තව ද: අප බුදුන් විශාලා මහනුවර දී ලිච්ඡවී රජුගෙන් ලද ගඞ්ගාරෝහණ පූජා කථා නම් කවරහ? යත්; මේ එහි පිළිවෙල කථාව ය:
ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුහුගේ අගමෙහෙසින් බිසොවුන් කුස දරු ගබෙක් විය. එ බිසොවු කුස බර වූ සේ දැන රජහට කීහ. රජ්ජුරුවෝ දරුගබ මඟුල් කොට ගබ පෙරහර තබා දුන්හ. මෙසේ මහත් වූ සත්කාර ලදින් දසමසක් ගිය කල දවසෙක බිසොවුන් අලුයම් වේලෙහි ලාරසයෙන් තෙත් වූ බඳු වද මල්දමක් සේ ඉතා සුරක්ත වූ මස් වැදැල්ලක් වැදූහ. සෙසු බිසෝවරු රන් පිළිම සේ දරුවන් වදති. අග මෙහෙසින් බිසොවු වස් වැදැල්ලක් වැදූහ යි රජු ඉදිරියෙහි සිට කියා බොහෝ දෙන මාගේ නුගුණ කියන්නාහු ය යි බිසොවු ලජ්ජා ඇති ව එ මස් වැදැල්ල නවමු සැළියෙක ලා පිධානයෙකින් වසා බැඳ රාජමුද්‍රිකාවෙන් අස් ඔබා දිය නො වදිනා සේ ලාකඩින් මේ කොට ගඟ දියෙහි ලැවූහ.
එ වේලෙහි ඒ දරුවන්ගේ පින්බලයෙන් ගඟ අරක් ගත් දෙවියෝ රළ පහරින් වේව යි, දණ්ඩෙකින් ගලෙකින් වේව යි, සළාවෙකින් වේව යි ඒ සැළට අන්තරායක් විය නො දී ආරක්‍ෂා ගෙන “බරණැස් රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසොවුන් දරුවෝ ය”යි රන්පතෙහි දෑහිඟුලෙන් ලියා සැළමතුපිට බැඳ තුබූහ. ඉක්බිත්තෙන් මෙසේ ඒ භාජනය නො නැසීම දෙවියන් ගේ ආරක්‍ෂාවෙන් යටගං බලා යෙයි.
එ සමයෙහි එක් තාපස කෙනෙක් ගවපාලයන් වසන ගමක් නිසා ඒ ගංබඩ පන්සලක් කරවා එහි වාසය කෙරෙති. ඒ තාපසයෝ එදා උදාසන දැවිටි කන නිසා ගංතොටට බැස ගං මධ්‍යයෙහි එන ඒ සැළ දැක දියෙන් යන පාංශුකූලයකැ යි දිය පිහිනා ගෙන ගොස් සැළ අල්වා ගෙන බලා රන්පත ලියා තුබූ අකුරු දැක හස් කඩා යට තුබූ මස්වැදැල්ල දැක “මේ දරුමලයෙක, මේ කුණප ගන්‍ධයෙකුත් නැත. බරණැස් රජහුගේ දරුවෝ ය යි පත ලියා තුබූයේ, රැක තබමි”යි සිතාලා පන්සලට ගෙන ගොස් සතා සතුන් නො වදනා සේ ක්‍ෂේම කොට තුබූහ. දවසින් දවස බලත් බලත් පසළොස් දවසක් ගිය කල ඒ එක මස්වැදැල්ල දෙකක්ව බෙදී ගිය. නැවත පසළොස් දවසක් ගියකල එකි එකී මස් කැටියෙහි දෙ අත ය, දෙ පය ය, ඉස ය යි පස්පළක් සේ පෙනිලා පසුව දෙතුන් දවසක් ගිය කල ඉසෙහි දෑස ය, දෙනාසා සිදුරු ය, දෙකන් සිදුරු ය දෙකණ ය, මුඛ ය යන අවයව හා මලවටන් දියවටන් නව දොර පෙණී, විසි ඇඟිලි විසි නිය ආදි වූ සටහන් අට ගෙන රන්පිළිමයක් සේ කුමරියක හා කුමරුවකු හා දෙදෙනෙක් වූහ.
එ දරුවෝ දෙදෙනා දුටු වේලෙහි තාපසයන්ට දරුප්‍රේම හටගත. එ කෙණෙහි තාපසයන් දැක දස ඇඟිල්ලෙන් කිර ධාරාවැඟිරෙන්නට පටන් ගත. දෑඟිලි දරුවන් මුඛයෙහි තබාලූ වේලෙහි මවුන් තන ය එලීගෙන කිරි බොන දරුවන් සේ එ දරු දෙදෙන තාපසයන් දෑත ඔවුනොවුන් පරයා එලීගෙන තලු ගස ගසා කිරි බොන්නාහු ය. දරුවන්ගේ පිනින් තාපසයන්ට ද එතැන් පටන් ඛාද්‍ය භෝජ්‍ය සුලභකොට ලැබේ ම ය. මෙසේ වැඩෙන දරුවන් අනුභව කල යම් ම භෝජනයෙක් දෑවාන කරඬුයෙක තුබූ වස්තුවක් සේ බඩයට පෙන් ම ය. මෙසේ එ දරුවෝ අනුභව කළ කළ දෑ පිටතට පෙනෙන හෙයින් ඡවී නැතියාහ වැනි යාහුනුයි කියාත් ලිච්ඡවි නම් වෙති. ඔවුනොවුන් හා වෙනසක් නැතිව සමානව ඡවි වර්ණ ඇත්තාහු නු යි කියාත් ලිච්ඡවි කුමරුවෝ නම් වෙති.
තාපසයෝ මෙසේ ඒ ලිච්ඡවි රජ දරුවන් වඩන්නාහූ පූර්වදිග් භාගයෙහි ගමකට වැද උදාසන හිරි රසට මූණලා ගෙන ගොස් සිඟති. පස්වරු භාගයෙහි නැවත එම හිරි රසට මූණ ලා දරුවන් නිසා ඇවිද බොහෝ දුක් ගනිති. මෙසේ තාපසයන් දවස් පතා සූර්‍ය්‍ය තාපයෙන් තැවි තැවී දරුවන් නිසා ඇවිදින්නා දුක් දැක එ ගම ගවපාලයෝ කියන්නාහු “ස්වාමීනි! තපස්වීවරුන්ට දරුවන් වැඩිම නම් ඉතා පලිරෝධය. එ දරුවන් අපට පාවා දුන මැනැව. අපි උන් වඩම්හ. නුඹවහන්සේ මහණ දම් පුරාගත මැනැවැ”යි කීහ. තාපසයෝ මැනැවැයි ගිවිස්සාහ.
ගවපාලයෝ දෙවන දා ගම පටන් පන්සලට මග බෙර ඇසක් සේ තනා සුවඳ මල් ඉස ධ්වජ පතාක නඟා පූජා කරවාගෙන බොහෝ දෙනා පන්සලට අවුදින් “දරුවන් අපට පාවා දුන මැනැවැ”යි කීහ. තාපසයෝ “මාගේ දරුවෝ මහ පින් ඇතියාහ. ආදරයෙන් වඩව, වැඩුණු කලත් මේ කුමරුවාට අනික් කුමරියක් පාවා නො දෙව. මේ කුමරිය අනික් කුමරුවක්හට පාවා නො දෙව දෙන්නා ඔවුනොවුන් හා ආවාහ විවාහ කරව. පසුව කිරි-යොද-දී-තෙල්-වෙඬරු යන පස්ගෝරසයෙන් තොප තොපගේ රජ්ජුරුවන් පහදවාගෙන බිමක් ලවා ගෙන එහි ගමක් කරවා තෙලෙ කුමරුවා රජ කොට ගනුව”යි කියා දරු දෙදෙනා පාවා දුන්හ. ඔහු මැනැවැ යි ගිවිස එ දරු දෙදෙනා ගෙන ගොස් වැඩූහ.
එ කුමරුවෝ වැඩී කෙළනා කල සෙසු දරුවන්ට අතින් පයින් ගසාලති. ඔහු හඬ හඬා තමන් තමන් ගෙවලට යෙති. හඬවුනැ යි මවුන් පියන් විචාළ කල එ දරුවෝ “මවුන් පියන් නැති ව තාපසයකු වැඩූ නිප්පිතික කොල්ලෝ අප මැරූහ”යි කියති. එ කල උන් උන්ගේ දෙමවුපියෝ “මේ කොල්ලෝ අප දරුවන් මරති. අප දරුවන් නසති. අප දරුවන්ට දුක් දෙති. එසේ හෙයින් මේ කොල්ලෝ වජ්ජිතකයහ, වජ්ජිතකයහ”යි කියති. ඒ කාරණයෙන් එ නුවර වජ්ජිත නම් ව පසුව තුන්සියක් යොදුන් තැන් වජ්ජිත රට ය යි මෙ නමින් ප්‍රසිද්ධ වි ය.