වදාළේ මැනෝ:-
එවං අචින්තියා බුද්ධා - බුද්ධධම්මා අචින්තියා,
අචින්තීයෙසු පසන්නානං - විපාකො හොති අචින්තියො’ - යි.
තව ද එක්කලෙක තෙවළා බුදුවදන්හි ඉතා දක්‍ෂ වූ කළුබුද්ධ රක්ඛිත නම් මහාක්‍ෂීණාශ්‍රව ශ්‍රාවක කෙනෙක් අනුරාධපුරනුවර කළුතිඹිරිය මුල වැඩහිඳ, බොහෝ දිව්‍ය මනුෂ්‍යයන්ට කාලකාරාම නම් සූත්‍රයෙකින් රාත්‍රී බණ වදාරති. එ දවස් ශ්‍රීලඞ්කාධිපතිවූ ‘සැදෑතිස්ස නම් පින්වත් රජෙක් කිසියම් කටයුත්තක එතැන් පත් ව මහතෙරුන් බණ කියන්නා දැක පිරිස් කෙළවර නො පෙනී සිට දැන් බණ සමහර කෙරෙති. දැන් බණ සමහර කෙරෙති බණ සමහරකළ විටෙක මුත් මෙ තැනින් නො යෙමි යි සිතා තුන්යම් රාත්‍රිය මුලුල්ලෙහි සිටි පිය නො සොල්වා සිට බණ අසා අරුණොද්ගමන වේලෙහි මහතෙරුන් පන්සිල් දී බණ සමහර කළ කල අන්තයෙහි සිටි රජ්ජුරුවෝ ද පන්සිල් ගෙන මහත්කොට සාධුකාර දී තමන් එතැන සිටි බැව් හඟවා මහතෙරුන්ට පෙණුනාහ. එ කල මහතෙරහු රජ්ජුරුවන් දැක මහරජ කවර විටක අවුදැ?යි විචාළහ. රජ්ජුරුවෝත් ස්වාමීනි! නුඹවහන්සේ යම් වේලෙක ධර්‍මදේශනාවට පටන්ගතුයේ වී නම් එ වේලෙහි ම මෙ තැනට ආයෙම් වේ දැයි කීහ. එ වේලෙහි මහතෙරහු විස්මය පත් ව මහරජ! තෙපි ඉතා ම රාජ සුකුමාලය, තුන්යම් රෑ කෙසේ නම් සිට කෙසේ සිත එකඟ ව බණ අසාගතුදැ?යි විචාළහ. රජ්ජුරුවෝ ස්වාමීනි! මේ එක් රාත්‍රියක් තබා නුඹවහන්සේ හා මාගේ හා ආයුෂ්කල්පය මුළුල්ලෙහි ද එසේ වූ බණක් වදාරනුයේ වී නම් මෙසේ ම සිට බණ අසම් ම ය. මාගේ ලඞ්කාද්වීපය මුළුල්ලෙහි කැවිටි දඬුඅඟක් ඔබාලන තරම් බිමෙකු දු හිම් නො වන තරම් වෙම්ව යි නුඹ වදාළ බණින් පදයකුත් පිල්ලකුත් නො පිරිහෙලා සිත හෙලා ඇසිම්ම ය යි ශපථ කළහ.
එ වේලෙහි මහතෙරහු සාධු! සාධු! මහරජ යි රජ්ජුරුවන්ට තුන්යලක් සාධුකාර දුන්හ. සිසාරා සිටි මහපිරිස ද සාධුකාර දී පැන නැංගාහ. දෙවියෝ ද මහරජහට සාධුකාර දුන්හ. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ ද තව ද මහතෙරුන් වැඳ සිට “ස්වාමීනි! මෙසේ වූ දහම්නයක් මෙතෙක් දවස් නො ඇසූවිරීමි. බුදුන් දහම් මෙසේ බොහෝදෙයක් බවත් නොදන්නෙමි. මෙසේ වූ ධර්‍මයක් නිමවා නුඹ කෙසේ ඉගෙනගත්තෙහි ද?”යි විචාළාහ. එ වේලෙහි මහ තෙරහු “මහරජ! කුමක් කියව් ද? අප බුදුහු තුන්පිටකයෙහි වදාළ පන්සිය පනස් ජාතකදේශනාවෝ ය, දෙසියනවානූවක් වස්තුකථා දෙශනාවෝ ය, සතළිස්දහස් පන්සිය පන්සැත්තෑවක් පමණ සූත්‍රදේශනාවෝ ය යි යනාදීන් ඉතා ගහන වන්නාහ. එයින් එක් සූත්‍රයක්හුගේ කිසියම් නයෙක් වේ ද, (ඒ) මා කීයේ, බුදුන් දහම් ඉතා බොහෝ දෙයෙක් වේ දැ”යි වදාළ සේක. එ බසට රජ්ජුරුවෝ නැවත මහතෙරුන් වැඳ “එසේ ස්වාමීනි යි! නුඹ වදාළ බණටත් වඩා තවත් බණ බොහෝදැ”යි කීහ. “බෙහෙව මහරජ!” යි වදාළ සේක. “නුඹ වදාළ බණ මද නියාවටත්, නො වදාළ බණ බොහෝ නියාවටත් මට උපමා කියා හඟවා වදාළ මැනවැ”යි කීහ.
එ වේලෙහි මහතෙරහු ධර්‍ම ය බොහෝ නියාව නො එක් උපමායෙන් රජ්ජුරුවන්ට හඟවන්නාහු “මහරජ! සිදුහත් කරඬුවකින් උකා ගත් සමුද්‍ර ජලය ස්වල්ප වන්නා සේ, අවශේෂ වූ සමුද්‍රජලය අප්‍රමාණ වන්නා සේ මා විසින් කීවා වූ ධර්‍මය ස්වල්පයෙක් ම ය. නො කීවා වූ ධර්‍මය අප්‍රමාණ මැයි. තව ද මහරජ! ලිහිණියක ආකාශයෙහි පියාසර කරණකල ඇගේ පක්‍ෂයෙන් වැසී ගිය ආකාශය ස්වල්ප වන්නා සේ නො වැසුනා වූ ආකාශය අප්‍රමාණ වන්නා සේ මා විසින් කීවා වූ ධර්‍මය ස්වල්ප ය. නො කීවා වූ ධර්‍මය අප්‍රමාණ මැයි. තව ද මහරජ! මහපොළොවින් උපචිකාවක්හුගේ මුඛයෙන් ඩැහැගත් පස්බින්දු ස්වල්ප වන්නා සේ, සෙසු මහපොළොවෙහි පස් අප්‍රමාණ වන්නා සේ, මා මේ සූත්‍රයෙන් තොපට කීවාවූ ධර්‍මය ස්වල්ප ම ය. නො කීවා වූ ධර්‍මය අප්‍රමාණ මැයි. තව ද මහරජ! පිපීළිකා මුඛයෙන් ඇත්බඳෙකින් ඩැහැගත්තා වූ මාංසබින්දුව ස්වල්ප වන්නා සේ, අවශේෂ වූ හස්තිමාංසය අප්‍රමාණ වන්නා සේ, මාගේ මුඛයෙන් කීවා වූ ධර්‍මය ස්වල්පයෙක් ම ය, නො කීවා වූ ධර්‍මය අනල්ප වන්නේ ය. තවද මහරජ! චාතුර්ද්වීපික මහාමෙඝයක් සත්දවසක් ධාරානිපාතයෙන් වස්නා කල කෙතෙක එක් ලියද්දෙක්හි වටුවා වූ වර්‍ෂාව ස්වල්ප වන්නා සේ, සතර මහ දිවයින වසින්නා වූ අවශෙෂ වර්‍ෂාව අප්‍රමාණ වන්නා සේ, මා විසින් කීවා වූ ධර්‍මය ස්වල්පයෙක් ම ය. මාගේ බුදුන්ගේ මා නො කීවා වූ ධර්‍මය අප්‍රමාණ මැ යි. තව ද මහරජ! මහගංවතුරකට හිදිකටු මලක් පොවාලූ කල්හි ඒ හිදිකටු මල හස්සෙහි යන දිය ස්වල්ප වන්නා සේ, උභයභාගයෙන් දිවන මහවතුරු අප්‍රමාණ වන්නා සේ මා දෙසූ ධර්‍මය ස්වල්ප ය. නො දෙසූ ධර්‍මය අප්‍රමාණ මැ යි. තව ද මහරජ! දහසක් කිරිය මහ ගැල් කෙත්හි එක් කරළක් කඩා මැඩි ධ්‍යානයෙන් ස්වල්ප වන්නා සේ, අවශේෂ වූ ධාන්‍යයෙන් අනල්ප වන්නා සේ, මා කී ධර්‍මය ස්වල්පයෙක් ම ය. නො කීවා වූ ධර්‍මය අප්‍රමාණ ය.” යනාදීන් නොයෙක් උපමායෙන් රජ්ජුරුවන්ට බුදුන් දහම් බොහෝ පරිදි හැඟවූ සේක.
එ වේලෙහි මහතෙරුන්ගේ වාග්ලීලාවෙහි හා ධර්‍මගම්භීරත්‍වයෙන් අති ප්‍රසන්න වූ රජ්ජුරුවෝ උපමායෙන් උපමාවෙහි මහ තෙරුන්ට නමස්කාරයෙන් වඳින්නාහු පස්වනක් ප්‍රීතීන් පිනමින් සියළඟ ලොමු දැහැ ගන්වමින් අමෘතාභිෂෙකයක් ලදුවා සේ සද්ධර්‍මාමෘත සන්තොෂයෙන් මත්වූවාහු “ස්වාමීනි, නුඹ අද වදාළ මේ උපමාවට සක්විති රජ වී නම් සත්රුවන් පුදම් ම ය. මුළු දඹදිවට අගරජ වීම් නම් එ දඹදිව පුදම් ම ය. දෙව්රජ වීම් නම් දිව්‍ය රාජ්‍යයත් පුදම් ම ය. එසේ හෙයින් නුඹ වදාළ උපමාවට තරම් පූජා වස්තු දැන් මාගේ නැත. එසේ ද වුවත් මාගේ ශක්ති පමණ දුගී පඬුරකින් නුඹට පූජාවක් කෙරෙමි”යි කියා මෙ සියක් යොදුන් ලංකාද්වීපය හා සියලු තමන්ගේ දළපුඩු සේසත් ආදි වූ රාජ සම්පත්තිය මහතෙරුන්ට පූජා කළහ. එ වේලෙහි මහතෙරුන් වහන්සේ “මහරජ! තොපගේ රාජ්‍යයෙන් අපට කම් නැත. අපට අපගේ දහම් රාජ්‍යය පමණ, අප සතු රාජ්‍යය දුක්පතුන්ට පීඩා නො කොට, නො බදු අය නො ගෙන, තුණුරුවන් රක්‍ෂාකොට දැහැමෙන් රජය කරව”යි රාජ්‍යය රජ්ජුරුවන්ට ම පාවාදී, රජ්ජුරුවන් රාජධර්‍මයෙහි පිහිටුවා සමු දී යවා වදාළ සේක. මේ ආදී කාරණයෙනු දු ධර්‍මය රජුන්ගේ රාජ්‍ය පුදවා ගන්නා තරම් අතිගම්භීර වූ උපමා ඇතියේ ය යි දතයුතු.
තව ද එක්කලෙක අප බුදුන් මල්, නන්‍දමහතෙරහු මහපිරිස් පිිරිවරා ධර්‍මාසන නැඟී හිඳ රාත්‍රී බණ වදාරති. එදා බුදුහු නන්‍දයා අද රාත්‍රි බණක් කිය යි. මාගේ ධර්‍මයෙහි බොහෝ දෙනා ආදර කරණ පරිද්දෙන් අද මම ද බණ අසමි යි සිතා සුගන්‍ධ ගන්‍ධකුටියෙන් බාහ්‍ය ව ගඳකිළි නිස වත්තෙහි වැඩ සිට වලාගැබෙකින් මුවහ වූ පුන්සඳක් සේ සියලු පිරිසට නො පෙනීම තුන්යම් රෑ සිටි පිය නො සොල්වා සිට බණ අසා මහතෙරුන් අලුයම බණ සමහරක්ළ කළ බුදුහු සරත් වලාගැබකින් පෙණුනු හිරුමඬලක් සේ මහපිරිසට පෙනී ශ්‍රී මුඛයෙන් නිකුත් සුවඳින් බණ පිරිස සුවඳ පිඩක් සේ කරමින් “සාධු! සාධු!! නන්‍දය, මාගේ අදහස් නො වරදවා ම බණ කීයෙහි ය” ස්තුති කළසේක. එ වේලෙහි මහ පිරිස් බුදුන් දැක ඉපිල පැන නැංගාහ. එ වේලෙහි මහතෙරුන් වහන්සේ ආසනයෙන් පැන නැගී ගොස් බුදුන් වැඳ සිට “ස්වාමීනි! නුඹවහන්සේ රාජසුකුමාල ව, බුද්ධසුඛුමාල ව, තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි කෙසේ නම් සිට බණ අසා වදාළ සේක්ද?”යි දැන්වූ සේක. එ වේලෙහි බුදුහු “නන්‍ද ය, එක් දවසක් මා බිම සිට බණ ඇසුයේ කවර විස්මයෙක් ද? ඉදින් තාගේ, මාගේ ආයුෂ්කල්පය මුළුල්ලෙහිත් සමහර නො කොට බණ කියන්නේ වී නම් මෙසේ සිට ම අසන්නෙම් වේ දැ යි වදාළ සේක. එ වේලෙහි බොහෝ ශ්‍රාවකයන් වහන්සේ බුදුන්ට සාධුකාර දී වදාළසේක. එතැන් පටන් බොහෝ සත්‍වයෝ ද ධර්‍මයෙහි මහත් වූ ආදර කළහ.