මෙසේ බුදුහු ඔහුගේ ගීතස්වරයෙහි ගුණ වදාරා ඉක්බිති “පඤ්චසිඛ ය! තා කියන ගාථා තුණුරුවන් හා කාමගුණ උදෙසා අමා හා සිරිහි සේ විපර්‍ය්‍යාස කොට කවර කලෙක ගොතා ගත්හි දැ”යි වදාළ සේක. එ බසට පඤ්චසිඛයා කියනුයේ “ස්වාමීනි! නුඹ වහන්සේ බුදු වූ අටවන සතියෙහි අජපාල නම් වෘක්‍ෂෂමූලයෙහි වැස බ්‍රහ්මාරාධනාව ඉවසූ සමයෙහි තිම්බරූ නම් දිව්‍යරාජයාහට දූ වූ නමින් භද්‍ර නම් වූ සියලඟ ප්‍රභා විහිදුනා හෙයින් සුරියවච්චසා ය යි දෙවන නමෙකින් ප්‍රසිද්ධ වූ දිව්‍යාඞ්ගනාවක් සතර වරම් රජුන් හා සමග අපගේ සක්දෙව් රජහට නැටුම් පානට ගියා ය. එ කෙණෙහි සක්දෙව්රජ බුදුන්ගේ යථාභූත වූ, විශේෂ වූ, ගුණයන් අටදෙනකු කී ය. ඕතොමෝ එ දවස් නටන්නී ඒ බුදුගුණ ඇසුව. සක්දෙව්රජ ඈ දැක මාතලී දිව්‍යපුත්‍රයාගේ පුත් වූ ශිඛණ්ඩී නම් දෙව්පුතුට ඈ ශරණපාවා දෙනු කැමැති වි ය. එ තැන පටන් මම ද ඈ පතා නොයෙක් ව්‍යසනයෙන් නො ලදිමි. දවසෙක ඈ කෙරෙහි ලෝභයෙන් මාගේ මේ බෙළුවපණ්ඩු නම් වීණාව ගගා ඈ බල බලා මේ ගාථා කීමි. ඕ තොමෝ මේ ගාථාවෙන් නුඹවහන්සේගේ ගුණ අසා “මම ඒ බුදුන් නුදුටු විරීමි. සුධර්මා නම් දිව්‍ය සභාවෙහි දී සක් දෙව්රජහු අතිනුත් ඒ බුදුන්ගේ ගුණ අටක් ඇසීමි. යම් කාරණයෙකින් තෝ ඒ බුදුන්ගේ ගුණ කීයෙහි ද, ඒ උපකාරයෙන් තා හා මා හා අද සමාගම ය වෙයි” කිව. එ දවස් නුඹවහන්සේට පිනට ඈ හා මා හා සමාගම ය විය. එදා පටන් ඈ හා මා හා සමාගමයක් තවදක්වා නො ලදුයෙමි. ස්වාමීනි! කෙසේ මට ඈ ලැබේ දැ යි අලජ්ජිත ව තමාගේ අඹුවගේ පවත් මෙසේ කිය යි.
ශක්‍රයෝ සිට, කල් යන හෙයින් “මේ පඤ්චශිඛ යා දැන් මාගේ මේවර ගොසින් තමාගේ කටයුතු කිය යි. බුදුන් ඉදිරියේ සිට කාම ගුණ අරභයා නො තරම් වූ කතා කෙරෙයි. නළුවෝ නම් ඉතා අලජ්ජියහ” යි කියා බැණ “ඉදින් මේ තෙමේ කාමයෙන් මත්ව තව ද නැටීමක් දක්වාලී නම් මාගේ කාර්‍ය්‍ය බාධා ය”යි සිතා ඔහු සෙමෙන් කැඳවා “පුත පඤ්චශිඛ ය! කථා බොහෝ නො කොට මා ආ බව බුදුන්ට වහා දන්වාලව”යි කී හ. මැනව මහරජ! යි පඤ්චසිඛයා ගොස් “ස්වාමීනි! සක්දෙව්රජ සහ පිරිවරින් නුඹ වඳිනා නිසා ආය”යි දැන්වී ය. එ වේලෙහි බුදුහු “ශක්‍රයා සහ පිරිවරින් එව”යි කියා අවසර දුන් සේක.