එහි විභාග කථාව සාවධාන ව කන් නමා මෙසේ අසා දතයුතු. පොළොව පටන් දෙසාළිස් දහසක් යොදනින් මත්තෙහි යුගන්‍ධර පර්වතය හා සම වූ ආකාශයෙහි චාතුර්මහාරාජික නම් දිව්‍ය ලෝකය සක්වළගල වසා අතුරු නැති ව සිටියේ ය. එහි සත් රුවන්මය වූ දිව්‍යප්‍රාසාද පමණ නැති යේ ය. වරම් රජදරුවන් සතර දෙනාගේ රුවන්මය වූ දෙව්නුවර සතර යුඟදුරු මුදුනෙහි සතර දිශාවෙහි පිහිටියේ ය.
ඒ දෙව්ලොව පටන් දෙසාළිස් දහසක් යොදනින් මත්තෙහි මෙරමුදුන හා සම වූ ආකාශයෙහි තවුතිසා භවනය සක්වළගල දක්වා පිහිටියේ ය. ඒ මෙරමුදුන ඉන්‍ද්‍රනීල මාණික්‍යමය ය. එහි පිහිටි පිටිනුවර හැර මැද පිහිටි ශක්‍රපුරය නැගෙනහිරි රුවන් වාසය පටන් බස්නාහිර රුවන් වාසලට දසදහසක් යොදුන. දකුණු දිග රුවන් වාසල පටන් උතුරු දිග රුවන් වාසලයට දස දහසක් යොදුන. එ නුවර සිසාරා දෙසියපනසක් සත්රුවන්මය වූ මහ පවුරු පිහිටියේ ය. එකි එකී දිශාවෙහි දෙසියපනස් දෙසීය පනස් වාසල් බැගින් රුවන් වාසල් දහසක් හා දොරටු පිහිටියේ ය. රත්නමය වූ ප්‍රාසාද පංක්තීන් හා, රිදීමය වූ ප්‍රාසාද පංක්තීන් හා, සත්රුවන්මය වූ ප්‍රාසාද පංක්තීන් හා, විසිතුරු වූ දිව්‍යොද්‍යාන පංක්තීන් හා, අලඞ්කෘත වූ දිව්‍ය තටාක පංක්තීන් හා ශෝභාවත් විය.
තව ද: එම නුවරට පිටත පූර්වදිග් භාගයෙහි සත්රුවන්මය වූ පවුරු හා රිදී දොරටුයෙන් පරික්‍ෂිප්ත වූ දහසක් යොදුන් පමණ තෙන නන්‍දෙනාද්‍යානය පිහිටියේ ය. ඒ උයන හා නුවර දෙඅතුරෙහි පනස් පනස් යොදුන් නන්‍දා නම් චුල්ලනන්‍දා නම් පොකුණු දෙක පිහිටියේ ය. ඒ දෙ විල්තෙර කෙහෙල් ගොබ් සෙයින් සියුම් වූ පහස් ඇති පනස් පනස් යොදුන් නන්‍දා නම් චුල්ලනන්‍දා නම් රුවන් අතළ දෙක පිහිටියේ ය.
එ නුවරට දක්‍ෂිණ දිග් භාගයෙහි එසේ ම සත් රුවන්මය වූ පවුරු හා දොරටුයෙන් පරික්‍ෂිත වූ තුන්සියක් යොදුන් චිත්‍රලතා නම් උයන පිහිටියේ ය. ඒ උයන හා නුවර දෙ අතුරෙහි පනස් පනස් යොදුන් චිත්‍රා නම් චුල්ලචිත්‍රා නම් පොකුණු දෙක පිහිටියේ ය. ඒ පොකුණු දෙ තෙර ද පනස් පනස් යොදුන් චිත්‍රා නම් චුල්ලචිත්‍රා නම් දෙරුවන් අතළෙක් පිහිටියේ ය.
තව ද: එ නුවරට පශ්චිම දිග් භාගයෙහි එසේ ම සත්රුවන්මය වූ, පවුරුවාසලින් පරික්‍ෂිප්ත වූ, පන්සියක් යොදුන් ඵාරුසක නම් උයන පිහිටියේ ය. ඒ උයන හා නුවර දෙ අතුරෙහි පනස් පනස් යොදුන් භද්‍රා නම් චුල්ලභද්‍රා නම් පොකුණු දෙක පිහිටියේ ය. ඒ පොකුණු දෙ තෙර ද පනස් පනස් යොදුන් භද්‍රා නම් චුල්ල භද්‍රා නම් දෙරුවන් අතළ පිහිටියේ ය.
තව ද: පැළදෙසෙහි එසෙයින් ම රුවන්මය වූ පවුරු හා වාසලින් ම පරික්‍ෂිප්ත වූ පන්සියයක් යොදුන් චිත්‍රලතා නම් උයනෙක් ඇත. ඒ උයන හා නුවර දෙඅතුරෙහි පනස් පනස් යොදුන් චිත්‍රා නම් චුල්ලචිත්‍රා නම් පොකුණුදෙක පිහිටියේ ය. ඒ පොකුණු දෙ තෙර ද පනස් පනස් යොදුන් චිත්‍රා නම් චුල්ලචිත්‍රා නම් දෙරුවන් අතළ පිහිටියේ ය.
තව ද: මෙනුවරට උතුරු දිග්භාගයෙහි සත්රුවන්මය වූ පවුරු හා දොරටුයෙන් පරික්‍ෂිප්ත වූ පන්සියයක් යොදුන් මිශ්‍රවන නම් උයන පිහිටියේ ය. ඒ උයන හා නුවර දෙ අතුරෙහි පනස් පනස් යොදුන් ධර්මා නම් චුල්ල ධර්මා නම් පොකුණු දෙක පිහිටියේ ය. ඒ පොකුණු දෙ තෙර ද පනස් පනස් යොදුන් ධර්මා නම් චුල්ලධර්මා නම් දෙරුවන් අතළ පිහිටියේ ය.
තව ද: එම ශක්‍රපුරයට ම ඊශානදිග් භාගයෙහි සත්රුවන්මය වූ පවුරුවාසලින් පරික්‍ෂිප්ත වූ, සත්දවසක් යොදුන් මහාවන නම් උයනෙක් ඇත. ඒ උයන හා නන්‍දා නම් උයන දෙ අතුරෙහි සත්රුවන්මය වූ දහසක් කුළුගෙවලින් හෙබියා වූ සියක් යොදුන් පමණ නන්‍දා නම් පොකුණෙක් ඇත. එ නුවර මධ්‍යයෙහි තුන් සියයක් යොදුන් උස වීජයත් නම් ප්‍රාසාදයෙක් ඇත. ඔහු අසුර විජය කළ වේලෙහි පැන නැගි හෙයින් ඒ පාය වෛජයන්ත ය යි නම් ලද. එහි බිම ඉන්‍ද්‍රනීලමාණික්‍යමය ය. ටැම් ඝන රන්මය ය. කොතුරුපේකඩ රිදීමය ය. ව්‍යාඝ්‍රපඞ්ක්ති ප්‍රවාලමය ය. ගොත්වත් ගොණැස් සත්රුවන්මය ය. පළසෙවෙනි රන්මය ය. එහි සියයක් පමණ මහල් ඇත. එකි එකී මහලෙහි සත් සියයක් සත්සියයක් බැගින් සැත්තෑදහසක් රුවන් ගබඩා ඇත. එකි එකී ගබඩාවෙහි සත් සත් දිව්‍යාඞ්ගනාවන් බැගින් සාරලක්‍ෂ අනූදහසක් ඕහට වල්ලභ වූ දෙවඟනෝ වෙසෙති. එකි එකී දිව්‍යාඞ්ගනාව මල් සුවඳ පළඳවා සරහන සසත් සත් පරිවාර ස්ත්‍රීන් බැගින් සූතිස්ලක්‍ෂ තිස්දහසක් පරිවාර දිව්‍යාඞ්ගනාවෝ වෙසෙති. මෙසේ ඒ එක වෛජයන්ත නම් මහ පායෙහි ම එකුන් සතළිස්ලක්‍ෂ විසි දහසක් පමණ ඕහට වල්ලභ වූ දේවතා දූ වෙසෙති.
මෙසේ වූ ප්‍රාසාදයක් හා ඓශ්චර්‍ය්‍යයක් ඒ සක්දෙව්රජ පෙර තමා මිනිස්ලොව වසන කල මගීන් සතප්නා අම්බලම් ශාලාවක් කරවාලු පිනින් ලද එසේ හෙයින් නුවණැත්තා වූ සත්පුරුෂයන් විසින් සිත පහදවා කළ මනා කුශලයකුත් නො මඳ වූ සැපතක් දෙන්නේ ය යි දතයුතු.
තව ද: ඒ පායෙහි නැගෙනහිරි භාගයෙහි ඇතුලුනුවර ඒක පුණ්ඩරීක නම් උයනෙකුදු වී ය. ඒ උයනමැද: කඳබොල පස් යොදුන්, කඳවට පසළොස් යොදුන්, කඳඋස පනස් යොදුන් පමණ ඇති, පනස් පනස් යොදුන් පමණ ශාඛා පසක් ඇති, සියක් යොදුන් පමණ උස ඇති, පාරිච්ඡත්තක නම් හෙළ කොබෝළීල ගසෙක් වි ය. ඒ ගස දක්‍ෂිණ ශාඛාග්‍රයෙහි පටන් උත්තර ශාඛාග්‍රයට සියක් යොදුන. පශ්චිම ශාඛාග්‍රයෙහි පටන් පූර්ව ශාඛාග්‍රයට සියක් යොදුන. ශාඛා මණ්ඩලයෙහි වට තුන්සියක් යොදුන. එහි මල් තුන්ගවු උස දේවතාවෝ සේසත් සේ ඉසට කොට ගන්‍ධමාදනාදියෙහි ක්‍රීඩාකොට ඇවිදුනාහු ය. මෙසේ ඒ මල්සුවඳ අවට සියක් යොදුන් පැතිරෙයි. සඳරස් කලබක් සේ ඒ ගසින් දිවු ප්‍රභාවෙන් පනස් යොදුන් තැන අලු කෙරෙයි.
මෙසේ වූ තමා සතප්නාසෙවනක් පෙර තමා මිනිස් ලොවදී මගීන් සැතපෙන්ට කොබෝළීල ගසක් රෝපණය කළා වූ පිනින් ලද.
තව ද: ඒ රුකමුල දිග සැටයොදුන්, පුළුල පනස් යොදුන්, උස පසළොස් යොදුන්, ඔහු උන් කල පුලුන්තිල්ලක් සේ නාභිය දක්වා ගැලීයන පැනනැගි කල භේරිතලයක් සේ තැනීයන ඔහු හුණු කැමැති කල හුණු පවත්නා වූ සිහිල් කැමැති කල සිහිල් පවත්නා වූ, බඳුවද මල්පෙත්තකට බඳු වූ පැහැ ඇති, ඉතා සුරක්ත වූ, පාණ්ඩුකම්බල නම් ශෛලාසනයකුදු ඇත. මේ සක් දෙවුරජහු පෙර තමා මිනිස්ලොව වසන කල යන එන මගීන් සැතපී හිඳිනා වූ ගල් පොත්තක් කළා වූ පිනින් ලද.
තව ද: ඒ විජයොත් නම් මහපායට උතුරු දිග සුධර්මා නම් දිව්‍යසභාවකු දු ඇත; එහි බිම ඉන්‍ද්‍රනීල මාණික්‍යමය ය. භිත්ති දෑවානමය ය. ටැම් ඝනරන්මය ය. කොතුරු පේකඩ දෑවානමය ය. ව්‍යාඝ්‍රවළලු ප්‍රවාමය ය. හොත්වත් ගොණැස් සත්රුවන්මය ය. බඩපළ ඉන්‍ද්‍රනීල මාණික්‍යමය ය. පිටපළ ඝනරන්මය ය. කොත් රිදීමය ය. ඒ සභාව අයමින් විතරින් තුන්සියයක් යොදුන. වට නවසියයක් යොදුන. උස් පන්සියයක් යොදුන. මුදුනෙහි නගන ලද සත්රුවන් ධජපෙළින් හොබනේ ය. එහි ධජකකුල්වල මැවී තිබෙන රන්රසු නාදයෙන් පඤ්චාඞ්ගික තූර්‍ය්‍ය සේ මධුරනාද පැවැත දෙවියන්ගේ සිත් උමතු කෙරෙයි. සදෙව් ලෙව ම ඒ සභාවට වඩනා දෙවියන් සිත් අලවන කෙනෙක් නැත. ඒ සභාව මිනිස් ලොව දී අනුන් කරවන අම්බලම් ගෙයකට රියනක් පමණ දඬුකඩක් ලාලූ සුධර්මා නම් ස්ත්‍රියගේ පිනින් උපන්නී ය.
ඒ සභාවෙහි දී ධර්මදේශනාත් වෙයි. අධිකරණ විනිශ්චය ද දෙවියන්ගේ ඒ සභාවෙහි දී ම වෙයි. දෙවියෝ සභාවට බණ අසන දා රැස්වෙති. පරසතු කෙළියට රැස්වෙති. අධිකරණයක් ඇති දා රැස්වෙති. බුද්ධෝත්පාද කාලයෙහි සඞ්ඝයා වහන්සේ වස් වසන්නා වූ ඇසළ මස මැදි පොහෝ දා රැස්වෙති. වස් පවුරුණු දා රැස් වෙති. හේ කෙසේ ද? යත්;
තවුතිසා වැසි දෙවියෝ අවුරුද්දක් මුළුල්ලෙහි “පරසතු ගස කවර දා මල් පිපේ දෝ හෝ”යි ගොස් බලන්නාහු එහි පත් පඬුවන් වූ කල “නො බෝ කලෙකින් පත් වැගිර මල් ගන්ති”යි සතුටුව සැණකෙළියක් කෙළිති. පත් වගුළ කළ “නොබෝ කලෙකින් ලිය අට ගන්නි”යි සතුටුව සැණකෙළියක් කෙළිති. ලිය අටගත් කල “මඳ දවසෙකින් පත් ගන්නි”යි සතුටුව සැණකෙළියක් කෙළිති. පත් දුටු කළ “මඳ දවසෙකින් මල් කැකුලු ගන්නි”යි සතුටු ව සැණකෙළියක් කෙළිති. මල් කැකුලු දුටු කල “මඳ දවසෙකින් මිණි දැදිරි ව මල් මෝරයි” කියා සතුටු ව සැණකෙළියක් කෙළිති. මිණි දැදිරි වූ කල “මඳ දවසෙකින් මල් පිපෙයි” කියා සතුටු ව සැණකෙළියක් කෙළිති. මල් පිපි කල “මල් පිපිනැ යි” කියා සතුටු ව සැණකෙළියක් කෙළිති.
එ ගස මල් යමකු විසින් නැගී කැටුව මැනැවැ යි නැත එක සුළඟෙක් එහි පිපි මල් නටුයෙන් ගළවා පිය යි. එක් පවනෙක් කැඩූ මල් රඳවා ආකාශයෙහි සිටී. එක් සුළඟෙක් ඒ මල් සුධර්මා නම් දිව්‍යසභාවට කඳුබැඳ ගෙන යෙයි. එක් සුළඟෙක් එහිපරමල් ඇමැඳ යෙයි. එක් සුළඟෙක් නවහම් මලස්නක් සේ හැම මල් අතුට යෙයි. මධ්‍යයෙහි සතර ගව්වක් උස මලින් ධර්මාසනයෙක් වෙයි. ඒ මුදුනෙහි තුන් යොදුන් උස සේසතෙක් තිබෙයි. ඒ ආසනය ගාවා ශක්‍රදේවේන්‍ද්‍රයාට තුන්ගව්වක් උස ආසනයෙක් මැවෙයි. ඕහට ඉක්බිති ව ප්‍රජාපති-වරුණ-ඊසාන ය යි යන ශක්‍රයා හා සම වූ ආනුභාව ඇති දිව්‍යපුත්‍රයන් තුන්දෙනාට දෙදෙගවු පමණ ආසන වෙයි. එයින් ඉක්බිති ව දෙතිස් මහා දිව්‍යපුත්‍රයන්ට ගවු ගවු පමණ ආසන දෙතිසක් වෙයි. ඉක්බිති ව සෙසු මහේශාක්‍ය දෙවියන්ට අඩ අඩ ගවු ආදීන් තරම් තරම් ලෙස ආසන වෙයි. සෙසු දෙවියන්ට මල්කෙමි ම ආසන වෙයි. එ කල දෙවියෝ හැම දෙන ම සභාවට රැස් ව ධර්මාසනය හැර සෙසු තමන් තමන්ගේ මල් ආසනවල ඉඳිති. ඒ මලෙහි රොන් සළා පන්සියක් යොදුන් නැගී කැණිමඬලෙහි ගැසී නැවත බැස දෙවියන්ගේ රන්කඳයෙන් තුන්ගවු පමණ ශරීර ලාක්‍ෂාරසයෙන් ඉස්නා සේ තවරා සිට ගත්ති. මේ පරසතු මල් ක්‍රීඩාව සාරමසෙකින් නිම යි. පරසතු මල් කෙළියට ඒ සභාවට දෙවියන් රැස්වීමෙහි විභාග මෙසේ දතයුතු.
බණ කියන දවස් සමහර දවසෙක සෘද්ධිමත් රහත් මහ තෙර කෙනකුන් වහන්සේ හෝ ඒ ධර්මාසනයෙහි වැඩහිඳ බණ වදාරණ සේක. සමහර කලෙක කාළදේවලාදීන් සේ සෘද්ධිමත් තාපස කෙනෙක් හෝ දිව්‍යපුත්‍ර කෙනෙක් හෝ බණ කියති. සමහර කලෙක මිනිස්ලොවින් ගොස් උපන් ධර්මකථික දිව්‍යපුත්‍ර කෙනෙක් හෝ විශාරද ව බණ කියති. සමහර කලෙක සක්දෙව් රජ තෙමේ ම හෝ බණ කියති. සමහර කලෙක සනත් කුමාර නම් බ්‍රහ්මරාජයාණෝ හෝ අවුදින් තමන්ගේ දොළොස් යොදුන් බ්‍රහ්මාත්මභාවය අන්තර්ධාන කොට පඤ්චශිඛ දිව්‍යපුත්‍රයාගේ වෙසින් ඒ ධර්මාසනයෙහි හිඳ බණ කියන්නාහු ය. ඒ පඤ්චශිඛයා ගේ වෙසින් බණ කියන්නට කාරණ කිම? යත්;
ඒ තෙමේ ගිය දවස මිනිස්ලොව පස්කුඩුම්බියක් ඇති ව එහි පස්කොණ්ඩයක් බැඳ බාලකල ගොපල්ලන්ට නායක ව කෙළ ඇවිදිනේ සෙසු කොල්ලන් එක්කොට ගෙන තුන් මං සතර මං සන්‍ධියෙහි මල්පැල් නඟා වළ ගොඩ තැන් තනා, හේ දඬු තනා, වැලි සෑ බැඳ නවහම් මල් තනා පුදා මෙසේ නොයෙක් පින්කම් කොට ප්‍රියබාල අවස්ථාවෙහි ම මිනිස්ලොවින් මිය අනූලක්‍ෂයකට හවුරුදු ආයු ඇති තරු පෙනෙන දිව්‍යලෝකයෙහි රන්කඳක් බඳු වූ තුන්ගව්වක් පමණ දිව්‍ය ශරීර ඇති ව සැටගැලක් පුරාලන ආභරණ පැළඳ යෙළ යාලක් සුවඳ විලෙවුන් ගෙන ගන්‍ධර්වයන් පිරිවරා උපන. ඒ තෙමේ තමා නළුවා හෙයින් විශේෂ වූ සැරහුම් දනිති. විශේෂ වූ භාව භාව දනිති. දෙවියන් ප්‍රියකරවන්නා වූ කතා දනිති. මිනිස්ලොව දී වූ වාසනාවෙන් පස්කොණ්ඩයක් බැඳ වෙන වෙන නොයෙක් පෑයෙන් සරහා පිළි කර හෙළා තුන්ගව්වක් දිග දිව්‍යමය වූ වීණාවක් ගෙන දිව්‍ය ගායනා කොට කොට දෙදෙව්ලොව ඇවිදිනේ ය. පෙර ප්‍රිය අවස්ථාවෙහි පින් කළ හෙයින් දැනුදු මෙ හැම දෙවියන්ට ම ඉතා ප්‍රිය ය. ඒ කාරණයෙන් බ්‍රහ්මරජ්ජුරුවෝ දෙවියන්ගේ චරිත දැන මේ පඤ්චශිඛ දිව්‍යපුත්‍රයාගේ වෙස් මවාගෙන ඒ ධර්මාසනයෙහි හිඳ බණ කියන්නාහු ය. ඒ සභාවෙහි දෙවියන්ගේ බණ ඇසීමෙහි විභාගය මෙසේ දතයුතු.
තව ද: මෙසේ සක්දෙව්රජහු ඒ සුධර්මා නම් දිව්‍යසභාවට වැද උන් වේලෙහි වරම් රජදරුවෝ තමන් තමන් දිශාවෙහි රැකවල් ගෙන සිටිනාහු ය. මෙසේ උන් කල අටවක් පෝයෙහි වරම් රජුන්ගේ ලියන්නෝ ද, තුදුස්වක් පෝයෙහි වරම් රජුන්ගේ දරුවෝ ද, පසළොස්වක් පෝයෙහි වරම් රජදරුවෝ තුමූ ම, මිනිස්ලොවට අවුදින් ඒ ඒ තැන් බලා “අද මෙතෙක් පුරුෂයෝ පේවූහ. අද මෙතෙක් ස්ත්‍රීහු පේ වූහ. මෙ තෙක් දෙන පන්සිල් එකිති. මෙතෙක් දෙන අටසිල් රකිති. මෙ තෙක් දෙන දසසිල් රකිති. මෙතෙක් දෙන සරණසිල් රකිති. මෙතෙක් දෙන පෙහෙවස් රකිති. මෙතෙක් දෙන මවුපියන්ට මෙහෙ කෙරෙති. මෙතෙක් දෙන කුලදෙටුවන් පුදති. මෙතෙක් දෙන මල් පහන් පුදති. මෙතෙක් දෙන බණ අසති. බණ අස්වති. මෙතෙක් දෙන දාගැබ් මහබෝ ප්‍රතිමාදියට පුදති. මෙතෙක් දෙන ත්‍රිවිධ වූ සුචරිතයන් පුරති. මෙතෙක් දෙන දසපින්කිරියවත් පුරති”යි යනාදීන් රන්පත්වල දෑහිඟුලෙන් ලියාගෙන ගොස් ලියන්නෝ වූ නම් ඔහුගේ දරුවන් අතට දෙති. දරුවෝ වෙසවුණු රජුන් අතට දෙති. වෙසවුණු රජ්ජුරුවෝ පඤ්චශිඛ දිව්‍යපුත්‍රයා අතට දෙති. පඤ්චශිඛ දිව්‍යපුත්‍රයා මාතලි දිව්‍යපුත්‍රයා අතට දෙයි. මාතලී සඞ්ගාහක සක් දෙව්රජ අතට දෙයි.
යම් කලෙක මිනිස්ලොව පින්කරන්නා වූ සත්ත්‍වයෝ මඳ වූ නම් ඒ පින්කිරියවත් ලියූ පොත කුඩා වෙයි. පින් කරන්නා වූ සත්ත්‍වයෝ බොහෝ වූ නම් ඒ පොත ලොකු වෙයි. පොත කුඩා වූ කල හැම දෙවියෝ ම පොත බලා “මිනිස්ලොව පින් කරන්නෝ මඳය. සතර අපාය පිරෙයි. අපගේ දෙව්ලෝ නො පිරෙ”යි කියා පශ්චාත්තාප වෙති. ඒ පොත මහත් වී නම් “මිනිස්ලොව සත්ත්‍වයෝ ඉතා අප්‍රමාද ව දවස් යවති. සතර අපාය අඩුවෙයි. අපගේ දෙව්ලෝ පිරෙයි. බුද්ධෝත්පාදයෙහි පින්කොට උපන්නාවූ මහේශාක්‍ය දෙවියන් බල බලා සැණකෙළි කෙළුම්හ”යි කිය කියා ඉතා සන්තුෂ්ට වෙති. එ වේලෙහි සක්දෙව්රජ ඒ පොත අතට ගෙන යොදනක් උස මලස්නකට පැනනැගිලා කියවයි. එ වේලෙහි ඔහු සෙමෙන් කියවන කල සොළොස් යොදනෙක සිට දෙවියන්ට ඇසෙයි. මහත් කොට කියන කල දසදහසක් යොදුන් ශක්‍රභවනයෙහි දෙවියන්ට ද ඇසෙයි. පෝ දවස් දිව්‍ය සභාවට දෙවියන් රැස්වීමෙහි විභාග මෙසේ දත යුතු.
තව ද: කප්රුක් නිසා, දිව්‍යාඞ්ගනාවන් නිසා, දෙවියන්ගේ විවාද බෙහෙව. ඒ විවාදයෙන් උපන් අධිකරණ සක්දෙව් රජහු කරා පැමිණෙයි. සක්දෙව් රජ මෙම සුධර්මා නම් දිව්‍යසභාවෙහි දී දෙදෙව්ලොව දෙවියන් මධ්‍යයෙහි ඒ අධිකරණ සන්හිඳුවා දෙයි. දේවතාවන්ගේ දරුවෝ ඕපපාතික ව උන් උන්ගේ ඇකයෙහි පෙනී යෙති. එ කල ඔවුන්ට අප දරුවෝ ය යි ප්‍රේම කෙරෙති. ස්ත්‍රී ඔවුන්ගේ දිව්‍ය යහන් මතුයෙහි මැවීයෙති. ඔහු භාර්‍ය්‍යා නම් වෙති. උන් උන් මල් පළඳවා ආභරණ පළඳවා සරහන්නා වූ දෙවියෝ යහන වටා පෙනී යෙති. පරිවාර දෙවියෝ ඇතුළු විමානයෙහි පෙනී යෙති. මෙසේ උපන්නා වූ අඹුදරු පරිවාර දෙවියන් නිසා කරන වාද නැත. යම් යම් කෙනෙක් දෙවියන්ගේ සීමාන්තරයෙහි ඉපැද ගියෝ නම් “මට හිමි ය. මට හිමියැ”යි යනාදීන් ඔවුනොවුන් හා යුද්ධ කෙරෙති. එ කල ඔහු සක් දෙව්රජහු කරා ගෙන ගොස් “මේ අපගේ විවාදය පසිඳ දෙව”යි කියති. එ කල ශක්‍රයෝ පරීක්‍ෂා කොට යමකුගේ සීමාවට භාර වී නම් ඕහට හිමියැ යි හරවා දෙති. ඉදින් සීමාව මධ්‍යයෙහි ඉපැද යමකුගේ විමානයට මුහුණ ලා සිටියෝතින් ඔහු හිමියැ යි පාවා දෙති. ඉදින් කාගේ විමානයකුත් නො බලා සිටියෝතින් වාද පසිඳිනා නිසා “මා සතු යැ”යි ශක්‍රයා තමාට හැරගන්නි, හේ මෙසේ යි.
අප බුදුන් සමයෙහි කිඹුල්වත රෝහිණී නම් රාජකන්‍යාවක් ඝනරන් දහසක් අගනා භෝජන ශාලාවක් කරවා, බුදුන් ආදි වූ මහ සඟනට දන් දි, එ තැන් පටන් රජදූමි යි නො සිතා තමා ස්වහස්තයෙන් ඒ ශාලාව පිරිබඩ ගන්නී ස්වහස්තයෙන් පැන් පෙරා හිඳිනා අසුන් පනවා තමා සියඅතින් භික්‍ෂූන් වළඳවා පින් කොට තමන් ආයු කෙළවර මිය ශක්‍රපුරයෙහි දෙවියන් සතරදෙනෙකුගේ සීමාන්තරයෙහි දෙව්ලොව බබුළුවා තුන්ගවු පමණ දිව්‍ය ශරීරයෙකින් දොළොස් යොදුන් දිවසළුවක් හැඳ දොළොස් යොදුන් සළුවක් එකාංශ කොට ලා සියළඟින් නිකුත් රසින් දෙව්ලොව බබුළුවා පෙනී ගියා ය.
එ කල ඒ දෙවියෝ සතරදෙන “මට හිමි ය, මට හිමි යැ”යි දිව්‍යාඞ්ගනාව කෙරේ කළ ලෝභයෙන් ඔවුනොවුන් හා යුද්ධකොට ඈ කැඳවාගෙන සක්දෙව්රජහු කරා ඒ සුධර්මා නම් දිව්‍යසභාවට ගොස් “අපගේ මේ අධිකරණ ය පසිඳදෙව”යි කීහ. එ කල සක් දෙව්රජ බුද්ධෝත්පාද කාලයෙහි පින්කළ බෙලෙන් රූපශ්‍රීන් දිලියෙන්නා වූ ඒ රෝහිණී නම් දිව්‍යාඞ්ගනාව දැක තමාගේ අඩුතුන් කෙළක් පමණ දෙවඟනන් ඇතත් ඈ කෙරෙහි අධික වූ ලෝභ කොට “මෑ මට ම ඇරගනිමි”යි සිතාලා දිව්‍යපුත්‍රයන් සතරදෙනා ළඟට කැඳවා “මෑ දුටු වේලෙහි පටන් තොප තොපට කුමක් සිතේ දැ”යි විචාළේ ය. එකෙක් කියනුයේ “මෑ දුටු වේලෙහි පටන් ආකාශ ගඞ්ගාවක් නො පැකිළ දිවන්නා සේ මාගේ ප්‍රේම නමැති ගඞ්ගාව මෑගේ රූප නමැති නියග්ගලෙහි ධාරා නිපාත වෙමින් සිටියේ ම යැ”යි කීය. එකෙක් කියනුයේ “මෑ දුටු වේලෙහි පටන් මෑ නො ලැබෙම් දෝ හෝ යි යන ශෝකයෙන් මාගේ ලය පට පටයා ගැසෙන පරිදි සටන් බෙරක් ගසන්නා වැන්නැ”යි කී ය. එකෙක් කියනුයේ “මෑ දුටු වේලෙහි පටන් මෑගේ කේශාන්තය පටන් පාදාන්තය දක්වා මෑගේ රූපශ්‍රීය බලා මාගේ ඇස් හයා ගතත් නොහෙමි. ඇසිපිය සොල්වා ගතත් නොහෙමි. එසේ හෙයින් ඇස්දෙක කකුළුවකුගේ ඇස් සේ මෑ කරා ම නෙරී ගියේයැ”යි කීය. එකෙක් කියනුයේ “මෑ දුටු වේලෙහි පටන් මෑ නො ලැබෙම් දෝ හෝයි යන ශෝකයෙන් මාගේ ලය පට පටගා ගැසෙන පරිදිත් මාගේ සිත සෝ දුකින් වැනි වැනී තිබෙන පරිදිත් දාගබ් කැරැල්ලක් අග බැඳි පතාකයක් හැම වේලෙහි ම සුළං පහරින් පට පටගා ගැසි ගැසී ඔබ මොබ වැනි වැනී සැලෙන්නා වැන්නැ”යි කී ය.
ඉක්බිත්තෙන් සක්දෙව්රජ ඔවුන් සතරදෙනා කී මේ උපමා කථා අසා කියනුයේ “පින්වත්නි! මෑ නො ලදූ නම් තෙපි සතර දෙන මිය යා ද, නො මියා දැ”යි විචාළේ ය. ඔහු සතර දෙන ම නො මියම්හ යි කීහ. සක්දෙව්රජ කියනුයේ “පින්වත්නි! මේ දේවතා දුව දැන් ඉදින් මම නොලදිම් නම් මට මාගේ ශක්‍රසම්පත්තියෙනුත් කම් නැත. වෛජයන්ත නම් ප්‍රාසාදයෙනුත් කම් නැත. පාණ්ඩුකම්බලශෛලාසනාදියෙනුත් කම් නැත. දෙකෙළපනස් ලක්‍ෂයක් පමණ ඇති මාගේ දිව්‍යාඞ්ගනාවන්ගෙනුත් කම් නැත. දැන් ම මියන්නෙම් වේ දැ”යි කී ය.
එ බසට දේවතාවෝ සතරදෙනම ඔවුනොවුන් මුහුණ බලා සිනාසී “අපි ත් තොපගේ මය. මේ දෙව්ලොවත් තොපගේ ම ය. එහි උපන් කෙනකුත් තොපගේ ම ය. එක දෙව්දුවක් නිසා තොප වැනි දිව්‍යරාජයකු මළෝතින් අපට ම අලාභ ය. සියලු දෙවියන්ගේ කාර්‍ය්‍යාකාර්‍ය්‍යෙයහි අප්‍රමාද ව තොප වැනි දිව්‍ය රාජයක්හු ලැබගත නො හැක්කේ ම ය. ස්වාමීනි! නො කියව, තොප හිමි සැපත තෙපි ම ගනුව, අප සතරදෙනාගෙන් ම තොපට සරණ දෙම්හ”යි ඕහට ම පාවාදී ගියහ. ඒ තැන් පටන් සක්දෙව්රජ ඒ රෝහිණී නම් දිව්‍යාඞ්ගනාව අගමෙහෙසුන් කොට ප්‍රියවාසයෙන් විසී ය. ඒ දිව්‍යසභාවෙහි දී කරණ අධිකරණ කථාවෙහි විභාග මේ ආදීන් දතයුතු.
වස් වසන පවරණ දා දෙවියෝ ඒ දිව්‍යසභාවට රැස් ව “අද කොයි ගොසින් බණ බණ අසමෝදැ”යි ඔවුනොවුන් හා කථා කෙරෙති, එයින් සක්දෙව්රජ බොහෝ සේ ම පුවඟු දිවයිනේ හෝ ලක්දිව් හෝ අවුදින් පවරා පුදා මහබෝ වැඳ යෙයි. සෙසු දෙවියෝ පරසතුමල් දිවගන්‍ධාදීන් ගෙන තමන් තමන් අභිප්‍රාය තැනට ගොස් පවරා වැඳපුදා යෙති. අබුද්ධෝත්පාදයෙහි එම සභාවෙහි දී ම පවරති. වස් වසන පවරණ දා ඒ සභාවට දෙවියන් රැස්වීමෙහි විභාග මේ ආදීන් දතයුතු.
තව ද: ඒ සක්දෙව්රජහු සියලු දෙවියන් රැස්කරන වේලෙහි තමාගේ එක්සිය විසි රියන් දිග විජයත් නම් සක තුඩ තබා එක් යලක් පිඹි කල ඒ නාදය දස දහසක් යොදුන් ශක්‍රභවනයෙහි පැතිර සාරමස් දෙපෝයක් සිඳෙයි. මෙසේ විසිතුරු වූ තවුතිසා දිව්‍යලෝකයෙහි රජ කරණ ඒ සක්දෙව්රජ උද්‍යානාදි ක්‍රීඩාවට විජයත් නම් තමාගේ මහපායෙන් සෙලවී ගිය වේලෙහි දෙදෙව් ලොව දෙවියෝ සක්වළගල් පර්‍ය්‍යන්ත ව හැම දෙන හැළල යති.
එ කල ධ්‍රැතරාෂ්ට්‍ර නම් වරම්රජ තමාගේ මහ සෙනඟ ගෙන ශ්වේතවස්ත්‍රාභරණ පැළඳ දෑවානමය කඩුපළඟ ගෙන කෙළලක්‍ෂයක් හැළි අසුන් නැංගා වූ කෙළ ලක්‍ෂයක් පමණ තමාගේ ගන්‍ධර්ව භටයන් පිරිවරා තෙමේ ද ශ්වේත වස්ත්‍රාභරණයෙන් සැරසී දෑවානමය වූ කඩුව හා පලගයක් ගෙන ශ්වේත අශ්වරාජයකු පැන නැගී කෙළලක්‍ෂයක් පමණ රිදී වැට පහනින් දිලිහි දිලිහී පූර්ව සක්වළ මුවවිටියෙහි පිටත බලා සක්දෙව් රජහට අරක් ගෙන සිටගන්ති.
තව ද: විරූළ්හක නම් වරම් රජතුමාගේ මහසෙනග ගෙන නීලවස්ත්‍රාභරණ පැළඳ ඉන්‍ද්‍රනීලමය වූ කඬුපළඟ ගෙන කෙළ ලක්‍ෂයක් නිල අශ්වයන්ට පැන නැඟී කෙළ ලක්‍ෂයක් කුම්භාණ්ඩ භටයන් පිරිවරා තෙමේ ද ඉන්‍ද්‍රනීල වස්ත්‍රාභරණයෙන් සැරසී ඉන්‍ද්‍රනීලමය වූ කඩුවක් හා පලඟයක් ගෙන නීලවර්ණ දිව්‍ය අශ්වරාජයකු පැන නැඟී කෙළලක්‍ෂයක් මිණිදඬුවැට පහනින් දිලිහි දිලිහී දකුණු සක්වළ මුවවිටියෙහි සක්දෙව් රජහට අරක් ගෙන පිටත බලා සිටගන්ති.
තව ද: විරූපාක්‍ෂ නම් වරම් රජ තමාගේ මහසෙනඟ ගෙන ප්‍රවාලමය වූ වස්ත්‍රාභරණ පැළඳ ප්‍රවාලමය වූ කඩුපළඟ ගෙන කෙළලක්‍ෂයක් පමණ සුරක්ත වු අශ්වරාජයන්ට පැන නැඟී, කෙළ ලක්‍ෂයක් නාගභටයන් පිරිවරා තෙමේ ද ප්‍රවාලමය වූ දිව්‍යවස්ත්‍රාභරණයෙන් සැරසී ප්‍රවාලමය වූ කඩුවක් හා පලඟයක් ගෙන ප්‍රවාලපත්‍රයක් වැනි වූ දිව්‍ය අශ්වරාජයක්හු පැන නැඟ, කෙළලක්‍ෂයක් පමණ පබළු වැටපහනින් දිලිහි දිලිහී පැළගක්වළ මුවවිටියෙහි සක්දෙව් රජහට ම අරක් ගෙන සිටගන්ති.
තව ද: වෙසවුණු මහරජ ද තමාගේ මහසෙනග ගෙන රන්වන් වස්ත්‍රාභරණයෙන් සැරහී, රන්වන් කඩුපලගගෙන කෙළ ලක්‍ෂයක් පමණ රන්වන් වූ අශ්වරාජයන්ට පැන නැඟි, කෙළලක්‍ෂයක් පමණ යක්‍ෂ සේනාව පිරිවරා තෙමේ ද කනකමය වස්ත්‍රාභරණයෙන් සැරහී, කනකමය වූ කඩුවක් හා පලඟක් ගෙන කනක වර්ණ දිව්‍ය අශ්වරාජයක්හු පැන නැගි, කෙළලක්‍ෂයක් පමණ රන් වැටපහනින් දිලිහි දිලිහා උතුරු සක්වළ මුවවිටියෙහි පිටත බලා සක්දෙව් රජහට ම අරක් ගෙන සිට ගන්ති.
තව ද: සුධර්ම නම් ගාන්‍ධර්ව දිව්‍යපුත්‍රයෙක් තුන්ගවු දිග සර්වාභරණ නන්‍දන නම් මහ බෙරයක් කර ලාගෙන, අටසැට දහසක් භෙරීන් සමග ලක්‍ෂගණන් නළුවන් පිරිවරා පැදුම් සක්වළ මුදුනෙහි පනස් යොදුන් තෙන රඟ මඬුලු බැඳ සිටගන්ති. තව ද: තිම්බරු නම් ගාන්‍ධර්ව දිව්‍යපුත්‍රයෙක් තුන් ගව්වක් පමණ දිග පමුඛ නම් මහබෙරක් ගෙන, අටසැටදහසක් භෙරීන් හා සමග ලක්‍ෂගණන් නළුවන් පිරිවරා පනස් යොදුන් තැන රඟමඬුලු බැඳ දකුණුසක්වළ මුවවිටියෙහි සිට ගන්ති. තව ද: දික්පමුඛ නම් ගන්‍ධර්ව දිව්‍යපුත්‍රයෙක් තුන්ගවු දිග මහාභාණ්ඩ නම් මහ බෙරයක් කර ලා අටසැට දහසක් දිව්‍යභෙරීන් හා ලක්‍ෂගණන් නළුවන් පිරිවරා පනස්යොදුන් තැන මහ රඟමඬුලු බැඳ බස්නාහිර සක්වළ මුවවිටියෙහි සිට ගන්ති. තව ද: පඤ්චශිඛ නම් දිව්‍යපුත්‍රයෙක් තුන්ගව්වක් පමණ සුස්වර නම් මහ බෙරයක් කර ලා, අටසැට දහසක් භෙරීන් හා ලක්‍ෂගණන් නළුවන් පිරිවරා, පනස් යොදුන් තැන මහ රඟමඬුලු බැඳ උතුරු සක්වළ මුවවිටියෙහි සිට ගන්ති.[1]
තව ද: අලම්බුසාදි වූ නාටක ස්ත්‍රීන් අතුරෙන් ගර්‍ගරා නම් දිව්‍යඞ්ගනාවක් තමාගේ පිරිවර ගෙන අවුදින් තුන්ගවු දිග මහවෙණ නම් වීණාවක් අතින් ගෙන එකවිටක් ගායි; එකෙණෙහි අටසැටදහසක් වීණා නාද පැතිර දෙව්ලෝ පුරා සිට ගන්ති. තවද: සුධර්මා නම් දිව්‍යාඞ්ගනාවක් සපිරිවරන් අවුත් සිට තුන් ගව්වක් දිග සුන්‍දර රාව නම් වස්දණ්ඩක් පිඹලයි. කෙණෙහි අටසැට දහසක් වස්කුලල් තෙමේ ම රැවු දෙයි. තව ද: ආහත්‍යසරියා නම් දිව්‍යාඞ්ගනාවක් සපිරිවරින් අවුත් සිට තුන්ගව්වක් දිග නලබු නම් වීණාවක් ගාලයි. එ කෙණෙහි අටසැට දහසක් වීණා කඳ තෙමේ ම ගායනා කෙරෙයි. තව ද: මණිමේඛලා නම් දිව්‍යාඞ්ගනාවක් සපිරිවරින් අවුත් සිට විජයතුරා නම් සකක් පිඹියි. එ කෙණෙහි ද අටසැට දහසක් වියජතුරා නම් සක් තෙමේ ම තමාට නාද කෙරෙයි. තව ද: මනොහරා නම් දිව්‍යාඞ්ගනාවක් තුන්ගව්වක් සා පෘථුබිම්බ නම් මිහිඟු බෙරයක් ගසයි. එ කෙණෙහි ද අටසැටදහසක් මිහිඟුබෙර තෙමේ ම නාද කෙරෙයි. රැවු දෙයි. තව ද: අතිවෘත්තිකා නම් දිව්‍යාඞ්ගනාවක් සපිරිවරින් අවුත් සිට තුන්ගව්වක් සා ආනන්‍ද ජනක නම් මිහිඟු බෙරයක් ගසයි. එ කෙණෙහි ද අටසැටදහසක් ආනන්‍ද භෙරි තෙමේ ම නාද පවත්වයි. තව ද: මත්තකී නම් දෙව් දුවක් සපිරිවරින් අවුත් සිට තුන්ගව්වක් පමණ එකච්ඡිද්‍ර නම් ගායනාවක් කෙරෙයි. එ කෙණෙහි අටසැටදහසක් එකච්ඡිද්‍ර තෙමේ ම නාද කෙරෙයි. තව ද: නන්‍දා නම් දිව්‍යාඞ්ගනාවක් කෞණ්ඩස්වර නම් තුන්ගව්වක් දිග මහා වීණාවක් ගායනා කෙරෙයි. එ කෙණෙහි අටසැටදහසක් කෞණ්ඩස්වර තෙමේ ම නාද කෙරෙයි. තව ද: යාමා නම් දිව්‍ය ස්ත්‍රියක් තුන්ගව්වක් සා චිත්‍රපුෂ්කර නම් පටහ භෙරියක් ගසයි. එ කෙණෙහි පිරිවර අටසැට දහසක් පටහ බෙර තෙමේ ම රැවු දෙයි. තව ද: ඝොරස්වර නම් දිව්‍යාඞ්ගනාවක් තුන් ගව්වක් දිග මන්‍දස්වර නම් මිණිපර්වයක් වය යි. එකෙණෙහි පිරිවර අටසැට දහසක් මිණිපර්ව තෙමේ ම රැවු දෙයි. තව ද: සර්වාඞ්ගශෝභනා නම් දිව්‍යාඞ්ගනාවක් තුන්ගව්වක් දහ මහාඝෝෂා නම් බෙරක් ගසයි. එ කෙණෙහි අටසැට දහසක් පිරිවර මහාඝෝෂා නම් බෙර එකවිටම නාද කෙරෙයි. මෙසේ ම නොයෙක් දහස් ගණන් දිව්‍යාඞ්ගනාවෝ ආතත ය - විතත ය - ආතත විතත ය- ඝන ය - සුසිර ය යන නොයෙක් නාමයෙන් විසිතුරු වූ වාදයෙන් වාද්‍ය කරන්නාහු ය.
මෙසේ නොයෙක් දිව්‍ය නළුවන් පිරිවරා ඒ සක්දෙව් රජ උයන් කෙළියට යනුයේ ඇතැම් කලෙක විස්වකර්මයා මැවු නාරි වාහන නම් සත්රුවන්මය වූ විසිතුරු මණ්ඩපයෙකින් යෙයි. ඇතැම් කලෙක දහස් ගණන් දිව්‍ය වූ ශ්වේත සෛන්‍ධවයන් යෙදූ පඤ්චවර්ණ වූ ධ්වජමාලාවෙන් හොබනා වූ සත්රුවන්මය වූ යෙළ සියයක් යොදුන් විජයත් නම් දිව්‍යරථයෙන් යෙයි. සමහර කලෙක ඓරාවණ නම් හස්තිරාජයා පිටට පැන නැති මහත් වූ ඓශ්චර්‍ය්‍යෙයන් යෙයි. එ් කෙසේ වූ ඇතෙක් ද යත්,
දෙව්ලොව තිරිසනුන් නැති හෙයින් එක් දිව්‍යපුත්‍රයෙක් ඓරාවණ නම් ඇත්වෙසයක් මවාගන්නි ඔහුගේ දිග යෙළ සියයක් යොදුන, උස අනූ යොදන. බොල පනස් යොදුන, කුඹු තෙනිසක් ඇත. එකෙකි කුඹෙහි පනස් යොදුන් පමණ දිග ඇති සත්දළ ය. එකි එකී දළෙහි සත් සත් පොකුණු ය. එකි එකී පොකුණෙහි සත් සත් පියුම් ගස ය. එකෙකි ගසෙහි සත් සත් පියුම් වෙයි. එකෙකි පියුමත් සත් සත් පෙති වෙයි. එකෙකි පෙත්තෙහි තුන්ගවු උස දිව්‍යාඞ්ගනාවෝ සත් සත්දෙන නටන්නා හු ය. එකෙකි දිව්‍යාඞ්ගනාව පිරිවරා සත් සත් දිව්‍යාඞ්ගනාවෝ සිටිනාහු ය. මෙසේ එක එක හස්තිරාජයාගේ ම කුඹු තෙතිසක, දළදෙසිය එක්තිසෙක, පොකුණු එක්දහස් සසිය දසසතෙක, පියුම් ගස් එකොළොස්දහස් තුන්සිය දසනවයෙක. පියුම් සැත්තෑනවදහස් දෙසිය තෙතිසෙක. පෙති පස් ලක්‍ෂ සිවුපනස් දහස් සසිය එක් තිසෙක. නාටකස්ත්‍රීන් අටතිස් ලක්‍ෂ දෙයාසූදහස් සාරසිය දසසත්දෙනෙක. පරිවාර ස්ත්‍රීන් දෙකෙළ එක්සැත්තෑ ලක්‍ෂ සැත්තෑදහස් නවසිය දසනවදෙනෙක. මෙසේ අලඞ්කෘත වූ ඒ හස්තිරාජයා පිට සක්දෙව් රජහට දිග පනස් යොදුන්, උස පසළොස් යොදුන්, සත්රුවන් මණ්ඩපයක් හෝ මැවී යෙයි. නොහොත් මධ්‍යයෙහි සුදර්ශන නම් මහකුඹ පිට දොළොස් යොදුන් රුවන් මඩුවෙක් හෝ මැවී යයි.
ඒ මඩුවෙහි සුවාසූදහසක් පමණ සත්රුවන් පා පෙළ වෙයි. එකෙකි පා පෙළ වැළඳ සිටිනා වූ සත් සත් රන්ලිය වෙයි. එකෙකි ලීයෙහි සත් සත් මල්කැන් වෙයි. ඒ අතරතුරෙහි සත්රුවන්මය වූ ධ්වජපෙළ වෙයි. තැන තැන එලෙන මිණිකිකිනි දැල් වෙයි. ඒ දැල් මන්‍දමාරුතයෙන් පහළ කළ පඤ්චාඞ්ගික තූර්‍ය්‍යනාදයේ මධුර නාද ඇසෙයි. ඒ මඩුව වටාමණිමය වූ පදනම් වෙයි. ඒ පදනමින් පිටත අටවිසි යක්‍ෂසේනාධිපතිවරු ආයුධ ගෙන සිටිති. ඒ පදනමින් ඇතුළ සක්දෙව් රජහට වල්ලභ වූ මහේසාක්‍ය දිව්‍යරාජයෝ සිටිති. තෙතිස්කුඹෙහි මැවු තෙතිස් රුවන් මඩුවල තෙතිස් දිව්‍යපුත්‍රයෝ සහපිරිවරින් සිටිති. ඒ රුවන් මඩුවල මැද යොදනක් උස් මිණි පළඟ මතුවෙයි තුන්යොදුන් උස සේසත් යට සක්දෙව් රජ සැට ගැළක් පුරාලන ආභරණ හා යෙලයාලක් සුවඳ විලවුන් ගල්වා, ගවුඋස මිණිඔටුනු පැළඳ මහත් වූ දිව්‍යරාජශ්‍රීන් සෝභමාන ව හිඳ ගන්ති.
එ වේලෙහි සුධර්මානම් අගමෙහෙසුන් දිව්‍යාඞ්ගනා දිව්‍යපළඳනාවෙන් සැරහී ලක්‍ෂගණන් දිව්‍යාඞ්ගනාවන් පිරිවරා සක්දෙව් රජමට අභිමුඛ ව හිඳ ගන්ති. සුජාතා නම් වල්ලභ ස්ත්‍රී දිව්‍යාභරණයෙන් සැරහී ලක්‍ෂගණන් දිව්‍යස්ත්‍රීන් පිරිවරා දකුණුපස හිඳගන්ති. නන්‍දා නම් දිව්‍යාඞ්ගනා ද සර්වාභරණයෙන් සැරහී ලක්‍ෂ ගණන් දිව්‍ය ස්ත්‍රීන් පිරිවරා වම්පස හිඳගන්ති. චිත්‍රා නම් දිව්‍යාඞ්ගනා සර්වාභරණයෙන් සැරහී ලක්‍ෂගණන් දිව්‍යස්ත්‍රීන් පිරිවරා පිටිපසුයෙහි හිඳගන්ති. මෙසේ අගබිසෝවරුන් සතර දෙනා සැරහී ගෙන පළමු ව උන් කල්හි තව ද: සක්දෙව්රජහට වල්ලභ වූ තෙයානූදහසක් දිව්‍යාඞ්ගනාවෝ සැරහී රුවන් ඝටාදී පානීය භාජනයන් ගෙන හාත්පසින් හිඳිනාහු ය. ඔවුන් පිරිවරා නොයෙක් ලක්‍ෂගණන් දිව්‍යාඞ්ගනාවෝ පුන්කලස් ගෙන සිටිනා හු ය. මෙසේ අඩුතුන් කෙළක් දෙවඟනන් හා අටවිසි යක්‍ෂ සේනාධිපතීන් ආදී වූ දෙදෙව් ලොව දෙවියන් පිරිවරා සූවිසි කෙළක් දිව්‍යනාටකයන්ගේ විසිතුරු වූ දිව්‍යගායනා විඳ විඳ ඔහු නන්‍දෙනාද්‍යානාදියට නික්මුණු වේලෙහි මල්වැසි ද වස්නේ ය.
මෙසේ ඒ ශක්‍රයාගේ සම්පත් එක මුඛයෙකින් තබා දහසක් මුඛයෙකිනුත් කියා නිමවාගත නො හැක්කේ ම ය. මෙසේ වූ ඓශ්චර්‍ය්‍ය සම්පත් කෙසේ වූ පින් කොට ලදුයේ දැයි යතහොත්;
මේ තමා මිනිස්ලොව වසන කල මවුපියන්ට කීකරු ව, අත්පා මෙහෙ කෙළේ ය. කුල වැඩිමහල්ලන් දැක ආදර කෙළේ ය. සියලු සතුන්ට මට සිලුටු වූ ප්‍රියතෙපුල් කී ය. කේළමා නො කී ය. අලොභී වි ය. බඹසර වස් රක්‍ෂා කෙළේ ය. එක දවසෙකත් අනුන්ට නො කිපියේ ය. මේ සප්ත ප්‍රකාර වූ ගුණධර්මයන් හේතුකොට ගෙන මේ සා ශක්‍රසම්පත් ලැබුයේ යි දතයුතු. වදාළේ මැනෝ:-
මාතාපෙත්ති භරං ජන්තුං - කුලෙ ජෙට්ඨාපචායිනං,
සණ්හං සඛිල සම්භාසං - පෙසුණෙය්‍යප්පහායිනං.
.
මච්ඡෙරවිනයෙ යුත්තං - සච්චං කොධාභිභුං නරං,
තං වෙ දෙවා තාවතිංසා - ආහු සප්පුරිසො ඉති යි.
තව ද: මේ සක්දෙව්රජහු ම අප බුදුන් වැදහෙව තුන්කෙළ සැට ලක්‍ෂයක් ආයු ලැබ අසූදහසක් දෙවියන් සමග සෝවාන් වූ පරිදි කෙසේ ද? යත්;
එක් සමයෙක මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මගධරට රජගහා නුවරට පැදුම් දෙසෙහි මහ අඹවනයක් සමීපයෙහි ඇති වූ හෙයින් අඹසැසි නම් වූ බමුණු ගමට උතුරුදිග සිසාරා නිල්වනයෙකින් පරික්‍ෂිප්ත වූ හෙයින් වේදිය නම් වූ පර්වත මුදුනෙහි දොර සිටි ඉඳුසල් ගසක් ඇති හෙයින් ඉන්‍ද්‍රශාල ගුහාය යි ප්‍රසිද්ධ වූ, පවුරු පදනම් දොරටුයෙන් යෙදුනා වූ ගල්ගුහායෙක වැඩවසන සේක. එ කල ශක්‍රයාට බුදුන් දක්නා රිසි වි ය. තෙමේ ඇම විට ම බුදුන් දැක දැක ම සිටිනා කැමැත්තේ ය. දෙවියන්ගේ කාර්‍ය්‍ය බොහෝ සෙයින් තමා ඉතා අප්‍රමාද ව ඔබත් ව්‍යාපෘත වෙයි. බුදුන් කරාත් ඒ ම ය. එ දවස් වනාහි තමාගේ ආයුක්‍ෂ්‍ය වූ ම හෙයින් මරණ භයින් වෙවුලා බුදුන් දක්නා කැමැති විය. කෙසේ ද? යත්;
ඔහු මනුෂ්‍යගණනායෙන් තුන්කෙළ සැටලක්‍ෂයක් හවුරුදු ශක්‍රසම්පත් විඳ, ආයු ගෙවුනු කල පඤ්චපූර්වනිමිත්ත දැක, තමාගේ ආයු පිරිහී ගිය බව දැන, බුදුන් දක්නා කැමැති විය. එහි මඳ මඳ පිනක් කොට උපන් දෙවියන්ට මරණ කාරනා පෙනුණු කල “අප කළ පින් ගෙවින. මෙයින් ගොස් කොයි උපදුමෝදෝ හෝ යි මහත් වූ භය ඇති වෙයි. බොහෝ පින් කොට උපන් දෙවියෝ මරණ කාරණ දුටුකල “මතුමත්තෙහි දෙව්ලොවට නැඟෙම්හ”යි සතුටු වෙති.
සක්දෙව් රජහට පූර්වනිමිත්ත පෙනුණු වේලෙහි මේ දසදහසක් යොදුන් ශක්‍රපුරය ද, දහසක් යොදුන් විජයත් නම් මහපාය ද, පන්සියක් යොදුන් සුධර්මා නම් දිව්‍යසභාව ද, සියක් යොදුන් පරසතු මදාරාගස ද, සැටයොදුන් පාණ්ඩුකම්බල ශෛලාසනය ද, අඩුතුන්කෙළක් දිව්‍යාඞ්ගනාවෝ ද, දෙදෙව්ලොව දිව්‍යසේනාව ද, දහසක් යොදුන් නන්‍දෙනාද්‍යානය ද, යනාදි තමාගේ ශක්‍රසම්පත් බලා “මේ සා සැපතෙකින් පිරිහෙමි”යි භයින් වෙවුලා ගිය.
ඉක්බිත්තෙන් “කවර මහණෙක් බමුණෙක් දෙවියෙක් බඹෙක් මේ ශෝක නමැති ශල්‍යය මාගේ ලෙන් හයා හැර මාගේ මේ දිව්‍යසම්පත්තිය ස්ථාවර කොට ලන තරුණ පුරුෂයෙක් ඇද්දෝ හෝ නැද්දෝ හෝ”යි බලා කිසි සත්ත්‍වයකු නො දැක, නැවත පරීක්‍ෂා කොට, කරුණා නිධාන වූ පරදුඃඛ දුඃඛිත වූ සද්ධර්ම චූඩාමණි වූ මාගේ බුදුන් සිහිකොට “මා සේ වූ එක සත්ත්‍වයකු තබා සියක් දහසක්-ලක්‍ෂයක් සත්ත්‍වයන්ගේ ශොකශල්‍යය බුදුහු හරණා සේකැ”යි සිතූ වේලෙහි නැවත ඔහුගේ මරණභය සන්හිඳී එවිට ම ගොසින් බුදුන් දකිනට උත්සාහ වැඩින.
එ කල ශක්‍රයා අප බුදුහු කෙසේ වූ තැනක දනව්වෙක, කෙසේ වූ සත්ත්‍වයකුගෙන් දන් වළඳා, කෙසේ වූ සත්ත්‍වකෙනකුන්ට දහම් අමා දෙන සෙස්ක් දෝ හෝ යි පරීක්‍ෂා කොට බලනුයේ යට කී ඉන්‍ද්‍රශාල නම් ගුහායෙහි වැඩවසන සේ දැක, බුදුන් දක්නා මා හා සමග එව” යි තවුතිසා භවනයෙහි දෙවියන් කැඳවී ය.
එකලාව නො ගොසින් කුමක් නිසා ඇමදෙවියන් කැඳවී ද? යත්; පෙර එක් දවසක් මෙම සක්දෙව්රජ බුදුන් ජේතවනාරාමයෙහි සල්ලාගාර නම් ගඳකිළියෙහි වැඩවසන කල එකලා ව බුදුන් දැක බණ අසන්ට ගිය. බුදුහු ඔහුගේ අධිගම ලබන නුවණ තව ලා සේ දැක, “මතු ඉන්‍ද්‍රශාල ගුහාවෙහි දී අසූදහසක් දෙවියන් සමග මාර්ගඵල දෙමි”යි සිතාලා ඕහට එදා අවකාශ නුදුන් සේක. ඒ කාරණයෙන් “එකලා ව ගියෙම් නම් අදත් අවකාශ නො ලදිම් නම් නො යෙදෙයි. බොහෝ දෙවියන් හා සමග ගිය කල කිසිකෙනකුන් උදෙසා බණ වදාරණ සේකැ”යි සිතා තමා නුවණැ‘ති හෙයින් තවුතිසා වැසි දෙවියන් ඇමදෙනා ම කැඳවී ය යි දතයුතු.
ඉක්බිත්තෙන් දිව්‍යසේනාව එ බස් අසා “මහරජ! තට වැඩෙක් වේව යි, බොහෝ දවසක් ජීවත් වේව යි, උයන්කෙලි හිමවුකෙළි ගංගාකෙළියට යම්හ යි නොකියා අප බුදුන් කරා යම්හ යි සිතු සේ මැනැවැ”යි සතුටු ව සක්දෙව්රජහුගේ එ තෙපුල් මුදුනෙන් පිළිගෙන හැම දෙවියෝ නික්මුණහ. එ කල සක්දෙව්රජ දිග් කළ අතක් වක් නො කරන ඇසිල්ලෙහි දෙව්ලොවින් පහ ව ඒ වෙදිය නම් පර්වතයට බැස පෙර එක දෙවියකු බඹකු එ තෙනට බට කල මහත් වූ ආලෝක වෙයි. එදා දෙදෙව්ලොව දෙවියන් හැමදෙනාගේ ශරීර ප්‍රභායෙන් ඒ පර්වතය හිරුදහස් සඳදහස් නැංගා සේ විය.
එ වෙලාව නම් සවස මනුෂ්‍යයන් කන බොන බාලදරුවන් දොර හිඳ කෙළිනා වේලාව ය. ඒ කාරණයෙන් ඒ දනව්වෙහි සියලු මනුෂ්‍යයෝ දිලියෙන පර්වතය දැක “අප බුදුන් කරා මෙතෙක් කල් දෙවියෝ මධ්‍යම රාත්‍රියෙහි එති. අද පෙරයම් වේලෙහි ම ආවාහු ය. කිමෙක් දෝ මහේශාක්‍ය දිව්‍යරාජයෙක් හෝ බුදුන් කරා පැන විචාරන්ට ආ වන. අප බුදුහු කෙසේ නම් පැන වදාරණ සේක් දෝ හෝ, එසේ වූ දෙවියන්ගේ පවා සැකහරණ බුදුහු දැන් අපට නුදුරු තෙන වසන සේක. එසේ වූ ස්වාමිදරුවන්ට බත් සරළුවක්, කැඳ සරළුවක් දුන්නා වූ සත්‍වයන්ට වඩා මේ ලෝකයෙහි පිනැත්තෝ නැතැ”යි සිත සිතා, කිය කියා, සියලඟ ලෝමහර්ෂ ගන්ව ගන්වා දොහොත් මුදුන් බැඳගෙන සාධුකාර පූජා දහස්ගණන් කොට කොට බල බලා සිටිනාහු ය.
එ කල සක්දෙව්රජ පඤ්චසිඛ නම් දිව්‍යපුත්‍රයා කැඳවා “පඤ්චශිඛ ය! මම සරාගී යෙමි. බුදුහු අරාගී සේක. එසේ හෙයින් බුදුන්ගේ අදහස් කාටත් නො දැනෙයි. තෝ පළමුකොට පලාගොස් බුදුන් සතුටු කරවා මා ආ බව කියා අවසර ඉල්වා දීලව. එකල මම ගොස් දැක වඳිමි”යි කීහ. කාරණ කිම? යත්; මේ පඤ්චශිඛ දිව්‍ය පුත්‍රයා නම් බුදුන් කෙරෙහි වල්ලභ ය. සිතු සිතු විට ගොස් බුදුන් හා සමඟ කථා කෙරෙයි. භය නැති ව ගොස් අවසර ඉල්වා දෙන දෙවියෙක් සදෙව්ලොව ම මෝහට වඩා නැත. එසේ හෙයින් ඔහු ම යැවීය.
ඉක්බිත්තෙන් ශක්‍රයා කී බස් ගිවිස ඒ පඤ්චසිඛ දිව්‍යපුත්‍ර තෙම තමාගේ බෙලුව පණ්ඩු නම් වීණාව ගෙන බුදුන් කරා නික්මින. ඒ කෙසේ වූ වීණාවෙක් ද? යත්; ඒ වීණාවෙහි පොකුර ඝනරන්මය ය. කඳ ඉඳුනිල්මිණිමය ය. තත් රිදීමය ය. වෙඨන ය ප්‍රවාලමය ය. වීණාපත්‍ර ය ගව්වක් දිග ය. තත් ගව්වක් දිග ය. කඳ ගව්වක් දිග ය. මෙසේ තුන්ගව් පමණ දිග ඒ වීණාව ඇරගෙන මුසතින් මුසන් කොට සදා, නිය අගින් පැහැර, මධුර වූ ගීතස්වරයක් හැරලා, ඒ වීණාකඳ අල්ලෙහි තබාගෙන, බුදුන් වැඩහුන් ඒ ඉන්‍ද්‍රශාලා නම් ගුහාවට වැද, නුහුරු නො ලං ව බුදුන් අභිමුඛයෙහි සිටගෙන වීණා කඳ වමතින් ගෙන, දකුණතින් වීණාපත හා සමග බුදුන්ට නමස්කාර දක්වා ලා, බුදුන්ගේ ශ්‍රී මුඛය බල බලා, බුදුන්ට ස්තුති කොට කොට, ධර්මයට ස්තුති කොට කොට, රහතන්ගේ ගුණ කිය කියා, කාමගුණ උදෙසා පෙර තමා බැඳගෙන ගායනා කළ ගාථාවන් කිය කියා, ගායනා කරන්නට පටන් ගත. හේ මෙසේ යි.
වන්‍දෙ තෙ පිතරං භද්දෙ - තිම්බරුං සුරියවච්චසෙ,
යෙන ජාතාසි කල්‍යාණි - ආනන්‍දජනනී මම යි
යනාදී ගාථාවන් කිය කියා වීණාව ද ගායනා කෙරෙයි. එහි අර්ථ කිම? යත්; එම්බා සුරියවච්චසා නම් ඉතා මනෝහර වූ හස්ත පාදයන් ඇත්තේ ය. සිතු සිතු විට මාගේ සොම්නස් වඩන්නී ය. පාදාන්තයෙහි පටන් කේශාන්තය දක්වා හිරිරස්කලබක් සේ සිය ළඟින් නික්මෙන්නා වූ ප්‍රභා ඇති හෙයින් සුරියවච්චසා යි නම් ලද එසේ සුන්‍දර වූ රුසිරින් දිලියෙන්නා වූ සුරියවච්චසා නම් දිව්‍යාඞ්ගනාව! තීගේ පියාණන් තිම්බරූ නම් ගන්‍ධර්ව දිව්‍යරාජයන් තී මට දෙතෝතින් බැසහෙව වඳිමි. ශෝකීන්හට මන්‍දමාරුතයක් සේ පිපාසිතයන් හට අහස් ගංඟාවක් සේ, බඩදලයක්හට අමා පාත්‍රයක් සේ, රෝගීයක්හට දිව බෙහෙතක් සේ, රහතන්ට සද්ධර්මයක් සේ, ගින්නට ඇල්දිය කඳක් සේ, තී නිසා උපන් මාගේ කාමපරිඩාහය ද නිවා හැරපීය. තව ද යම් සේ මිරිඟු සොයා ඇවිදුනා අඥාන වූ ඇත්පොව්වෙක් පස්පියුම් විලකට බැස, සිත් සේ පැන් බී සොඬ අග විවරක් තිබිය දී සර්වාඞ්ගයෙන් දියෙහි ගැලී ඒ සිහිල්දියෙහි සුව විඳී ද, ඒ හස්තිරාජයා සේ ම මම ද තී තන බඩතුර නමැති සරසියට බැස කවර නම් දවසෙක සිත් සේ සුව විඳිම් ද, තව ද මදයෙන් මත් වූ ඇත් පොව්වෙක් තෝමරාඞ්කුශයෙන් උදවන ලදුයේ කාරණ කාරණ නො දනී ද, ඔහු සෙයින් ම මම ද කාමෝන්මාද වූ ස්වභාව ඇතියෙම්, විරාගයට සුදුසු වූ කිසි කාරණයක් නො දතිමි. සොඳුර තී කෙරෙහි ලෝභසිතින් කිසිවක්බිලියක්හුගේ බස් මා කණ නො හේ ම ය. මා තී කෙරෙහි බද්ධ කාම චේතනාව බිලියක් ගිලූ මසකු සේ ගළවා ගන්ට නො පොහොසතිමි. යම් සේ රහතන්ට ස්වල්ප වූ දානයක් දුන්නා වූ සත්ත්‍වයන්ට නොඑක් දිව්‍යසම්පත් දෙන්නේ ද, එහෙයින් ම තේ ද අග් බඹරු ව මතු බලා තිබෙන්නා වූ සිනිඳු වූ කේශකලාපයන් ඇත්තෙහි ය. තුන්හවුරුදු මුවපොල්ලකු බඳු වූ දිගු පුළුල් ඇස් ඇතියෙහි ය. මට පළමු ව උපන්නා වූ එක්සිත. දැන් තී පිණිස නො එක් සිත් වි ය. රහතන් දැක මා කළා වූ නො යෙක් පින් කමෙක් ඇත්තේ වී නම් එයිත් මට තී හා සමග ම විපාක දේව යි. පෙර මා මිනිස්ලොව දී මිනිසුන්ට දුන් දනෙක් ඇත් නම් තී හා සමගම විපාක දේව යි යම් සේ ක්‍ෂත්‍රිය වංශයෙහි උපන්නා වූ අප බුදුහු පළමු නිවන් සොයා ඇවිදි සේක් ද එ සෙයින් ම මම ද දැන් තී සොයා ඇවිදිමි.
-
සාධු ↑