සක්දෙව් රජ බුදුන් කරා පැමිණීම

star_outline

එ කල සක්දෙව්රජ ඉන්‍ද්‍රශාලගුහාවට වැද බුදුන් වැඳ හොත්තේ ය. ආයු ගෙවා චුත ව නො නැඟෙයි. බුදුහු සක්දෙව්රජහු මළ සේ දැක “බුදුහු නම් සිස්වලා යන්නා වූ වචනයක් නො කියති. ශක්‍රය! ආයු බොහෝ වව යි මා කී කල ඔහු මළහොත් කාරණ නො වෙයි. ආයු බොහෝ වව යි කී කල ආයු ලබන පිනක් ඇතියේ දෝ හෝ”යි ඔහුගේ ජාතිසහස්‍රයක් බලා සසර එක් ජාතියෙක මල් පිදූ මලස්නෙක මළාගිය මලෙහි පැන් අතළොස්සක් මොහු ඉසලූ පිනක් දැක ආයු ලබන පින් ඇතියේ ය යි දැන “ශක්‍රය! සහපිරිවරින් ආයු බොහෝ වව”යි වදාළ සේක.

එ වේලෙහි මාගේ ස්වාමිදරුවාණන් තමන් වහන්සේගේ සශ්‍රීක වූ ශ්‍රී මුඛයෙන් “ආයු බොහෝ වව”යි වදාළ බස හා සමගම ශක්‍රයා තුන්කෙළ සැටලක්‍ෂයක් අවුරුද්දට ආයු ලදින් නැඟී එකත්පස ව සිටියේ ය. මොහු මළ පරිදි එ තෙමේ දන්නේ බුදුහු දත් සේක. සෙසු කිසි කෙනකුත් නො දත්තාහු ම ය. එකල බුදුහු සක්දෙව් රජහට “මහරජ! තාගේ කාර්‍ය්‍ය බොහෝ වුවත් මෙ තෙනට ආයේ මැනැවැ”යි වදාළ සේක. ශක්‍රයා කියනුයේ “ස්වාමීනි! මම හැම වේලෙහි ම නුඹවහන්සේ දක්නා කැමැත්තෙමි. පොළෝ තළෙහි පටන් මෙ දෙ දෙව්ලොව දෙවියන්ගේ නො එක් කාර්‍ය්‍යයෙහි ව්‍යාපෘත හෙයින් හැම වේලෙහි ස්වාමිදරුවන් කරා නො එළැඹෙන්නේ ය. මම එක් සමයෙක නුඹවහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි සලලාගාර නම් ගඳකිළියෙහි වසන කල දක්නට ගියෙමි. එ දා නුඹ වහන්සේ එක්තරා එක් සමවතකට සමවැදලා වැඩඋන් සේක. එදා වෙසවුණු රජහුගේ භුජංගවතී නම් පාදපරිචාරිකාවක් සෙදගැමි ව දෙව්ලොව නො කැමැති ව නුඹවහන්සේ කරා අවුත් වැඳ වැඳ සිටියා ය. එදා ඒ මා දැක “බුදුන් දක්නට බැරි ය. බුදුහු ධ්‍යානයෙන් වැඩහුන්සේකැ”යි කිව. ඒ අසා මම ද “බුදුන් ධ්‍යානයෙන් නැඟි කල මා ආ නියාව ත් සැලකොට ලා මා නමින් වඳුව”යි කියාලා ගියෙමි. එදා ඕ මා නමින් වැන්දි ද, සැල කළා ද, සිහි ඇද්දැ යි විචාළේ ය. බුදුහු “තා නමින් ඕ වැන්දී ය. මට ත් කිව. සඳයන් ඇත. මම ද එදා තා නික්මුනු වේලෙහි තාගේ රථසකෙහි හඬ අසා ධ්‍යානයෙන් නැංගෙමි”යි වදාළ සේක.

ධ්‍යානයට සමවන් කල කන්මුල තබාගෙනත් පිඹිනා සක් සිත් නම් ආදියෙහි අඬ පවා නො ඇසෙත්. හෙණ දහස් සුවහස් හඬ නො ඇසෙත්. “රථසකෙහි හඬින් ධ්‍යානයෙන් නැංගෙමි”යි වදාළේ ඇයි ද? යත්; බුදුහු එදා ශක්‍රයාගේ නුවණ තව ලා සේ දැක “මතු ඉන්‍ද්‍රශාල ගුහාවෙහි දී බොහෝ දෙවියන් සමග දේශනා කොට සෝවාන් කෙරෙමි”යි සිතා ඕහට අවසර නො දෙන නිසා ඔහු අවුත් යන තෙක් ධ්‍යානයට සමවන් සේක. මේ කාරණයෙන් ඔහුගේ රථසකෙහි හඬ අසා ධ්‍යානයෙන් නැඟි සේකැ යි දතයුතු.

ඉක්බිත්තෙන් සක්දෙව්රජ කියනුයේ “ස්වාමීනි! යම් දෙවි කෙනෙක් අපට පළමු ව අපගේ දෙව්ලොව උපන්නාහු වූ නම් උන් අතින් බුදුන් ඇති කල ම අපගේ මේ දෙව්ලොව පිරෙයි. සතර අපාය සිස් වෙයි” කියා කන්පුරා ඇසීමි. දැන් මම ඒ ප්‍රත්‍යක්‍ෂ ව දිටිමි. ස්වාමීනි! නුඹවහන්සේගේ මේ බුද්ධරාජ්‍යයෙහි කිඹුල්වත් නුවර වසන ගොපිකා නම් ශාක්‍යරාජ කන්‍යාවන් තුණුරුවන් කෙරෙහි පැහැද පන්සිල් අඛණ්ඩකොට රක්‍ෂා කරන්නි “ස්ත්‍රීභාවයෙහි සිට බුදු විය නො හැක්ක. පසේ බුදු විය නො හැක්ක. චක්‍රවර්තිසම්පත් නො ලැබෙයි ශක්‍රසම්පත් නො ලැබෙයි. මාරසම්පත් නො ලැබෙයි. බ්‍රහ්මසම්පත් නො ලැබෙයි” යනු අසා ස්ත්‍රීභාවයෙහි කලකිරී පිරිමි ව උපදිමි යි ප්‍රාර්ථනා කොට වෙහෙරක් කරවා සඟ තුන්දෙනකුන් වහන්සේ පවරා නිරන්තරයෙන් සිවුපසයෙන් දන් දෙයි. බුදුන් කෙරෙහි බණ අසන කල ඕ තොමෝ භයලජ්ජා ඇතිව, ආදර ඇති ව, පවිත්‍රසීලී ව, එක් තෙනෙක වැද හිඳ, දොහොත් මුදුනෙහි තබාගෙන, දස නො බලා කිසි කෙනකුන් හා කථා නො කොට, බුලත් පමණකුත් නොකා, නො නිදා, එකඟ වූ සිතින්, බුදුන්ගේ ශ්‍රීමුඛය බල බලා, බණ අසා මේ ආදි වූ පින් කොට මය ස්ත්‍රීභාවයෙන් මිදී, තව්තිසා දිව්‍ය භවනයෙහි ලක්‍ෂගණන් දිව නලුවන් හා සමග, දහස් ගණන් දිව්‍යාඞ්ගනාවන් පිරිවරා සක්දෙව් රජහට පුත් ව ඉපැද ගොපික නම් දිව්‍යපුත්‍ර ය යි මෙ නමින් ප්‍රසිද්ධ ව ශක්‍රයා හා සම වූ සම්පත් විඳ, ඈට අනුශාසනා කොට දන් වැළඳූ භික්‍ෂූහු තුන්දෙන නිම්මල වූ ශීලය රක්‍ෂා කොට ධ්‍යානලාභී ව වසන්නාහු, බණ අසන කල දස බල බලා නිඳ නිඳා සරු නැති ව හුන් අකුශලයෙන් බ්‍රහ්ම ලෝකොත්පත්තියෙන් පිරිහී මිය යට තරු පෙනෙන දිව්‍යලෝකයෙහි පූර්වනිකාන්තික නම් ගන්‍ධර්වදිව්‍යයන් හා එක් ව ඉපැද ප්‍රභාසම්පන්න ව දිවසුව විඳිනාහු ය. දවසෙක දහස්ගණන් දිවනළුවන් පිරිවරා ඒ ගන්‍ධර්ව දිව්‍යයෝ තුන්දෙන තුන් ගවු දිග මහබෙර කර ලා ගෙන ශක්‍රදේවරාජයාහට සේවය කරම්හ යි සුධර්මා නම් දිව්‍යසභාවට අවුත් පනස් පනස් යොදුන් තැන රඟමඬුලු බැඳ සිටගත්හ. සිල් රක්‍ෂාකොට දෙව්ලොව උපන්නවුන් හෙයින් මොවුන් තුන්දෙනාගේ ශරීරප්‍රභා හා ගායනා හා ඉතා ම මනෝඥ ය.

යට කී ගොපික නම් දිව්‍යපුත්‍රයා සක්දෙව්රජහු ළඟ මලස්නෙක හුන්නේ මේ දිව්‍යපුත්‍රයන් තුන්දෙනා දැක “මේ දෙවියෝ තුන්දෙන ඉතා ප්‍රභා සම්පන්නයහ. ඉතා රූපත්හ. හීන වූ ගන්‍ධර්වයන් කෙරෙහි කොයි සිට අවුත් උපන්නු දෝ හෝ”යි පරීක්‍ෂා කරනුයේ “පෙර මු මහණු තුන්දෙනෙකැ”යි දිව. සකස් කොට සිල් රක්‍ෂා කළෝ දෝ හෝ නො කළෝ දෝ හෝ යි පරීක්‍ෂා කොට බලනුයේ සකස් කොට ම සිල් රක්‍ෂා කළහ යි දිට. ත වද: අනික් ගුණධර්මයක් බලනුයේ ධ්‍යානලාභී වූ සේ දිට. කොයි වැස සිල් රක්‍ෂා කළෝ දෝ හෝ යි බලනුයේ පෙර තමාට කුලුපග ව සිවුපසය වළඳා අනුශාසනා කළහ යි දිට. පිරිසිදු කොට සිල් රක්‍ෂා කළ සත්ත්‍වයෝ සදෙව්ලොවින් කැමැති දෙව්ලොවෙක උපදනාහු ය. ධ්‍යානලාභී වූ නම් බඹලොව උපදනාහු ය. මොහු තුන්දෙන ම ධ්‍යානත් ලදින් බ්‍රහ්ම ලෝකයෙහිත් නුපන්නාහ. සිල් රක්‍ෂා කොට උඩ දෙව්ලොවත් නූපන්නාහ. හීන වූ ගන්‍ධර්වයන් කෙරේ ඉපැද ගියහ. මම මුන්ගෙන් බණ අසා අවවාද ලදිම් ස්ත්‍රී ව සිට දෙදෙව්ලොවට අධිපති වූ සක්දෙව්රජහට පුත් ව ඉපැද ගියෙමි. මොවුන් ලජ්ජා වන සේ දොඩමි යි සිතා කිපී මුහුණ බලා “එදා තෙපි බුදුන් බණ වදාරණ වෙලෛහි දස බල බලා නිඳ නිඳා කතා කොට වික්‍ෂෙප ව බණ ඇසුව. එ කල මම ස්ත්‍රී ව සිට ශ්‍රද්ධාවෙන් ආදර ඇති ව බණ අසා පින් කොට තවුතිසා දෙව්ලොව උතුම් ව උපනිමි. තෙපි වනාහි අපට අවවාද දී මහණ දම් පුරා හීන වූ ගන්‍ධර්වනිකායෙහි ඉපැද පෙර අප හ. එක් ව පින් කොට අපට දැන් බෙර ගසන්නට අවු ද, තෙපි තමා ලජ්ජා නැතියා දැ”යි කී ය.

ඒ දෙවියන් තුන්දෙනා අතුරෙන් දෙදෙනෙක් සිතන්නාහු “කෙළි නම් පානාහු බලන්නවුන්ගෙන් ප්‍රසාද ලැබෙති. මේ ගොපික දිව්‍යපුත්‍රයා අප දුටු වේලෙහි පටන් ගින්නට දමාලූ ලුණු පුපුරන්නා සේ දත් කකා තතනයි. කාරණ කිමෙක් දෝ හෝ”යි පරීක්‍ෂා කරන්නාහු පෙර තමන් මහණදම් පිරූ බවත් සිල් රක්‍ෂා කළ බවත්, ධ්‍යානලාභී බවත්, මෝහට ම කුලුපග වූ බවත්, දැක උපන් ලජ්ජාවෙන් කර තුබූ බෙර ගළවා තබා එම දිව්‍යසභාවෙහි ම සිට භාවනා කරන්නාහු පෙර තමන් බොහෝ දවසක් වසීභුත කළා වූ භාවනා හෙයින් ඇසිල්ලෙකින් අනාගාමි මාර්ග ඵලයට පැමිණ, ඒ තුන්ගවු උස දිව්‍යශරීරය කුණපයක් සේ හැර, එයින් සැව දොළොස් යොදුන් බ්‍රහ්ම ශරීර ලදින් ඒ ගොපික නම් දේවතාවා ආදි වූ බොහෝ දෙවියන් බල බලා සිටිය දී ඔවුන්ගේ හිස පියපස් ඕනා සේ ගොස් බ්‍රහ්මපුරෝහිත නම් බඹලොව උපන්නාහු ය. එකෙක් පඤ්චකාමයෙන් මිදී යා නො හෙනුයේ එහි ම රැඳින.

සක්දෙව්රජ මේ කතාව බුදුන්ට දන්වා “ස්වාමීනි! අපි ත් ඔවුන් සේ ම නුඹ වහන්සේගේ සස්නෙහි නිවන් දහම් පසක් කරනු සඳහා ආම්හ. අවසර ලදිම් නම් පැන විචාරනු කැමැත්තෙමි”යි කී ය. එ කල බුදුරජාණන් වහන්සේ “සක් දෙව්රජ! තට සැක වූ යම් ම පැනයක් මා අතින් විචාරව. මම ඒ කියමි” සර්වඥ ප්‍රවාරණයෙන් පැවරූ සේක.

එ කල සක්දෙව්රජ බුදුන් අතින් අවසර ලදින් ඉස්සා මච්ඡරියං යන පළමු වන පැනය ය. පියාප්පියං යන දෙවන පැනය ය ඡන්‍දො යන තුන් වන පැනය ය. විතක්කො යන සතර වන පැනය ය. පපඤ්චො යන පස් වන පැනය ය. සෝමනස්සං යන සවන පැනය ය. දෝමනස්සං යන සත් වන පැනය ය. උපෙක්ඛා යන අට වන පැනය ය. කාය සමාචාරො යන නව වන පැනය ය. වචීසමාචාරො යන දස වන පැනය ය. පරියේසනා යන එකොළොස්වන පැනය ය. ඉන්‍ද්‍රියසංවරො යන දොළොස් වන පැනය ය. අනේකධාතු යන තෙළෙස් වන පැනය ය. අච්චන්ත තිට්ඨා යන තුදුස් වන පැනය යි යන මේ තුදුස් පැනය විචාළේ ය. සක්දෙව් රජහු පැන විචාළ පරිදිත් බුදුන් විසඳූ පරිදිත් දිග්සඟියෙහි ශක්‍රප්‍රශ්න සතවිභාගයෙන් බලා දතයුතු.

ඉක්බිත්තෙන් ස්වාමිදරුවන් මේ ප්‍රශ්න ව්‍යාකරණය කොට අවසානයෙහි අසූදහසක් දෙවියෝ අමාමහ නිවන් දුටහ. සක්දෙව්රජ සෝවාන් මාර්ගඵලයට පැමිණියේ ය. මෙසේ ශ්‍රද්ධාසම්පන්න වූ ඒ සක්දෙව්රජ රහත් නො ව කුමක් නිසා සෝවාන් වී ද? යත්;

අනේපිඬු මහ සිටාණන් හා විශාඛාවන් හා දෙදෙන බුදුන්ට අග්‍ර වූ බොහෝ උපස්ථාන කෙටත්, තමන් සසරෙහි ලෝභ ඇති හෙයින් සෝවාන් ව තව සත් ජාතියෙක සසර ඇවිදිති. ඔවුන් සේ ම මේ සක්දෙව්රජ ද ඉතා භවරාගීය, ඒ කාරණයෙන් සෝවාන් ව මේ ජාතියෙහි තමාගේ ආයු පරිද්දෙන් ශක්‍රසම්පත් විඳ එයින් මිය දඹදිව සවාරයක් පිට පිට දීපච්චක්‍රවර්ති ව රජ කෙරෙයි. එයින් ගොස් චාතුර්මහාරාජික නම් දිව්‍යලෝකයෙහි ඉපැද මනුෂ්‍යගණනාවෙන් අනූලක්‍ෂයක් හවුරුදු දිව්‍යසම්පත් විඳ, එයින් නැගී තවුතිසා දිව්‍යභවනයෙහි ඉපැද තුන් කෙළ සැටලක්‍ෂයක් හවුරුදු දිව්‍ය සම්පත් විඳ, එයින් නැඟී යාම නම් දිව්‍යලෝකයෙහි ඉපැද තුදුස් කෙළ සැටලක්‍ෂයක් හවුරුදු දිව්‍යසම්පත් විඳ, එයින් නැඟී තුෂිතභවනයෙහි ඉපැද එහි සත්පනස්කෙළ සැටලක්‍ෂයක් හවුරුදු දිව්‍ය සම්පත් විඳ, එයින් නැඟී නිම්මාණරතී නම් දිව්‍යලෝකයෙහි ඉපැද එහි දෙසිය තිස්කෙළ සතළිස් ලක්‍ෂයක් හවුරුදු දිව්‍යසම්පත් විඳ, එයින් නැඟී පරනිර්මිත වශවර්ති නම් දිව්‍යලෝකයෙහි ඉපැද එහි නවසිය එක්විසිකෙළ සැටලක්‍ෂයක් හවුරුදු දිව්‍යසම්පත් විඳ,

සදිව්‍යලෝකයෙහි මෙසේ එක්දහස් දෙසිය අටවිසිකෙළ පනස් ලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි පඤ්චකාමසුව අනුභව කොට එහි දී කාම විරාගය කොට ධ්‍යාන උපදවා පළමුවන බ්‍රහ්මපාරිෂද්‍ය නම් බඹලොව ඉපැද අසඞ්ඛ්‍ය කල්පයක්හුගේ තුන්වන භාගයක් සුව විඳ, එයින් නැඟී බ්‍රහ්මපුරෝහිත නම් බඹලොව ඉපැද එහි අර්ධ කල්පයක් සුවවිඳ, එයින් නැඟී මහාබ්‍රහ්ම නම් බඹලොව ඉපැද කපක් සුවවිඳ, එයින් නැඟී පරිත්තාභ නම් බඹලොව ඉපැද එහි මහ කප් දෙකක් සුව විඳ, එයින් නැඟී අප්‍රමාණාහ නම් බඹලොව ඉපැද එහි සතර කපක් සුව විඳ එයින් නැඟී ආභස්සර නම් බඹලොව ඉපැද එහි අටකපක් සුව විඳ එයින් නැඟී පරිත්තශුභ නම් බඹලොව ඉපැද එහි සොළොස් කපක් සුව විඳ. එයින් නැඟී අප්‍රමාණ ශුභ නම් බඹලොව ඉපැද එහි දෙතිස් කපක් සුවවිඳ එයින් නැඟී ශුභකීර්ණක නම් බඹලොව ඉපැද එහි සූසැටකපක් සුව විඳ, එයින් නැඟී වෙහප්පල නම් බඹලොව ඉපැද එහි පන්සියක් කප් සුව විඳ,

එහි දී අනාගාමී ව එයින් නැඟී ශුද්ධාවාසයෙහි අවිහ නම් බඹලොව ඉපැද දහසක් කප් සුව විඳ, එයින් නැඟි අතප්ප නම් බඹලොව ඉපැද දෙදහසක් කප් සුව විඳ, එයින් නැගී සුදස්ස නම් බඹලොව ඉපැද එහි සාරදහසක් කප් සුව විඳ, එයින් නැඟී සුදස්සි නම් බඹලොව ඉපැද එහි අටදහසක් කප් සුව විඳ, එයින් නැඟී අකනිෂ්ඨක නම් බඹලොව ඉපැද එහි සොළොස් දහසක් කප් ධ්‍යාන සුව විඳ, මෙසේ එක්තිස්දහස් සසිය විසිකපක් ගියකල එයින් මතු අනාගතයෙහි රහත් ව අමාමහ නිවන් දක්නේ ය යි දතයුතු.

මෙසේ සෝවාන් ව වසන්නා වූ සක්දෙව් රජ එ කෙණෙහි ම පඤ්චශිඛ දිව්‍යපුත්‍රයා කැඳවා “යහළු පඤ්චශිඛ ය! මෙසේ වූ නිවන් සුවයක් තා නිසා ලදිමි බුදුන් අතින් මට අවසර ඉල්වා දී මේ සා වැඩක් කෙළෙහි ය, අද පටන් තෝ මට ගුරු තනතුරෙහි සිට”යි කියා “මාගේ අර්ථ සිද්ධ වූවා සේ ම, තාගේ ද අභිමතාර්ථය සිද්ධ කොට සුරියවච්චසා නම් දිව්‍යස්ත්‍රිය පාවා දෙමි”යි නිලකොට “මාගේ මේ දෙදෙව්ලොව ගන්‍ධර්ව සේනාවට අද පටන් තෝ රජව”යි ඔහු ගන්‍ධර්වයන්ට රජකොට බුදුන් වැඳ තමාගේ දිව්‍යසේනාව ගෙන දික්කළ අතක් වක් නො කරන ඇසිල්ලෙහි ගොසින් තමාගේ ශක්‍ර භවනයෙහි ම පෙනී ගිය.

මෙසේ එ තැන් පටන් බුදුන් කෙරෙහි අතිප්‍රසන්න වූ ශක්‍ර දේවේන්‍ද්‍රයා අසූදහසක් දෙවියන් හා සමග අප්‍රමාණ ව දිව්‍යරාජ පූජා කෙළේ ය. එ තුවක් කල් මුළුල්ලෙහි ස්වාමිදරුවාණන් නමට අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා කෙළේ ය. ස්වාමිදරුවන්ගේ ප්‍රතිසන්‍ධි පූජාවෙහි පටන් පරිනිර්වාණ පූජාව දක්වා මේ අශීතිවර්ෂය මුළුල්ලෙහි තමාගේ ශක්‍රසම්පත්තියෙහි ලෝභය හැර ඔබගේ දර්ශන සම්පත්තියෙහි ලෝභය කොට පක්‍ෂපාත වූ අභියුක්තකයකු සේ ස්වාමිදරුවන් සමීපයෙහි ඡායාවක් සේ වාසයකොට අප්‍රමාණ වූ සප්පාය වූ අත්පා මෙහෙයෙන් පූජා කෙළේ ය. මෙසේ ශක්‍ර දේවේන්‍ද්‍රයන් අතින් පවා මහත් වූ පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මට ද, සියලු සතුන්ට ද, මවුපිය ගුරු වූ, දෙවි වූ, බඹ වූ, මාගේ ම ස්වාමිදරු වූ, තිලෝගුරු බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් ම කියන ලදි.

පූජාවිසෙසං සහපච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො,

අත්‍ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං- යි

මේ පූජාවලියෙහි අප බුදුන් සක්දෙව් රජහුගෙන් ලද

දිව්‍යරාජ පූජා කථා නම් වූ දෙවිසි වන පරිච්ඡේදය නිමි.