පූර්‍වකුශලය දේශනා කිරීම

star_outline

එ වේලෙහි ස්වාමිදරුවෝ පයියකින් වසා තුබූ රන් කැටපතක් හයා පානා සේ, භවයෙන් වැසී තුබූ තමන් වහන්සේගේ පූර්වචරිත පාරමිතාවක් දක්වා වදාරණ සේක්. මහණෙනි! පෙර මා සසර පාරමිතා භූමියෙහි ඇවිදිනා වූ සමයෙහි ශඞ්ඛ නම් බ්‍රාහ්මණ කල, ඒ ජාතියෙහි මට ම දරු වූ සුසීම නම් පසේබුදුන්ගේ ධාතු පිහිටුවා කළ දාගබ දැක ඔබකෙරෙහි කළ පුත්‍ර ප්‍රේමයෙන් හා අචල වූ ශ්‍රද්ධාවෙන් එ දා ඒ දාගබ් මළුවෙහි වටාපතක් සා තෙන තණ පරණලා දුරුකොට කළා වූ කුශලයෙන් මේ රජගහ නුවර පටන් ගෙන විශාලා මහනුවර දක්වා මේ අටයොදුන් මාර්ගයෙහි පුළුලෙන් සියක් රියන් පමණ තැන් වළගොඩ තැනී භේරිතලයක් සේ තැනුම් ලද. තව ද: එම දාගබ් මළුවෙහි එකුරුතුපටින් ගෙනවුත් වටාපතක් සා තැන තනාලූ වැලිසුගෙහි අනුසසින් මේ අටයොදුන් මාර්ගය සුදුවැල්ලෙන් සැදුම් ලද තව ද: එම දාගබ වටා එ දවස් ම පුදාලූ එක මල් මිටෙහි අනුසසින් ගංගාව ඇතුළු ව නව යොදුන් මාර්ගය පස්වනක් මලින් සැදුම් ලද. තව ද: එම මළුවෙහි කමද්ධලෙන් එදා ඉසලූ පැන් අතළොස්සෙහි පිනින් එ නුවර මා පය තබාලූ ඇසිල්ලෙහි තුන්සියයක් යොදුන් ලිච්ඡවීන්ගේ රාජ්‍යය මුළුල්ලෙහි ඒ සා මහත් පොකුරු වැස්සෙක් වැසපී ය. තව ද: එම දාගබෙහි නඟාලූ වියතක් පමණ පතාකයෙහි පිනින් හා පුදාලූ එක පත්කුඩයෙහි පිනින් නාලොව පටන් බඹලොව දක්වා අවකාශ නැති ව අතුරු නො දී උතුරුව උතුරුවා සිට ගත්තා වූ මේ සා මහත් වූ සේසත් පූජා ලදිමි. එසේ හෙයින් මහණෙනි! මේ පූජා ලදුයේ මාගේ බුද්ධානුභාවයෙකිනුත් නො වෙයි. දිව්‍ය බ්‍රහ්ම ගරුඬ ගන්‍ධර්වාදි දෙවියන්ගේ ආනුභාවයෙකිනුත් නො වෙයි. මා යට කළ කුශල මූලයෙන් ම ය යි වදාරා මේ ශඞ්ඛජාතකය නිමවා කෙළවර තව ද: භික්‍ෂූන්ට ම අවවාද සඳහා:

මත්තාසුඛපරිච්චාගා - පස්සෙ වෙ විපුලං සුඛං,

චජෙ මත්තා සුඛං ධීරො - සම්පස්සං විපුලං සුඛං යි.

යන මේ ගයින් බණ වදාළ සේක. එ කෙණෙහි ද බොහෝ භික්‍ෂූන් වහන්සේ සෝවාන් ආදි මාර්ගඵලයට පැමිණි සේක.

මෙසේ තමන් වහන්සේ එ කල විශාලා මහනුවරට වැඩ ගඞ්ගාරෝහණ පූජාවෙහි බිම්සර රජහු පළමු ව පූජා කළ දෙකක් උතුරු වූ පන්සියයක් පමණ සේසත් පූජා ය. දෙවනුව ලිච්ඡවි රජුන් කළ සතරක් උතුරු වූ දහසක් පමණ සේසත් පූජා ය. තුන්වනු ව ඔවුන් ම කළ අටක් උතුරු වූ දෙදහසක් පමණ සේසත් පූජා ය. සතරවනු ව බිම්සර රජහු කළ සොළොසක් උතුරු වූ සාරදහසක් පමණ සේසත් පූජා ය යි මේ සත්දහස් පන්සියතිසක් පමණ ඇති සේසත් පූජා ම ලත් හෙයිනුත්, නයින් දෙවියන් බඹුන් පිදූ අප්‍රමාණ සේසත් පූජා ලත් හෙයිනුත්, මෙසේ උදාර වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මෙසේ මුළුලොවට අද්භූත වූ, මෙසේ මුළුලොවට ආශ්චර්‍ය්‍ය වූ, මෙසේ මුළුලොවට විස්මය වූ, මෙසේ මුළු ලොවට සාධාරණ වූ, මෙසේ මුළුලොවට ශෝභාසම්පන්න වූ, මෙසේ මුළුලොවට කරුණාසම්පන්න වූ, මෙසේ මුළුලොවට ප්‍රේමණීය වූ, මෙසේ මුළුලොවට කර්ණරසායන වූ, මෙසේ මුළුලවෙට නේත්‍රාඤ්ජන වූ, මෙසේ මුළුලොවට අමෘතෞෂධ වූ, මෙසේ භාග්‍යවත් වූ, මෙසේ පූජාර්භ වූ, මාගේ ස්වාමිදරු වූ, බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං යි.

මේ පූජාවලියෙහි අප බුදුන් විශාලා මහ නුවර දී ලිච්ඡවී ආදීන්ගෙන් ලද

ගංගාරෝහණ පූජා කථා නම් වූ එක් විසිවන පරිච්ඡේදය නිමි.