එ තැන් පටන් ගෙන ඒ සාකේත නම් නුවර ඒ සාරමස මුළුල්ලෙහි ම එක මඟුල් ගෙයක් සේ විය. රජ්ජුරුවන් ආදි වූ සියලු ඇමැති සෙනඟට මල් සුවඳ වස්ත්‍රාභරණ බත් බුලත් කන බොන දෑ හෝනා හිඳිනා තැන් සියල්ල ම ධනඤ්ජය සිටාණන්ගෙන්ම අඩුවක් නැති ව පසිඳිත් ම ය. සියලු සත්ත්‍වයෝ ම “සිටාණෝ අපට ම අඩු නො කොට පසිඳිති. අපට ම සුව දෙති”යි සිත සිතා වසන්නාහු ය. මෙසේ මඟුල් කරණ කල තුන්මසෙක් පුරා ගිය. මේල පළඳනාවේ කර්මාන්තය තව ද නො මියේ ය. සිටාණන්ගේ සේවකයෝ අවුදින් කියන්නාහු “ස්වාමීනි! බතින් බුලතින් වස්ත්‍රාභරණයෙන් කිසි අඩුවෙක් නැත. එක් බඩසැලෙක වී සම භාගත් නුවූයේ ය. දවසෙක පන්සියයක් ගැල් පිරූ දර නිමයි. එසේ හෙයින් දර සපයාගත නො හැක්කැ”යි කීහ. සිටාණෝ “මාලු ගෙවල් හා මාලු ඇත්හල් අස්හල් විදා පියා බත් පිසව”යි නියෝග කළහ. මෙසේ මාලු ගෙවල් විදා දර ගෙන දෙපෝයක් බත් පිසූ කල තව ද සිටාණන් කරා ගොස් දර නැත්මය යි කීහ. එ වේලෙහි සිටාණෝ “වර්ෂා කාලයෙහි දර සොයා යා නො හැක්ක. මාගේ දියණියන්ට බොහෝ දවසක් කීර්ති පතළ මැනැවැ”යි සිතා පිළිගබඩා ගණනෙක දොර හරවා දළ දළ පිළි ගෙන අත්කර සා වැටි තොට අඹරා තෙල් සැළවල ගල ගලා ලිප්වල උද උදා බත් පිසව. දළ පිළී නිමා ගියේ නම් සිහින් පිළී ගෙන පිසව සිහින් පිළී නිමා ගියේ නම් පට පිළියෙන් පිසව. එයිත් නිමා ගියේ නම් සඳුන් දරින් පිසව, දර සොයා නො යව”යි නියෝග කළහ. මෙසේ එ කල දළ පිළියෙන් ම බත් පිස ඒ සා මහත් සෙනඟට දෙපෝයක් බත් දුන්හ. මෙසේ සාරමසක් වර්ෂා කාලය ගිය කල මේල පළඳනාවත් නිමා ගිය.
ඒ මේල පළඳනාවෙහි හුයකින් අවුණන ඇවිණිල්ලෙක් නැත. හුයින් කළමනා මෙහෙ රිදී කෙන්දෙන් කරන ලද. ඒ පළඳනාව හිස් මුදුනෙන් හෙළාපී කල සර්වාඞ්ගය හොබවාගෙන දෙපිටිපත්ලින් පිටත්ව සිටගත්තී ඒ ඒ ස්ථානයෙහි ඇන යතුරෙන් සන්ධි කරන ලද එහි ගැට ඝනරන් මය ය. මල් රිදී මය ය. මුදුනෙහි එක් සන්ධියෙක. දෙකනට දෙසන්ධියෙක. දෙවුරට දෙසන්ධියෙක. දෙවැල මිටට දෙසන්ධියෙක. දෙඋකුලට දෙසන්ධියෙක. දෙදනට දෙසන්ධියෙකැ යි මෙසේ සියලු ශරීරය ඒ ඒ තැන් හොබවා සිටිනා වූ ඒ ආභරණයෙහි ඒ පළඳනාවෙහි ඉස්මුදුනෙහි එක් මයුර රූපයක් කරන ලද. ඒ මොණරාගේ දකුණැලයෙහි ඝරන්මය වූ පන්සියයක් පියාපත. වමැලයෙහි එසේ ම පන්සියයක් පියාපත. තුඩ ප්‍රවාලමය ව නිමවනලද ඇස් ඉන්‍ද්‍රනීල මාණික්‍යමය ය. ග්‍රීවය හා පිල් ද ඉන්‍ද්‍රනීලයෙන් ම නිමවන ලද. තඹපත් ඝන රනින් ම නිමන ලද. කකුල් ද ඝනරනින් ම නිමනලද. ඒ පළඳනාව පැළඳ ගත් වේලෙහි විශාඛාවන් ඉස්මුදුනෙහි පර්වතයක් මුදුනෙහි නටන මොනරකු සේ ශෝභමාන ය. දහසක් රන්පත් සුළං ගත්කල පඤ්චාංගික තූර්‍ය්‍යනාද සේ මධුර වූ නාද ඇසෙයි. දුර සිටියන්ට ජීවමාන වූ මයුරයෙකැ යි සිතෙයි. ළඟ දුටු කෙනෙක් ම පළඳනා ය යි දනිති. මේ මේල පළඳනාව නව කෙළක් පමණ රන් අගනේ ය. කළ මිල ලක්‍ෂයක් දෙන ලද.
මෙසේ නවකෙළ ලක්‍ෂයක් අගනා මේ මේල පළඳනාව කෙසේ වූ පිනෙකින් ලද්දාහු ද? යත්; මේ මේල පළඳනාව නම් ධන ඇති කුලෙහි උපන් හැම ස්ත්‍රීන්ට ලැබෙන්නා වූ පළඳනාවෙක් නො වෙයි. කාරණ කිම? යත්;
මේ මේල පළඳනාව දරන්නා වූ ස්ත්‍රිය ඇතුන් පස්දෙනකුට බල ඇත මැනැව. ඒ පළඳනාව කරඬුවෙක ලා ලා අල්ලේ තබාගෙන ඇවිදිනා වූ කෙල්ල ද ඇතුන් පස්දෙනකුට ම බල ඇත මැනැව. තෙසැට දහසක් රජනුවර ඇත්තා වූ මේ සා දඹදිව් තෙලෙහි මේ මේල පළඳනාව ලද්දා වූ ස්ත්‍රීහු නම් බන්‍ධුලමල්ල සේනාධිපතීන්ගේ භාර්‍ය්‍යා වූ බන්ධුලමල්ලිකාවෝ ය. බරණැස සේනානී නම් සිටාණන් දූ යස නම් මහ තෙරුන්ගේ මවු වූ අප බුදුන් බුදුවන දා කිරිපිඬු දන් දුන් සුජාතා නම් සිටුදියණියෝ ය. ධනඤ්ජය සිටාණන් දූ වූ මේ විශාඛාවෝ ය යි යන තුන්දෙන ම ලද්දාහු ය. එසේ හෙයින් පින් කළා වූ ස්ත්‍රියකට මුත් මේ මේල පළඳනාව නො ලැබේ මය.