විශාලා මහ නුවර උපන් ත්‍රිවිධ භය සංසිඳවීම

star_outline

එ කල එහි නුවරක් නිමවා එ කුමරුවා සොළොස් හැවිරිදි කල රජ කොට එ කුමරිය අගමෙහෙසින් කළහ. ඒ ලිච්ඡවීන් දෙදෙනා මෙසේ ප්‍රිය වාසයෙන් වසන කල ප්‍රථම සංවාසයෙහි ම එ් ලිච්ඡවී කුමාරිකා දරු ගබ් ලදින් දුවක හා පුතකු එකවිට ම වැදූහ. මෙසේ ම දූන් පුතුන් බැගින් යමක දරුවන් සොළොස් වාරයෙක දෙතිස් දෙනකු වැදූහ. මෙසේ ම ක්‍රම ක්‍රමයෙන් සොළොස් සොළොස් යමක දරුවන් බැගින් දරුමුණුබුරොත් වැදූහ. මෙසේ ඒ වංශය බොහෝ වූයේ ගම අවකාශ නැති හෙයින් මහත් මහත් ව ගව්වක් සා විය. දෙවන වාරයෙහි දෙගව්වක් සා විය. තුන්වන වාරයෙහි තුන්ගව්වක් පමණ වටා මහ පවුරු ලා මහරජ නුවර වි ය. මෙසේ කලින් කල විශාල විශාලව ගිය හෙයින් විශාලා මහ නුවර ය යි මෙ නමින් ප්‍රසිද්ධ විය. එ් රජ දරුවෝ ද යට කී ක්‍රමයෙන් ලිච්ඡවී රජදරුවෝ ය යි මෙ නමින් ප්‍රසිද්ධ වූහ. ඒ රජදරුවෝ තාපසයන් පන්සල වැඩී උත්පත්ති වූ කාරණයෙන් ද, එක මෑණියන් වැදූ හෙයින් ද, අන්‍ය ජාතියක් හා ජාති සම්භේදයක් නැති හෙයින් ද, ඔවුනො‘වුන් කෙරෙහි ද, ප්‍රේම බහුල ව වාදයක් ම නැති ව සාදරයෙන් ම රාජ්‍යය කෙරෙති.

අප බුදුන් සමයෙහි මේ විශාලා මහ නුවර දිව්‍යපුරයක් සේ සමෘද්ධ විය. ඉතා ජනගහන වි ය. සම්පත්තීන් අනූන වි ය. කෙළි නළුයෙන් උත්සන්න වි ය. සකසා මැදි රන් කැටපතක් බඳු වූ ඡවි වර්ණ ඇති දිව්‍ය සමාන ලිච්ඡවි රජ දරුවෝ ම සත් දහස් සත්සිය සත්දෙනෙක් වෙසෙති. යුවරජ දරුවෝ ම සත් දහස් සත්සිය සත් දෙනෙක් වෙසෙති. සේනාපති ම සත් දහස් සත්සිය සත්දෙනෙක. භාණ්ඩාගාරිකයෝ ම සත් දහස් සත්සිය සත්දෙනෙක් වෙසෙති. රජ ගෙවල් ම සත් දහස් සත්සිය සතෙක, කූටාගාර ශාලා ම සත් දහස් සත්සිය සතෙක. පවුරු සත් දහස් සත්සිය සතෙක. මෙසේ එ නුවර සියල්ලෙන් ඉතා සමෘද්ධ වි ය. මෙතෙක් රජදරුවෝ ම වාරයෙන් වාරයට රාජ්‍යය කෙරෙති. ඒ ලිච්ඡවී රජදරුවන්ගේ රූපශ්‍රී හා තරම් රූ ඇතියෝ මිනිස් ලොව නැත්මය. තවුතිසා වැසි දෙවියන් නො හඳුනන්නවුන් ලිච්ඡවි රජුන් බලා හැඳින ගන්නේ ය යි බුදුන් විසිනුත් වදාරණ ලදම ය.

මෙසේ එ නුවර දෙව්ලොවින් බට භාගයක් වැනියේ ය. මතැතුන්ගේ කුඤ්චනාදයෙන් හා, අසුන්ගේ හේෂාරවයෙන් හා, රථවල චක්‍ර නාදයෙන් හා, නළුවන් ගානා වීණා වාද්‍යනාදයෙන් හා, මුහුද හඬ සේ ඝෝෂා ඇති මහා භේරිනාදයෙන් හා, තුඩ තබා පිඹිනා දහස් ගණන් ජයසක් නාදයෙන් හා, දහස් ගණන් වංශීන් විසින් සංගීත කරන ලද වංශනාදයෙන් හා, දහස් ගණන් පෙළ පෙළ දි ගසන තාලනාදයෙන් හා, කව! බොව! යන ශබ්දයෙන් හා මේ දශවිධ වූ ඝෝෂාවෙන් ම එ නුවර විශාල වූ හෙයිනුත් විශාල මහ නුවර ය යි නම් ලද්දෝ හෝ යි කියා ත් සිතමි. විශේෂ වූ විශාල ශාලාවෙන් අලංකෘත වූ හෙයිනුත් විශාලා නමැ යි කියාත් සිතමි. දහස් ගණන් උද්‍යානවල විශාල වූ ශාල වෘක්‍ෂරාජ සමූහයන් විරාජමාන හෙයිනුත් විශාලා නමැ යි සිතමි.

මෙසේ සමෘද්ධ වූ ඒ විශාලා මහ නුවර කලෙකින් මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් “සියලු සංස්කාර ධර්මයෝ ම ඒ ඒ ආකාරයෙන් නො පවත්නාහු ය. අනිත්‍යයහ”යි වදාරන්නා වූ අවවාද වචනය සබාම ය යි දෙස් කියවන්නා සේ ඒ විශාලා මහ නුවර ද රෝග භය, දුර්භික්‍ෂ භය, අමනුෂ්‍ය භය යි තුන් භයකින් විශාල විය. හේ කෙසේ ද? යත්;

පළමු ව වැසි නැති ව වැව් අමුණුවල දිය සිඳී ගොයම් මිය සාය ගසා බතින් දුර්භික්‍ෂ වි ය. බත් නො ලබන දිළිඳු සත්ත්‍වයෝ පළමු පළමු ව මියන්නට පටන් ගත්හ. මළ මළ මිනී සමහර කෙනකුන් දවති, මිනී බොහෝ ව ගෙන යන හෙයින් හැම දවාගත නො හී බොටුයෙහි වැල්ලලා පිටතට අදිති. තව ද: මිනී බොහෝ ව ගෙන යන හෙයින් එසේ ත් ඇදගත නො හී ගේ කුසින් පිටත් කොට වතුකන් මිදුල්කනට අදිති. තව ද: මියන්නවුන් බොහෝ වන හෙයින් පිටවතුත් කොට ගත නො හී ගෙන් භාගයෙක මළ මිනී ඔවිති. එක් භාගයෙක ලෙඩ ව හැඳින් නැඟී සිටි ය නො හෙනුවෝ හොවිති. මළ මිනි අදින්නෝ නො ම ඇත. ලෙඩ වූවන් බලනුවේ නො ම ඇත. පැනට හඬන දරුවන් කට පැන් හෙළා පිය නො හී තමන් තමන්ගේ ව්‍යාධි සඳහන් නො කොට දරු ශෝකයෙන් හොත් පොළ හෙව අඬන්නා වූ මවුපියෝ මෙතෙක් දහස් ගණනැ යි ගණන් නැත. ජීවිත සමාන ප්‍රේම ඇති පුරුෂයන් පැන් බොම්හයි හඬන වේලෙහි හොත් පළින් නැගී සිට උන් කට පැන් හෙළා ලිය නො හී තමන් තමන්ගේ ව්‍යාධියට වඩා ප්‍රිය පුරුෂයන් නො බලන්නා වූ ශෝක ඉවසාගත නො හි කෙඳිරි ගගා හඬන ස්ත්‍රීන් මෙතෙක් දහස් ගණනැ යි ගණන් නැත. ස්ත්‍රීන් පැනට හඬන වේලෙහි උන් කට පැන් හෙළාලිය නො හී එම ශෝකයෙන් ම හඬින් හඬ හඬා වැදහෝනා පුරුෂයෝ මෙතෙක් දහස් ගණනැ යි ගණන් නැත. මෙසේ ඒ මිනී කුණපය නිසා ගිනි පිට ගිනි දැමුවාසේ අහිවාතක නම් රෝගයෙක් උපන.

ඒ රෝගයෙන් පළමු ව ගෙයි වසන සූනෝ මියෙති. දෙවනුව බල්ලෝ බළල්ලු මියෙති. තුන්වනු ව මනුෂ්‍යයෝ මියෙති. ඒ රෝගයෙන් මියන කල සමහරු නො ලෙඩුන් සේ දොඩ දොඩා වැදහෙව මියෙති. සමහරු ප්‍රිය කථා කොට කොට ම හිඳ මියෙති. සමහරු සිනා සිසී කෙළ කෙළ ම සිට ලා මිය වැටී යෙති. සමහරු යමින් එමින් සිට මියෙති. යම් සේ සර්පයන් විෂ වාතය වැදගත් කෙණෙහි ම මනුෂ්‍යයෝ විෂ මූර්ඡාවෙන් වහා මියෙද්ද, එසේ හෙයින් ම මේ රෝගය ද බල බලා සිටිය දී ම මැරෙන හෙයින් අහිවාතක නම් විය. ඒ මිනීමස් කනු සඳහා ඒ ඒ දිගින් යක්‍ෂයෝ දිව අවුදින් මුළු නුවර ගලාගෙන දිවි තුබු තුබූ මිනිසුන් සල්ව සල්වා කන්නට පටන් ගත්හ.

මෙසේ දුර්භික්‍ෂ රෝග අමනුෂ්‍ය ය යි යන තුන් භයින් සියලු රට හා නුවර වල් නස්නට පටන්ගත් සමයෙහි නො මළ, නො මළ මනුෂ්‍යයෝ හැමදෙන ම රැස්ව මරණ භයින් වෙවුලා “කොල! මේ කිමෙක් දැ”යි කිය කියා අඹු දරු නැති ශෝකයෙන් වැනි වැනී රජ්ජුරුවන් කරා ගොස් “රජ්ජුරුවෙනි! තොපගේ නුවර තුන් භයෙක් ඉපැද දැන් එක වලහම් ගෙයක් සේ විය. තොපගේ සත්මුත්තක් පරම්පරායෙක මෙ නුවර මෙසේ වූ භයෙක් නැත. මෙසේ වූ ශෝකයෙක් නො වී ය. මෙසේ වූ වියෝ දුක්ඛයෙක් නො වී ය. අපට මේ භය වහා සන්සිඳුවා ලුව මැනැවැ”යි කියා හඬා හුන්හ.

එ වේලෙහි රජ්ජුරුවෝ සියලු අමාත්‍යයන් සන්ථාගාරයට රැස්කොට “මා කරන අධර්මයක් ඇත් නම් හැමදෙන ම පරීක්‍ෂා කොට මට කියව”යි නියෝග කළහ. එ කල නුවර වැසියෝ නො එක් සේ පරීක්‍ෂාකොට රජුගේ කිසි අධර්මිෂ්ඨකමක් නො දැක “ස්වාමීනි! නුඹවහන්සේගේ කිසිම අවැදගත් කමක් නුදුටුම්හ. මේ භය කෙසේ සන්හිඳේ දැ”යි කීහ. සමහර කෙනෙක් සෘද්ධිවන්ත වූ තාපස කෙනකුන් වඩා ගෙනවුත් පූජා කළ කල භය සන්හිඳෙයි කීහ. සෘද්ධිවන්තයෝ නම් කවුරු දැ යි විචාළහ.

එ කලම දඹදිව “අපි බුදුම්හ, අපි බුදුම්හ”යි කිය කියා මිථ්‍යාදෘෂ්ටි ගෙන ලෝවැසියන් මුහුණ වැලි ගසන්නා සේ වඤ්චාවෙන් ඇවිදුනා වූ පූරණ කාශ්‍යපය, මක්ඛලී ගෝශාලය, අජිත කේශකම්බලය, කකුධ කාත්‍යායනය, සඤ්ජය බෙල්ලට්ඨි පුත්‍රය, නිගණ්ඨ නාථපුත්‍රය යි ලොව ගසා කා ඇවිදුනා වූ සොරහු සදෙනෙක් ඇත. ගිනි අඟුරෙහි රස දන්නා ඔටු කුකුලන් සේ උන් උන්ගේ ගුණ ගත් මිථ්‍යාදෘෂ්ටි ගතුවෝ ඔවුන් සදෙනාගේ ගුණ කීහ.

එ කල සුධාභෝජනයෙහි රස දන්නා වූ තව්තිසා දෙවියකු සේ මාගේ ස්වාමිදරුවාණන්ගේ දහම් අමායෙහි මඳ රසයක් දත්තා වූ එක්තරා එක් ශ්‍රද්ධාසම්පන්න පුරුෂයෙක් හුනස්නෙන් පැන නැගී බුදුන් වන දෙසට වැඳලා “සත්ත්‍වයෙනි! තොප හැම කියන බස් වැසි බා පිහිලි වන්නා සේ හැල් බා දියෙහි ගැලෙන්නා සේ, අවු බා ගිනි වදනා සේ වැන්න. තෙපි තොපට වැඩක් කැමතියා නම් එ පවිටුන්ගේ බස් මා ඇසිය දී නො කියව. මාගේ ස්වාමිදරු වූ සකල ලෝක චින්තාමාණික්‍ය වූ බුදුරජාණන් මවු කුස පිළිසිඳගත් වේලෙහි ද, මවුකුසින් බිහි වූ වේලෙහි ද, මහණ වන දා නුවරින් නික්මුණු වේලෙහි ද, බුදු වූ වේලෙහි ද, දම්සක් දෙසූ වේලෙහි ද, කිඹුල්වත රුවන්සක්මන දී යමා මහ පෙළහර පෑ වේලෙහි ද, සැවැත් නුවර රුවන් සක්මන දී යමක ප්‍රාතිහාර්‍ය්‍ය පෑ වේලෙහි ද, මෙම නුවර පාටිකාරාමයෙහි රුවන් සක්මන දී ප්‍රාතිහාර්‍ය්‍ය පෑ වේලෙහි දැ යි යනාදි වූ නො එක් බුදු මඟුලෙහි දෙතිස් පූර්ව නිමිත්තා දී නො එක් අද්භූතයෙන් මුළුලෝ විස්මයපත් වී ම ය. ඒ ඒ ස්ථානයෙහි දී ඔබගේ කල්පනාවක් නැති ව පවා ලෝකයෙහි පොකුරු වැසි ත් වට ම ය. මාගේ ඒ ස්වාමිදරුවාණෝ තොපගේ මේ නුවර ඉදින් ශ්‍රී පාදය තබා වදාළ සේක් වී නම් එ පමණෙකින් ම මේ නුවර ඇති සියලු රෝගාන්තරාය හිරු දුටු අන්‍ධකාරයන් සේ අන්තර්ධාන වේ ම ය. වැසි වැස තොප ඇමගේ සියලු ඇඟ ගිම් දිය දුටු කුණපයන් සේ අන්තර්ධාන වේ ම ය. තොප තොපට වැඩක් කැමැතියා නම් මාගේ බුද්ධ නමැති කල්පදාමය මෙ නුවරට වඩා ගෙනෙව”යි කීහ.

එ වේලෙහි සියලු රජ පිරිස සාධුකාර දී “ඒ බුදුහු දැන් කොයි වැඩ වසන සේක් දැ”යි විචාරා “රජගහ නුවර බිම්බිසාර රජ්ජුරුවන් නිසා වේළුවනාරාමයෙහි වසන සේකැ”යි අසා ලිච්ඡවී රජුන් දෙදෙනකු තෝරා ඔවුන්ට මහ පිරිස් දී බිම්සර රජ්ජුරුවන් කරා යවූහ. බිම්සර රජ්ජුරුවෝ ඔවුන් අතින් එ පවත් අසා “බුදුහු නම් සියලු සතුන්ට ම සාධාරණ සේක. මාගේ ගම වැඩ හුන් බුදුන් අනික් ගමකට වැඩ වදාළ මැනැවැ යි මම ආරාධනා කළ නො හැක්කෙමි. තෙපි ම ගොස් සැලකරව”යි එම ලිච්ඡවී රජදරුවන් දෙදෙනා ම බුදුන් කරා යවූහ. ඔහු දෙදෙනා ගොස් බුදුන් දැක තමන්ගේ නුවර උපන් මේ විපත්තිය කියා බුදුන් එ නුවරට වඩනා පරිද්දෙන් යාච්ඤා කළහ.

ස්වාමිදරුවෝ එ වේලෙහි දිවැසින් බලා එ නුවර තමන් වහන්සේ වැඩිකල වැසි වස්නා නියාවත්, රතන සූත්‍ර නම් දේශනාවක් කරන නියාවත්, එ වේලෙහි සියලු සතුන්ගේ රෝග සන්හිඳෙන නියාවත්, ඒ දේශනාව උදෙසා පස්ලක්‍ෂ අට අසූ දහසක් ප්‍රාණීන් අමා මහ නිවන් දක්නා නියාවත්, නැවත ඒ දේශනාව කෙළ ලක්‍ෂයක් සක්වළ පැතිර පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි ලෝවැඩ කරන නියාවත්, කරතලාමලයක් සේ දැක සත්ත්‍වයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් “යහපත, විශාලා මහනුවරට එමි”යි අනු දැන වදාළ සේක.

බිම්සර රජ එ පවත් අසා බුදුන් කරා ගොස් “ස්වාමිනි! විශාලා මහනුවරට වඩනා සේක් දැ”යි විචාරා “යෙමි මහරජැ”යි වදාළ කල “එසේ වී නම් ස්වාමීනි! ගැත්තහු මාර්ගය සරහා පූජාවක් සපයාලන තෙක් දෙතුන් දවසක් බලා වදාළ මැනැවැ”යි බුදුන් රඳවාලා ඇතුළු නුවරට ගොස් ඇතුළු නුවර පිටි නුවර බෙර ලවා අටළොස් කෙළක් පමණ මහ සෙනග රැස්කොට එම විට ම නික්ම රජගහ නුවර පටන් දෙනුවරට අතුරෙහි ගංගා නම් ගඟ දක්වා පස් යොදුන් මාර්ගය මුළුල්ලෙහි පුළුලෙන් ඉස්බක් පමණ අවකාශය බෙරතලයක් සේ තනා, යොදුන් යොදුන් තැන විහාරය බැගින් කරවා බුදුන් වඩනා පරිද්දෙන් ආරාධනා කළහ. එ වේලෙහි බුදුහු පන්සියයක් මහ රහතන් පිරිවරා තරු පිරුවරු සඳ සේ සවණක් රසින් දිලිහි දිලිහී නික්මුණු සේක.

එ කල බිම්සර රජ්ජුරුවෝ ඒ පස්යොදුන් පමණ මග කළුවැලි පියා, සුදු වැල්ලෙන් තවරා, දන පමණ කටි පමණ පස්වනක් මලින් තනා, දෙපස කෙහෙල් තොරණ පිළි තොරණ ධ්වජ පුන්කලස් තනා, බුදුන් සිරසට අනගි වූ මතු මතුයෙහි සේසත් දෙකක් හා පන්සියයක් රහතන් හිසට පන් සියයක් සේසත් ලවා, තමන්ගේ පිරිවර හා සමඟ සුවඳින් මලින් පුද පුදා, එකි එකී විහාරයෙහි එකි එකී දවස් බුදුන් සතප සතපා මහත් වූ දාන පූජාවෙන් පස්වන දා ගංතොටට වඩාගෙන ගොස් නැව් අගුළු සරහන්නට පටන් ගන්වා, එ කෙණෙහි විශාලා මහ නුවරට කියා යවුවාහු ය.

එ වේලෙහි ලිච්ඡවි රජදරුවෝ බුදුන් මඟට වැඩි පවතුත් බිම්සර රජ්ජුරුවන් කැර වූ පූජාත් අසා “අපි ඔවුන්ට දියුණුව පූජා කොට බුදුන් වඩා ගෙනෙම්හ”යි වාසි කියා තමන්ගේ විශාලා නුවර පටන් ගංතොට දක්වා තුන් යොදුන් පමණ මාර්ගය කැටක් මුලක් නො තබා තලි පිටක් සේ තනවා, මඟ ධ්වජ පුන් කලස් ආදියෙන් දියුණුකොට සරහා, බුදුන් හිසට සේසත් සතරක් හා පන්සියයක් රහතන් හිසට දෙ සේසත් බැගින් දහසක් සේසත් ගෙන්වාගෙන අවුදින් ගංතොට සිටගත්හ.

ඉක්බිත්තෙන් බිම්සර රජ්ජුරුවෝ අගුළු දෙකක් අලඞ්කෘත කොට නිමවා ඒ මතුයෙහි විචිත්‍ර වූ මණ්ඩපයක් නිමවා, මල්දම් ආදියෙන් සරහා, මණ්ඩප මධ්‍යයෙහි සත්රුවන්මය වූ බුද්ධාසනයක් පනවා බුදුන්ට ආරාධනා කළහ. බුදුහු පන්සියයක් මහ රහතන් සමග ඒ මණ්ඩපයට නැඟී බුද්ධාසනයෙහි වැඩහුන් සේක. රජ්ජුරුවෝ කර පමණක් දියට බැස බුදුන්ට පසු ගමන් කොට “ස්වාමීනි! යම් දවසක් මෙ තෙනට වඩනා සේක් වී නම් එ දවස් දක්වා මම් මේ ගංතොට ම බල බලා හිඳිමි”යි නැවැත්තාහ. එ කල මෙසේ මහත් වූ පූජාවෙන් ඒ මණ්ඩපයෙන් වැඩ ලිච්ඡවිරජුන් සිටි ගංතොටට පැමිණිසේක.

එ කෙණෙහි ස්වාමිදරුවන් ඒ ලිච්ඡවි රජුන්ගේ සීමාන්තරයට වඩු ත් වඩු ත් තුන් හවුරුද්දක් මුළුල්ලෙහි පොදක් බිම නො හෙලා මේඝ නාදයක් නැති ව තුබූ තුන් සියක් යොදුන් රාජ්‍යය මුළුල්ලෙහි හැම ආකාශය අන්‍ධකාර ව ගෙන විදුලිය ගසා මේඝනාද දී, ශතපටල සහස්‍රපටල නඟා වැසිවලාකුල් දිවන්නට වන. එ වේලෙහි ස්වාමිදරුවන්ට පෙරගමන් කරන්නාහු කටි පමණක් දියට බැස සත්දහස් සත්සිය සත්දෙනකු පමණ ඇති ඒ ලිච්ඡවී රජදරුවෝ මහත් වූ ආදරයෙන් බුදුන් ගොඩට වඩා ගෙනාහ.

එ කෙණෙහි ස්වාමිදරුවන් දකුණු ශ්‍රී පාදය ගොඩ තිබීම හා සමඟ මැ දසදිගින් දිවු ඒ මහ පොකුරු වැස්ස ධාරානිපාතයෙන් වස්නට පටන් ගත. බිමින් දන පමණ, හිනිමස් පමණ මහවතුරු හැලි ගස ගසා දිවෙයි. ඒ සා ඝන මහා වර්ෂාවෙහි තෙමෙනු කැමැත්තෝ තෙමෙති. නො තෙමෙනු කැමැත්තෝ නො තෙමෙති. එ කල ඒ රාජ්‍යය මුළුල්ලෙහි ලක්‍ෂගණන් මිනීකුණු වතුරෙන් ගෙන ගොස් ගඟ ලා බිම ඉතා පරිශුද්ධ වි ය. ලිච්ඡවි රජදරුවෝ ඒ තුන් යොදුන් මාර්ගයෙහි හිනිමස් පමණ උස සුවඳ, මලින් තනා මහා පූජා කොට යොදනින් යොදනෙහි සතප සතපා මහ දන් දිදී විශාලා මහ නුවරට වඩාගෙන ගියහ.

ස්වාමිදරුවන් එ නුවරට වඩනා වේලෙහි සක්දෙව්රජ දෙදෙව් ලොව දෙවියන් පිරිවරාගෙන අවුදින් වැඳ ගියේ ය. මහේශාක්‍ය දෙවියන් එත් එත්, වරම් රජදරුවන් එත් එත්, අටවිසි යක්‍ෂ සේනාධිපතීන් එත් එත්, දෙතිස් මහා දිව්‍යපුත්‍රයන් එත් එත්, සියලු අමනුෂ්‍යයෝ සුළං දුටු පරඬලාපත් සේ ඒ ඒ දිගින් බා වෙවුල වෙවුලා දිවන්නට පටන්ගත්හ.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ නුවර වාසල් දොර වැඩසිට ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්‍ද ස්ථවිරය! තෝ මාගේ රුවන් සූත්‍රය ඉගෙන ගෙන මාගේ මේ ශෛල පාත්‍රයෙන් පැන් ගෙන මහත් වූ පූජාවෙන් ලිච්ඡවි රජ දරුවන් හා සමග මෙ නුවර තුන් පවුරු අතුරෙහි සිසාරා ඇවිද, පිරිත් බැණ බැණ පැන් ඉස අරක්ගනැ”යි වදාරා අනඳ මහ තෙරුන් වහන්සේ පළමුව යවා වදාළ සේක. මෙසේ අනඳ මහ තෙරුන් වහන්සේ පාත්‍රාධාතුයෙන් පැන් ගෙන නුවර සිසාරා ඇවිද පිරිත් බණන්නට පටන් ගත් සේක. “යං කිඤ්චි විත්තං” යන ශබ්දය කියා පැන් ඉසලූ වේලෙහි යක්‍ෂයන් ඇඟට කකියන ලෝබින්දු ගසන්නා සේ භය විය. මනුෂ්‍යයන් ඇඟට අමා බින්දු ගසන්නා සේ ඒ පැන් ශාන්ත විය.

එ කල අමනුෂ්‍යයෝ රද මොහොල් හැරපු මහ සොරොවු සතරෙකින් නමා ගත් දියවතුරක් සේ, සසර මහ වාසලින් පිටතට දිවන්නට පටන් ගත්හ. පවුරු පදනම් බිඳ ඔවුනොවුන් පිටහී දිව එක අමනුෂ්‍යයකුත් ඇතුළෙහි සිට ගත නුහුනුයේය. හැම යක්‍ෂයෝ ම පැලැහ. එ කෙණෙහි දසවන අවස්ථාවෙහි ලෙඩින් මියන්ට ඔත් සත්ත්‍වයෝ පිරිත් පැන් ඇඟ වැකී ගිය ඇසිල්ලෙහි අමාපැන් ලද්දවුන් සේ සිහිනගෙයි දුටුවාවූ රෝගයක් සේ, සියලු රෝගම අන්තර්ධාන විය. හොත් හොත් පළින් නැඟී සිට, සුවඳ මල්පහන් ගෙන දිව දිව ගොස් මහ තෙරුන් වහන්සේ පිරිවරාගෙන. සතුටින් නට නටා, අත්පොළසන් දිදී, ඔල්වරසන් දිදී, අසුරුසන් දිදී, බුදුන් ගුණ කිය කියා, උත්සව කෙළි කෙළ දිවෙති.

රජදරුවෝ එ නුවර මධ්‍යයෙහි තමන් හැමදෙනා රැස් ව කතා කරන සන්ථාගාරය සිවුදෑගඳින් පිරිබඩගෙන රන්තරු-රිදීතරුයෙන් හොබනා වියන් බැඳ විසිතුරු වූ රන්තිරයෙන් පරික්‍ෂෙප කොට අනර්ඝ වූ බුමුතුරුණු අතුට, මණ්ඩප මධ්‍යයෙහි අනර්ඝ වූ බුද්ධාසනයක් පනවා, බුදුන් මහ පූජාවෙන් ඇතුළු නුවරට වඩාගෙන ගියහ. බුදුහු වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක. පන්සියක් මහරහතන් හා, සත්දාස් සත්සිය සත් හා ලිච්ඡවි රජුන් හා, සිය දහස් ගණන් ඇමැති මඬුලු හා, ඇමදෙනා ම බුදුන් පිරිවරා හිඳගත් වේලෙහි ශක්‍ර දේවේන්‍ද්‍රයා දෙදෙව්ලොව දිව්‍ය සේනාව හා සමග දිව අවුදින් එ කුන් සියක් යොදුන් රාජ්‍යය මුළුල්ලෙහි වැසි වස්වා සියලු කුණපයන් දුරුකොට හදියක බෝමළුවක් හැමඳපුවා සේ, සියලු බිම ම පරිශුද්ධ කරවාලා එ තෙනට අවුදින් ආකාශයෙහි සිතියම් කඩක් විදා පෑලුවා සේ, සියලු සතුන්ට පෙනි පෙනී මහපෙළහරින් සපිරිවරින් සිටගත.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ ද නුවර සිසාරා ඇවිද සියලු සතුන්ගේ රෝග පීඩා සන්හිඳුවා මුළු නුවර වැසියන් ගෙන අවුදින් එකත්පස් ව උන් සේක.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ මේ රුවන් සූත්‍ර දේශනාවෙන් ධර්මදේශනා කොට එම දා සුවාසූ දහසක් ප්‍රාණීන් අමාමහ නිවන් දක්වා මෙසේ ම මෙම සූත්‍රය පිට පිට ම සත්දවසක් දේශනා කොට දවස දවස සුවාසූදහසක් බැගින් පන්ලක්‍ෂ අටාසූ දහසක් ප්‍රාණීන් නිවන් දක්වා වදාළ සේක. මෙසේ සුවාසූ දහසක් ධර්මස්කන්‍ධයෙහි දහස් ගණන් සූත්‍රදේශනාවන් අතුරෙන් බුදුන් සත්වාරයෙක දේශනා කළා වූ සූත්‍රයෙක් මේ රුවන් සූත්‍රය විනා නැත් ම ය. එසේ හෙයින් බුදුන්ගේ ශ්‍රීමුඛ ශ්‍රී සත්වාරයෙක ලත් හෙයින් මේ රුවන් සූත්‍රය සියලු ධර්මයෙන් ම අග්‍ර වී ය යි දතයුතු.

මෙසේ බුදුහු දෙපෝයක් එනුවර වාසය කොට සියලු රෝගාන්තරායයන් සන්හිඳුවා ලිච්ඡවි රජුන්ට තමන් වහන්සේ වඩනා ආකාර දක්වා වදාළ සේක. නැවත ඒ ලිච්ඡවි රජදරුවෝ දියුණු කොට පූජා කරම්හ යි මඟ සරහා බුදුන් සිරසට සේසත් අටක් හා පන්සියක් මහරහතන්ට සතර සතර සේසත් බැගින් දෙදහසක් සේසත් සමග මහා පූජා කොට බුදුන් වඩා ගංතෙරට ගෙන ගියහ. ඒ ගංගාවෙහි අධිගෘහිත වූ දිව්‍යනාගරාජයෝ “මනුෂ්‍යයෝ තමන් තමන් ශක්ති පමණින් බුදුන්ට පූජා කළහ. අපි අපි දු අප ශක්ති පමණින් පූජා කරම්හ”යි සත්රුවන්මය වූ නැව මවාගෙන සියලු ගහ පස් පියුමෙන් දිය නො පෙනෙන සේ මවාගෙන අවුත් “ස්වාමිනි! ලොවුතුරා බුදුහු නම් සියලු සතුන් ගොඩ නගන සඳහාම බුදු වූහ. මේ සා වූ දිව්‍ය සම්පත් ඇතිවත් අපි අහේතුක යෝනියෙහි උපන්නා වූ අකුශල බලයෙන් අපි නුඹවහන්සේ වැනි බුදුකෙනකුන් දැක පවා දැන් මාර්ගඵල සුවයක් නොලබම්හ. එසේ දුක්පත් වූ නුඹගේ ගැත්තවුන්ට ද අනුග්‍රහ කොට වදාළ මැනැවැ”යි ආරාධනා කළහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ ඒ දිව්‍යනාගරාජයන්ගේ ආරාධනා ඉවසා ඔවුන් මැවූ සත්රුවන් නැවට පැන නැගි සේක. එ කල දිව්‍යනාගරාජයෝ බුදුන් හා පන්සියක් රහතන් තමන් තමන්ගේ පන්සියක් නැව්වලින් තමන් තමන්ගේ භවනට වඩාගෙන ගියහ. බුදුහු එදා රෑ දෙවරු දිව්‍යනාග රාජයන්ට ධර්මදේශනා කොට බොහෝ පින් රැස් කළ සේක. දෙවන දා උදාසන නයි තමන්ගෙන් ම දිව්‍ය වූ භෝජනත් වළඳවා මහත් වූ සත්කාර කළාහ. බුදුහු එ කල ඒ නයින්ට අනුමෝදනා බණ වදාරා නාගභවනයෙන් නික්මුණු සේක.

එකෙණෙහි භූමියෙහි වසන්නා වූ විමානස්ථ දෙවියෝ “මනුෂ්‍යයන් හා නාගයෝ තමන් තමන්ගේ පමණින් බුදුන්ට පූජා කළහ, අපි ද අප පමණින් පුදම්හ”යි මේ සක්වළ ගබ මුළුල්ලෙහි නොයෙක් පර්වත ගිරි කුළු මුදුනෙහි ය, නොයෙක් වෘක්‍ෂලතා මුදුනෙහි ය යි අවකාශයක් නැතිව යටත් වසයෙන් පිල ගස තණ ගස වසන දෙවියෝ දක්වා කුඩ පිට කුඩ නඟා පූජා කෙරෙමින් සක්වළ ගබ සේසතින් වසා සිට ගත්හ. මෙම ලෙසින් දෙවියෝ ඔවුනොවුන් බල බලා ආකාශස්ථ දෙවියෝ ය, විමානස්ථ දෙවියෝ ය, අභ්‍රවලාහක ය, උෂ්ණවලාහක ය, ශීතවලාහක ය, වාතවලාහක ය, වස්සවලාහකාදි දෙවියෝ ය, චාතුර්මහාරාජිකාදි සදෙව්ලෝ වැසි දෙවියෝ ය, අරූතල අසංඥතලයන් හැර පසළොස් බ්‍රහ්මලෝකවල දෙවියෝ ය යි හැම දිව්‍යයෝ බ්‍රහ්මයෝ “අපි අපි ද ඒ උතුමාට අද සේසත් පූජා කරම්හ”යි ඔවුනොවුන් පරයා දිව අවුදින් නාගභවනයෙහි පටන් අකනිටා බඹලොව දක්වා මුළුලොව සේසතින් වස්වා සිටගෙන පූජාවට පටන්ගත්හ. එ දවස් දෙවියන් මාගේ බුදුන්ට කළා වූ සේසත් පූජාවට අනික් උපමාවක් දැක්ක නොහෙම් ම ය. සාරාසඞ්ඛ්‍යය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි පූරණය කළා වූ සමත්‍රිංශත් පාරමිතාභූමියෙන් පැනනැංගා වූ ඔබගේ යසස් නමැති මහ ලිය ය එදා මල් පිපී වැනී ගියා දෝ හෝ යි සිතමි.