එ කල නිගණ්ඨ නාථපුත්‍ර නො එක් උත්සාහ කොට පාත්‍රය ලැබගත නො හී තමා අතුරෙහි “කිමෙක් දෝ මෙ තෙක් දවස් මායම් බලයෙන් භවත් ගෞතමයන් හා සරිගස්වා ඇවිද්දෙමි. ඔවුන්ගේ ශ්‍රාවකයෝ ආකාශයෙන් අවුත් තෙලෙ පාත්‍ර ය ගණිති. එ කල අප හැම ජරපත් ශෘගාලයන් කොටත් මනුෂ්‍යයෝ නො සිතති. මෙ තෙන පැමිණියේ අපට ඉතා ම හානියෙක. බුදුකම් කොට ගැන්ම එන දවස ඉතා ම උගහට වන සැටි ය. අපගේ සෘද්ධියෙන් ප්‍රාතිහාර්‍ය්‍යයෙක් ආකාශයෙන් ගමනෙක් රහත්බවෙක් බුදුබවෙක් අහසට පොළොව සේ දුර එසේ ද වුවත් සිටාණන් මූණ වැලි ගැසුවා සේ මායම් පෙළහරෙකින් සඳුන් පාත්‍ර ය ගනිමි”යි සිතා තමාගේ අතවැසියන් කැඳවා “යව, සිටාණන් කරා ගොස් අපගේ බුද්දු ලාභයක් නිසා තමන්ගේ සැඟවී තුබූ සෘද්ධිගුණ ය නො දක්වන්නාහු ය. සැබවින් සැදෑ ඇතියා නම් මේ පාත්‍රය අපගේ බුදුන්ට ම දෙව”යි කියා පාත්‍රය සිටාණන් අතින් ගෙනෙව”යි යැවී ය.
එ කල ඒ අතවැසියෝ ද සිටාණන් කරා ගොස් ඔහු කී පරිද්දෙන් ම කියා පාත්‍රය ඉල්ලන්නාහු, සිටාණෝ ද “තොපගේ බුදුන් සරු වුවහොතින් ආකාශයෙන් ම අවුත් පාත්‍රය ගෙන යන්ට කියව”යි කියා නුදුන්නාහු ම ය. එ කල නිගණ්ඨනාථපුත්‍ර එ පවත් අසා අතවැසියන්ට “එසේ වී නම් දැන් මා ගොස් ‘ආකාශයට නැඟී දැන් දක් පාත්‍රය ගනිමි’යි අභියෝගයක් කළ කල තෙපි හැමදෙන මා වළක්ව”යි උගන්වාගෙන සිටාණන්ගේ ගෙට ගොස් අප වැනි බුදුන්ගේ පෙළහර බලා තොප වැනියන් සත්කාර කරනු විස්මය නො වෙති. මේ පාත්‍රය අපට ම තරම, අපට ම දෙව”යි ඉල්වීය.
එ වේලෙහි දු සිටාණෝ “නුඹ සබා බුදුකෙනකුන් වුවෝතින් අහසට නැඟී පාත්‍රයක් ගත මැනැව. මාත් උපාසක කොට ගත මැනැව. මායමකින් මා නො වෙහෙසුව මැනැව. එසේ නො දෙමි”යි කීහ. එ වේලෙහි නිගණ්ඨ නාථපුත්‍ර තෙම අතවැසියන් මුහුණ බලා සොර ඉඟියක් ලා “වැලි සිටාණෙනි! අහසට නැඟෙම් දැ”යි කී ය. නැංග මැනැවයි කීහ. තවත් නැඟෙම් ම දැ යි කී ය. තවත් නැංග මනා ම ය යි කීහ. බුදු වූ දවස් පටන් මාගේ රහත් ගුණය කිසිවක්හට නො පෑයෙමි. නැඟෙම් ම දැ යි තුන්වනුව ද කී ය. බුදුවන්නේ නම් බොහෝ දෙනාට පෙළහර පෑ, බොහෝ දෙනාට වැඩ කරන නිසා ම ය. දැනුදු මම වැඩ නිසා පෙළහර පෑව මැනැවැ යි සිටාණෝ තුන්වනුව ත් කීහ.
එ වේලෙහි නිගණ්ඨනාථපුත්‍ර එක් අතක් එක් පයක් අහසට නඟා අහසට පැන නැගෙන අභියෝගයක් ශුනකයෙකු කිලි පෙළුවා සේ කෙළේ ය. එ වේලෙහි ඔහුගේ අතවැසියෝ “හිමි! නුඹ වැනි බුදු කෙනකුන් ලාභයක් නිසා පෙළහර කරනු නො යෙදෙයි. අහසට නො නැංග මැනැව. නො නැංග මැනැව. පෙළහර නො පෑව මැනැව. නො පෑව මැනැව. අනිස, ඒ පාත්‍රය නො කැමැත්තේ ය. නො කැමැත්තේ ය යි කියා ඔහු අත පය ඇද බිම හෙළූහ. හෙතෙම බිම හි අත පය වැලි පිස “කුමක් බලව සිටාණෙනි, මේ අතවැසියෝ මා අහසට නැංග නො දෙති. ඔවුන් කියන්නෙත් කාරණ ම ය. අප වැනි රහතුන්ට වෙහෙස නො දී පාත්‍රය දී පියව” යි කී ය. එ වේලෙහි දු සිටාණෝ “තෙල මායමින් මට කම් නැත. අහසට නැඟි පාත්‍රය ගත නො හෙතෝතින් මට ද වෙහෙස නො දී ආපස්සෙහි ගිය මැනැව”යි කීහ. එ කල නිගණ්ඨ නාථපුත්‍ර ඒ මායමිනුත් පාත්‍රය නො ලදින් සුසුම් ලලා ආපස්සේ ගියේ ය.