කපිල වස්තු පුරයෙහි ශුද්ධෝදන රජ්ජුරුවන් මල් අමිතෝදන නම් ශාක්‍යරජ්ජුරුවන්ගේ අගමෙහෙසින් බිසෝ වූ සඳ නම් දේවීන් වැදූ දරුවෝ මහානාමය අනුරුද්ධය’යි පුතුන් දෙදෙනකු හා රෝහිණී නම් දියණි කෙනකුන් හා තුන්දෙනෙක් වූහ. එයින් අනුරුද්ධ නම් කුමාරයෝ ඉතා මහත් වූ පින් ඇති කෙනෙක. ඔවුන් සත් අට හැවිරිදි කල රජකුමරුවන් තුන්දෙනකු හා සමඟ පැරදි කෙනෙක් “කැවුම් තලි, දෙම්හ”යි ගිවිස ගුළ කෙළි කෙළිනාහු ය. එ කල අනුරුද්ධ කුමාරයෝ පැරද ගියහ. සෙසු රජකුමරුවෝ “කැවුම්තලියක් දුනොත් මුත් නො කෙළුම්හ”යි කීහ.
එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ තමන් පැරදි බව මෑණියන්ට කියා යවා කැවුම් තලියක් ගෙන්වා දී, මෙසේ ම තුන් වාරයෙක පැරද තුන් වාරයක් කැවුම් ගෙන්වා දී, සතරවන වාරයෙහි ත් පැරද “කැවුම් තලියක් එවන්නේ ය”යි මෑණියන්ට කියා යවූහ. බිසොවු තුන්වාරයෙක කැවුම් යවා කුසී ව “දරුවන් පැරදි පැරදි සේ මම කැවුම් තලි යවාගත නොහෙමි. ඉතිකින් ගෙයි කැවුම් නැතැ”යි කියා යවුමාහු ය. අනුරුද්ධ කුමාරයෝ කැවුම් නැතැ යි කියා යවු බස් අසා තමන් උපන් තැන් පටන් නැතැ යි යන බසක් නො ඇසූ විරූ හෙයින් නැතැ යි යන බසෙහි අර්ථ නො දැන “නැති පූ ය යි යන පූ ජාතියෙක් ඇතිවනැ”යි සිතා ‘එ නැති පූ වහා එවන්නේය”යි කියා යවුවාහු ය.
මෑණියෝ එ බස් අසා තමන් අතුරෙහි සිනාසී “මාගේ පුතණුවෝ තමන් ශ්‍රීමත් කුලෙහි උපන් හෙයිනුත් මහපින් ඇති හෙයිනුත් මහපින් ඇති හෙයිනුත් නැතැ යි යන බසෙහි අර්ථ නො දනිති. මපුතණුවන් මතු රාජ්‍යය කරන කල නැතැ යි යන බසක් නො කියා රාජ්‍යය කළ නො හැක්කේ ම වේ ද, ම පුතණුවන් නැතැ යි යන බසෙහි අර්ථය උගන්වමි”යි සිතාලා රන්තලියක් ශුද්ධ කරවා පියා අනික් රන්තලියකින් වසාලා “තෙල නැති පූ මපුතණුවන්ට දෙව”යි කියා නිකම් තලිය යවුවාහු ය. එ කෙණෙහි එ නුවර අරක් ගත් දේවතාවා “මාගේ අනුරුද්ධ කුමාරයෝ මවු කුසින් උපන් දා පටන් නැතැ යි යන බසෙහි අර්ථ නො දත්තාහු ය. අද එ බසෙහි අර්ථ දැන පූ නම් උන්ගේ පින් බලයෙන් මාගේ හිස සත්කඩක් ව පැළී යෙයි” කියා මරණභයින් වෙවුලා එ ගෙන යන්නා වූ තලියෙහි දිව්‍ය වූ සුවඳ කැවුම් මවාලී ය. එ වේලෙහි ගෙන ගොස් තලිය අනුරුද්ධ කුමාරයන් ඉදිරියෙහි තබාලා ගෙන ගිය පුරුෂයා අක් කොළින් මඳක් සිනාසී “ස්වාමීනි! තෙල නැති පූ කැව මැනැවැ”යි කියාලා මත්තෙහි තුබූ රන්තලිය ඔසවා පීය. එ කෙණෙහි ඒ දිව්‍ය කැවුමෙහි සුවඳ ඒ සා මුළු නුවර මුළුල්ලෙහි හමා බස්නට පටන්ගත. එයින් එක කැවුමක් හැරගෙන දිව අග තබාලූ වේලෙි අනුරුද්ධ කුමාරයන්ගේ සකල ශරීරය පිනවාගෙන සත්දවසක් නහර රසයෙන් පුරා සිටගත. එ කැවුම් තුමූ ත් කාලා සෙස්සවුන්ට ත් බෙදා දීලා කෙළනා කෙළි තබා පියා සතුටු සතුටු ව රජගෙට පලා ගොස් මෑණියන් ඔර පිට වැඩහිඳ දෑතින් කර වැළඳගෙන මෑණියන්ගේ මුහුණ හා දෙතන සනා පියා “මෑණියන් වහන්ස! මෙතෙක් දා නුඹ මට ස්නේහ නැත්තේ ඇයි ද, අද මට ස්නේහ ඇතිව ගියෙත් නැ”යි විචාළහ.
එ වේලෙහි මෑණියෝ පුතණුවන් කෙරෙහි ප්‍රේමයෙන් සතුටු කඳුළු ගෙන පියා “පුතණුවෙනි! කුමක් කියන්නෙහි ද? මාගේ ඇස් දෙකත් මාගේ හදවතත් නුඹත් මෙ සතර ම මට සම ම ය. ඒ ඇස් දෙකටත් හදවතටත් නුඹ ම මට ප්‍රිය දෑ ම ය”යි කීහ. අනුරුද්ධ කුමාරයෝ කියන්නාහු “එසේ නුඹවහන්සේ මට ස්නේහ ඇතිකළ මෙ තෙක් දවස් මෙ බඳු වූ රස ඇති නැතිපූ මට පිස නුදුන්නෙ නැ”යි කීහ. බිසොවු තලිය ගෙනගිය පුරුෂයා අතින් විචාරා මෙ පවත් දැන මාගේ පුතණුවන්ගේ පින්බලයෙන් දිව කැවුම් දෙවියෝ මවා දුන්හ යි දැන ඉතා විස්මයට පැමිණියහ. එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ “මෑණියන් වහන්ස! මා කෙරෙහි සනා ඇතිසේක් වී නම් අද පටන් ගෙන සෙසු කැවුමක් නොකම් ම ය. නැතිපූ ම මට පිස එවන්නේ ය”යි කියලා කෙළිනට දිව පීහ. එදා පටන් කැවුම් කමි යි කියා පුතණුවන් එවාලූ කල මෑණියෝ පෙර සේ ම රන්තලියක් සෝදා, රන්තලියකින් වසා යව යවාලති, පෙර සේ ම දේවතාවෝ දිව්‍ය වූ කැවුම් මව මවාලති. අනුරුද්ධ කුමාරයෝ සෙසු කැවුමක් නො කා දෙවියන් මැවූ කැවුම් ම කා නැතැ යි යන බසෙහි අර්ථ නො දැන ගිහිගෙයි වැඩුනාහු ය. මේ කෙසේ වූ පින් බලයෙක් ද? යත්;
පෙර මේ අනුරුද්ධ කුමාරයෝ එක් ජාතියෙක දිළිඳු වූ එක් කුලයක ඉපැද අසුන්ට තණ දා තණ කත් ඇද ජීවත් වෙති. එ සමයෙහි උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේ දැක තමන් බැලමෙහෙ කොට ලත් බත් කොට්ඨාසය උන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්වාලා “මෙ පිණින් මතු මෙසේ වූ දිළිඳු කුලයක නූපදිම්ව යි, උතුම් වූ රජකුලෙහි උපදිම්ව යි, එසේ ඉපැදත් නැතැ යි යන බසෙහි අර්ථ නො දනිම්ව”යි කියා ප්‍රාර්ථනා කළාහු ය. එ පින් බලයෙන් මෙ සමයෙහි ශාක්‍ය කුලයෙහි ඉපැද නැතැ යි යන බසෙහි අර්ථ නො දැන දිව්‍ය වූ කැවුම් කා ම වැඩුනාහු ය යි දතයුතු.
තව ද: මේ අනුරුද්ධ කුමාරයෝය, භද්දිය කුමාරයෝ ය, කිම්බිල කුමාරයෝය යන මේ රජකුමරුවෝ තුන්දෙන පසළොස් සොළොස් හැවිරිදි අවස්ථාවෙහි ඔවුනොවුන් හා සමග කෙළ කෙළ හිඳ “බත් උපදින්නේ කොයින්දැ”යි සැක කළහ. එයින් කිම්බිල කුමාරයෝ එක් දවසෙක කෙළ ගෙන යන්නාහු බඩසලින් වී බානා දැක ඒ සලකුණෙන් “බත් උපදින්නේ බඩසලිනැ”යි කීහ. භද්දිය කුමාරයෝ දවසෙක සැළියෙන් බත් රන් තලියේ ලන්නා දැක එ සලකුණෙන් “බත් උපදින්නේ බඩසලින් නො වෙයි. සැළියෙනැ”යි කීහ. අනුරුද්ධ කුමාරයෝ කොටුවෙන් වී බානා ත් නුදුටු විරූහ. සැළියෙන් බත් ගන්නා ත් නුදුටු විරූහ. ඉදිරියෙහි කන්නට තබාලූ බත්ම දුටු විරූහ. එසේ හෙයින් “තොප දෙන්නා ම කියන්නෝ නො දැන ය. බත් උපදිනා තැන් මම දනිමි. වඩුරියන් උස රන් කැකුළු ඇති මහ රන් තලියෙකින් බත් උපදින්නේ”ය යි කීහ. මෙසේ එම පින් බලයෙන් බත් උපදිනා තැනුත් නො දැන ගිහිගෙයි සුඛිත ව වාසය කෙරෙති.
එකල අප බුදුන් සමීපයෙහි කුලයෙකින් එක්දරු කෙනකුන් බැගින් මහණ කරවන සමයෙහි මහානාම නම් ශාක්‍යයෝ තමන් මලනුවන් මෙ කී අනුරුද්ධ කුමාරයන් ළඟට කැඳවාලා “මලණ්ඩ! බුදුන් කරා ගොස් අප දෙබෑයන් අතුරෙන් එක් කෙනකුන් මහණ වුව මැනව. මම මහණ වෙම් ද? තෙපි මහණ වවු දැ”යි විචාළහ. එ බසට අනුරුද්ධ කුමාරයෝ කියන්නාහු “බෑණන් වහන්ස! බුදුන් කෙරේ මහණ වූ කල එක් වේලේ කෑව මනාල. එසේ වූ බත ත් දොර දොර සිඟා ඇවිදලද මනාල. බඩ සා ය යි කිය නො හැකිල. ඇඹුල් ලුණු බෝ ය, මඳ ය යි කිය නො හැකිල. හුණු කැමැති සිහිල් ලැබේ ල. සිහිල් කැමැති හුණු ලැබේල. දිවිහිමියෙන් එකලාව ම හොත මනා ල. රුක්මුල් සුසාන භූමිවල භාවනා කොට ඇවිද්ද මනා ල. එසේ වූ දුක් මම විඳගත නො හෙමි”යි කීහ. එ වේලෙහි මහානාමයෝ සිතන්නාහු “මාගේ මලනුවෝ තමන් සියුමැළි හෙයින් මහණ වන්ට මැලියාහු ය. මම මහණවීම් නම් ශාක්‍යකුලයට රක්‍ෂාව නැත. මාගේ මලනුවන් මහණ වුව මැනැව, මහණ වෙමි යි උන් ලවා ම උපදෙසකින් කියවා ගනිමි”යි සිතාලා “එසේ වී නම් මලණ්ඩ! මම ගොස් බුදුන් කෙරේ මහණ වෙමි. තෙපි ගිහිගෙයි වසා නම් උපයා කන ලෙස් මා අතින් ඉගෙන ගනුව. කර්මාන්ත නො දන්නවුන්ට ගිහිගෙයි වාසය බැරිය”යි කීහ.
එ බසට අනුරුද්ධ කුමාරයෝ “උපයා කෑම් නම් කර්මාන්ත නම් කෙසේ වූ දෙයක් දැ”යි විචාළහ. බත් ඉපදවීම් ය යි බෑයෝ කිහ. බත් උපදින්නේ රන් තලියෙන් නොවේ දැ යි කීහ. මලණ්ඩ! රන්තලියෙන් නො වෙයි. බත් උපදින්නේ නම් කුඹුරෙනැ යි, කීහ. කුඹුරෙන් කෙසේ උපදී දැ යි විචාළහ.
එ වේලෙහි මහානාමයෝ මලණුවන්ට ගිහිගෙයි කරන අනුශාසනා වශයෙන් ආදීනව දක්වන්නාහු “මලණ්ඩ! බත් උපදිනා ලෙස් මා අතින් අසව. සී සෑම් නම් සුළං බදන්නා සේ ඉතා උගහට දෙයෙක, වියදඬෙක, පිට වකෙක, බඩ වකෙක, නිමුනෙක, කෙවිල්ලෙක, නඟුලෙක, අව කැටෙක, සී වැලෙක, පෙර ගිලියෙක. පසුගිලියෙක, වියමෑයෙක, සීරෑණ දෙකක, අමුදු බානෙක, කැවිටෙක, ගොන් ගෙයෙක, ගොවියෙකැයි යන මේ අටළොස් දෙනාගේ එක් වීමෙන් යන්නා වූ ගමන සීසෑම් නම් වෙයි. මෙසේ සී සානා ගොවියක්හු විසින් පළමුව පලාගොස් කුඹුරෙහි වන අත් ගසා ඇළ මං පාදාගෙන දෙවනුව ශුභ වූ නකතකින් ගේ වඩා බිම් නගා දෙසී තුන්සී සා මියට කපා කැට තලා පෝරා ගා බිජුවට වඩා විධි වූ පරිද්දෙන් කුඹුරෙහි වපුට ගත මැනැව. ඒ වපුළා වූ කුඹුරෙහි සතා සතුන් සතියක් රැක්ක මැනැව. වැට බැඳ ඉස්නන් නමා ඒ ගොයම් නිලන අවස්ථාවෙහි කුඹුරුමැද රකවල් පැලක් තබාගෙන මැසි දඬක් ලා ගෙන ගෙයි දී කන බතෙක රස නො දැන ඇඳෙක පිටක් නො තබා රාත්‍රීන්‍දිවාභාගයෙහි එ මැසි දඬේ වැදහෙව රාත්‍රින්‍දිවාභාගයෙහි එක් දවසෙකත් නින්දේ නින්දක් නිඳා නො පියා ගෙරින් මීවුන් ඌරන් මුවන් ආදි වූ සතා සතුන් සාරමසක් රැක්ක මැනැව. කරලක් නැඟූ තෙන පටන් ගෙන පියන්වා ආදි වූ නොඑක් රෝගයට කෙම් පන්කම් සේ නැතිව කළ මැනැව. දවසින් දවසට කුඹුර සිසාරා අතු තබාලුව මැනැව. පන් ඇද්ද මැනැව. මෙසේ දුක් ගෙන ගොයම් රකිනා කල සීනටි කුඹුරෙක් වී නම් තුන්සාරමසක් රක්ක මැනැව. මාවී කුඹුරෙක් වී නම් සමසක් සත්මසක් රක්ක මැනැව. මේ දෑතුරෙහි ඇළ අමුණු පුවටා ආදි වූ බොහෝ කර්මාන්ත අත්කම සේ නැති ව කළ මැනැව. පැසෙන මස මුළුල්ලෙහි බස බසරළ වන තුරු හඞ්ග හඞ්ගා කුඹුරෙහි ඒ මුල්ලෙන් ඒ මුල්ලට දිව දිව කම් සේ නැතිව කුරුලු-කොබෝ-ගිරා ආදි වූ වී කන සතුන් බිණුම මැනැව. ගොයම් පැසුණු කල දා වැඩ අඳ වී නම් අඳයෙන් එකක් දුන මැනැව. තුනිනෙකවි නම් තුනිනෙ‘කක් දුන මැනැව. බලාපු වී නම් හැම වී ම වී හිමියන්ට දුන මැනැව.
මෙසේ එ වී ලත් කල වැළසන ය පැල්දොර ය බොල්පස ලාස ය, කටුමානතු ය කඳුකඩ ය යනාදි ව්‍යවහාර නො වරදවා දුන මැනැව. තව ද: රදවුන්-බෙරවායන්-මෙහෙකරුවන්ට දුන මහා කුලී නො වරදවා දුන මැනව. සිඟන්නවුන්ට දුන මැනව. ත්‍යාග ය යි කියා දෙති. පෙර කෑ නය යි කියා දෙති. පෙර කෑ අත පැන් දියයි කියා දෙති. මෙසේ මෙසේ නො එක් ප්‍රකාරයෙන් එක කුඹුරෙහි වී වියදම් කොට ඉතිරි දෙයක් ගෙනවුත් කොටුවෙක පටවා ගෙන බිජුවට ය යි එක් භාගයක් තබාගත මැනව. ඇසා ය යි එක් භාගයක් වෙන් කොට තබාගත මැනැව, බිජුවට භාගය නො කා ඇසා භාගය කෑව මැනැව. එසේ කන කල පමණ නො දැන නො කා අදට මෙ තෙක් ගත මැනැව. සෙටට මෙතෙක් ගත මැනැවැ යි පමණ දැන කෑව මැනව. මතු මෙතෙක් දවස් ගිය කල ගොයම් පැසෙයි. එ වක දක්වා රැකුණ මනා වේ දැයි සිත සිතා සුඟින් සුඟ කෑව මැනැව. මෙසේ එක් සමයෙක දුක් ගෙන උපයා ගත් කළ අනිත් සමයෙහි ත් පෙර කළා සේ ම මෙසේ වීර්‍ය්‍ය කළමනා ම ය. මෙසේ දිවිහිමියෙන් ම යලත් මාසත් අප්‍රමාද ව මෙහෙ කළ මැනැව. පරීක්‍ෂා කළ කල ගොවීහු නිකම් හිඳිනා දවසෙක් නම් නැත. ලෙඩ ව හොත් කලත් උපයා කෑ නො හැක්ක. සේවාකම් ආදි වූ නො එක් කටයුත්තෙහි නියුක්ත ව ගිය කලත් ගම හිඳ උපයා කෑම් නම් නැත් ම ය. මහලු ව ජරාවට පැමිණ කලත් මෙකී කර්මාන්ත කොට ගත නො හැකි හෙයින් උපයා කෑ නොහැක්ක.
එ කල දෑතින් දෙදඬු ගෙන විළි පිළියෙන් විරූප ව කුද ගසා ගෙන පෙර තමා උපයා කෑ රට ම වෙස් බැඳ පානා විකාර රූපයක් සේ දොරින් දොර සිඟා කෑ ඇවිද්ද මනා ය. එසේ හෙයින් මලද්ධ! නුවණැසින් බැලුවාන්ට මේ සසර සුව විඳීමෙක් නො වෙයි. දුක් විඳීමෙක් ම ය. කලෙක නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැන නැඟී භවයෙන් අග පැමිණියාහු සුව විඳියෝ පවා, කලෙක සතර අපායට පැමිණ දුක් විඳිනාහු ය. කලෙක බ්‍රහ්මරාජන් ව සුව විඳිනාහු කලෙක කදෝකිම් ව ත් උපදනාහු ය. කලෙක ශක්‍ර සුයාම සන්තුෂිතාදි දිව්‍යරාජන් ව සුව විඳිනාහු පවා කලෙක ප්‍රේතලෝකයෙහි ඉපැද ප්‍රේත දුක් විඳිනාහු ම ය. කලෙක දිවඋයන්වල දිව කෙළි කෙළ ඇවිද්දාහු කලෙක අසිපත්‍රවෙනෙහි කැපි කැපී ඇවිදිනාහු ම ය. කලෙක දිව්‍ය ප්‍රාසාදවල සුව විඳ ඇවිද්දාහු කලෙක නරකාග්නි ජාලාභ්‍යන්තරයට පැමිණෙන්නාහු ය. කලෙක දිව්‍යමය භෝජනය අනුභව කළාහු කලෙක ලෝගුළි අනුභවයෙනුත් දවස් යවන්නාහු ම ය. කලෙක දිව්‍යපානීය වර්ග අනුභව කළාහු කලෙක ලෝහ පානීයන් අනුභවකොට නරකවල ඇවිදුනාහු ය. කලෙක දිව්‍යමය වූ යහන්වල සැතපුනාහු කලෙක තප්ත වූ යපෝළෝවල ශයනය කරන්නාහු ම ය. කලෙක දෙවඟනන් පහස් විඳ ඇවිද්දාහු කලෙක කටු ඉඹුල් වෙනෙහි ඇවින ඇවිනත් ඇවිදුනාහු ම ය. කලෙක දිව්‍ය ගංගාවල ස්නානයකොට ඇවිද්දාහු කලෙක වෙතරණී නම් ක්‍ෂාරොදක ගංගාවල ඇවිදිනාහු ම ය. කලෙක දිව්‍ය පුෂ්කරණීවලට බැස ජල ක්‍රීඩාවෙන් මත් වූවාහු කලෙක ලෝකුඹුවල ඉපැද නිරා දුකින් උමතුවත් ඇවිදිනා ම ය. කලෙක රන්රුවන් කළු මුදුනෙහි දිව කෙළි කළ ඇවිද්දාහු කලෙක අඞ්ගාර පර්වත මස්තකවල ත් ඇවිදුනාහු ම ය.
කලෙක පාණ්ඩුකම්බල ශෛලාසන නැඟී දෙවි පිරිස් පිරිවරා උන්නාහු කලෙක දිවස්හුල නැඟී කවුඩු බලු පිරිස් පිරිවරාත් හිඳිනාහු ම ය. කලෙක දිව්‍යරථවලින් ඇවිද්දාහු කලෙක තප්ත වූ අසෝ රථ නැඟීත් ඇවිදිනාහු ම ය. කලෙක දිව්‍ය සමාන හස්තීවාහන නැඟී ඇවිද්දාහු කලෙක තුමූ අනුන්ට වාහනවත් ඇවිදුනාහු ම ය. කලෙක සක්විතිරජ ව ඇවිද්දාහු කලෙක චණ්ඩාලවත් ඇවිදුනාහු ම ය. කලෙක මිණි ඔටුනු ධරා ඇවිදි ඉසින් කලෙක දරමිටි උසුළා ත් ඇවිදිනාහු ම ය. කලෙක දිව්‍ය සමාන මට සිලුටු වූ සළුවෙන් සරහා ඇවිද්දාහු කලෙක උකුළුකලවෙ කුණු රෙදි පිළිවෙලින් සරහාත් ඇවිදිනාහු ම ය. කලෙක අනගි වූ දළමුතු හරින් උරමඬල සරහා ඇවිද්දාහු කලෙක කප්පට හිරා කර ලා දුටු දුටුවන් අරභයාත් ඇවිදුනාහු ම ය. කලෙක බෘහස්පති සමාන නුවණැති ව සකල සත්ත්‍වයනට ආචාරී ව ඇවිද්දාහු කලෙක අඥාන ව අව්‍යක්ත ව තුමූ තමන්ට ආචාරිවරුන් සොයාත් ඇවිදිනාහු ම ය. කලෙක මිහිරි වූ කටහඬින් චිත්‍ර කථික ව ඇවිද්දාහු කලෙක මුගබධිර ව ඉගිලා ත් ඇවිදුනාහු ම ය. කලෙක පුරුෂ ව ඉපැද ස්ත්‍රීන් පිරිවරා ඇවිද්දාහු කලෙක ස්ත්‍රී ව ඉපැද පුරුෂයන්ට පතිනිවත් උපදනාහු ම ය. කලෙක ඔවුනො‘වුන් කෙරෙහි ජීවිත සමාන ප්‍රේමයෙන් ඇවිද්දාහු කලෙක ඔවුනොවුන් ගෝචරකොටත් ඇවිදුනාහු ම ය. අහස බලා අත්පොළසන් දී සත්රුවන් වැසි වස්වා ගන්නා තරම් මහාමන්‍ධාතු සක්විති රජුන් වැනියෝ කලෙක මිනී ඉස්කබල් ගෙන දොරින් දොර භික්‍ෂාටනය කොට ගොතටුකඳ වැද හෙම දේහ නික්‍ෂේපය කළාහු ම ය.
මේ ආදි කාරණයෙන් මලද්ධ! මේ සසර නම් නුවණැසින් බැලුවාහට විද්ධම්බනාවක් වැන්න. පිදුරු කැරැල්ලක් සේ අග් මුල් නැති සේ ය. ගුළ නම් ලිහිණියන්ගේ කසල්ලක් සේ පිළිවෙලක් නැති යේ ය. අවුල් හූ වැටියක් වැන්න. දියෙහි නැගි දිය බුබුළක් වැන්න. දියෙහි යන රළ සතරක් වැන්න. දියෙහි ඇඳි රේඛාවක් වැන්න. විදුලියක් වැන්න. සුළං කඩක් වැන්න. දෝලා කෙළියක් වැන්න. ඉන්‍ද්‍රජාලාවක් වැන්න. දර්ශන රූපයක් වැන්න. සිහිනෙන් දුටු රූපයක් වැන්න. ඉතා නිස්සාර දෙයෙක. තපස් කොට නිවන් දුටුවාහට ජරා නැත. මරණනැත. දුක් නැත. ශෝක නැත. දුගතිය නැත. ඉතා ශාන්ත ය. දාන්ත ය. මලණ්ඩ! මේ සියල්ල ම මා නුඹට කියාලූ බැවින් පිළිවන් වී නම් මා කී සැටියේ උපයාතා තෙපි ගිහි ගෙයි වසව. මාගේ ලක්‍ෂ ගණන් නළු පිරිස් හා තුන් පාය හා රජ සැපතත් පාවා ගනුව. මම මාගේ බුදුරජාණන් කරා ගොස් මහණ ව සුවසේ වෙසෙමි යි කීහ.
එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ බෑණන් විසින් කියන ලද උපයා කෑමෙහි දුක් හා සංසාරයෙහි ආදීනව අසා තුන් භවය ගිනිගත් ගෙයක් සේ කොට සිතා, සසර භය ගෙන වෙවුලා බෑණන්ගේ සම්පත් තබා තමාගේ ලක්‍ෂ ගණන් නළුපිරිස් හා තුන් සෘතුවට කළ තුන් පාය හා සියලු රජ සැපත අලුයම දැමූ කෙළ පිඩක් සේ සිතා සැපත් ලෝභය හැර “බෑණන්වහන්ස! උපයා කෑම් නම් සසර නම් මෙසේ වූ දුකෙක් වනැ යි මෙතෙක් දවස් නො දත්තෙමි. රන්තලිවලින් ම බත් උපදිති යි සිතීමි. මෙසේ වූ දුකක් ඇති ගිහි වාසය මට නොකැමැත්තේ ය. මට ස්නේහ ඇතියේ නම් නුඹ මහණ වන්නට නො ගොස් මා ම පළමුකොට බුදුන් කරා යවාපුව මැනැවැ”යි කියාලා බෑණන් අනුදන්වාලා එ කලට පියාණන් නැති හෙයින් මෑණියන් වසන රජගෙට ගොස් මෑණියන් දැක “මෑණියන් වහන්ස! බුදුන් කරා ගොස් මහණ වනු කැමැතියෙමි. මට අවසර දුන මැනැවැ”යි කීහ.
මවු බිසොවු පුතණුවන් කී බස් අසා ල පිරුණු ශෝක ඇතිව “මාගේ ප්‍රිය පුතණුවෙනි! නුඹ පියාණන් වහන්සේ නැත. මාගේ හදවත හා දෑස හා නුඹ හා සම වුව. එසේ හෙයින් මට සැපත් නම් නුඹ හා නුඹගේ බෑණන් වහන්සේගේ දර්ශනය වුව. එසේ වූ දුකකට නුඹ යවාලා වැද හිඳීමට මට බැරි ය. මා දිවි තිබිය දී අනු නොදන්මි”යි කීහ. එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ “මෑණියන් වහන්ස! කුමක් කියන සේක් ද, ගංගාවෙහි නිකුත් මහ දියවතුර මහමුහුද මුත් අතුරෙක නො රඳන්නා සේ ම මාගේ ශ්‍රද්ධා නමැති මහවතුර සුගත් මහමුහුදට වැද මුත් නො රඳාම ය. සමුදුන මැනැවැ”යි කීහ. එ වේලෙහි දු මවුබිසොවු “බැරිය පුතණ්ඩ”යි කීහ. තව ද: අනුරුද්ධ කුමාරයෝ නො පසු බැස “මෑණියන් වහන්ස! ආකාශයෙහි නැඟු වැසි මහපොළොව මුත් අනික් තෙනෙක නො රඳන්නා සේ මාගේ තෘෂ්ණා නමැති වර්ෂාව සුගත් මහපොළොව වැද මුත් නො රඳා ම ය. සමු දුන මැනැවැ”යි කීහ. තුන්වනුව ද මවු බිසොව “පුතණ්ඩ! එසේ වූ බසක් මා කණ නොවකව”යි කීහ. තව ද: අනුරුද්ධ කුමාරයෝ “මෑණියන් වහන්ස! ආකාශයෙන් පර්වතාග්‍රයෙකින් නිකුත් දියහැල්ලක් පර්වත ප්‍රාන්තයෙහි රඳන්නා සේ මාගේ තෘෂ්ණා නමැති දියහැල්ල සර්වඥ නමැති නියග්ගලයෙහි ගැලී මුත් නොරඳා ම ය. අවසර දුන මැනැවැ”යි කීහ.
එ වේලෙහි මෑණියෝ කම්පිත වූ සිත් ඇති ව ලපිරුණු සිත් ශෝකයෙන් අනිකක් කියාගත නොහී මායමින් දරුවන් තපසට යා නො දෙමි යි සිතා එවක නම් භද්දිය රජ්ජුරුවන් රාජ්‍යය කරන කාලය හෙයින් “පුත! තොපගේ කල්‍යාණමිත්‍ර වූ එක කෙළි මඬලෙහි වැඩියා වූ ඒක ප්‍රාණ වූ භද්දිය නම් රජ්ජුරුවන්ට කියාලා ඔහු මහණ වෙත් නම් උන් හා සමග ගොස් බුදුන් කෙරෙහි මහණ වව”යි කීහ. එවේලෙහි අනුරුද්ධ කුමාරයෝ යහපත මෑණියෙනි! උන් යතොත් යන්නෙම් වේ දැ”යි කීහ. බිසොවු රජෙක් නම් රාජ්‍යශ්‍රීය හැර කවර කලෙක නම් මහණ වේ දැ”යි සිතා “යහපත, යව පුතනුවෙනි!”යි කීහ.
එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ රජගෙට නික්ම මගදී සිතන්නාහු “මාගේ මෑණියන් වහන්සේ “රජ්ජුරුවෝ නම් මහණ වන්නට නො යෙති. උන්කරා යැවු කල ඔහු මුන් රඳවා ගනිති”යි මායමින් සමු දුන් සේක. රජ්ජුරුවන් මහණ නො වන්නේ ත් සැබෑව. මම උපදෙසකින් අනු ත් එක්කොට ගෙන මහණ වෙම් ම ය”යි සිතා අපගේ ශාක්‍යකුලයෙහි රජදරුවෝ නම් දිවි යේ නමුත් බොරු නො කියති. උපදෙසකින් මහණ වෙමි යි කියා ගෙන එ බස මුල් කොට රජහට චෝදනා කොට ලජ්ජා කරවා මහණ වන සේ ගිවිස්වා ගනිමි යි සිතාලා රජගෙට ගොස් භද්දිය රජ්ජුරුවන් දැක රජහු වැළඳ සිඹ සනහා “දේවයෙනි! මා නුඹ කෙරෙහි ඇති ප්‍රේම මෙතෙකැ යි පමණ නො දන්මි. නුඹ මා කෙරෙහි ඇති ප්‍රේම මා තරමට අඩු ය යි සිතමි. ඉදින් නුඹ වහන්සේ මේ රාජ්‍ය ශ්‍රී හැර මහණ වන සේක් වී නම් මම ද මාගේ තුන් සෘතුවට කළ තුන් පාය ඇතුළු වූ සුවහස් නළුපිරිස් ආදී වූ සියලු සම්පත් අලුයම දැමූ කෙළපිඩක් සේ නො සිතා නුඹ හා එක්ව ගොස් මහණ වෙම් ම ය. එසේ හෙයින් මාගේ තපස පවා නුඹගේ තපස් අනුව පවත්නේ ය. ඉදින් එසේ පළමු ව තපසට යතෝතින් නුඹගේ තපස් මා හා අනු වේ දැ”යි කීහ.