එ කල විශාඛාවෝ ස්ත්‍රීව සිට බුදුන් අතින් එක් දවසක් “ස්වාමීනි! මට වර අටක් දුන මැනැවැ”යි කීහ. ස්වාමිදරුවෝ “විශාඛාව! බුදුහු නම් ස්ත්‍රීන්ට දිය යුතු වර අතික්‍රාන්ත කළහු වේ දැ”යි වදාළ සේක. එ කල විශාඛාවෝ බුදුන් කෙරෙහි තමන් ‘වල්ලභ හෙයින් භය නැති ව “ස්වාමීනි! ස්ත්‍රීන් ඉල්ලුව මනා වරයක් නො ඉල්ලමි. ශාසනයට උපකාර වූ සැදෑ ඇතියන්ට සම්පත්ති දායක වූ උතුම් වූ වර අටක් ඉල්වමි”යි කීහ. බුදුහු ‘කියග, විශාඛාව”යි වදාළ සේක.
මෙ තැන් පටන් මාගේ ජීවිතාන්තය දක්වා නුඹවහන්සේ කරා ආගන්තුක ව යම් පමණක් භික්‍ෂූහු වැඩියාහු වූ නම් “පළමු දා අනික් දොරකට නො ගොසින් විශාඛාවන්ගේ දොරට හැමදෙනාම අද සිඟව”යි වදාරණ වරෙක තව ද: මා දිවි පමණින් පන්සියයක් භික්‍ෂූන්ට නිති දන් දෙනු කැමැත්තෙමි. එසේ වූ වරයෙක. තව ද: මේ බුදුසස්නෙහි ගිලන් වූ යම් කෙනකුන් වහන්සේ ගිලන්පස සිඟා මාගේ දොරට ම යවා වදාරණ වරයෙක. ගිලනුන් බලන්නා වූ යම් කෙනකුන් වහන්සේට ද මාගෙන් ම දන් දෙවාලන වරයෙක තවද: හැම දවස් ම මාගෙන් ම පන්සියයක් භික්‍ෂූන් හා සමඟ කැඳ අවුළුපත් වළඳා වදාරණ වරයෙක. තව ද: වස් අන්තයෙහි හවුරුදු පතා වස්සාවාසික ලාභකොට පන්සියයක් අටපිරිකර පිළිගන්නා වූ වරයෙක. තවද: හැමදා ම බෙහෙත් පසත් බෙහෙත් බඩුත් හැමදෙනා වහන්සේට ම මාගෙන්ම පිළිගන්නා වූ වරයෙක. තව ද: බුදුසස්නෙහි හැමදෙන වහන්සේට ම හවුරුදු පතා කස්පිළිසන් දන්දෙනු කැමැත්තෙමි. එසේ වූ වරයෙක. මෙසේ වූ අට වරයක් මට දුන මැනැවැ”යි ආරාධනා කළහ.
එ කල බුදුහු “සාධු සාධු විශාඛාව”යි තුන් යළක් වදාරා මේ අට වරය ම දුන් සේක. මෙසේ වූ අටවරයක් ලදින් බුදුසස්නෙහි ශ්‍රද්ධාවන්ත ස්ත්‍රීන් කෙරෙහි අග්‍ර ව පින් කළාහු ය.
තව ද: ඒ විශාඛාවන් වැදූ නිරෝගී ම පුත්තු දසදෙනෙක. නිරෝගි උන් වැනි ම දූවරු දසදෙනෙකැ යි මෙසේ දූන්-පුතුන් විසිදෙනෙකු විසි හවුරුද්දක් ඇතුළත ම වැදූහ. එ දරුවෝ විසි දෙන ද එසේ ම විසි විසි දරුවන් වැදූහ. තව ද ඒ මුණුබුරෝ ද විසි විසි දරුවන් වැදූ. මෙසේ ඒ විශාඛාවන්ගේ ම කුසින් වැදූ දරුවෝ ම විස්සෙක, මුණුබුරෝ ම සාරසියයෙක. මී මුණුබුරෝ ම අට දාසෙක. මොහු හැමදෙනා ම නිරෝගීහ. අකාල මරණයකට පැමිණිය වූ එක දරුමුණුබුරු කෙනෙකුත් නැත.
තව ද: එක්සිය විසි ඇවිරිදි වයස් දක්වා ඒ විශාඛාවන් ඉස එක නරකෙන්දකුත් නො නැංගේ ය. දන්ත චලනයෙක් වේවයි ඇඟ රැළි වැළඳීමෙක් වේව යි ජරාවට කාරණයෙක් නොපෙණුනේ ම ය. හැම දවස් ම දිවිදළින් ඔප්නැගූ කනක රූපයන් සෙයින් සොළොස් හැවිරිදි යොවුන් ඇති කුමාරිකාවක ම වැනියහ. මෙතෙක් දරුමුණුබුරන් පිරිවරා විහාරාදියට ඒ විශාඛාවන් නික්මුණු කල නො හඳුනන්නෝ දරුමුණුබුරන් කා කොයි විශාඛාවන් හා හොයි නො දක්නාහුම ය.
තව ද: ඒ විශාඛාවන් ගමන් යන කල දුටුවෝ ගමන් යනකල ම හොබනා දෑ යයි කිය කියා සිටිති. සිටි වේලෙහි සිටිනා රිසියෙයි කියති. උන් වේලෙහි වැද උන් රුව ම රිසියෙයි කියති. හොත් වේලෙහි වැදහොත් ම රිසියෙයි කියති. මෙසේ සතර ඊර්‍ය්‍යා පථයෙහි ම පියකරු වූ රූපශ්‍රී ඇතියහ.
තව ද: ඇතුන් පස්දෙනෙකුගේ බල ඇතියහ. කොසොල් රජ්ජුරුවෝ එ පවත් අසා ස්ත්‍රියකටත් ඇතුන් පස්දෙනකුගේ බල ඇද්දැයි කියා නො ගිවිස එක්දවසෙක අද “ඇගේ බල බලමියි”යි කියාලා දවසෙක පන්සියයක් ස්ත්‍රීන් පිරිවරාගෙන උන් වීථිමධ්‍යයෙන් එන්නා දැක මද නැගි ඇතකු කොහොලින් ඇන කුප්පා ඉදිරියට ලුහුබඳවාලූහ. එ වේලෙහි විශාඛාවෝ ගුගුරා දිවන ඇතු දැක “මේ නුවර මා කෙරෙහි වෛරයක් ඇති කෙනකේ නැත. මේ රාජ වීථියෙහි කිසි කෙනකුත් නැත. රජුගේ සඳල්ලෙත් දොර ඇරලා තිබෙයි. මේ අනික් කාරණයෙක් නො වෙයි. ඒකාන්තයෙන් මාගේ බල බලමියි රජු කළ දෙය ම ය”යි නුවණින් දැන ඒ ස්ත්‍රීන් ඇතු දැක බා දිවපි වේලෙහි තුමූ ඇතකු දුටු සිංහධේනුවක සේ කිසි ම භයක් නැති ව වැද සිට සොඬ කුකුළා කට ලාගෙන පෙණ කඳු ගස ගසා ළඟට අවුත් වැද ගිය ඇතු දැක “මොහු තරවා අල්වා ගතිම් නම් රජුගේ ඇත් මිය යේ නම් නපුරැ”යි සිතා දෑඟිලි හස්සෙහි සොඬ ලාගෙන මඳක් මිරිකාලූහ. එ වේලෙහි මහ අඬුවකින් කෙහෙල්කඳක් මැඩලුවා සේ ඇතුගේ සොඬට මහත් වූ වේදනා විය. එ කෙණෙහි ඇත් දිය සලා ඉලත්ති ලා මරණභයින් හඬ හඬා ආපස්සේ දිව පී ය. ඒ ආශ්චර්‍ය්‍යය දුටු රජ පිරිස සාධුකාර දුන්හ. රජ්ජුරුවෝ ද සමාධි ව විශාඛාවන්ට සතුටු පඬුරු යවුවාහු ය. මෙසේ ඒ විශාඛාවෝ ඇත්බල ඇතියාහ.
තව ද: ඔහු අභිමඞ්ගල සම්මතයහ. සත් කෙළක් පමණ මනුෂ්‍යයන් වසන ඒ සා සැවැත් නුවර සත්ත්‍වයෝ තමන් තමන්ගේ සියලු මඟුලෙහි විශාඛාවන් හා දරුමුණුබුරන් හැමදෙනා ම ගෙන ගොස් කවා පොවා සත්කාර කරන්නාහු ම ය.