සේ “ස්වාමීනි! නුඹ වහන්සේ බුදුන් විසින් සියලු ශ්‍රාවකසංඝයා මධ්‍යයෙහි “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ඉද්ධිමන්තානං යදිදං මොග්ගල්ලානො”යි වදාරා මේ සා බුදුසස්නෙහි සෘද්ධිමතුන් කෙරෙහි ම අග්‍රකොට සිටුවන ලද සේක. එසේ හෙයින් මේ ප්‍රාතිහාර්‍ය්‍යයක් නිසා ලෝකවාසීන් බුද්ධශාසනයට කියන්නා වූ අනාදරය නුඹ වහන්සේට ම බණන්නා සේ නොවන නිසාද? අප සිටිනා ස්ථානාන්තරයක් නො වන හෙයින් ඒ පෙළහරින් අපට කම් කිම් ද, නුඹවහන්සේ ම ගොස් ඒ පාත්‍රය ගෙන බුදුසස්නෙහි බල දැක්වුව මැනැවැ”යි කී සේක.
එ බසට මුගලන් මහතෙරුන් වහන්සේ “නන්‍දොපනන්‍ද නම් දිව්‍යනාගරාජයා අප බුදුන්ට කිපී එක්ලක්‍ෂ අටසැට දහසක් යොදුන් මහමෙර සක් දරණපටකින් වෙළා ගෙන එණගබින් දෙව්ලෝ වසා වැදහොත් දවස් අප තුදුස් දරණපටකින් ඔහු වෙළා ඒ සා එණගබක් මත්තෙහි අපගේ එණගබින් වසාගෙන අප පෙළහර පෑ දවස් අපගේ බල නුදුටු කෙනෙක් නැත. තව ද අහිච්ඡත්ත නම් නාගරාජයා දැමූ දා සබ්‍රම්සරහු අපගේ පෙළහර දුටහ. සක්දෙව් රජහු වැනියන්ගේ දහසක් යොදුන් විජයත් නම් මහපාය අත් බමරක් සේ භ්‍රමණය කරවා සක්දෙව් රජහු අමා පෙළහර පෑ දවස් දෙවියන්ගෙන් අප බල නුදුටුවෝ නැත. තවද: සෘද්ධිමතුන් කෙරෙහි අග්‍ර වූ ස්ථානාන්තර ලද හෙයින් සුවවහස් නැඟූ මුහුණ ජයගෙන සිටි යෝධයකු මතු තබා බල දැක්වීමෙහි විස්මය නැත්තා සේ, අප වැනියන් පෙළහර පෑමෙහි විස්මය කිම්දැ”යි සිතා “ඇවැත්නි! තව තොප බල දුටුවෝ නැත. තෙපි ම පෙළහර පෑ සිටාණන් දමා අප බුදුන් දරුවන්ගේ බල පාව”යි වදාළ සේක.
එ වේලෙහි භාරද්වාජ මහතෙරුන් වහන්සේ “මහතෙරුන් වදාළේ කාරණම ය. වැළි අපි ම පෙළහරක් පෑ ඒ පාත්‍රය ගණුම්හ”යි සිතා මුගලන් ස්වාමීන් යවා තමන් වහන්සේ සිටියා වූ එම ගලතල අයමින් විතරින් තුන්ගවු සිසාරා නව ගවු පමණ මහත් කොට මවා ඒ සා ගලතල ශ්‍රීපාදයෙහි ඇඟිලි අගින් අවුලාගෙන ආකාශයට පැනනැඟී මරවැඩි පෙත්තක් සේ ගෙන ගොස් ඒ සා මහත් රජගහ නුවර සිසාරා යුගන්‍ධර සාගරය සිසාරා ධාවනය කරන මහාජවනහංස රාජයක්හු සේ සත් අසුරුසනක් ඇතුළත සත්වාරයක් ආවර්තින නම් පෙළහරක් පෑ අන්තවාරයෙහි නගරාම්බරයෙහි සැළක් පැන් පියනකින් වැසුවා සේ තුන්ගවු පමණ ඒ සා නුවර වසාගෙන තමන් වහන්සේ නො පෙනී සිට සියලු මුළු නුවර වාසීන් සැඩපවන් ගත් මහවනයක් සේ වෙවුලා නැගී උපන් මරණ භයින් සිහි එළවා ගත නොහී, අතුල් ඉසට පාමින්, කුලු ආදියෙන් මුවාවෙමින්, ශංකිත වූ කල්හි වලාගබෙකින් පෙණුනු පුන්සඳක් සේ තමන් වහන්සේ පෙනී වදාළ සේක.
එ වේලෙහි සත්ත්‍වයෝ මහ තෙරුන් වහන්සේ දැක “කොල! මේ අපට උපන්නේ සබා වූ භයෙක් නො වෙයි. අප මහ තෙරුන් කළා වූ පෙළහරෙක් වන, මෙ විට දිවි ලදුම්හ”යි කිය කියා දොහොත් මුදුන් දී සිට “මුළු ලොවට අභය දුන් බුදුරජාණන්ගේ අනුජාත වූ පුතණුවන් වහන්ස! අපට නුඹවහන්සේ ද අභයදාන දුන මැනව. තෙලෙ ගල නුඹවහන්සේගේ පයින් ගැළවී ගියේ නම් අප හැමදෙනාගේ දිවි තිබෙති යි නො සිතුව මැනැවැ, තෙලෙ ගල අහසින් ඉවත් කොට වදාළ මැනැව”යි යාච්ඤා කළ කල ගල පයින් පහකොට පෙර තුබූ ස්ථානයෙහි ම පිහිටුවා තමන් වහන්සේ ආකාශයෙන් සිටාණන්ගේ මිදුලෙහි අහස්කුස සරාගිරි මඬලක් සේ දිලිහි දිලිහී වැඩසිටි සේක.
එ වේලෙහි සිටාණෝ මහ තෙරුන් වහන්සේ දැක අඹුදරුවන් හා සමඟ මිදුල් මැද වැඳ පෙරළී “එසේ ද ස්වාමිදරුවාණෙනි! මේ පෙළහර ගැත්තවූ නිසා ම කොට වදාළ පෙළහරෙක් ද, ගැති මේ ලෝකයෙහි වඤ්චාවෙන් ඇවිදිනා සොර බුදුන් සදෙනාගේ තරමුත් දත, නුඹ බුදුන්ගෙත් ඔබ දරුවන්ගෙත් විශේෂයත් දත, ගැත්තවුගේ මිදුල නුඹගේ ශ්‍රිපාද නමැති පියුම් දෙකින් සරහා වදාළ මැනව, අහසින් බිමට බැස වදාළ මැනැවැ”යි ආරාධනා කළහ. එ වේලෙහි මහ තෙරුන් වහන්සේ ආකාශයෙන් බැස සිටාණන්ගේ මිදුල් මැද කප්රුකක් සේ වැඩසිටි සේක.
එවේලෙහි සිටාණෝ මහතෙරුන් වැඳ ගෙට වඩාගෙන ගොස් උතුම් වූ ආසනයෙක හිඳුවා මහ තෙරුන් පා දොවා සුවඳ තෙල් ගල්වා ආකාශයෙහි තුබූ සඳුන් පාත්‍රය බාගෙන පාත්‍රය ශෝධා සුවඳ තෙලින් පිරිමැද ගිතෙල් මී වෙඬරු ශර්කරායෙන් පුරා පාත්‍රය මහ තෙරුන් වහන්සේට පිළිගන්වා “ස්වාමීනි! අද පටන් තුණුරුවන්ට කුලගැති වීම, මම ද නුඹ පියාණන් වහන්සේගේ ශාසනයෙහි එක්තරා එක් ශ්‍රද්ධාවන්තයෙකිමි. යමෙක් නිශිත වූ කඩුවක් ගෙන මා ශීර්ෂච්ඡේදය කරනුයේ වී නමුත් බුදුන් නු බුදුනැ යි නො කියමි, දහම් නො දහමැ යි නො කියමි, සඟුන් නො සඟුනැ යි නො කියමි”යනාදි නො එක් තෙපුල් කියා තුණුරුවන් ශරණ පිහිටියහ. එ වේලෙහි මහ තෙරුන් වහන්සේ සිටාණන් ආදි වූ මුළු නුවරවාසීන්ට අනුරූප වූ බණ වදාරා ඇත්හලින් නික්මුණු හස්ති රාජයකු සේ සිටාණන්ගේ යෙන් නික්ම පාත්‍රය අත්ලේ තබා ගෙන නුවරින් පිටත් වලා බුදුන් වසන වෙහෙර බලා නික්මුණු සේක.
එ කල නුවර දර පලා සොයා වලට ගිය සත්ත්‍වයෝ ද නො එක් කෘෂි කර්මාන්තාදියට බැහැර ගියා වූ සත්ත්‍වයෝ ද “පිණ්ඩොල භාරද්වාජ මහ තෙරුන් වහන්සේ මුළු නුවරට පෙළහරක් පෑ සේක. සිටාණන්ගේ සඳුන් පාත්‍රය පිළිසත් සේකැ”යි යන බස් අසා “අපි අපි ද එ පෙලහර බලම්හ”යි උපන් සන්සලයෙන් තමන් තමන් යෙදුනා වූ ඒ ඒ කර්මාන්ත හැර ඔවුනොවුන් පරයා නුවර බලා දිවන්නාහු පාත්‍රය අත්ලෙහි තබාගෙන වෙහෙරට වඩනා තෙරුන් වහන්සේ දැක වැඳ පෙරළී “ස්වාමිදරුවාණෙනි! මහත් වූ කරුණා ඇති බුදුරජාණන් වහන්සේගේ පුතණුවන් වහන්ස! නුඹගේ පෙළහරෙහි මහිම අප පින්මඳ හෙයින් සිත්සේ බලාපිය නුහුනුම්හ. නුඹ පියාණන් වහන්සේ වෙසතුරු මහරජ ව සත සතු මහදන් දී මුළු නුවර ක්‍ෂුභිත කොට තපසට වලට යන ද දනට පසු ව පසුපස්සෙහි ගොස් දන් ඉල්වූ බමුණන්ට පවා නැතැ යි නො කියා අසුන් දුන් සේක. රථ ය දුන් සේ, එසේ සෙයින් නුඹවහන්සේ ද පියාණන් වහන්සේ සේ ම පෙළහර දැක්වීමට පසුව හියා වූ අප හැම ද කිසියම් පෙළහරෙකින් සන්තෝෂ කාරවුව මැනවැ”යි කිය කියා මහ තෙරුන් වහන්සේ සිසාරා වැඳ පෙරළෙති.
එ වේලෙහි මහ තෙරුන් වහන්සේ ඔවුනු දු කෙරේ උපන් මහත් වූ කරුණාවෙන් සමහර විටෙක ආකාශයෙන් වඩිමින්, සමහර විටෙක දුමමින් සමහර විටෙක දිලියෙමින්, සමහර විටෙක අහසින් බැස සන්හුන් ගමනින් වඩිමින්, සමහර විටෙක අත්ලෙහි තුබූ පාත්‍රය අහසට හැර ආකාශයෙන් ගෙන යෙමින් නොයෙක් පෙළහර දක්ව දක්වා ගොස් විහාරයට වන්සේක. එ කල දහස් සුවහස් ගණන් සත්ත්‍වයෝ මහ තෙරුන්ගේ පෙළහර දැක දැක දොහොත් මුදුන් දිදී මහත් වූ සාධුනාද පූජා ය. ඔල්වරසන් අසුරුසන් පිළී ඉස සිසාරා නැටීමැ යි යනාදී වූ අප්‍රමාණ වූ උත්සව පූජා කළහ.
වෙල හස් වන් කල, ගඟ හස්වනැ යි කියන්නා සේ, රජක්හුගේ සේනාව ගොස් එක් රටක් ජය ගත් කල අසුවල් රජ අසුවල් රට ජයගතැ යි ඒ කීර්තිය කළවුන් තිබිය දී රජහට කීර්ති කියවන්නා සේ, බුදුන්ගේ ශ්‍රාවකයන් කළා වූ පෙළහර ද ලදුවා වූ අද්භූත පූජා ද, බුදුන් ම ලදුවා නම් වන බැවින් මෙසේ මෙසේ වූ සත්කාර පූජාවන් ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, සත්පුරුෂ වූ ජනයන් විසින් බුදුහු අර්හත් නම් වන සේකැ යි දතයුතු.
එ කල ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ එ පවත් අසා භික්‍ෂුසඞ්ඝයා රැස්කොට “මහණෙනි! අනන්තාපරියන්ත වූ බුදුන්ගේ ශාසනවල දඬු පාත්‍රයක් පිළිගත් කෙනෙක් නැත, එසේ හෙයින් මාගේ ශාසනයෙහි ද දඬු පාත්‍රයක් පිළිගත නො හැක්ක, ප්‍රත්‍යයක් නිසා ශ්‍රාවකයනු දු ප්‍රාතිහාර්‍ය්‍ය පෑ නො හැක්කේ ය”යි ශික්‍ෂාපද පනවා වදාළ සේක. එ තැන් පටන් භික්‍ෂූන් වහන්සේ පෙළහර නො පානා සේක.
එ කල තීර්ථකයෝ රැස් ව ඔවුනොවුන් හා මන්ත්‍රණය කරන්නාහු “මහණ භවත් ගෞතමයෝ තමන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රාතිහාර්‍ය්‍ය නො පානා පරිද්දෙන් ශික්‍ෂාපද පැනවූ ල, උන්ගේ ශ්‍රාවකයෝ නම් තමන් දිවි යේ නමුත් උන් කී බසක් නො වරදවන්නාහුය. ශ්‍රාවකයන්ට පෙළහර පෑ නො හැක්කැ යි ශික්‍ෂාපද පැන වූ බැවින් මහණ භවත් ගෞතමයෝ තුමූ ද පෙළහර නො පානා හු ය, අපට වූයේ අනුබලයෙක, එ තෙකින් අපි අපි දු ඔවුන් හා සරිගස්වා පෙළහර පාම්හ යි ගර්ජනා කොට ඇවිදුම්හ”යි නුවර ඒ ඒ තැන්හි සිට බොහෝ අඥානයන් රැස් කොට “මහණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් සේ අපි අපි දු ලාභ නිසා පෙළහර නො දක්වම්හ. ඔහු පෙළහරක් පෑවූ නම් අපි දශ පෙළහරක් දක්වම්හ. භවත් ගෞතමයෝ දශ පෙළහරක් පෑවූ නම් අපි විසි පෙළහරක් දක්වම්හ”යි යනාදි වසයෙන් තමන් මුඛප්‍රාප්ත වූ බොහෝ නන් දොඩන්නාහු ය.
එ කල බිම්බිසාර රජ්ජුරුවෝ එ පවත් අසා බුදුන් කරා ගොස් බුදුන් වැඳ එකත්පස්ව හිඳ “ස්වාමීනි! නුඹවහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ පෙළහර නො පානා පරිද්දෙන් ශික්‍ෂාපදයක් පනවා වදාළ සේක් දැ”යි විචාළහ. “එසේ ය! මහරජැ”යි වදාළ සේක. එ බසට රජ්ජුරුවෝ කියන්නාහු “එසේ වී නම් ස්වාමීනි! තීර්ථකයෝ නුඹවහන්සේ ලා ස්පට්ඨා කොට තුමු තුමූත් පෙළහර පාම්හ යි දොඩා ඇවිදුනාහු ය, ඊට කළමනා කිම් දැ”යි විචාළහ. ස්වාමි දරුවෝ සිනා පහළකොට “මහරජ! ශක්‍රදේවේන්‍ද්‍රයා හා ස්පට්ඨා කරන පාංශුපිශාචකයන්ගේ කිසි ගුණලවයක් නැති තීර්ථකයන් හා ලොවුතුරා බුදුන් හා සම සමයෙහි පෙළහර පානාකල බුදුහු කිසියම් පෙළහරක් දක්වන්නෝ වේ දැ”යි වදාළ සේක.
එ බසට රජ්ජුරුවෝ “ස්වාමීනි! පෙළහර පෑ නො හැක්කැ යි ශික්‍ෂාපද පැනවූ කල දැන් පෙළහර පානෝ කෙසේදැ”යි විචාළහ. මහරජ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පැනවූ බවක් මිස මට නො පැන වූයෙම් වේ දැයි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ “නුඹ වහන්සේගේ ශික්‍ෂාපද ශ්‍රාවකයන්ට ඇද්ද, නුඹ වහන්සේට නැද්දැ”යි කීහ.
එ බසට බුදුහු වදාරණ සේක් “මහරජ! සමුද්‍රය පවා තප්ත කොට පියන තරම් සූර්‍ය්‍ය දිව්‍යපුත්‍රයන්ගේ මුළුසක්වල පවත්නා වූ තේජස් ඔවුන්ගේ සුඛුමාල වූ දිව්‍යකායෙන් ලොමකුත් හුණු කළ නො හෙන්නේ ය, සියලු සතුන් හිස්මුදුන් පළාපියන තරම් ආඥා ඇති සිංහරාජයන්ගේ නාදය ඔවුන් තමන්ගේ හිස් මුදුනට නැත. මේ මේ කාරණයෙන් වදාරණසේක් සර්වඥරාජයන්ගේ කෙළ ලක්‍ෂයක් සක්වළ පවත්නා වූ ආඥාව සර්වඥයන් තමන් තමන්ට නැති සේ ම ය. ඊට කාරණ තොප අතින් ම විචාරමි. මහරජ! තොපගේ උයනෙහි අඹ අනෙකක්හු නො කන්නේ ය යි තොපගේ ආඥාවෙන් බෙර ලැවු කල අනෙකෙක් කා නම් ඕහට කුමක් කරා දැ”යි විචාළ සේක. ඔහු අතින් දඩගනිමි යි කීහ. ඒ අඹ තොප කෑ කල තොපට දඩ ඇද්ද නැද්දැ යි විචාළ සේක. මා අතින් දඩ ගන්නෝ කවුරු දැ යි කීහ. එබැවින් මහරජ තොපගේ තුන්සියක් යොදුන් අගු මගධ දෙරට පවත්නා වූ ආඥාව තොපට නැත්තා සේ ම, කෙළලක්‍ෂයක් සක්වළ පවත්නා වූ බුදුන්ගේ ශික්‍ෂාපද සඞ්ඛ්‍යාත වූ ආඥාව බුදුන්ට නැත්තේ ම ය.
කාරණ කිම! යත්; බුදුහු ස්වයම්භූයහ, අනාචරියහ, අප්‍රති පුද්ගලයහ. එසේ හෙයින් බුදුහු තුමූ ම තමන්ට මහණ වූහ. ශ්‍රාවකයන් අනුන් කෙරේ මහණ වන සේ හික්මවති. බුදුහු තුමූ රන්තලියෙන් කිරිපිඬු වැළඳූහ. ශ්‍රාවකයන් රන්පාත්‍ර නො පිළිගන්නා සේ හික්මවති. බුදුහු තුමූ ග්‍රාමාන්තසේනාසනයෙහි වෙසෙති. ශ්‍රාවකයන් ආරණ්‍ය වෘක්‍ෂමූල ශ්මශානාදියෙහි රමණය කරන සේ හික්මවති. මේ මේ කාරණයෙන් ශ්‍රාවකයන් කෙරෙහි පවත්නා වූ ආඥාව බුදුන් කෙරෙහි නො පවත්නේ වේ දැ යි වදාළ සේක.