යම් සේ මාගේ බුදුරජාණෝ බෝධිපර්‍ය්‍යඞ්කයෙහි හිඳ සව්නේ ගෙවා දැන බුදු වූ වේලෙහි ඉතා සන්තෝෂ වූ සේක් ද එසෙයින් ම මම ද තී ලද්දා ඉතා සතුටු වෙමි. ඉදින් අපගේ සක්දෙව්රජ මා කෙරෙහි සන්තෝෂයෙන් වරයෙක් දෙනුයේ මේ මාගේ මෙ දෙ දෙව්ලොව දිව්‍යරාජ්‍ය ය කැමැත්තෙහි ද, සුරියවච්චසාව කැමැත්තෙහි දැ” යි කී නම් ඒ ශක්‍රසම්පත් හැර පියා මම තී කැමැති වෙමි. සොඳුර! තීගේ පියාණන් තිම්බරූ නම් දිව්‍යරාජයාගේ නුවර දොර අලුත මල් පිපී සිටි සල්රුකෙක් ඇත. ඒ ශාලරාජයා ඉතා මනෝහර ය. ඒ ශාලවෘක්‍ෂරාජයා සේ ම දිව්‍යශ්‍රීන් භරිත වූ තී පිය ඒ දිව්‍යරාජයා වඳිමි යි යනාදීන් මෙසේ අමා හා සිරිඟි හා, එක බඳනෙක ලාලා හලන්නකු සේ බුදුගුණ සම්මිශ්‍ර වූ ගාථා කිය කියා බුදුන් ඉදිරියෙහි සිටගෙන අලජ්ජිව ගායනා කෙරෙයි. බුදුහු එකල “පඤ්චසිඛ ය! තාගේ ගීත ස්වර ය, හා වීණා ස්වර ය සම ම ය. වීණා ස්වරය හා ගීතස්වරය සම ම ය. ගීත ස්වර ය තන්ත්‍රිස්වර ය නො ඉක්මෙ යි. තන්ත්‍රිස්වරය ගීත ස්වරය නො ඉක්මෙ යි” වදාළ සේක.
අරාගී බුදුහු ගීතස්වරය හා වීණාස්වරයාගේ ගුණ කුමක් උදෙසා වදාළ සේක් ද? යත්; බුදුන්ට ශබ්දානුරාගය හා ඇති වේ ද? යත්; අහසට පොළොව දුරුවූවා සේ මාගේ ස්වාමිදරුවාණන්ට ශබ්දානුරාගයෙක් නැත. බුදුහු එක ශබ්දයකුත් පරවැඩක් සිතා ම වදාරණ සේක. ඉදින් මොහුගේ ගායනාවෙහි ගුණ නො වදාළ සේක් වී නම් ඒ තමාට අවසර දුන් බව නො දන්නේ ය. ශක්‍රයා “තච පඤ්චසිඛය අවසර නො ලද” ය යි තමාගේ දෙවියන් ගෙන නැවත පලාගියේ නම් දෙවියන්ට මහා අලාභ වෙයි. ඔහුගේ ගුණ වදාළ කල “පඤ්චසිඛ යා අවසර ලදැ”යි ශක්‍රයා අවුදින් ම අතින් පැන විචාරයි. එ කල අසූදහසක් දෙවියන් හා සමග සෝවාන් වෙයි සිතා මේ කාරණයෙන් ඔහුගේ ශබ්දයෙහි ගුණ වදාළ සේකැ යි දතයුතු.