ජේතවන මහා විහාරය පිදීම

star_outline

ඉක්බිත්තෙන් බුදුරජාණන් වහන්සේ මේ මහපිරිස් පළමුව පූජාවෙන් නික්මුණු කල තමන් වහන්සේ විසි දහසක් සඟපිරිස් ගෙන සවනක් රසින් දිලිහි දිලිහී මහ පෙළහරින් පූජා විඳ විඳ අපරිමේය වූ බුද්ධශ්‍රීන් දෙවුරම් වෙහෙරට වන් සේක. ඉක්බිත්තෙන් අනේපිඬු මහ සිටාණෝ බුදුන්දැක වැඳලා “ස්වාමීනි! මේ වෙහෙර කෙසේ පිළිපදිම් දැ”යි විචාළහ. ස්වාමිදරුවෝ “මහ සිට! මේ විහාරය මේ තෙනට පැමිණි නො පැමිණි සෑම භික්‍ෂූන් උදෙසා සාංඝික කොට දෙව යි වදාළ සේක. එ කෙණෙහි අනේපිඬු මහසිටාණෝ ස්වර්ණාභිංකාරයෙන් පැන් ගෙන “සතර දිගින් වඩනා බුදුපාමොක් මහසඟනට මේ වෙහෙර සාංඝිකකොට දිනිමි”යි කියා බුදුන් ශ්‍රීහස්තයෙහි පැන් වත්කළහ. එ කෙණෙහි ස්වාමිදරුවෝ දෙවුරම් වෙහෙර පිළිගෙන සිටාණන් තමන් ම කැරවූ ධර්මමණ්ඩපයෙහි බුද්ධාසන පැන නැඟී වැඩහිඳ-

“සීතං උණ්හං පටිහන්ති - තතො වාළමිගානි ව,

සිරීංසපෙ ච මකසෙ - සිසිරෙ චාපි වුට්ඨියො”යි.

යනාදීන් ආවාසදානයෙහි අනුසස් මහ පිරිසට දේශනා කොට බොහෝ සතුන් සසරින් මුදා වදාළ සේක.

ඉක්බිත්තෙන් අනේපිඬු මහසිටාණෝ මෙසේ බුදුන්ට ජේතවනාරාමය පිළිගන්වා දවස දවස පූජා කරන්නාහු අටළොස් කෙළක් ධන දාන පූජාවෙහි වියදම් කොට නව මසක් මුළුල්ලෙහි දවස් පතා පූජා කළාහු ය. මෙසේ බිම ගත් මිල ය. විහාරකර්මාන්ත කැරවූ මිල ය, දාන පූජාවට කළ වියදමැ යි මෙසේ සිවුපනස් කෙළක් ධන බුදුන් උදෙසා එක ජේතවනාරාමයට ම වියදම් කළහ.