මෙසේ බුදු සස්නෙහි පැහැද බුදුන්ගෙන් බණ අසන විශාඛා වෝ දවසෙක තමන්ගේ නව කෙළ ලක්‍ෂයක් අගනා මේල පළඳනාව බණ අසා යන වේලෙහි සඳහන් නැතිව ධර්මශාලාවෙහි තබා ගොස් බුදුන් කෙරේ ආදරයෙන් ඒ මේල පළඳනාව බුදුන්ට ම පුදාපියා “ආවාසදාන කරවා දන් දීමෙහි විපාක මහතැ”යි අසා බුදුන්ට විහාරයක් කරවා දන් දෙමි යි සිතා ඒ මේල පළඳනාව රථයෙක තබා විකුණන පිණිස මුළු නුවර ඇවිදුවා මිල දී හැර ගන්නා තරම් අනිත් ස්ත්‍රියක නැතිහෙයින් තුමූ ම නව කෙළ ලක්‍ෂයක් දී හැරගෙන ඒ මිල දී බිමක් ගෙන සැවැත් නුවරට නැගෙන හිරි දිග් භාගයෙහි පූර්වාරාම ය කරවන්නාහු යෙළ දහසක් පා පිහිටුවා දෙමාල් මාලිගාවක් කරවා යටිමාලෙහි පන්සියයක් ගබඩා ය. මතුමාලෙහි පන්සියක් ගබඩා ය යි විසිතුරු වූ දාසක් ගබඩා නිමවා රන් කොත් පළඳවා සැට කළයක් පැන් ගන්නා මහත ඇති ඝනරන්මය පාදෙනි ලවා සැට සැටකළය පැන් ගන්නා ඝනරන්මය වූ මහ දිය කල සැටක් ලවා තෙසු රන් කොතලා රන්කෙණ්ඩිකා රන් වළන් රිදී වළන් සාංඝික කොට ම ලවා “මැටියෙන් කළ වළඳක් මාගේ විහාර සීමාවට ගෙන වැද්ද නො හැක්කැ”යි නියෝග කොට මේ සියල්ලට තමන්ගෙන් ම රකවල් ලවා පවුරු දොරටු පැන් පොකුණු උයන් මණ්ඩප ආදි සියලු කර්මාන්ත ම නවමසෙකින් නිමවා අසූ මහසව්වන් ඇතුළු වූ සතළිස් දහස් පන්සිය ඒකාසූවක් බුදුපාමොක් සඟපිරිස් පවරා මුළුනුවර අළලා කරන ලද මහා පූජාවෙන් බුදුන් වඩා ගෙනවුත් දාසක් ගබඩා වෙන වෙන ම දිව්‍යවිමාන සේ අලංකෘත කොට සාදා දාසක් යහන් දාසක් බුද්ධාසන පනවා දාසක් ආසන මුදුනෙහි රුවන් කර්මාන්තයෙන් දිලියෙන දාසක් සේසත් නංවා ඇතුළු මළුව කෙළවර දක්වා බුමුතුරුණින් බිම වසා වෙන වෙන ම ගබඩාවල් බුදුන්ට සුදුසු කොට බුදුන් අත පැන් වත්කොට ඒ පූර්වාරාමය පිළිගැන්වූවාහු ම ය.
එ කල බුදුරජාණන් වහන්සේ විශාඛාවන්ගේ පින් ලෝභ ය ඉතා මහත් සේ දැන විහාර දාන ය උතුම් සේ දැක ඇගේ බුද්ධාලම්බන ප්‍රීතිය අද වඩවමි යි සිතා ඒ මාළිගාව පිළිගෙන මැද ගබඩාවෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ “මා සේ ම දහසක් බුදුහු දහසක් ගබඩාවල හිඳිත්ව”යි අධිෂ්ඨාන කොට වදාළසේක. එකෙණෙහි දහසක් ගෙවල නිර්මිත බුදුහු පෙනී සවණක් රසින් දිලිහි දිලිහී වැඩඋන් සේක. එ කල විශාඛාවෝ බුදුහු කවර ගෙයි වැඩහුන් සේක් දෝ හෝ යි දහසක් ගබඩාවල දහසක් ගෞතම බුදුන් දැක මහත් වූ ප්‍රීතීන් පිනා මත් ව උද්දාන ගායනා පතුරුවා ඇම ගෙවල ම බුදුන් හෙයින් එක තෙනකත් සිටගත නොහී, නැවත මහාපාය දොරකඩ සිටියාහු ය.
එ වේලෙහි විශාඛාවන් යෙහිළි වූ එක් කුල ස්ත්‍රියක් මේ පිනෙහි මම ත් සමාදන් වෙමි යි සිතා දාසක් අගනා පළසක්ක ගෙන විශාඛාවන් පෙරට ව සිට “ස්වාමීනි! නුඹගේ ගෙයි මාගේ පිළිය බුමුතුරුණු කොට අතුරනු කැමැත්තෙමි. අවසරයක් දුන මැනැවැ”යි කිව. විශාඛාවෝ පිළිය බලා “මේ පිළිය නපුරැ යි කීම් නම් මෑ සිත කලකිරෙ”යි සිතා තමන් මහනුවණැ‘ති හෙයින් ඒ පිළිය නපුරු නියාව ඈට ම හඟවමි යි “බුහුනනියනි! තෙපි ම මේ පායෙහි දහසක් ගබඩා බලා තෙල පිළියට අඩු පිළියක් දුටු වු නම් ඒ පිළිය ඉවත් කොට තොපගේ මේ පිළිය අතුට පින්පුරා ගනුව”යි කීහ. ඒ කුල ස්ත්‍රී දාසක් ගෙවල ඇවිද අනගි බුමුතුරුණු බලා තමාගේ පිළිය අඩු සේ දැක නැවත අවුදින් “මේ සා පිනෙහි එක්විය නුහුනුයෙමි”යි මහ හඬින් හඬ හඬා සිටියා ය.
එ වේලෙහි අප අනඳ මහ තෙරුන් වහන්සේ මෑ හඬන්නා දැක “මේ සා පූජාවෙහි කුමට හඬා ද, නැගනියනි!”යි විචාරා අඬන කාරණ අසා “තොපගේ පළස අතුරණ තෙනක් මම දනිමි”යි වදාරා විශාඛාවන් නො සැලකූ තෙනක් දැක සඳකඩ පහණ හා පාදෙනිය අතුරෙහි පාපිස්නි කොට ලවා වදාළ සේක. මෙසේ මාහැඟි වූ පූර්වාරාම පූජාව සාරමසක් මුළුල්ලෙහි කළාහු ය. විහාර බිම් ගත්තා වූ නව කෙළක් ධන ය, විහාර කර්මාන්තයට නව කෙළක් ධනය ය, දාන පූජාවට නව කෙළක් ධන ය යි මෙසේ සත්විසි කෙළක් ධන ඒ එක පූර්වාරාම විහාරයට ම තුනුරුවන් උදෙසා ම පූජා කළාහු ය.
මේ විශාඛාවෝ මෙසේ වූ ආශ්චර්‍ය්‍ය කුශලයක් පෙර කෙසේ වූ පිණක් කොට ලද්දාහු ද? යත්;
ගිය දවස අටපිරිකර දුන් පිණින් මේල පළඳනාව ලදහ. කාශ්‍යප බුදුන් සමයෙහි කිකී නම් රජ්ජුරුවන් කුඩා දූ සංඝදාසී ව පන්සිල් රක්‍ෂා කළා වූ පිනින් පඤ්චකල්‍යාණයෙන් යුක්ත වූ උතුම් රූපශ්‍රී ලදහ. පෙර බොරුවක් නොකී කුශලයෙන් සම වූ දූන් පුතුන් ලදහ. බෙහෙත් පස ගිලනුන්ට දන් දුන්නා වූ කුශලයෙන් තුමූ ද නිරෝගීව නිරෝගී වූ දරුමුණුබරන් ලදහ. බුදුන් සඟුන්ට පෙර කිරිපිඬු දන් දුන් කුශලයෙන් ස්ත්‍රීව සිට ඇතුන් පස්දෙනකුට බල ඇතිවූහ. තව ද ගිය දවස භික්‍ෂූන් පවරා ස්වහස්තයෙන් වළඳවන කල වළඳා අන්තයෙහි එක බත් ආලෝපයක් වළඳවාලූ කුශලයෙන් දායාද සරක් දෙන දවස් එක්ලක්‍ෂ විසිදහසක් ගවයෝ ගාල් කඳ පැන වැගිර ගියහ. ඒ මේ කුශලයෙන් උනු නො වන සම්පත් ලද්දාහු ය. පියුමතුරා බුදුන් සමයෙහි කළා වූ ප්‍රාර්ථනාව හේතුකොට ගෙන කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි දිව්‍යලෝක මනුෂ්‍යලෝක සම්පත් සුව විඳ දැන් අප මහා ගෞතම බුදුන් සමයෙහි සත් ඇවිරිද්දෙහි බණ අසා සෝවාන් ව බුදුසස්නෙහි සැදැහැ ඇති ස්ත්‍රීන් කෙරෙහි අග්‍ර වූ තනතුරු ලදින් දානාදි පින් රැස්කොට සංසාර සාගරයෙන් ගොඩ නැංගාහු ය යි දතයුතු.
මෙසේ තමන් වහන්සේගේ සස්නෙහි සැදෑ ඇති ස්ත්‍රීන් කෙරෙහි අග්‍ර වූ තනතුරු ලදින් විශාඛා මහා උපාසිකාවන් සත් විසි කෙළක් ධනය වියදම් කොට පූර්වාරාම ය කරවා පිළිගන්වා, එදා පටන් සාරමසක් මුළුල්ලෙහි දවස් පතා කරන ලද එක්සිය විසි මහ පූජාවක් ලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.
එසේ හෙයින් කියන ලදුයේ මැයි:
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො,
අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාමමෙතං යි.
මේ පූජාවලියෙහි අප බුදුන් විශාඛා මහා උපාසිකාවන්ගෙන් ලද
පූර්වාරාම පූජා කථා නම් වූ අටළොස් වන පරිච්ඡේදය නිමි.