කාරණා කිම? යත්;
මේ ලෝකයෙහි ලොවුතුරා බුදුන්ට වඩා සෘද්ධිමත් කෙනෙක් නැත්තාහ. එසේ වූ බුදුකෙනෙකුන් බුදුවූ දවස් පටන් අනිකෙක නො යෙදී තමන්ගේ ආයුෂ්කල්ප ය මුළුල්ලෙහි එක් බුදුකෙනෙකුන්ගේ ගුණ මුහුද වැද හලලා ගුණවර්‍ණනා කරත්හු නම් කප ගෙවේ ම ය. බුදුගුණ නො ගෙවේ මැ යි; මේ මේ කාරණයෙනු දු බුදුගුණ නිමවා වණන්නට සෘද්ධිඥාන ලදුවන්ටත් අවිෂය ම යයි දතයුතු.
වදාළේ මැනෝ :-
බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං,
කප්පම්පි චෙ අඤ්ඤමහාසමානො;
ඛීයෙථ කප්පො චිර දීඝමන්තරෙ,
වණ්ණො න ඛීයෙථ තථාගතස්ස.
තව ද එක්කලෙක තෙවළා බුදුවදන් දන්නා මහතෙර දෙදෙනෙක් එක් මගෙක යෙති. එයින් පසු ව වඩනා මහා ස්ථවිරයෝ පෙරටුව වඩනා මහතෙරුන්ට තමන් මහනුවණැති බැව් හඟවා කියන්නාහු ‘ස්වාමීනි! බුදුගුණ ඉතා බෙහෙව. විස්තර වශයෙන් පොත් සංග්‍රහකරත් හොත් බඹලොව දක්වා පොත් ගොඩවේ දෝ හොයි සිතමි” කීහ. එබස් අසා පෙරටුව වඩනා මහතෙරහු තමන් උන්ට වඩා සියුම් වූ නුවණ ඇතිහෙයින් සිනා පහළ කොට “ඇවැත්නි! එසේ බුදුගුණ ලඝුකොට කිවුන බුදුගුණ බොහෝ වුව. බඹලොව උස්තෙනෙක් දැ”යි වදාළහ. එවේලෙහි පස්සෙහි වඩනා මහතෙරහු බුදුගුණ ලඝුකොට කියවුනැ යි කීයෙම් නොවෙමි. මාගේ නුවණ පමණින් බුදුගුණ දැක්වීමි. මට ක්‍ෂමාකළ මැනවැ”යි කියා මහතෙරුන් ක්‍ෂමා කරවූහ. මෙසේ බුදුගුණ බඹලොව සේ අචින්තෙය්‍ය ය. බුද්ධධර්‍මයෝ ද අචින්තෙය්‍යහ. මෙසේ ම අචින්තෙය්‍ය අප්‍රමෙය්‍ය වූ බුදුන් කෙරෙහි ද, ධර්‍මය කෙරෙහි ද, පහන්වූවානට විපාකයෝ ද අචින්තෙය්‍ය අප්‍රමෙය්‍ය වූහ යන මේ ආදි කාරණයෙනු දු බුදුගුණ බඹලොව සේ අති උස් වූ චින්තාවක් ඇති සේ ය යි දතයුතු.