දිව්‍ය නාගාදීන් කළ ගංගාරෝහණ පූජාව

star_outline

මෙසේ මහත් වූ පූජා විඳ විඳ බුදුන් ගංතොටට වැඩි කල බිම්සර රජ්ජුරුවෝ බුදුන් වැඳ වැඳ බලා සිටියාහු “මම ද ලිච්ඡවි රජුන් කළ පූජාවට දියුණුකොට පූජා කෙරෙමි”යි බුදුන් සිරසට සේසත් සොළොසක් හා පන්සියක් රහතන්ට අට අට සේසත් බැගින් සාරදහසක් සේසත් හා සමග මහත් වූ පූජා කොට කොට, යොදනෙන් යොදනෙහි සතප සතපා මහදන් දිදී රජගහ නුවර වේළුවනාරාමයට බුදුන් වඩාගෙනාහ. මෙසේ ස්වාමිදරුවන් පූජාවෙන් ඒ ගඳකිළියට වැඩ ශයනප්‍රාප්ත වූ කල, එම දා සවස් වේලෙහි භික්‍ෂුගණයා ධර්මසභාමණ්ඩපයෙහි රැස් ව බුදුන්ගේ ගුණ කථනය කරන්නාහු “ඇවැත්නි! බුද්ධානුභාවයක් බලව. බුදුන්ගේ පුණ්‍යප්‍රභාවයක් බලව, බුදුන්ගේ යශෝරාශියක් බලව, බුදුන්ගේ මහිමයක් බලව” යනාදීන් බුදුන් ලද ගඞ්ගාරෝහණ පූජාවට ස්තුති කොට කොට වැඩහුන් සේක.

එ කල ස්වාමිදරුවෝ දෙවි බඹුන්ගේ කීරුළුකුළු මිණිරසින් දිලියෙන විශාල වූ ශාලපංක්තීන් හා, භිත්තිස්තම්භසොපාන මාලාවෙන් අලඞ්කෘත වූ, ප්‍රාසාද පංක්තීන් හා, චන්‍ද්‍රකාන්ති සෙයින් පරිශුද්ධ වූ වාලුකාතලයෙන් හා, විසිතුරු වූ, ලතා මණ්ඩපයෙන් හා, පස්පියුමෙන් සැදි පොකුණු පඞ්ක්තීන් හා, විරාජමාන වූ ස්වර්ණ සුරභි සුගන්‍ධ පුෂ්පෝපහාර සමලඞ්කෘත වූ භූමිභාග ඇති සුගන්‍ධ ගන්‍ධ කුටියෙහි වැඩහිඳ, මහාකරුණා සමාපත්ති - ඵල සමාපත්ති ආදි වූ අනේකප්‍රකාර සමාපත්ති සමවදනා සේක් අත්‍යන්ත පරිශුද්ධ වූ තමන් වහන්සේගේ දිව්‍යශොත්‍රැ ධාතුයෙන් ධම් සභාමණ්ඩපයෙහි උපන්නා වූ ඒ කථා ස්වරූපය අසා වදාරා. මේ භික්‍ෂූහු දම් සභාවට රැස් ව හිඳ මාගේ ආනුභාව හා පින්බල කියති. මා විසින් පූර්ව ජන්මයෙහි කළා වූ කුශල මූලය භස්මයෙන් පටිච්ඡන්න වූ ජාත වේදයක් සේ භවයෙන් පටිච්ඡන්න හෙයින් මට මුත් ඔවුන්ට අප්‍රකාශ ය. මා දම්සභා මණ්ඩලයට ගියකල මේ කතා ස්වරූපය මට කියති. මම ඒ අර්ථෝත්පත්ති කොට ගෙන මා පූර්වජාතියෙහි කළා වූ කුශලමූලය ඔවුන්ට ප්‍රකාශ කෙරෙමි යි සිතා වදාරා.

නානා මනිප්‍රභාවිසර විෂ්ඵුරිත විස්තීර්ණ වර රුචිර සුගන්‍ධ ගන්‍ධ කුටිවාසය මහා කරුණා ඥානයෙන් දුරුකොට බුද්ධාසනයෙන් ශුද්ධාසනයෙන් පැන නැඟී ලාක්‍ෂාරසයෙන් තෙත් වූ අභිනව ප්‍රබුද්ධ රක්තකෝවිළාර කුසුමවර්ණ සුරක්ත වූ දෙපට සිවුර රන් මෙරක් සන්‍ධ්‍යා වලාපටලයෙකින් වසන්නා සේ සිසාරා රන්කතුරෙකින් රත්පියුම්පෙති කලබක් කපන්නා සේ ත්‍රිමණ්ඩල ප්‍රතිච්ඡාදන වසයෙන් සංවිධාන කොට හැඳ, රත් වලාගබෙකින් නිකුත විදුලියක් රැළි දෙන්නා සේ, රත්පියුම්පෙති කලබක් රන් පමුදකින් පරික්‍ෂිප්ත කරන්නා සේ, සශ්‍රීක වූ පටිධාතුව බැඳ, රත්පළස්කඩකින් රන්ගලක් වසන්නා සේ, චිත්‍රකූට පර්වතය බඳුවදමල් රැසෙකින් වසන්නා සේ, මහ පොළෝ සක්වළගල් මෙරගල් යුගන්‍ධරාදි පර්වතයන් එක පැහැර කම්පා කෙරෙමින්, අසාධාරණ ප්‍රාතිහාර්‍ය්‍යයෙන් උපන්නා වූ නිග්‍රොධ ඵල සමාන වර්ණවර රුචිර පංශුකූල චීවරය ධරා, නීල, පීත, ලෝහිත, ඕදාත, මාඤ්ජිෂ්ඨ, ප්‍රභාස්වර යයි යන සවනක් රැසින් දිලියෙමින් ඝන බුද්ධරශ්මිමාලාවන් යන්ත්‍ර නලින් මඩනා වූ ස්වර්ණරසධාරා සේ, දොරකවුළු[1] අසු අස්සෙන් බල බලා දශදිගන්තරයෙහි බ්‍යාමප්‍රභා ව්‍යාප්තකෙරෙමින්, අපිරිමිත වූ පුණ්‍යප්‍රභාවයෙන් විවෘත ද්වාර ඇති ගන්‍ධකුටිද්වාරයෙන් මේඝමුඛයෙකින් නිකුත් පූර්ණ චන්ද්‍රයාගේ ලීලා පරදවමින්, රන්ගල් ගුහායෙකින් නිකුත් අභීත කේශරසිංහ රාජයක්හුගේ වික්‍රම අවික්‍රම කෙරෙමින්, නීල වලාභ්‍යන්තරයෙන් නික්මුනා වූ සියරැළි විදුලිය කලබක්හුගේ ලීලාවට නින්දා කියවමින්, පද්මගර්භයෙක්හි වාසය කොට අභිමතස්ථාන ගත ස්වර්ණභෘඞ්ගරාජයක්හු සේ මෙසේ ඒ ගන්‍ධකුටියෙන් නික්ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ශ්‍රි ශෝභාවන් කරණකොට ගෙන සන්‍ධ්‍යාප්‍රභානුරඤ්ජිත ඉන්‍ද්‍රචාප විද්‍යුල්ලත, පරික්‍ෂිප්ත කනක ගිරිශිඛරයක් සේ දිලිසෙමින්, අචින්ත්‍ය වූ, අනූපම වූ, අසදෘශ වූ, අනන්‍ය සාධාරණ වූ, බුද්ධලීලාවෙන් සම්ප්‍රාප්ත වූ, පර්ෂදට අනුරූප වූ, තුන් ප්‍රකාරයෙන් එක්තරා එක් ප්‍රාතිහාර්‍ය්‍යයෙකින් දම්සභාවට වඩිත්.

කෙසේ ද? බුදුහු සමහර දවසෙක පර්ෂද්ගේ අදහස් බලා ගන්‍ධ කුටියෙහි දී පොළෝ කිමිද වැඩ බුද්ධාසනය මැදින් යුගඳුරු මුදුනට පැන නැගී ලහිරු මඬලක් සේ පෙනි පෙනී වැඩ හිඳිනා සේක. සමහර දවසෙක ගඳකිළියෙහි කැණිමඬල දෙබෑ කොට ගෙන ආකාශයෙන් වැඩ ධර්මශාලාවෙහි කැණිමඬල පලාගෙන බැස, හස්තගිරි පර්වතයට ගොසින් බට පුන්සඳක් සේ ධර්මාසනයේ පෙනී යන සේක. සමහර දවසෙක නැගු නැගු පත්ලෙහි පියුම් දක්ව දක්වා මහත් වූ ප්‍රාතිහාර්‍ය්‍යෙයන් දම්සභාවට වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩසිටිනා සේක.

කෙසේ වූ දම්සභා මණ්ඩලයෙක් ද? යත්; නෛක බ්‍රහ්මසුරා සුරෝරඟ දේව දානවාදි දිව්‍යසමූහයන්ගේ ශරීරප්‍රභායෙන් හා, අපරිමිත රාජර්ධි සම්පන්න රාජාධිරාජ ප්‍රශස්ත උත්තමරාජයන්ගේ කිරුළුකුළුමිණිරසින් හා, රන්රිදී මිණි තරුපෙළින් විසිතුරු වූ විතානපඞ්ක්තීන් හා, නානා ස්ථානයෙහි එල්වන ලද චම්පක පාරිජාත මන්‍දාර කෙතකාදි කුසුම් දාමයෙන් හා, ගන්‍ධ මාලා ධූප දීපාදි නානා ප්‍රකාර පූජාවස්තු විශේෂයෙන් හා, සුවඳ තෙලින් දිලිසෙන රන්වැට ප්‍රදීප සහස්‍රයෙන් හා, ඒකාලෝක වූ, ඒකොද්භූත වූ ඒකාලඞ්කාර වූ, ඒකප්‍රසන්න වූ, රාජභවන ශ්‍රි මඬනා වූ, දිව්‍යභවන ශ්‍රී කැඳවන්නා වූ බ්‍රහ්මා‘වර යන රසායන වූ, මෙසේ වූ, අලඞ්කෘත ධර්මසභාමණ්ඩලයට සුවිනීත වූ ඇත්මුළක් ළඟට වදනා ගන්‍ධ හස්ති රාජියක්හු සේ, සිංහසමූහයක් මැදට වදනා අභීත කේශර සිංහරාජයකු සේ, වැඩ අලඞ්කෘත වූ රත්න මණ්ඩප මධ්‍යයෙහි පනවන ලද බුද්ධාසනයට පැනනැගී, සුපුෂ්පිත වූ ශාලද්‍රමරාජයක්හු සේ දිලිහි දිලිහී වැඩහිඳ.

තමන් වහන්සේ වීතරාගී වූ සේක්, වීතද්වේෂී වූ සේක්, වීතමෝහී වූ සේක්, තෘෂ්ණා රහිත වූ සේක්, නික්ලෙශ වූ සේක්, ස්වයං බුද්ධ වූ සේක්, ශාන්ත වූ සේක්, දාන්ත වූ සේක්, සුවිනීත වූ සේක් සුප්‍රාව්‍රත වූ සේක්, ශාන්ත වූ ඉන්‍ද්‍රියයන් ඇති සේක්, ශාන්ත වූ සිත් ඇති සේක්, ශාන්ත වූ කාය ඇති සේක්, අල්පේච්ඡ වූ සේක්, සන්තුෂ්ට වූ සේක්, ප්‍රචිවික්ත වූ සේක්, අසංසෘෂ්ට වූ සේක්, චෝදක වූ සේක්, පාපගර්හිත වූ සේක්, ආරබ්ධ වූ වීර්‍ය්‍ය ඇතිසේක්, වචනක්‍ෂම වූ සේක්, ශීලසම්පන්න වූ සේක්, සමාධිසම්පන්න වූ සේක්, ප්‍රඥාසම්පන්න වූ සේක්, විමුක්තිසම්පන්න වූ සේක්, විමුක්තිඥානදර්ශනසම්පන්න වූ සේක්, වන්තදෝෂ ඇති වූ සේක්, භින්නපටධර වූ සේක්, භින්න ක්ලේශ වූ සේක්, ඡින්නබන්‍ධන වූ සේක්, විජටිත ජටා ඇති සේක්, තමන් වහන්සේ සේම වීතරාගී වූ, වීතද්වේෂී වූ, වීතමෝහී වූ, තෘෂ්ණා රහිත වූ, නික්ලේශී වූ, අනුබුද්ධ වූ, ශාන්ත වූ, දාන්ත වූ, සුවිනීත වූ, සුප්‍රාව්‍රත වූ, ශාන්ත වූ ඉන්‍ද්‍රියයන් ඇති, ශාන්ත වූ සිත් ඇති, ශාන්ත වූ කාය ඇති, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, ප්‍රවිවික්ත වූ, අසංසෘෂ්ට වූ, චෝදක වූ, පාපගර්හිත වූ, ආරබ්ධ වීර්‍ය්‍ය වූ, වචනක්‍ෂම වූ, ශීලසම්පන්න වූ, සමාධිසම්පන්න වූ, ප්‍රඥා සම්පන්න වූ, විමුක්ති සම්පන්න වූ, විමුක්තිඥානදර්ශන සම්පන්න වූ, වන්තද්වේෂී වූ, භින්නපටධර වූ, භින්න ක්ලේශ වූ, විජටීත ජටා ඇති වූ, ඡින්නබන්‍ධන වූ, සංඝසමූහයා මධ්‍යයෙහි.

වෘෂභගණයා පිරිවැරූ වෘෂභරාජයා සේ, සිංහගණයා පිරිවැරූ සිංහරාජයා සේ, ගරුඩගණයා පිරිවැරූ ගරුඬරාජයා සේ, සියරස් පිරිවැරූ දිවසකර රාජයා සේ, පහන් දහස් පිරිවැරූ පහන් රුකක් සේ, රත්පියුම් සාගරමධ්‍යයෙක්හි ශෝභමාන වූ කනක නෞකාවක් සේ, ප්‍රවාලවේදිකා මැද දිලියෙන කනක ප්‍රාසාදයක් සේ, පත්‍රපරිවෘත වූ කේශර පුඤ්ජයක් සේ, කේශර පිරිවැරූ කර්ණිකා රාජයක් සේ, අටදහසක් ඇතුන් පිරිවැරූ ඡද්දන්ත නම් හස්තිරාජයා සේ, අනූදහසක් හංසයන් පිරිවැරූ ධ්‍රැතරාෂ්ට්‍ර නම් හංස රාජයා සේ, දිව්‍යගණයා පිරිවැරූ සුජම්පති නම් සක්දෙව් රජු සේ, බ්‍රහ්මගණයා පිරිවැරූ හාරිත නම් බ්‍රහ්මරාජයා සේ, අශ්වගණයා පිරිවැරූ වලාහක නම් අශ්වරාජයා සේ, මහපිරිස් පිරිවැරූ චක්‍රවර්ති රාජයා සේ, සඳ වලා පිරිවැරූ දිලියෙන නකත් තරුවක් සේ, තරුගණයා පිරිවැරූ ශරච්චන්‍ද්‍රරාජයා සේ, මණිගණයා පිරිවැරූ සිතුමිණි රුවනක් සේ, කුලපව්වන් පිරිවැරූ කනක මේරුරාජයා සේ, ඉතා මහත් වූ බුද්ධානුභාවයෙන්, බුද්ධශ්‍රීන්, බුද්ධතේජසින්, බුද්ධ වික්‍රමයෙන්, බුද්ධඥානයෙන්, දිලිහි දිලිහී.

ව්‍යාමප්‍රභාමණ්ඩලයෙන් පරික්‍ෂිප්ත වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන් කරණකොටගෙන පිළිවෙලින් ගොතා තුබූ චන්‍ද්‍රයන් දෙතිස් දෙනකුගේ, සූර්‍ය්‍යයන් දෙතිස් දෙනකුගේ, චක්‍රවර්ති රජුන් දෙතිස් දෙනකුගේ, ශක්‍රයන් දෙතිස් දෙනකුගේ, බ්‍රහ්මෙන්‍ද්‍රයන් දෙතිස් දෙනකුගේ, ශ්‍රී විභූතියට නින්‍දා කරවමින් යුගදුරු මුදුනෙහි දිලියෙන බාලාර්‍කමණ්ඩලය සේ, පර්වත මුදුනෙක්හි දිලියෙන ඝනරන්කඳක් සේ කාලාන්‍ධකාරයෙක දිලියෙන දෑරගමිණි පර්වතයක් සේ, ෂඩ්වර්ණ වූ ඝනබුද්ධරශ්මිමාලාවෙන් සියලු ධර්මසභා මණ්ඩලය එකපැහැර බබුළුවමින් යථෝක්ත වූ බුද්ධාසනයෙහි වැඩහිඳ.

රන්මාලිගාවෙක්හි මැවීගිය ඉඳුනිල්මිණි කවුළු සඟළක් හරණ සේ, තමන් වහන්සේගේ පස්වනක් පෑයෙන් දිලියෙන දිගු පුළුල් ඇස් සඟළ උන්මීලනය කොට, පඤ්චවර්ණ ප්‍රභා ධර භෘඞ්ගරාජ යුගලයක් රත්පියුම් වනයෙක්හි ඇවිදුවන්නා සේ, වාත රහිත ස්ථානයෙක නිශ්චල ව පිපී වැනී ගියා වූ රත්පියුම් වනයක් සේ, මේඝවර්ණ වූ පාංශුකූල චීවර දරා, ක්‍ෂාන්ත්‍යාදි ප්‍රතිපත්තීන් නිශ්චල ව වැඩහුන්නා සේ සඞ්ඝසමූහයා බලා වදාරා “මේ මාගේ භික්‍ෂු පර්ෂද ඉතා හොබනේ ය. එක ද භික්‍ෂුවක්හුගේ කැස පියන කිබිස පියන හඬෙක් වත්, හස්තචලන, පාදචලන, ආශ්වාස ප්‍රශ්වාසාදි කිසි ම අරගලයෙක් වත් නැත. සර්වාභරණයෙන් සැරහී දෙවඟනන් බඳු වරඟනන් පිරිවරා මා කරා අවුත් සිටිනා ක්‍ෂත්‍රිය පර්ෂදක් හෝ, චක්‍රවර්ති පර්ෂදක් හෝ, කාමාවචර දිව්‍යපර්ෂදක් හෝ, රූපාවචර බ්‍රහ්ම පර්ෂදක් හෝ, ඉදින් මේ ස්ථානයෙහි ඇත ත් ඔවුන් සානුරාග වසයෙන් කර ඔසවා බලන එක ද භික්‍ෂුකෙනෙක් නැත. යම් සේ අභ්‍ර ය, මහීක ය, ධූම ය, රජස් ය, රාහු ය යි යන පඤ්චොපක්ලේශයෙන් දුරු වූ සම්පූර්ණ චන්‍ද්‍රයා බලන්නවුන් සේ මාගේ මුඛ මණ්ඩලය බල බලා හිඳිති. මේ මාගේ භික්‍ෂූහු බුද්ධ ගාරවයෙන් සගාර ව වූවාහු, බුද්ධතේජසින් තැති ගත්තාහු, මම මාගේ ආයුෂ් කල්පය මුළුල්ලෙහි ත් ප්‍රථමාරම්භ වූ කිසි කථාවක් නො කොට නිශ්ශබ්ද ව හුන්නෙමි වීම් නම් මට පළමු කොට මුඛ සොලවා කථාවක් උපදවන්නා වූ එක ද භික්‍ෂුවක් මේ පර්ෂදෙහි නැත. මම් ම පළමුකොට කථාවක් උපදවමි”යි සිතා වදාරා.

සඳවලාගබෙකින් ද්විතීය චන්‍ද්‍රිකාව දැක්වූවා සේ තමන් වහන්සේගේ ඉතා සුරක්ත වූ අධරෝෂ්ඨයන් දෙදෙනා අතුරෙන් දන්තශ්‍රී දක්ව දක්වා තමන් වහන්සේගේ වාග් සුචරිතානුභාවයෙන් ජනිත වූ, දිව්‍යගන්‍ධයෙන් සුගන්‍ධ වූ, නානා ගන්‍ධයෙන් සම්පූර්ණ වූ, රුවන් කරඬුවක් හරණා සේ, මුඛ නමැති පියුම් කරඬුව හැර පාරමිතා නමැති ජලයෙන් පිරුණා වූ, බුද්ධඥාන නමැති සූර්‍ය්‍ය රශ්මීන් බුද්ධ වූ, මොළොක් තුනු පළල් ජිහ්වාධාතු නමැති කෙමි ඇති, සමශුද්ධ වූ අවිවරචත්තාළීස දන්තධාතු පඞ්ක්ති නමැති කේශර පඞ්ක්ති ඇති, සුරක්ත වූ, අධරෝෂ්ඨ පල්ලව යුග්ම නමැති පියුම් පත් ඇති, සද්ධර්ම නමැති මධුබින්දු වහනය කරන්නා වූ සශ්‍රීක වූ මුඛ නමැති පද්මයෙන් සුවඳගඳ විහිදුවා බැණනැගි බසින් සියලු දම්සභා මණ්ඩලය එක පැහැර සුවඳ පිඬක් සේ කෙරෙමින්, මධු මද මුදිත ලලිත රතිකර මනෝහර කුරවීකනාද නිර්විශේෂ අෂ්ටාඞ්ගසමුපෙත නානා නය නිපුණ අනෙකාධ්‍යාශයා‘නුකූල අර්ථ ව්‍යඤ්ජනසම්පන්න විවිධ ප්‍රාතිහාර්‍ය්‍ය ධර්මාවදේශනා ප්‍රතිවේධ ගම්භීර වූ, සර්වසත්ත්ව ස්වකීය භාෂානුරූප ලක්‍ෂණීය ස්වභාව සානුරාග ශ්‍රවණීය මධුර වූ වචනයෙන් “මහණෙනි! මා එන්නාට පූර්වභාගයෙහි මෙ තෙන කෙබඳු වූ කථාස්වරූපයෙකින් යෙදි උන්නාහු දැ”යි විචාරා වදාළ සේක.

එ කල්හි භික්‍ෂූන් වහන්සේ ප්‍රේමණීය වූ, කර්ණ රසායන වූ, හෘදයට අමෘතාභිෂේකයක් වැනි වූ, ඒ මනෝහර නාදය අසා “ස්වාමීනි! නුඹවහන්සේ ‘මහණෙනි! මේ මේ කථාවෙහි නො යෙදෙව”යි අප මහණ වූ දා ම අප උගන්වා වදාළා වූ රාජකථා ය, චෝරකථා ය, මහාමාත්‍ය කතා ය, සේනා කථා ය, භයකථා ය, යුද්ධ කථා ය, හානි කථා ය, අන්නකතා ය, පානකථා ය, යානකථා ය, සයන කථා ය, මාල කථා ය, ගන්‍ධ කථා ය, තුරීය කථා ය, ගාම කථා ය, නිගමකථා ය, නගර කථා ය, ජනපද කථා ය, ඉත්‍ථිකථා ය, ධුත්ත කථා ය, සූර කථා ය, විසිඛා කථා ය, කුම්භට්ඨාන කථා ය, පුබ්බපෙත කථා ය, නානාවස්තු කථා ය, ලොකක්ඛායික කථා ය, සමුද්දක්ඛායික කථා ය, ශාශ්වතදෘෂ්ටි කථා ය, උච්ඡේද දෘෂ්ටිකථා ය, වෘද්ධි කථා ය, කාමසුඛ කතා ය, අත්තකිලමථානුයේග කථා ය යන මේ දෙතිස් කථාවෙන් කථාවක් නො කළම්හ. මහණෙනි, මේ මේ කථාවෙහි යෙදෙව යි නුඹවහන්සේ උගන්වා වදාළා වූ දාන කථා ය, ශීලකථා ය, නෛෂ්ක්‍රම්‍ය කථා ය, ප්‍රඥා කථා ය, වීර්‍ය්‍ය කථා ය, ක්‍ෂාන්ති කථා ය, සත්‍ය කථා ය, අධිෂ්ඨාන කථා ය, මෛත්‍රී කථා ය, උපේක්‍ෂා කතා ය යි යන මේ දශවිධ වූ කථාවන් අතුරෙන් දානකථාවෙහි අන්තර්ගත වූ කථාවෙක ම යෙදී උනුම්හ. ඉනුත් නුඹවහන්සේ මේ විශාලා මහනුවරට වැඩ ලද්දා වූ මහත් පූජා විශේෂයක් නුඹවහන්සේගේ ඉතා මහත් වූ බුද්ධානුභාවයක් ම කිය කියා උනුම්හ” යි කී සේක.

එ කල ස්වාමිදරුවෝ “මහණෙනි! මේ සා පූජාවක් මාගේ බුද්ධානුභාවයෙකින් ලදහ යි නො සිතව. මේ ලෝකයෙහි සියලු කුශලා‘කුශල ධර්මයෝ ම තරාදිය සේ ඉතා සූක්‍ෂම වූ වාසි ඇතියාහ. එසේ හෙයින් ලොවුතුරා බුදුවුවත් පුරාකෘත වූ කුශල ධර්මය ම ප්‍රත්‍යය වන්නේ ම ය”යි වදාරා තුෂ්ණීම්භූත ව වැඩඋන් සේක.

එ වේලෙහි එක් භික්‍ෂුකෙනකුන් වහන්සේ හුනස්නෙන් පැනනැඟී සකසා වැඳ පෙරව කායබන්‍ධනධාරී ව නැමි නැමී ගොස් බුදුන් වැඳ සිංහරාජයකු දුටු ඇත්පැටවකු සේ බුද්ධතේජසින් භය ගෙන බද්ධාඤ්ජලි ව සිට “ස්වාමීනි! ශාක්‍යසිංහ වූ බුදුරජාණෙනි! තුන් ලොවට ඇසක් වැනි වූ ස්වාමිදරුවාණෙනි! නුඹවහන්සේ දැන් ලද්දා වූ මේ පූජාව අප හැමට ප්‍රත්‍යක්‍ෂ ම ය. පෙර නුඹවහන්සේ මෙසේ වූ පූජාවිශේෂයක් ලබන්නට කළා වූ කුශල මහිමය කෙසේ ද? ඒ අසනු කැමැත්තම්හ”යි ආරාධනා කළ සේක.

  1. ශුද්ධශයනයෙන්,