ඒ පඤ්චකල්‍යාණ නම්: කේශකල්‍යාණ ය, මාංසකල්‍යාණ ය, අස්ථිකල්‍යාණ ය, ඡවිකල්‍යාණ ය, වයොකල්‍යාණ ය යි මෙසේ වූ පසෙක. මෙහි විභාග; මහ පින ඇති ස්ත්‍රියගේ කෙස් මොනර පිල්කලබක් සේ ඡවිවර්ණ ඇති ව මුදා හෙළාපිකල ගොප්මස ගැසී තුන් දරණක් ගසා අග් මුදුන් බලා සිටගන්නි, මේ කේශකල්‍යාණ නම. අධරයුග්ම ය කෙම්ඵල දෙකක් සේ පබළුපත් දෙකක් සේ බුලත් කෑ වේලෙහිත් නො කෑ වේලෙහි ත් හැම වේලෙහි ම ඉතා සුරක්ත ව ඡවිපහස් ඇති ව රත්පැහැ විහි ද විහිද තිබෙයි. මේ ලක්‍ෂණය හාංසකල්‍යාණ නම. දන්තයෝ කොඳ කැකුළු සේ සුදු ව අතුරතුරෙහි සිදුරු නො දී එක් දතක් එක් දතකට උස් නො ව සමකොට හා යොදා ලූ සක්පත් දෙකක් සේ ප්‍රභාසම්පන්න ව සිටිති. මේ ලක්‍ෂණය අස්ථිකල්‍යාණ නම. කැළි වූ ස්ත්‍රියගේ සර්වාඞ්ගය අනික් වර්ණයක් නැති ව ගොතා ගෙළා ලූ නිලුපුල් මල්දමක් සේ තිබෙයි. එළිලි වූ ස්ත්‍රියගේ සකල ශරීරය තලකැලලාදි දෝෂය්ක නැති ව කිණිහිරි මල්පෙත්තක් සේ තිබෙයි. මේ ලක්‍ෂණය ඡවිකල්‍යාණ නම. දසවිසිවාරයෙක දරු ලද ත් යොබ්බනය දරු නොලත් සොළොස් හැවිරිදි ස්ත්‍රියක සේ තිබෙයි. සියක් හවුරුදු පිරුණු කල ත් හිස නරකෙන්දකුත් නො නැගෙයි. මේ ලක්‍ෂණය වයකල්‍යාන නම. මෙසේ වූ ස්ත්‍රියක මට පාවා දුන මැනවැ යි කී හ.
ඉක්බිත්තෙන් මවුපියෝ වේද දන්නා බමුණන් එක්සිය අටදෙනකු ගෙන්වා නිරුදක වූ කිරිබත් කවා සන්තෝෂ කරවා පංච කල්‍යාණයෙන් යුක්ත වූ ස්ත්‍රී දැන් ලොව ඇද්දැ යි විචාරා ඇතැ යි කියා බමුණන් කී කල ඉනුත් අටදෙනකු තෝරාගෙන ඔවුන්ට ප්‍රසාද දී “මුළු දඹදිව ඇවිද පංචකල්‍යාණයෙන් යුක්ත වූ කුමාරිකාවක මපුතණුවන්ට සොයව. ඉදින් දුටු නම් මේ ලක්‍ෂයක් අගනා ස්වර්ණ මාලාව ඒ කුමාරිකාවන් පළඳවාලා වහා එවයි යවුවාහුය. ඒ බමුණෝ අටදෙන තෙසැට දහසක් රාජධානිවල ඇවිද පංචකල්‍යාණයෙන් යුක්ත වූ ස්ත්‍රියක් නො දැක නැවත සැවැත් නුවරට එන්නාහු ඒ ධනංජය සිටාණන් වසන සාකෙත නුවරට පැමිණියහ.
එ කල එ නුවර අවුරුදු පතා කෙළනා වූ නැකැත්කෙළි නම් උත්සවයෙක් විය. එ දා මතුමාලෙන් යටිමාලට නො බස්නා, යට මාලෙන් එළිපත පැන පිටතට නො යන කුලස්ත්‍රීහු තම තමන්ගේ ගෙවලින් නික්ම පිරිවර හා සමග සියලු සතුන්ට ම පෙනි පෙනී උයන් පොකුණු ගංතොට ආදියෙහි සිත් සේ කෙළිමින් සෙමින් ඇවිදිනාහු ය. එ දවස් රජ බමුණු වෙළෙඳ ගොවි සිවු කුලයෙහි ශ්‍රීමත් වූ සල්ලාලපුරුෂයෝ “අද අප හා සමාන කුල ඇති උත්තම ස්ත්‍රීන් සිත් සේ බලම්හයි සුවඳ මල්කඳු ගෙන ඒ ඒ සන්‍ධියෙහි සිට ගෙන කැමැති කැමැති කුලස්ත්‍රීන් කරට මල්දම් දම දමා සිත් සේ කෙළනාහු ය.
එදා ඒ බමුණෝ අටදෙන ද “අද මෙ නුවර කුලස්ත්‍රීහු හැම දෙන ම උත්සවයට පිටත්වෙති. අද ඒකාන්තයෙන් පංචකල්‍යාණයෙන් යුක්ත වූ උත්තම ස්ත්‍රික දකුම්හ”යි සිත සිතා ගංතොට එක් ශාලාවෙක යන එන්නන් බල බලා සිටියහ.
එ වේලෙහි විශාඛාවෝ පසළොස් සොළොස් හැවිරිදි වයසින් සර්වාභරණයෙන් දෙවඟනක සේ සැරහී පන්සියයක් පරිවාරස්ත්‍රීන් පිරිවරා ගඟදිය කෙළියට යන්නාහු ඒ ශාලාව කරා පැමිණියහ. එ කෙණෙහි මහා මේඝයක් නඟා වැස්සෙක් දිව ආය. පන්සියයක් කුමාරිකාවරු ඔවුනොවුන් පරදවා දිව අවුදින් ශාලාවට වන්හ. බමුණෝ ඔවුන් පන්සියයක් දෙනා බලා පංචකල්‍යාණයෙන් යුක්ත වූ එකකුත් නුදුටුවාහු ය. විශාල වූ ශාලාවට එන විශාඛාවෝ වැසි ගුගුරා දිව ත් ඇඟ ඩාපෙදකුත් නො සොල්වා ස්වභාව වූ ගමනින් ම පසු ව අවුදින් ශාලාවට වන්හ. පලන් ආභරණ හා ඉන තිබූ සළුව එක පැහැර තෙමී ගිය.
එ වේලෙහි ඒ බමුණෝ දෙවඟනක සේ එන විශාඛාවන් දැක දිව දිව සන්සල නොව එන නියාවත් නිශ්චල ඇත් ගමනින් ඇඟ නො සොල්වා ස්ත්‍රී ලීලාවෙන් එන නියාවත් දැක “මහපොළොව සේ ධෛර්‍ය්‍යසම්පන්න වූ ඉතා පිනැති දරුකෙනෙකැ”යි කිය කියා සිටියහ. එ වේලෙහි ඒ ශාලාවට අවුත් වන් විශාල වූ ගුණ රූ ඇති විශාඛා නම් කුමාරිකාවන් දැක පරීක්‍ෂා කරන්නාහු සතර මහා කල්‍යාණ ලක්‍ෂණ දැක දන්ත කල්‍යාණය නො දැක “මෑ හා කථාවක් කරවා මෑගේ දන්තකල්‍යාණය හා ශබ්දමාධුර්‍ය්‍යය බලම්හ”යි කියා ඔවුනොවුන්ට ඇස් මරා මහත්කොට සිනාසී “මේ කිඩින් රක්‍ෂාකළ සමණ කෙනෙක් ඇත්නම් කාඩි හා නිමුඩු සාලේ බත් පමණකුත් ලද්දා නම් යෙහෙකැයි සමණන් බත් ගෙලෙහි ගත් කල ඉදින් පැන් සොයා ළිඳට උදාසනක් සේ ගියෝ නම් පැන් ගෙන ගෙට එන කලට ඉර ගල වැටී යෙයි. සමණෝ ඇස් පෙරළා අඹුවන් පැන් ගෙනෙන තුරු සුවසේ වැදහෝනෝ වේ දැ”යි යනාදීන් වෙහෙසුම් කළහ.
එ බසට විශාඛාවෝ: බමුණනි! කා වෙහෙසා දැ යි විචාළහ. එ බස හා සමග ඒ විශාල වූ ශාලාව මිණියක් ගසා ලූ හඬක් සේ මධුර නාදයෙන් සැදී සිටගත. බමුණෝ ඒ මධුර වූ කටහඬ අසා සතුටු ව තව ද උන් හා කථා කරනු කැමැති ව: නැගනියනි! නුඹගේ සුරුකම් කියම්හ. නුඹගේ මෙතෙක් පරිවාර ස්ත්‍රී හැමදෙන ම නො තෙමී මේ ශාලාවට දිවපීහ. නුඹ ඔවුන් හැමදෙනාට පළමුව නො අවුදින් වස්ත්‍රාභරණ තෙමාගෙන පසුව පියා ආයේ නුඹ අත පය සිහින් දැයි විචාළහ.
එ බසට විශාඛාවෝ කියන්නාහු “ආචාර්‍ය්‍යවරුනි! එසේ නො කියව. මම කායබල නැත්තෙම් නො වෙමි. කාරණාකාරණ ද නිමි. දිවීමෙහි ආදීනවයන් නිසා සෙමෙන් සිට අයිමි”යි කීහ. නැගණියනි! ආදීනව නම් කිම් දැ යි බමුණෝ විචාළහ.
එ වේලෙහි විශාඛාවෝ කියන්නාහු “මේ ලෝකයෙහි සතර දෙනෙක් දිවන අවස්ථාවෙහි ඉතා නො සිරියෙති. ඔහු කවරහ යත්: වොටුනු පලන් ලොවට අධිපති රජු කැසපට ගොතා ගෙන කඩු පලඟ අතින් ගෙන රාජාඞ්ගනයෙහි බොහෝ දෙනා දැක්ක දී දිවී නම් බැලු බැලු සත්ත්‍වයෝ “රජකු ලජ්ජා නැති නියා ය. තෙමේ ගොවියෙකු සේ දිවෙයි” කියා නින්‍දා බෙණෙති, එසේ හෙයින් රජු දිවන වේලෙහි ඉතා නො හොබනේ ය. ස්වභාව වූ ගමනින් රාජලීලායෙන් යේ නම් බැලු බැලූවන් ඇසට ඉතා හොබනේ ම ය. තව ද රජහුගේ මඟුලැත් සියලු හස්ත්‍යාලඞ්කාරයෙන් සැරහී මහ වේ මැද දිවේ නම් ඉතා නො හොබනේ ය. ඇත්ගමනින් එ පයින් එ පය තබා යේ නම් ඉතා හොබනේ ම ය. තව ද යම් තාපස කෙනෙක සේවායකු සේ දිව දිව යෙත් නම් ඉතා නො හොබනාහු ය. බොහෝ දෙනා අතින් “මේ මහණ සේවායකු සේ දිවන්නේ ය”යි නින්‍දා ම ලබන්නාහු ය. වියදඬු පමණින් දුර නො බලා සන්හුන් ගමනින් නැවකට වඩාලූ ප්‍රතිමාවක් සේ ඇඟ නො සලා යෙත් නම් ඉතා හොබනාහු ය.
තව ද යම් ස්ත්‍රියක් පුරුෂයකු සේ දිවේ නම් ඉතා නො හොබනී ය. බොහෝ දෙනා අතින් “මෝ තොමෝ ගැහැණියක් නො වෙයි පිරිමියෙකැ”යි කියා නින්‍දා ම අසන්නී ය. ස්ත්‍රී රූපය මඳ මඳ ගමනින් යන කල ඉතා හොබනේ ය. එසේ හෙයින් මේ මේ කාරණයෙන් රජු ය, මඟුලැතු ය, තපස්වි ය, ස්ත්‍රිය යි යන මොහු සතරදෙන නො දිවිය යුක්තාහ. මම ද ඒ සතරදෙනා අතුරෙහි අන්තර්ගතයෙමි. මේ මේ කාරණයෙන් දිව දිව නො ආයෙමි. තව ද අනිත් කාරණයෙකු දු ඇත. මවුපියෝ නම් දූදරුවන් අතුල් පතුල් කන් නාසා තෙල් ගා හඹා මල්දම් පිරිමසන්නා සේ සකස් කොට වඩන්නාහු ය. එසේ හෙයින් අපි විකිණි බඩුවක් වැන්නම්හ. විකිණි බඩුව නම්, මඳක් සිඳී බිඳී ගියේ නම් මඳක් මිරිකී ගියේ නම්, මිල බොහෝ නො වෙයි. එසේ හෙයින් අප දුවන වේලෙහි කුරුඟුලා පටින් හෝ, කැටකින් හෝ, මුලකින් හෝ, පැකිලී හී අතපය රෙදවී ගියේ නම් දෙමව්පියන්ට ම භාර වම්හ. ඈ කෙරකෙල්ල, අපට ඇයි දැ යි පුරුෂයෝ රක්‍ෂා නො කෙරෙති. එසේ හෙයින් දෙමවුපියන්ටත් වැඩ නැත, අපටත් වැඩ නැත. මේ මේ කාරණ සලකාත් නො දිවිමි. සෙමින් සෙමින් අයිමි වස්ත්‍රාභරණ තෙමී ගියේ වී නම් ඒ දෙවනු ව වියළා ගත හැක්ක. අත පය සිඳී බිඳී ගියේ වී නම් ඒ දෙවනුව සන්‍ධි ගලපා ගත නො හැක්කේ වේ දැ”යි කීහ.
එ වේලෙහි බමුණෝ විශාඛාවන් මධුර වූ කථා කරන වේලෙහි දන්තකල්‍යාණයත් දැක ඉතා සතුටු ව ප්‍රියකථාවෙහි පැහැද සාධුකාර දී “අපගේ සිටුකුමාරයන්ට තෙපි ම තරමු ව”යි කියා ලක්‍ෂයක් අගනා රන් මාලාව විශාඛාවන් කර පළඳලූහ. එ වේලෙහි විශාඛාවෝ බමුණන් ආ නුවර නම හා නැඳිමයිලන්ගේ නම් විචාරා අපට සුදුසු වූ කුලයෙක් ම ය යි සන්තෝෂ ව ඒ රන්මාලාව ඉවසා තනතුරු ලත් කල පයින් යාම සුදුසු නො වන්නේ වේ දැ යි සිතා පියාණන්ට කියා යවා පන්සියයක් රථ ගෙන්වා මහපෙළහරින් රථ නැඟී නැවත ගෙට ගියහ.
බ්‍රාහ්මණයෝ ද විශාඛාවන් සමග ගොස් සිටාණන් දැක තමන් ආ නුවර හා සිටු කුලයෙහි නම් හා තමන් ආ කාරණ හා ධනඤ්ජය සිටාණන්ට කීහ. ධනඤ්ජය සිටාණෝ තොපගේ සිටුකුලෙහි සම්පත් කොපමණක් ඇද්දැ යි විචාරා; හතළිස් කෙළක් ධනය ඇතැ යි අසා “ඒ සම්පත් අපගේ දරුවන්ට කසා නානා මිලට ත් මඳ; එසේ හෙයින් ඒ සම්පත් අපගේ සම්පත් බැලූ කල අපට ඒ දෙවියට සමාරක් සේ ත් නො සිතෙයි. එසේ ද වී නමුත් කුල සමකුල බැවින් මාගේ දියණියන්ට ආරක්‍ෂා පමණකුත් ඇත මනා වේ ද, මැනැවැ”යි ගිවිස ඒ බමුණන්ට සත්කාර කොට යවුවා හු ය.
බමුණෝ ගොස් විශාඛාවන්ගේ පවතුත් ධනඤ්ජය සිටාණන් කී පවතුත් මිගාර සිටාණන්ට කීහ. මිගාර සිටාණෝ එ පවත් අසා සතුටු ව බොහෝ වූ ධන ඇති කුලයෙහි කුමාරිකාවක ලද සේ මැනැවැ යි කල් නො යවා ගෙන්වමි යි සිතා ගොසින් එ පවත් කොසොල් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ එ පවත් අසා “මාගේ නුවර මා ම නිසා ආ උතුම් ධන කුලෙහි ඇත්තෝ ය. ඒ සම්බන්‍ධය ද වල නො ගොස් මාගේ නුවර සිටු කුලයට වන සේ මැනැවැ”යි සතුටු ව “ඒ මඟුලට මම ද එමි”යි කීහ. මිගාර සිටාණෝ එ බස් අසා ධනඤ්ජය සිටාණන්ට කියා යවන්නාහු “අපගේ මඟුලට අපගේ රජ්ජුරුවන් වහන්සේ ත් එති යි කී සේක. උන්වහන්සේගේ සත් කෙළක් පමණ මහසෙනඟ ය, උන්වහන්සේ එන කල ඒ සා සෙනඟ හැම ම එති. කළමනා කිමෙක් ද? බත් බුලත් නවාතැන් දී ලිය නො හැක්කේ වේ ද? සොරා ම මඟුල් කරවා පියමෝ දැ”යි කියා යවුවාහු ය. ධනඤ්ජය සිටාණෝ එ බසට සිනාසී “එසේ වූ එක රජ සෙනඟක් තබා දස රජකු හා දස සෙනඟක් ගෙන සැක නැති ව පලා එව. සියල්ල ම පසිඳිනෙම් මම් ම වේ දැ”යි කියා යවුවාහු ය.
එ කල මිගාර සිටාණෝ එ බස් අසා ඔහුගේ වාසි බලම්හ යි රජ්ජුරුවන් හා මන්ත්‍රණය කොට මුළු නුවර වැස්සන්ට කියාලා ඒ සා සැවත් නුවර ගෙ බලන්නන් හැර සත් කෙළක් පමණ සෙනඟ හා කොසොල් රජ්ජුරුවන් හා කැඳවා ගෙන ගොස් දෙගව්වක් තෙන මහ පිරිස රඳවා විවා මඟුලට ආම්හ යි කියා යවූහ. ධනඤ්ජය සිටාණෝ රජ්ජුරුවන් ආදි වූ සියලු ඇමති සිටුවරුන්ට සුදුසු සුදුසු පඬුරු පෙරමඟට යවා අද රෑ ම ලැග්මට ආවමැනැවැ”යි නියෝග කොට දියණියන් ළඟට කැඳවා දියණියන්ගේ නුවණ පරීක්‍ෂා කරනු පිණිස හා දියණියන්ගේ නුවණ බල බොහෝ දෙනාට දක්වනු පිණිස හා “පුත! රජ්ජුරුවන් හා තොපගේ නැදිමයිලන් හා සියලු රජසෙනඟ ම මගුලට ආවාහු ය. රජ යුවරජ ආදීන්ට කවර කවර ගෙයි නවාතැන් ලවමෝ දැ”යි විචාරා මේ මඟුල් නිවන තුරු සියලු සංවිධානය තෙපි ම කරව යි කියා නුවර දියණියන්ට පාවා දුන්හ.