ඒ මිගාර සිටාණෝ නම් මිථ්‍යාදෘෂ්ටි ගත් කෙනෙක ලොවුතුරා බුදුන් එම නුවර ජේතවනාරාමයෙහි වැඩසිටියදී ම රුවන් ආකරයක් බල බලා අඟුරු පස් උකාගන්නා සේ, හැල් කෙත මැද හිඳ කටුසර කන්නකු සේ, චින්තාමාණික්‍යයක් බල බලා දවසේ ගල් ගන්නකු සේ, හඳුන් රුක් බල බලා සුවඳ නිසා රැන්ද දඬු කපන්නා සේ, මී අඹගසෙක ඉඳ කොසඹ පල කන්නකු සේ, ඉරිරස් බල බලා ආලෝක සොයන්නකු සේ, මහගඟ පැන් බල බලා මඩවළෙහි ගැලෙන්නකු සේ, මාගේ ස්වාමිදරුවන් වැනි දෙව්ලෝ නැඟෙන රුවන් හිකක් හැරපියා, නිවන් පුරයට යන රජමාවතක් හැරපියා, දහම් නැමති තන තුඩ තබා අමාමහ නිවන් නමැති කිරි පොවා සියලු සතුන් නමැති දරුවන් සසර දුකින් ගලවන මෙ බඳු වූ නිවන් රස දෙන මැහැනි කෙනකුන් හැරපියා ඒ සිටානෝ ද නිගණ්ඨයන්ගේ දෘෂ්ටිගෙන ඔවුන් රහතුනැ යි කියා පැහැද වාසය කෙරෙති.
ඒ සිටාණෝ පුතණුවන්ගේ ආවාහ මඟුල් කරන්නාහු පැන් නො වකා කිරිබත් පිසවා පන්සියයක් පමණ නිගණ්ඨයන් පවරා තම තමන්ගේ ගෙයි දී කිරිබත් කවන්නාහු “මාගේ යෙහෙලනියෝ මාගේ රහතන්වහන්සේ දැක වැඳ පව් ගෙවා ගනිත්ව”යි කියා යවුවාහු ය. විශාඛාවෝ තමන් සෝවාන් මාර්ගයට පැමිණ ආර්‍ය්‍ය ශ්‍රාවිකාවන් හෙයින් රහතුනැ යි අසා සබා රහත් කමක් දෝ හෝ යි සතුටු ව සර්වාභරණයෙන් සැරහී නිගණ්ඨයන් බත් කන තැනට ගොසින් බලා උපන් වන ම ඉඳ බත් කන නිගණ්ඨයන් දැක නො සතුටු ව “මෙසේ අලජ්ජි වූ හිරිඔතප් නැති, කොල්ලන්ට රහතුනැ යි කියා නුඹවහන්සේ මා මෙ තෙනට කැඳවූ සේ නො යෙදෙයි” කියා මයිලවන්ට දොඩා අනිස අනිස යි කිය කියා නිගණ්ඨයන්ට බැණ බැණ ආපස්සේ ගෙට පලාගියහ. එ වේලෙහි පන්සියයක් නිගණ්ඨයෝ “අනිස අනිස, සිටාණෙනි! තොපගේ පුතණුවන්ට තරම් ශරණක් ගෙන්වා නො දී මහණ භවත් ගෞතමයන්ට ශ්‍රාවිකා වූ මහා කාලකණ්ණි වූ, කෙල්ල කුමක් නිසා පාවා දුනු ද? තොපගේ ගෙයි සියලු සැපත තෙලැගේ පයට වහා අන්තර්ධාන වෙයි. වහා තොපගේ ගෙන් ඇය නෙරුව”යි කටින් කටින් බැණ දෙඩුවාහු ය. සිටාණෝ මුන් කී බසට මහා ධන ඇත කුලයෙන් ගෙනා කුමාරිකාව යවාපීම සුදුසු නො වෙයි සිතා “ස්වාමීනි, බාල දරුවෝ නම් දැනත් කියති. නො දැන ත් කියති. ක්‍ෂමා කළ මැනැවැ”යි නිගණ්ඨයන් සන්හිඳුවා යවා තුමූ උතුම් වූ යානෙක හිඳගෙන නිරුදක වූ කිරිබත් රන් තලියකින් කන්නාහු ය.
එ වේලෙහි රහත් කෙනෙකුන් වහන්සේ සන්සුන් ගුණෙන් නො බැන දොර මිදුලේ සිඟා සිටි සේක. විශාඛාවෝ මයිලනුවන් ඇඟට තල්වටක් සල සලා සිටියාහු ය. දොර වැඩ සිටි රහතන් වහන්සේ දැක තුමූ පෙනිලා “ස්වාමීනි! අනික් දොරකඩ වැඩවදාළ මැනව. මාගේ මයිලනුවෝ පුරාණය කති”යි කීහ. එ බසට රහතන් වහන්සේ වැඩපී සේක. සිටාණෝ “පුරාණය කති”යි කී බසට කිපී අත තුබූ බත් පිඩ දමා ඉදිරියෙහි තුබූ බත් ඉවත් කරවා “මේ කෙල්ල මාගේ ගෙන් වහා ඉවත් කරව, මේ සා මඟුලෙක උතුම් වූ අග්‍ර භෝජනයක් කන්නා වූ මට අසූචි කති යි කිව. මාගේ රහතන් වහන්සේත් මෑගේ තරම් කී සේක. මහා නො ශික්‍ෂිත එකකැ”යි කිපී “තෙල ඈත ලව”යි කීහ. සිටාණන් එසේ කීවත් සියලු පරිවාර ජනයෝ ම විශාඛාවන්ගේ ම හෙයින් කිසිවෙකුත් මුවෙන් නො බැණ සිටියාහ.
එ කෙණෙහි විශාඛාවෝ කිසි භයකු ත් නැති ව “මයිලනුවන් වහන්ස! නුඹ එන්ට කී කල එන්ටත් යන්ට කී කල යන්ටත් මා කළමිඩියක නො වත්, මාගේ මවුපියන් ඇති වුව, මවුපියන් ඇති දූදරුවෝ තෙල සේ වූ බසට පලා නො යෙත් ම ය. මා එවන දවස් මපියාණන් වහන්සේ සියලු පිරිස් හා නුඹවහන්සේ දැක්ක දී කෙළඹියන් අටදෙනකු මට පාවා දීලා “ම දරුවන් ගිය තෙන කිසි යම් වරදෙක් උපන් නම් තෙපි අටදෙන ඒ පිරිමසව”යි කියාලා එවා වදාළ සේක් වේ ද, දැනුදු උන් අටදෙනා ම කැඳවාලා මා කළ වරදක් උන් මැදයෙහි ගිවිස්සාලව මැනව. එකල නිහඬක් දන්නෙම් වේ දැ”යි කීහ. එ බසට සිටාණෝ ‘ඈ කීයේ කාරණ ම ය”යි සිතාලා කෙළඹියන් අටදෙනා එ තෙනට කැඳවාලා “මේ කෙළි මා නිරුදක වූ කිරිබත කමින් ඉන්ද දී අශුචි කති යි මට බිණුව. ඈ හැරගෙන තොපගේ ගමට යව”යි කීහ. කෙළඹියෝ එ බස් අසා විශාඛාවන් මුහුණ බලා “සබා ද නැගණියනි, එසේ ම කියාපු දෑ දැ”යි විචාළහ.
විශාඛාවෝ කියන්නාහු “මම අසූචි කති”යි නො කීයෙමි බල එකෙක් ඇත. පිඬු සිඟා මෙ දොරට තෙර කෙනෙකුන් වහන්සේ වැඩි දෑ ය මුන්වන්සේ ඔබ දැක දැක ම මුයෙන් නො බැණ කරබා ගෙන හිඳ බත් කන දෑ ය. එ වේලෙහි මම උන්වහන්සේට “ස්වාමීනි! අනික් දොරකට වැඩපුව මැනැව. මාගේ මයිලනුවන් වහන්සේ පුරාණයේ කළ පින් ම අනුභව කරණ දෑ ය. දැන් පින් නො කරන දෑය’යි සිතාලා ‘පුරාණයක් කන දෑ ය’ කීමි. සෙසු මා කී දෙයෙක් නැතැ”යි කීහ. එ වේලෙහි කෙළඹියෝ “එ කල නුඹවහන්සේ කිපුනේ ඇයි ද? අපගේ නැගණියන් කී වරදෙක් නැතැ”යි කියා සිටාණන් අතින් විචාළහ.
සිටාණෝ එ බසෙහි අර්ථ දැන එ බසට ක්‍ෂමා කොට “තව ද එක් දා මධ්‍යම රාත්‍රියෙහි මේ කෙළි දඬුවැට පහන් ගෙන්වාගෙන ගෙන් පිටතට ගියිාහ. ඒ ගිය කාරණ විචාරව”යි කීහ. කෙළෙඹියෝ “සබා ද නැගණියනි”යි කීහ. විශාඛාවෝ “අනික් කටයුත්තක් නිසා නො ගියෙමි. මේ ගෙයි වෙළඹක් දරුවන් වදාපුව. මම ඒ අසා එම වේලෙහි ම දඬුවැට පහන් ගෙන්වාගෙන ඒ අශ්වශාලාවට ගොස් හුණු පැනින් නාවා සර්වාඞ්ගයෙහි තෙල් ගල්වා කළමනා සත්කාර ඈට කරවා වැදහොත්තෙමි. අනික් සැකයෙක් නැතැ”යි කීහ. කෙළඹියෝ එ බස් අසා “අපගේ නැගණියන් වහන්සේ නුඹගේ ගෙයි වහල්ලුත් නො කළමනා දෙය කරණ දෑ ය. එයිත් වරදෙක් දැ”යි කීහ.
සිටාණෝ එ වරද ත් ක්‍ෂමා කොට “තව ද: මුන්ගේ පියාණෝ සරණ දෙන ද රෑ අවවාද පසාරයෙන් දස මායමක් කීහ. එහි අර්ථ මට නො දැනෙයි. එසේ හෙයින් මා මුන් කෙරේ සැක මහත. එහි අර්ථ විචාරනු කැමැත්තෙමි. මුන්ගේ පියාණෝ: පුතණ්ඩ! ගෙන් ගිනි පිටත නො දෙව යි කීහ. ඒ කිමෙක් ද? ඉක්බිති ගෙට ගිනි පමණකුත් නො දී මුන් අපගේ පුතණුවන්ට දීග ගෙන බොහෝ දෙනාට වැඩ කරන්නේ කෙසේ දැ”යි විචාළහ. එ බසට කෙළඹියෝ “සබා ද නැගණියනි”යි කීහ. විශාඛාවෝ එ බසට කියන්නාහු “අපගේ කුලෙහි ගිනිතබා සියලු රන්රුවන් ආදියත් ඉල්වා ආ කෙනකුන්ට නැතැ යි යන බසක් කියන කෙනෙක් නැත. දරදඬු කඩකට ලෝභයෙන් ගිනි නො දෙව යි කී නියා නො වෙයි. පුත තොපගේ නැදිමයිලන්ගේ වේව යි සමණන්ගේ වේව යි මඳ මඳ වරදක් දුටු නමුත් බැහැර කිසි කෙනකුන්ටත් නො කියව. ඊට වඩනා ගින්නෙක් අනික් නැත. එසේ හෙයින් කේළාම් නො කියව යි කී නියා ය”යි කීහ.
සිටාණෝ එ බසට සතුටු ව “තව ද තොපගේ පියාණෝ ‘බැහැරින් ගිනි ගෙට නො ගෙනව’යි කිවූ ය. තමාගේ ගෙයි ගිනි නිවී ගිය කල බැහැරින් ගිනි නො ගෙන අවුත් බත් පිස කන්නේ කෙසේ දැ”යි විචාළහ. එ බසට විශාඛාවෝ කියන්නාහු “ගිනි නො ගෙනව යි කී නියා නො වෙයි. බැහැර යම් යම් කෙනෙක් පුත තොපගේ නැදිමයිලන් හා සමණන්ගේ යම් යම් නුගුණයක් කියාලු නමුත් තෙපි දෙවනුව ගෙට අවුදින් අසවල්ලු අසවල්ලු නුඹට මෙසේ මෙසේ බිණූ ය යි කියා ගිනි සේ කුප්පා ගතු නො කියව යි ඉගැන්වූ නියා ය”යි කීහ.
එ වේලෙහි ද සිටාණෝ සතුටු ව සෙසු පැන ද පිළිවෙලින් ම යෙහෙලනියන් විචාළහ. යෙහෙලනියෝ ද පිළිවෙලින් ම පැන විසඳන්නාහු “නො දෙන්නට ත් නො දෙව යි කීයේ නම් යමකේ පිරුළක් ඉල්වා ගන්නා කල මිහිරි තෙපුල් කිය කියා ඇසිල්ලෙකින් දීලමි යි බොරුයෙන් වඤ්චාකොට පියා හැරගෙන පලාගොස් [1]නිපිසිකාවන් සේ මුයෙන් නො බැණ වැද හිඳිනේ ද, නොයෙක් වාරයෙහි ගොස් ඉල්ලූ කල ත් අද දෙමි සෙට දෙමි යි කිය කියා කල් යවා නො දෙන්නේ ද එසේ වූ සත්ත්‍වයාට පුත පිරුළු නො දෙව යි ඉගැන්වූ නියා ය. දෙන්නන්ට ත් දෙව යි කීයේ නම් යම් සත්ත්‍ව කෙනෙක් මෙතෙක් කලින් පාවා දෙමි යි කියාලා නය හෝ පිරුළු හෝ ඉල්වාගෙන ගොස් ඉන් තමන් වුව මනා ප්‍රයෝජනත් විඳගෙන කී අවධියට හෝ පළමු ව හෝ නො නසා ගෙන අවුත් පාවා දීලති. එසේ සබා වූ සත්ත්‍වයන්ට නයත් පිරුළුත් ඉල්ලූ යම් පමණක් ම දෙව යි ඉගැන්වූ නියා ය. දෙන්නන්ටත් නො දෙන්නන්ටත් දෙව යි කීයේ නම් දුඃඛිත වූ නෑසිය කෙනෙක් වේව යි දිළිඳු වූ යාචකයෝ වේව යි තමා ම ඇසුරු කළෝ වේ දැ යි අවුදින් යම් යම් සම්පතක් ඉල්ලූ කෙනෙක් ඇත්නම් දෙවනු. දීලිය නොහෙත් නමුත් හෙත් නමුත් පරීක්‍ෂා නො කොට උන්ට දිය යුතු ය යි කී නියා ය. සුවයෙන් හිඳුව යි කීයේ නම් කාලා බීලා අටල්ලට නැඟීලා ගෙයි ගිනි ගෙන යේ නමුත් නො බැණ දෙවියන් සේ නො සැලී හිඳුව යි කී නියා නො වෙයි. පුත තොපගේ නැඳිමයිලන් හා සමණන් දැක නැඟී සිටිනා තරම් උස් පුටුවේ නොඉඳ සැක නැතිව හිඳිනා තරම් අස්නෙක සුවයෙන් ඉඳුව යි කී නියා ය.
සුවයෙන් කව යි කී නියා නම් හැම දෙන ම සයින් ඉන්ද දී තෙපි පළමුව සුවසේ කා පුරා පියව යි කී නියා නො වෙයි. තොපගේ නැදිමයිලන් හා ස්වාමීහු හා සියලුකැවිය යුත්තන් කවාලා කෑවත් නො කෑවත් පරීක්‍ෂා කොට සියල්ලවුන් ම සන්හිඳුවා පසුව වික්‍ෂෙප නැති ව සුවයෙන් හිඳ කව යි කී නියා ය. සුවයෙන් ම වැද හොව යි කීයේ නම් රෑවන්නට පළමුව බඩ පුරා කාලා ඇඳට නැගීලා වක ගසාගෙන වැදහොව යි කී නියා නො වෙයි. නැදිමයිලන් හා ස්වාමීහු කා බී සැතපුනු කල ඔවුන්ට කළ මනා උපචාර කරවාලා පසුව පුත තෙපි සුවසේ ම සැතපෙව යි කී නියා ය. ගිනි පිරිමසව යි කීයේ නම් ලිප් මුල කෙළිල්ලෙන් වැද හිඳ රෑත් දාවලුත් කම සේ නැතිව ම ගිනි පිඹ පිඹ හිඳුව යි කී නියා නො වෙයි, නැදිමයිලන් හා ස්වාමීහු නයින් කොට ගිනි කොට සිතව යි කී නියා ය. ඇතුළු ගෙයි දෙවියන් වඳුව යි කීයේ නම් ගේ මැද ගිනි දෙවියන් හෝ පුදව, නුඹගේ ශිවලිඞ්ග දෙවියන් හෝ තබාගන නිරන්තරයෙන් වඳුව යි කී නියා නො වෙයි. එක ගෙයි වසන නැදිමයිලන් හා ස්වාමීහු දෙවියන් දුටුවා සේ වඳුව, පුදව, ආදර කරව, යි කී නියා ය. යනාදීන් මෙසේ මේ දශ අවවාදයෙහි අර්ථ විශාඛාවෝ චිත්‍රකථික වූ පණ්ඩිත කෙනකුන් සේ මයිලනුවන්ට විශේෂයෙන් කීය. සිටාණෝ මේ අවවාද කථා අසා ගොදුරක් ගිලූ පිඹුරකු සේ, ඖෂධයක් දුටු නයකු සේ, මුයෙන් නො බැණ ආශ්චර්‍ය්‍යයට පැමිණ උත්තරයක් කියාගත නො හී කරබාගෙන උන්හ.
එ වේලෙහි කෙළඹියෝ අටදෙන “කිමෙක් ද? සිටාණන් වහන්ස! අපගේ නැගණියන්ගේ තවත් වරදෙක් ඇද්දැ? යි විචාරා “කිසි වරදෙක් නැතැ”යි සිටාණන් කී කල “අපගේ නිවරද නැඟණියන් කුමක් නිසා ගෙන් නෙරනා සේක් දැ”යි කීහ. එ වේලෙහි විශාඛාවෝ “මා නිවරද බවට තෙපි අට දෙනනම දෙස් වව, දැන් ම මම මාගේ ගමට යෙමි, කෙලි කොල්ලන් රැස් වන්නේ ය. දායාද සම්පත් වහා සොලවව”යි නියෝග කළහ.
එ වේලෙහි මිගාර සිටාණෝ ලය ඉපිළ හී හුනස්නෙන් පැන නැගී සිටුවරුන් අට දෙනා ම අත් අල්වා ගෙන විශාඛාවන් ක්‍ෂමා කරවන්නාහු “යෙහෙලි! මා නො දැන කියාපි වරද ක්‍ෂමා කරව. නො යව”යි කීහ. එ වේලෙහි විශාඛාවෝ “මම ක්‍ෂමා කෙළෙම් ම ය. එසේ ද වුව ත් බුදුසස්නේ අචල වූ ශ්‍රද්ධා ඇති කුලදුවකිමි. නුඹ මිථ්‍යා දෘෂ්ටි ගත් දෑ ය. මා සිත් සේ තුණුරුවන් වැඳපුදා දන් දී බණ අසා ගන්නා වරයක් ලදිම් නම් මෙ ගෙයි රඳමි. නැත නො රඳමි”යි කීහ. එ බසට මයිලනුවෝ කියන්නාහු “තොපගේ බුදුන් සඟුන් සිත් සේ ගෙනවුත් දන් දෙව. බණ අසව”යි වර දුන්හ. එ වේලෙහි විශාඛාවෝ රඳා දෙවන දා බුදුන් ප්‍රධාන වූ පන්සීයක් රහතන් පවරා එම විට ම ගෙනවුත් අලඞ්කෘත කොට ගෙය සරහා උතුම් වූ බුද්ධසාසනයක් පනවා බුදු පාමොක් සංඝයා හට නිරුදක වූ කිරිබත් පිසවා බුදුන් වළඳවන්නාහු “මයිලනුවන් වහන්ස! මාගේ බුදුන් හා සංඝයා වහන්සේ වළඳවන්ට ආව මැනැවැ”යි කියා යවූහ.
එ වේලෙහි නිගණ්ඨයෝ බුදුන් සිටාණන්ගේ ගෙයි දී වළඳන්ට වැඩිය යි අසා “අද අපගේ බත් කෙත අපවත් වෙයි. ඉතිකින් අපකටලා පස් හෙයි. මහණ භවත් ගෞතමයෝ ආවතීහ මායම් දනිති. උන්ගේ රූප ශ්‍රී දුටු වූ නම් අප හැම ජරපත් වඳුරන් කොට ත් නො සිතති. උන්ගේ මධුර වූ නාදයෙන් කියන බණ කථා ඇසුවු නම් අපගේ බස් කැණහිල්ලන්ගේ අඬකොටත් නො සිතේ. පළමුව පලාගොස් ඒ සිටාණන් උන් දැක්ක නෙ ාදෙන ලෙසක් කරම්හ”යි පන්සියයක් නිගණ්ඨයෝ පළමුව දිව අවුදින් සිටාණන් සිසාරා හිඳගෙන “අපි තොපට නේවාසිකවම්හ. මහණ භවත් ගෞතමයෝ තොපට ආගන්තුකයෝ ය. උන් වළඳන තැනට ගියා නම් නිවන් මඟ අකුල් ලූවා හා සමානය. නො යව”යි යා නුදුන්නාහු ය.
බුදුන් වළඳා අන්තයෙහි වතාවත් කොට තුමූ අනුමෝදනා බණ අසන්නාහු “මාගේ මයිලනුවන් වහන්සේ මා කෙරෙහි සබා වූ කරුණාවක් ඇත් නම් මාගේ බුදුන් අතින් අද එක බණ පදයක්වත් ඇසුව මැනැව”යි කියා යවූහ. එ වේලෙහි සිටාණෝ “මා යේලි මහනුවණ ඇත්තී ය. ඒකාන්තයෙන් මට අවැඩක් වන දෙයක් නො කියති. ඈ කීවා ම කෙරෙමි” සිතා නික්මුණාහ. එ වේලෙහි නිගණ්ඨයෝ සිටාණන් රඳවාගත නොහී “සිටාණෙනි! තොප යන බැවින් මහණ භවත් ගෞතමයන්ගේ මුහුණ දුටු නම් තොපට බොහෝ පව් රැස් වෙයි. උන් මුහුණ නො බලා කඩතුරාවක් මුවායෙහි අසෙක කරබාගෙන හිඳ බණ අසව”යි කියා තුමූ පළමුව පලාගොස් සිටාණන්ට බුදුන් නො පෙනෙන සේ මහ තිරයක් ඇද බුදුන් මුවා කළහ. සිටාණෝ තිරය මුවායෙන් ගොස් බුදුන් නො පෙනී බණ අසමි යි හිඳගත්හ.
එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඒ සිටාණන්ගේ හේතුසම්පත් ඇති සේ දැක උන්ගේ චරිත පරීක්‍ෂා කොට පියා “මිගාර සිට! තා නිරයෙන් පිටත උන මැනැවැ පවුනේ පිටත උන මැනැවැ. ගඟින් එ තෙර උන මැනව. මුහුදින් එ තෙර උන මැනැව. හිමවුගලින් එපිට උන මැනැව. මෙරගලින් එපිට උන මැනැව. සක්වළ ගලින් එ පිට උන මැනැව. පරසක්වළ උන මැනැව. සියක් වන සක්වළ උන මැනැව. දාසක් ලක්‍ෂයක් වන සක්වළ උන මැනැව. අද තා මාගේ නුවණ නමැති හස්තයෙන් දහම් නමැති දැල දමා බදාගෙන මා පිට හයා ගනිම් ම ය. දැන් තට සෝවාන් මග අලුකොට නිවන් පුරය පවිම් ම ය. අද පටන් තා මාගේ සස්නෙහි දයාපරයන් කෙරෙහි ඇතුළත් කෙරෙම් ම ය. අද පටන් තාගේ මේ සිටුසැපත මාගේ මේ සසුන් කෙත වපුරුවා හරිම් ම ය යනාදින් සිත සිතා සතර මහ දිවයින එක පැහැර වස්නා ඝන මහා වර්ෂාවක් එක දිවයිනකට වස්වන්නා සේ, සක්වළ ගබ පුරා සිටගත් දිව්‍ය මනුෂ්‍ය සේනාවට දේශනා කරන්නා වූ තමන් වහන්සේගේ සද්ධර්මාමෘත වර්ෂාව එක මේ සිටාණන් කරා මෙහෙයාලා බණ වදාරන්ට පටන්ගත් සේක.
මාගේ ස්වාමිදරුවන් අෂ්ටාඞ්ගසමුපෙත වූ, නානා නය නිපුණ වූ, අනෙකාර්ථ ව්‍යංජන ප්‍රතිවේධ ගම්භීර වූ, ලීලොපෙත වූ, මධුර ස්වරයෙන් ධර්මදේශනා කරත් කරත් නිර්මල වූ කැටපතකින් ප්‍රතිබිම්බයක් පෙනෙන්නා සේ සිටාණන්ට “මෙලෝ මේ ය. පරලෝ මේ ය. දහම් මේ ය. අදහම් මේ ය. මාර්ග මේ ය. අමාර්ග මේ ය. බුදුරුවන් මේ ය. දමුරුවන් මේ ය. සඟුරුවන් මේ ය. තුණුරුවන් මේ ය”යි යනාදීන් විශේෂයෙන් පෙනෙත් පෙනෙත් එකෙණෙහි උපන් බුද්ධාලම්භන ප්‍රීතීන් එම තැන ම ඉඳ උතුම් වූ සෝවාන් ඵලයට පැමිණ “මේ ස්වාමිහුගේ දහම් රස මෙසේ මධුර කල උන්වහන්සේගේ ශ්‍රීමුඛය කලී උතුම් වන්නේම වේ දැයි එ කෙබඳු දෝ හෝ යි සිතා නිගණ්ඨයන් නවත්ව නවත්වා තිරය දෑසින් ඔසවා බලා ස්වාමිදරුවන්ගේ සඳමඬලක් වන් මුව මඬල හා දෙතිස් අසූ ලකුණු හා කසුන් කඳක් වන් බුද්ධ රූපය දැක අමාවළෙක ගැලුනා සේ පස්වනක් ප්‍රීතින් මත්ව “මට මේ සා වැඩෙක් අනිකකුන් නිසා වූයේ නො වෙයි. මාගේ යේලනියන් විශාඛාවන් නිසා ම වී ය” යි මවක කරා දිවන පුතකු සේ පළමුකොට යෙහෙලිනියන් සිටි තැනට ගොස් යෙහෙලිනියන්ගේ තන ය තමන් මුඛයේ ලාගෙන “අද පටන් නුඹ මාගේ යේලිනී කෙනෙක් නො වෙයි, මා වැදූ මෑණියෝ නම් නුඹ ම ය. යෙහෙළිනි මම නුඹගේ පුතනු වෙම් ම ය” යි කියා යෙහෙලිනියන් මවු තනතුරෙහි තබා දෙවනුව බුදුන්ගේ ශ්‍රී පාද මූලයට ගොස් ශ්‍රී පාදය වැඳ හෙව ශ්‍රී පාදය තමන් හිසින් පිස පිස “ස්වාමීනි! මාගේ බුදුරජාණෙනි! මිගාරසිටු නම් වූ නුඹගේ ගැති නම් මම ය. මෙතෙක් දවස් මම නුඹ නො දත්තෙමි නො හැඳින්නෙමි. අද නුඹ ගුණ සකසා දතිමි. අද නුඹගේ දහම් නමැති එළියට බැස මිථ්‍යාදෘෂ්ටි නමැති මහ වේබැද්දෙහි නුගුණ නමැති කටු කර්කශ බව දතිමි. ගැත්තවු නිසා ම බුදු වූහ යි සිතමි. ගැත්තවු නිසා ම දෙවුරම් වෙහෙර පිළිගත්හ යි සිතමි. ගැත්තවු නිසා ම මේ නිවුර වැඩ හුන්හ යි සිතමි. අද පළමුකොට ලොව බලන වේලෙහි ගැත්තවූ ම දැ වදාළහ යි සිතමි. ගැත්තවු නිසා ම අද මේ ගමට වැඩවදාළහ යි සිතමි. අද පටන් මෙ මාගේ සතළිස් කෙළක් පමණ ධනය පිරුණු පැන් කළයක් මුහුණින් නැමුවා සේ කිසි දෙයකුත් නො තබා නුඹගේ සසුන් නැමැති කුඹුරෙහි වපුරෙමි. අද පටන් ගැනිත් සැදෑ ඇත්තන් කෙරෙහි අන්තර්ගත වූ එක්තරා එක් උපාසකයෙක් ම ය”යි යනාදීන් කිය කියා බුදුන් වැඳ නැගී සිට;
සොහං අජ්ජ පජානාමි - යත්‍ථ දින්නං මහප්ඵලං,
අත්‍ථාය වත මෙ භද්දා - සුණිසා ඝරමා‘ගතා යි.
යන මේ ගාථාව කියා යෙහෙලනියන්ට ස්තුති කොට පියා “මාගේ යේලනියන්ගේ මේ මේල පළඳනාව ඉතා බර හෙයින් අලඞ්කාර දවසෙසක මුත් හැම වේලෙහි ම පැලැන්ද නො හැක්ක. හැම වේලෙහි ම පළඳනා පරිද්දෙන් මම ද උන්ට ලඝු වූ පළඳනාවක් කරවමි”යි කියාලා ලක්‍ෂයක් වටනා ඝනමට්ට නම් පළඳනාවක් කරවා බුදුන් ආදි වූ රහතන් පන්සියයක් පවරා ස්ත දවසක් මහ දන් දී සත්වන දා යෙහෙලනියන් සොළෙස් කළයක් සුවඳ පැනින් නාවා දෙවඟනක සේ සරහා ඒ පළඳනාව බුදුන් ආදි පන්සියයක් රහතන් පවරා පැළඳ වූවාහු ය.
එ තැන් පටන් ඒ මිගාරසිටාණන්ගේ නම් මිථ්‍යාදෘෂ්ටි ගතුවන්ට පියවී දොර වී ය. බුදුන් දරුවන්ට අළ දොර වී ය. මෙසේ ඒ විශාඛාවෝ මිථ්‍යාදෘෂ්ටි වූ ඒ සිටුකුලය තමන්ගේ නුවණ බෙලෙන් සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටුවාගෙන ඒ තීර්ථක වූ මයිල්සිටාණන් බුදුන් දක්වා බණ අස්වා සෝවාන් කරවා ඔහු විසින් මවු තනතුරෙහි තබන ලද හෙයින් එ තැන් පටන් මිගාර මාතාවෝය යි කියාත් ප්‍රසිද්ධ වූ බුදුසස්නෙහි ශ්‍රද්ධාවන්ත උපාසිකාවරුන් කෙරෙහි අග්‍ර වූහ. සියලු සඞ්ඝයා වහන්සේට ම මවු තනතුරු ලද්දාහු ය. දවස තුන් වාරයක විහාරයට එළඹෙන්නාහු ය. පෙරවරු භාගයෙහි එනකල වැළඳිය යුතු දෙයක් නොගෙන නො එන්නා හු ය. පස්වරු භාගයෙහි එන කල පානවර්ගාදි පස්වරු වැළඳිය යුතු දෙයක් නො ගෙන නො එන්නාහු ය. සවස් වේලෙහි එන කල මල් සුවඳ පාන් තෙල් බෙහෙත් ආදිය ගෙන්වා ගෙන එන්නාහුය.
-
නපීසිකාවක්. ඇතැම් ↑