ඒ විශාඛාවෝ තමන් සෝවාන් හෙයිනුත්, හේතුසම්පත් ඇති හෙයිනුත්, වීදුරු සමාන තීක්‍ෂණ වූ නුවණ ඇති හෙයිනුත්, යහපතැ යි ගිවිස සියලු තමන්ගේ පරිවාර ජනයන් කැඳවාලා “මේ ගෙය රජ්ජුරුවන්ට සරහව, මේ ගෙය යුවරජ්ජුරුවන්ට සරහව, මේ ගෙය මහඇමැතියන්ට සරහව, මේ ගෙය මාගේ නැදිමයිලන්ට සරහව, මේ ගෙය සිටුවරුන්ට සරහව”යි යනාදීන් සියලු සංවිධාන කොට “මෙ තෙක් දෙන ඇතුන්ට කළමනා දෙය කරව. මෙ තෙක් දෙන අසුන්ට කළමනා දෙය කරව. මේ මඟුල් නිමන තුරු යටත් වසයෙන් රජ්ජුරුවන්ගේ පන්නයන් දක්වාත් තණ දා නො ඇවිද මඟුල් කෙළි ම කෙළ ඇවිදිත්ව”යි කියා මෙසේ සියලු සංවිධාන කළාහු ය. එ දවස් ම විශාඛාවන් පියාණෝ පන්සියයක් බඩාලුන් රැස්කොට මාගේ දියණියන්ට මේල පළඳනාවක් කරව යි පසළොස් දාසක් ඝන රන් හා සතර නැළියක් විදුරු හා එකොළොස් නැළියක් උතුම් වූ මුතු හා දෙවිසි නැළියක් පබලු හා තෙතිස් නැළියක් මැණික් හා මෙසේ මගධ නැළියෙන් සැත්තෑ නැළියක් අනගි අනගි වූ වීදුරු මුතු පබළු මැණික් හා අවශේෂ වූ සත්රුවන් පාවාදී මේල පළඳනාවට පටන් ගැන්වූහ.
එ වේලෙහි රජ්ජුරුවෝ මහපෙළහරින් නුවරට වැද නවාතැන් ගෙන කීප දවසක් සුව සේ දවස් යවා ධනඤ්ජය සිටාණන්ට කියා යවන්නාහු “කිමෙක් ද? සිටාණෙනි! මේ සා රජ සෙනගක් හැර ගෙන අප තොපගේ ගම කල් යවා උන් කල තොපට දුක් මහත. තොපගේ දියණියන් වහා සරණපාවා දී පියව”යි කියා යවූහ. සිටාණෝ කිය යවන්නාහු “දැන් අසළම සම්ප්‍රාප්ත ව ගියේ ය. එසේ හෙයින් මාගේ දියණියන්ට සාරමසක් නකත් නැත. නුඹ වහන්සේගේ සේනාවට උවමනා සියල්ලක් මට භාරය. නුඹ වහන්සේ මේ සාරමස සුවසේ ම වැඩහුන මැනැවැ”යි කියා යවුවාහු ය.[1]
-
අතවස ↑