එහිදී බුදුරදුන් දහම් දෙසීම

star_outline

මේ විහාරභූමිය නම් අනන්තාපරියන්ත වූ සර්වඥවරයන්ට ම අනන්තාපරිමේය වූ ධනසිටුවරුන් විසින් ම මිල දී ගෙන කරවා පිළිගන්වා එන වෙහෙරෙක් ම ය. සෙසු සර්වඥවරයන් හැර විපස්සී නම් බුදුන්ට ස්වස්තිසේන නම් සිටාණකෙනෙක් මෙම බිම සතර ගව්වක් පමණ තෙන රන් අතුළුවෙන් වසා බිම ගෙන විහාරය කරවා ඒ විපස්සී නම් බුදුන්ට පිළිගන්වා මහාපූජා කළහ. තව ද සිඛී නම් බුදුන්ට සිරිවඩ්ඪක නම් සිටාණකෙනෙක් මෙම බිම තුන් ගව්වක් පමණ තෙන ඝනරන් සීවැලින් වසා මිල දී බිම ගෙන විහාරය කරවා පිළිගන්වා මහාපූජා කළහ. වෙස්සභූ නම් බුදුන්ට ස්වස්තික නම් සිටාණ කෙනෙක් මෙම බිම දෙගව්වක් පමණ තෙන ඝන රනින් ගැසූ ඇතු පයින් වසා මිල දී බිම ගෙන වෙහෙර කරවා පිළිගන්වා මහාපූජා කළහ. කකුසඳ නම් බුදුන් සමයෙහි අච්චුත නම් සිටාණ කෙනෙක් මෙම බිම ගව්වක් පමණ තෙන ඝන රන් උළින් වසා මිල දී බිම ගෙන වෙහෙරක් කරවා පිළිගන්වා මහාපූජා කළහ. තව ද කෝණාගමන නම් බුදුන් සමයෙහි උග්ගත නම් සිටාණ කෙනෙක් මෙම බිම අඩගව්වක් පමණ තෙන රනිබ්බන් පුරා මිල දී බිම ගෙන වෙහෙර කරවා පිළිගන්වා මහාපූජා කළහ. තව ද කාශ්‍යප නම් බුදුන් සමයෙහි මඞ්ගල නම් සිටාණ කෙනෙක් මෙම බිම සොළොස් කිරියක් පමණ තෙන ඝනරන් උළින් වසා මිල දී ගෙන වෙහෙර කරවා පිළිගන්වා මහාපූජා කළහ. දැන් අප මහා ගෞතම බුදුන් සමයෙහි මේ අනේපිඬු මහසිටාණෝ බිජු අට කිරියක් පමණ බිම ඔටින් සිටුවා මසුරනින් වසා ඒ මිල දී බිම ගෙන ජේතවනාරාමය කරවා මෙසේ පිළිගන්වා නව මසක් මුළුල්ලෙහි මහාපූජා කළහ.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ අනන්තාපරියන්ත වූ බුදුන්ගේ මාසයට ම සුදුසු වූ මේ ජේතවනාරාමය හැම බුදුන්ගේ චාරිත්‍ර නො වරදවා පිළිගෙන එදා පටන් දවස් පතා දෙසිය සැත්තෑවක් පමණ දවස් මහාපූජා ලත්හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, ලෝකාචාර්‍ය්‍ය වූ, අනාචාර්‍ය්‍ය වූ, ලෝකාධාර වූ, අනාධාර වූ, ලෝකේශ්වර වූ, අනේශ්වර වූ, ලෝකනාථ වූ, අප්‍රතීනාථ වූ, ලෝකස්වාමි වූ, මාගේ ස්වාමිදරු වූ, මාගේ ම ගුරු වූ, මාගේ ම මවු වූ, මාගේ ම පිය වූ, මාගේ ම දෙවි වූ, මාගේ ම බඹ වූ, මාගේ ම සර්වඥ වූ, මාගේ ම බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදුයේ මැයි:-

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්‍ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන්ට අනේපිඬු මහසිටාණන් විසින් කරන ලද

ජේතවනාරාම පූජා කථා නම් වූ සතළොස් වන පරිච්ඡේදය නිමි.