අනුරුද්ධාදීන්ගේ පැවිදිවීම

star_outline

එ වේලෙහි භද්දිය රජ්ජුරුවෝ වැලිකෙළියෙහි පටන් එක්ව ම සුව විඳ ඇවිද්දා වූ ජීවිතය සමාන යහළුවා කෙරෙහි වූ උදාර වූ ප්‍රේමයෙන් උමතු වූවාහු සිහි එළවාගත නොහී මොහුගේ මේ සා සැපතක් හැර මහණ වීමෙක් නම් කවර කලෙක වේ දැයි සිතා “යහළු තෙපි මහණ වූවාහු නම් මමත් රාජ්‍ය ශ්‍රී හැර තොප හා සමඟ මහණ වෙමි”යි කීහ. එ බසට අනුරුද්ධ කුමාරයෝ අමාදිය කඳෙකින් අභිෂේකයක් ලදුවා සේ ඉතා සන්තුෂ්ට වූවාහු මා සිතූ සිත ඒකාන්තයෙන් සෑදෙන වනැ යි සිතා “දේවයෙනි! එසේ වී නම් නො ඇසූදෑ ද, අද ම මහණවන්නට යෙමි. මා හා කැටිව ආව මැනවැ”යි කීහ. එ වේලෙහි භද්දිය රජ්ජුරුවෝ පර්වතයෙකින් ගැහැටුණු කලක් සේ රාජ්‍යලෝභයෙන් කම්පිත වූ සිත් ඇති ව නො සලකා වරදවා කියාපිමි. මා කීයේ කිමෙක් දෝ හෝ යි සිතා යහළු! අපි දෙදෙනම තව නවයෞවනයෙහි පිහිටියම්හ. දැනට කාමසුව අනුභව කොට මතු මහලු ව ගියකල සමඟ ව ගොස් මහණ වම්හ”යි කීහ.

එ බසට අනුරුද්ධ කුමාරයෝ “යහළු! ජරා මරණ දෙදෙනාගේ පසු පළමු වීමෙහි විභාගයෙක් නැත. සමහර කලෙක ජරාව පළමුව යෙයි. සමහර කලෙක ජරාවට මරණ පළමුව යෙයි. තෙලෙ නුවණෙක් නො වෙයි. අප බුදුහු එකුන්තිස් ඇවිරිද්දෙහි කාමසුව හැර සත්දවසෙකින් ලැබෙන සක්විතිරජය හැර මහණ වූහ. උදායින් ආදි වූ මෙම නුවර මහා ඇමැතියෝ ද නව යෞවනයෙහි මහණ ව අමා මහ නිවන් දැක දැන් අප ඉස පිය පස් වගුරුවා ගෙන ආකාශයෙන් ඇවිදිති. අපි ඔවුන් වඳුම්හ. පුදම්හ. සත්කාර කරම්හ. මෙයිදු ලජ්ජාවකට ඇත. කාමසුව විඳීම් නම් නුවණැසින් බැලූ කල සුව විඳීමෙක් නො වෙයි. දුක් විඳීමෙක. එකලා ව වලට ගොස් තපස් කිරීම නම් විශේෂයෙන් බැලූ කල දුක් විඳීමෙක් නො වෙයි. ඒකාන්ත සුව විඳීමෙක. යහළු දෙබසක් නො කියව. මහණ වන්නට යම්හ”යි කීහ.

එ වේලෙහි භද්දිය රජ්ජුරුවෝ තමන් මහා සත්‍යවාදී වූ හෙයින් උත්තරයක් කිය නොහී “එ බැවින් යහළු සත් අවුරුද්දක් රාජ්‍යය කොට පියා දෙදෙන ම එක් ව ගොස් මහණ වම්හ”යි කීහ. අනුරුද්ධ කුමාරයෝ “එසේ නො ගිවිසිමි” යි කීහ. “සහවුරුද්දක් බලව” යි කීකල. එසේත් නො ගිවිසිමි යි කීහ. “පස් අවුරුද්දක්-සතර අවුරුද්දක්-තුන් අවුරුද්දක්-දෑවුරුද්දක්-හවුරුද්දක් බලව” යි කී කල එසේ එසේ ත් නො ගිවිසිමි යි කීහ. නැවත “සමසක් බලව - පස්මසක් බලව - සාරමසක් බලව - තුන් මසක් බලව - දෙමසක් බලව - මසක් බලව - දෙපෝයක් බලව” යි කී කල එසේ එසේ නො ගිවිස්සහ. “එසේ වී නම් යහලු! මාගේ පුත්‍රදාරාවන්ට අනුශාසනා කොට රාජ්‍යය කන්කොට ලනතෙක් එකසත් දවසක් බලව. මට අසා ඇසියා නම් උත්තරයක් නො කියව”යි කීහ. එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ “සත්දවසකට ගිවිසීම් යහපතැ”යි කීහ.

ඉක්බිත්තෙන් සත්දවසක් මුළුල්ලෙහි කළමනා සියලු කෘත්‍යයන් නිම වූ කල සත්වන දවස් ඒ අනුරුද්ධ කුමාරයෝ ය, භද්දිය කුමාරයෝ ය, බුදුන් සුලු පිය වූ දෝතෝදනයන් දරු අනඳ නම් කුමාරයෝ ය, කිම්බිල නම් රාජකුමාරයෝ ය, භගු නම් රාජ කුමාරයෝ ය, සුප්‍රබුද්ධයන් දරු යසෝධරා දේවීන් බැහැ දෙවිදත් නම් රාජකුමාරයෝ ය යි රජකුමරුවෝ සදෙන තම තමන්ගේ සුවහස් ගණන් ඇත් අස් රථ බල පිරිස් ගෙන ශක්‍රපුරයෙන් බට දිව්‍ය භටයන් සදෙනකු සේ උයන් කෙළියට යම්හ යි නුවරින් පිටත් ව ක්‍රීඩා පසාරයෙන් යොදුන් ගණනක් පලා ගොස් එක් බිමෙක සිය සෙනඟ රඳවා ඔවුනො‘වුන්ට හිඟිලා උපාලි නම් කපුවාණන් හා සමග සත්දෙන මහ සෙනඟට සොරව වැද වල් හිරා ගොස් පසල් දනවුවකට බැස ඔවුනොවුන් හා කථා කොට එක් ව ම මහණවම්හ යි ඔවුනොවුන් ගිවිස්වා ගෙන තම තමන් පලන් සත්රුවන් ආභරණ ගලවා උතුරු සළුවෙක පොදිබැඳ උපාලි නම් කපුවාණන්ට දී “මේ සියලු ආභරණ තොප සේ වූ එකක්හු එක් ජාතියක් මුළුල්ලෙහි සුඛිතව ම ජීවිත රක්‍ෂාකොට ගැන්මට පමණ වන්නේය”යි කියා “තෙලෙ සම්පත් තොපට ම දුනුම්හ. අප බුදුන් කෙරේ මහණ වන්නට යම්හ”යි කියා රජකුමරුවෝ සදෙන නික්මුණාහ.

එ වේලෙහි රජකුමරුවන් යත් යත් උපාලි ආභරණ පොදිය අතින් අල්වාගෙන බල බලා සිට අනගි වූ සම්පතෙහි ඉතා භය ඇති ව “ශාක්‍යයෝ නම් ඉතා ගුණ නපුරුහ. මේ සම්පත් හැරගෙන රාජ්‍යයට ගොස් මා මෙ පවත් කී කල “සම්පත්ති ලෝභයෙන් රජදරුවන් උගන්වා ගෙන යවාපුයේ මේ කපුවා ය” යි මට කිපී මරා දමාපු නම් නපුර. සම්පත් තබා දිවි ගලවා ගතෝතින් යෙහෙක. මේ මට සැපතෙක් නො වෙයි. විපතට කාරණ ය. මෙ වැනි රජුන් සැපත් හැර මහණ වන කල මා වැනියන්ට සැපතින් කම් නැත. මම ද ඔවුන් හා සමග මහණ වෙමි” යි සිතා ආභරණ පොදිය පිටින් ගසෙක එල්වා “පළමු ව දුටු කෙනකුන් තෙලෙ හැරගන්නේ ය” යි අත්ගසා රජදරුවන් ගිය පද ලකුණෙන් දිව ගොස් රජකුමරුවන් හඹා ගියහ. එ කල ‘අවුනැ’යි රජකුමරුවන් විචාළ කල තමන් ආ පවත් කියා “මම ද මහණ වෙමි” යි කීහ. රජකුමරුවෝ “තොප හා සේ ම යෙහෙක. වරෝ ය”යි කියා උනු දු කැඳවා ගෙන ගොස් එ කලට බුදුන් මල්ල රජුන්ගේ අනුපිය නම් නියම්ගම අනුපිය නම් වෙනෙහි වසන තෙනට ගොසින් බුදුන් දැක වැඳ එකත්පස් ව උන්හ.

එ කල ස්වාමිදරුවෝ ඔවුන් ආ කාරණ විචාරා මහණ වන්නට ආ බහු අසා මහණවයි අවසර දුන් සේක. එ වේලෙහි රජදරුවෝ සදෙන කියන්නාහු “ස්වාමීනි! අපගේ කුලෙහි ශාක්‍යයෝ නම් ඉතා මානීයහ. මානයෙන් ම මඩනා ලදහ. නුඹවහන්සේ වැනියන් පවා නො වඳුම්හ යි මන් කළ කුලයෙක උපනුම්හ. අප ද මහණ වූ කල එ බඳු වූ මානයෙක් උපනී නම් එ කල මහණදම් මුදුන් පැමිණිය නො හෙයි. මේ අපගේ උපාලි නම් කපුවාණන් පළමුව මහණකොට අප පසුව මහණ කොට වදාළ මැනැව. එසේ කල ඔවුන් අපි වඳුම්හ. පුදම්හ. සත්කාර කරම්හ. එසේ කල අපගේ අභිමානත් සිඳෙයි. මහණදමුත් මුදුන් පැමිණෙයි. ඉදින් මතු රාජ්‍යශ්‍රීයෙහි ලෝභයකුදු වී නම් “තොපගේ කපුවාණන් වැඳ පුදා නීචක්‍රියා කොට නැවත රාජ්‍යය කරන්නට අවුදැ”යි ශාක්‍යයන් අපට පරිභව බෙණෙති යි කියා දෙවනු ව රාජ්‍යලෝභය ද දුරුවෙයි. මේ මේ කාරණයෙන් උන් පළමු ව මහණ කරවා අප පසු ව මහණ කළ මැනැවැ”යි කීහ. ස්වාමිදරුවෝ “තොප කීයේ කාරණ ම ය. ඥානවන්තයන් සිතුව මනා සිතිවිල්ලෙක් ම ය” යි වදාරා උපාලිත් පළමු ව මහණ කොට, රජ සදෙනා දෙවනු ව මහණ කොට උපසම්පදා කරවා කර්මස්ථානයන් ඉගැන්වූ සේක.

එ කල විදර්ශනා වඩා ඒ වස්සානය ඇතුළත භද්දිය තෙරුන් වහන්සේ රහත් ව භද්දිය නම් මහතෙර ව බුද්ධශාසන නමැති මහ සරසියෙහි සුපිපි මහා පද්මයක් සේ ශීල සුගන්‍ධයෙන් තුන්ලෝ හෙබවූ සේක. අනඳ මහතෙරුන් වහන්සේ ද එසේ ම සෝවාන් ව බුද්ධෝපස්ථායකයන් කෙරෙහි අග්‍ර වූ ස්ථානාන්තර ලදින් බුද්ධශාසන නමැති ආකාශයෙහි නැඟූ ජයකෙකුවක් සේ ඉතා ප්‍රසිද්ධ වූ සේක. කිම්බිලය-භගුය යි යන දෙදෙනා වහන්සේ ද එසේ ම රහත් ව පන්සිය පන්සිය පිරිස් ගෙන බුද්ධශාසන නමැති දිව්‍යරූපයෙහි දිව්‍යනේත්‍රයුග්මයක් සේ ඉතා ශෝභාසම්පන්න වූ සේක. දේවදත්තයෝ ද තිස්ස නම් මහ තෙර ව ධ්‍යානලාභී වූහ. ඔවුන්ගේ කථාව මතු කියන ඔවුන්ගේ චරිතයෙන් ම දතයුතු. උපාලි මහතෙරුන් වහන්සේ ද එසේ ම රහත් ව විනයධාරීන් කෙරෙහි අග්‍ර ස්ථානාන්තර ලදින් පන්සියයක් පර්ෂද් ඇති කොට බුද්ධශාසන නමැති මහා ගෘහයෙහි ප්‍රදීපයක් සේ සසුන් බැබළවූ සේක.

ඉක්බිත්තෙන් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ද විදර්ශනා වඩා රහත් ව ත්‍රිවිද්‍යාවෙහි කෙළ පැමිණ පෙර තමන් වහන්සේ පියුමතුරා නම් බුදුන් සමයෙහි පාන් පූජාකළා වූ කුශලයාගේ බලයෙන් වැඩහුන් එම අස්නේ හිඳ ලක්‍ෂයක් සක්වළ තුබූ තලඇටක් සා වස්තුවකුත් අත්ලෙහි තුබුවා සේ දක්නා තරම් දිවස් ලදින් එතැන් පටන් ශාසනාම්බරයෙහි පුන්සඳක් සේ සසුන් හොබවා බුදුසස්නෙහි දිවැස් ඇතියන් කෙරෙහි අග්‍ර වූ තනතුරු ලදින් බුදුන් මල් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ය යි මෙ නමින් දිව්‍ය මනුෂ්‍යයන් කෙරෙහි ඉතා ප්‍රසිද්ධ වූ සේක.