එ කල රාහුල කුමාරයෝ සර්වාභරණයෙන් සැරහී කුමාර පිරිස් පිරිවරා බුදුන් පියාණනැ යි අසා සතුටු සතුටුව බුදුන් කරා නො බා ගොස් බුදුන්ගේ සිවුරුකණ අල්වාගෙන බුදුන්ගේ අටතුරාසියක් මඟුල් ලකුණෙන් ශ්‍රීමත් වූ දෙවි බඹුන්ගෙන් පූජා ලබන ශ්‍රීපාදයට නුදුරු තෙන පියාණන් වහන්සේ ය යි යන ප්‍රේමයෙන් භය නැති ව තමන්ගේ රන්පෙති දෙකක් වන් පතුල්සුං දෙක සමකොට තබාගෙන බුදුන්ගේ ශ්‍රී මුඛය බල බලා “මහණ! මට තාගෙන් දායද්ද දේල. මහණ! මට තාගේ සතර මහ නිධානය දේල. මහණ! මට තාගේ සත්රුවන් සක්විති රජය දේල. මම තාගේ දරුවෙම් ල. තෝ මාගේ පියෙහි ල. තෝ මා උපන් දවස් දුර දී දැකලා මා කරා නො වැද සොරා ම ගියෙහි ල. එසේ දැඩි වුවත් මහණ! තාගේ සෙවන ඉතා ම මට සිහිල. තාගේ රූපශ්‍රීය ඉතා ම මට ප්‍රියංකර ය. තාගේ ඇඟින් දිවන රස් මා ඇඟට ඉතා ම සුවපහස් දෙයි. එසේ හෙයින් තෝ මාගේ පියෙහි ම ය යි කිය කියා බුදුන් මුහුණ බල බලා ලඳ බොළඳ තෙපුල් කීහ.
එ කල බුදුහු කුමරුවා ඇඟිල්ල ශ්‍රී හස්තයෙන් අල්ලාගෙන “වරෝ දරුව! දායාද දෙන්නමෝ වේ දැ”යි කිය කියා රජගෙට නික්මුණු සේක. රාහුල කුමාරයෝ සිංහරාජයකු පසුපස්සේ ගමන් ගත් කේශර සිංහරාජ පැටවකු සේ, සඳ පසුපස්සෙහි ගමන් ගත් වෘහස්පති තරුව සේ, නැව් තරුවට අනු වූ අරුන්‍ධතී තරුවක් සේ, සත්රුවන් මහ නැවෙක රන් පමුදමින් බැඳ පසුපස්සේ ගමන් ගත් රුවන් ගල් වත් සුඟක් සේ, බුදුන්ගේ පසුපස්සෙහි රජගෙට ගියාහු ය.
එ දවස් ශාක්‍ය කෝලිය දෙනුවරින් රැස් වූ රජදරුවන්ට හා සියලු සත්ත්‍වයන්ට බුදුන් යමාමහ පෙළහර පානා වේලෙහි උපන් සන්තෝෂ සේ ම ඉතා මහත් වූ සන්තෝෂ උපන. සාධුකාර නුදුන් එක ද සත්ත්‍වකෙනෙක් නැත. සතුටු කඳුළෙන් නුවන් නො තෙමූ එක ද දරු ලත් කෙනෙක් නැත. සියලු සත්ත්‍වයෝ ම මෙවැනි පෙළහරෙක්, මෙවැනි ආශ්චර්‍ය්‍යයෙක්, මෙවැනි වික්‍රමයෙක්, මේ වැනි බුහුටිකමෙක්, මේ වැනි නිර්භීතකමෙක්, මදරුවන්ට ත් වේව යි මදරුවන්ට ත් වේව යි කිය කියා ම සිටියාහු ය.
එ කල බුදුහු රජගෙට වැඩ වදාළ සේක. රාහුල කුමාරයෝ දායාද ඉල්ව ඉල්වා බුදුන් ළඟ සිවුර අල්ව අල්වා සිටිත් ම ය. බුදුහු වළඳා අන්තයෙහි බුද්ධාසනයෙන් පැන නැඟී තරුණ රිවිකිරණයෙන් දිලියෙන කනකගිරි ශිඛරයක් සේ නික්මුණු සේක. රාහුල කුමාරයෝ ද බුදුන්ගේ සිවුරුකණ ගෑවී ගෑවීම දායාද ලෝභයෙන් නික්මුණාහ. බුදුහුත් රාහුලය තෝ සිට යි කියා ත් නො වදාරණ සේක. රාහුල කුමාරයන් රඳවාලන කිසි කෙනකුත් නැත්තා හු ම ය.
එකල යශෝධරා දේවී බුදුන් හා කැටි ව යන පුතණුවන් සිංහ පංජරයෙන් බලා දැක “කිමෙක් දෝ හෝ නන්‍ද කුමරුවාණන් සේ ම ම පුතණු ත් ගෙන ගොස් මහණ කරවා ගන්නා උපායෙක් දෝ, දායාද තබා ම පුතුන් ලදිම් නම් මැනවැ”යි සිත සිතා කඳුළෙන් නුවන් තෙම තෙමා සිටියාහු ය.
බුදුහු රාහුල කුමාරයන් වෙහෙරට ගෙන ගොස් සැරියුත් මහතෙරුන් වහන්සේ කැඳවා “ශාරිපුත්‍රය! මේ රාහුලයා මා අතින් සත්රුවන් දායාද සම්පත් ඉල්වයි. මොහු මට දරු බවත් සැබෑම ය. මා මෝහට පිය බවත් සැබෑ ම ය. එසේ හෙයින් මෝහට නො නස්නා ධනයක් දෙනු කැමැත්තෙමි. දෙන ධනයත් මාගෙන් ම දී ලනු කැමැත්තෙමි. මා බෝමැඩ දී ලද්දා වූ සප්තවිධ වූ ආර්‍ය්‍යධනය මෝහට දුනමැනව යි, එසේ හෙයින් දැන් ම මොහු මහණ කරව යි වදාළ සේක.
ඒ රාහුල කුමාරයන් වහන්සේ පෙර තමන් වහන්සේ කෘතාධිකාර ව ආ හෙයිනුත් බොහෝ කලක් බුදුන්ට දරු ව කීකරුව ආ හෙයිනුත් තුලු මහණකරව යි කී බස් අසා මපියාණන් වහන්සේ අද මට උතුම් ධනයක් දෙනසේක් වනැ යි සිතා හේතුසම්පත් බලයෙන් ම සතුටු සතුටු ව සිටිසේක. ඒ කෙසේ ද? යත්;
පෙර පියුමතුරා නම් බුදුන් සමයෙහි මේ රාහුල ස්වාමි සඞ්ඛ නම් දිව්‍යනාගරාජ ව ඉපද ඒ බුදුන්ගේ උතුරු නම් පුත් මහතෙරුන් වහන්සේගේ බුදුන් හා එක්වැනි වූ රූපලීලා හා මෑණියන්ගේ නියෝගයෙන් දායාද සම්පත් සොයා ගිය දා මහණ ව අමාමහ නිවන් දැක බුදුසසුන් හොබවන්නා දැක ‘මම ද බුදුකෙනකුන්ට දරුව මෙසේ වූ ශ්‍රී විභූතියක් ලදිම් නම් යෙහෙකැ”යි සිතා නේ සුවහස් නා නළුවන් පිරිවරා නාලොවින් මිනිස්ලොවට අවුදින් මහත් වූ දිව්‍ය මණ්ඩපයක් මවා එහි බුදු පාමොක් සඟපිරිස් වඩා හිඳුවා සත්දවසෙක දිව්‍ය ආහාර වළඳවා සත්වන දා “මම ද මේ පිණින් මතු නුඹවහන්සේ සේ ම බුදුකෙනෙකුන්ට දරුව මේ උතුරු නම් මහතෙරුන් සේ ම බුදුසසුන් හොබවම්ව”යි ප්‍රාර්ථනා කළ සේක. බුදුහු “තෝ මතු ගෞතම නම් බුදුන්ට පුත් රාහුල නම් මහාස්ථවිර වන්නෙහි ය යි විවරණ පතුල් දුන් සේක. මේ මුන් වහන්සේගේ හේතුසම්පත් නම්. එ තැන් පටන් මේ කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි පැරුම් පුරා ආ සේක්ම ය.
තව ද: සසර දහස් ගණන් කප්වල බුදුන්ට ම දරු ව අවුදින් තෙසු කල් තබා අප බුදුන් බුදු වූ මේ මහාභද්‍රකල්පයෙහි දද්දර ජාතකයෙහි මාගේ ශාක්‍යසිංහයාණන් වහන්සේ භාස්කර කුලෙහි සිංහරාජ ව ඉපද හිමාලය වනයෙහි රිදී ගුහායෙක රිදීසුන්නෙහි නිත්‍ය වාසය කරන සමයෙහි සිංහ පෝතක ව ඉපද පියාණන් වහන්සේට සුවච වැ වැස පසු ව සිංහ රාජ්‍යය ලදින් සහජාත පුත්‍ර වූ සේකත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.
තව ද: මක්කටක ජාතකයෙහි ශාක්‍යකුල තිලක වූ මෙම බුදුරජාණන් වහන්සේ බමුණු මහසල් කුලෙහි ඉපද කෙළ ගණන් ධන හැර වල්ගොස් මහණ ව ශීලපාරමිතාව පූරණය කළ සමයෙහි තුන් හැවිරිදි බිලිඳි වයස පියාණන් වහන්සේ පසුපස්සේ ගොස් එක දා ම මහණ ව දීර්ඝ කාලයක් බ්‍රහ්මචර්‍ය්‍යාව අකණ්ඩකොට රක්‍ෂා කළ සේකුත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.
තව ද: බන්‍ධනාගාර ජාතකයෙහි ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ මෙම බුදුරජාණන් වහන්සේ අප්‍රසිද්ධ වූ කුලයෙක ඉපිද මාතුපට්ඨාන ධර්මයන් පූරණය කොට පසුව තපසට යෙමි යි නික්මුණු දා ස්වාමීනි! මා බඩ දරු ගබෙකැ යි ස්ත්‍රිය අවුත් කී වේලෙහි පුත්‍රප්‍රේමයෙන් මපුතණුවන් උපන් කල යෙමි යි සිතා රඳා උපන් පුතණුවන් දැක උපන්නා වූ මහා ප්‍රේමයෙන් මපුතුන් හිරු වන්දවා පී කල තපසට යෙමියි රඳා පසුව මපුතුන් බත් කැවුකල යෙමි යි සිතා රඳා පසුව මපුතුන් කෙස් බෑ කල යෙමි යි රඳා. පසුව මෙසේ පුතණුවන් කෙරෙහි කළ ලෝභයෙන් ප්‍රේම නමැති මලෙහි බැඳී තපසට යා නොහී පසු ව පුතණුවන් කෙස් බෑ කල සොරා තනි කොට ගෙන පුතණුවන් සිඹ සනහා “පුත දැන් මා බැඳුනු මලෙහි තෙපි මතු බැඳී නො යව”යි පැනයක් උගන්වාලා සොරා තපසට පලා ගිය දෑ ය. පියාණන් වහන්සේ තපසට ගියපසු වැඩිවිය පැමිණ පියාණන් වහන්සේ උගන්වාලූ අවවාදය නොවරදවා ම කාමබන්‍ධනයෙහි නො බැඳී වල්ගොස් තපස් කළ සේකුත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.
තව ද: අද්ධිත ජාතකයෙහි ශාක්‍යකුල කල්පද්‍රැම වූ මෙම බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාර සැපත් හැර අඹුදරුවන් හඬ හඬා සිටියදී තපසට වලට නික්මුණු දා සත්හැවිරිදි වයස නෑයන් රඳව රඳවා සිටියදීත් පියාණන් වහන්සේ හා සමග පලා ගොස් එක්ව මහණ ව වැසි සුළං සීත පීඩා ඉවසා ඒ ඒ රුක්මුල්වල භාවනාකොට හිඳ අභිඥා ලදින් ධ්‍යාන කෙලි කෙළ එක්ව ම ගොස් බඹලොව උපන් සේකුත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.
තව ද: උරග ජාතකයෙහි ශාක්‍යකුල කේතු වූ මෙම බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචාරීව ඉපද අතිත් ලකුණෙන් ලොව හික්මවා ශක්‍රයාගෙන් ධන පූජා ලත් සමයෙහි එක්සිත් ව දැහැමෙන් වැස පියාණන් වැනි ගුණ රක්‍ෂා කොට ගුණ ඇති ව සර්පයකු විසින් දෂ්ටකරණ ලදු ව මිය පවා පියාණන් වහන්සේට ශෝක දුක් නුදුන් සේකුත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.
තව ද: කුම්භකාර ජාතකයෙහි ශාක්‍යකුල ධජ වූ මෙම බුදුරජාණන් වහන්සේ ජාතිභේද දක්වනු සඳහා කුම්භකාර ජ්‍යෙෂ්ඨ ව ඉපද රජකුලෙන් බුදු වූ පසේබුදුන් සතර දෙනකු වහන්සේ අතින් බණ අසා ගිහිගෙයි උකටලී ව මහණවනු කැමැති ව මෙම පුතණුවන් වහන්සේ ඒ ජාතියෙහි පස් මැසි කල භාර්‍ය්‍යා වූ මෙම යශෝධරා දේවීන් ළඟට කැඳවා ‘සොඳුර ගිහිගෙයි උකටලියෙමි. මහණ වන්නට දැන් ම වලට යෙමි’යි කී යශෝධරාවෝ ‘ස්වාමීනි! තොප පුතණුවන් අප දෙදෙනාගේ බලයෙන් ම වඩාගෙන පසුව අපි තුන්දෙන ම එක් ව ගොස් තපස් කරම්හ’යි කියා යාච්ඤා කොට බෝසතුන් දැන් ම යෙමි යි කියා නො ගිවිස්නා හෙයින් ‘එ බැවින් ස්වාමීනි තොපගේ බිළිඳි පුතණුවන් මඳ ඇසිල්ලක් වඩා හිඳුවා, මා පැන් කළයක් ගෙනා කල ගිය මැනවැ’යි මායම කියා බෝසතුන් අතට පුතණුවන් වඩාලා තුමූ කළයක් අතට ගෙන දොර මිදුලට බැසලා නැවත ආපස්ස බලා ‘ස්වාමීනි! මා ආ විටෙක මුත් නුඹ පුතණුවන් හැර පලා නො යන්නැ’යි තරකොට ම කියාලා, තුමූ පලාගොස් “අප දෙදෙනා සමයේ බැඳී ගිය මේ දරුමල එකලා මා කරට නගාලා මේ පුරුෂයා තෙමේ ගැලවී තපසට යනු කැමැති වන. සසර දුක් නම් ස්ත්‍රීන්ටත් දැඩි ම ය. පුරුෂයන්ටත් දැඩි ම ය. නිවන් නම් ස්ත්‍රීන්ට ත් මිහිර. පුරුෂයන්ටත් මිහිර.
තව ද: පින්කළ පුරුෂයෝ ශක්‍ර වෙත් ම ය. මාර වෙත් ම ය. චක්‍රවර්ති වෙත් ම ය. පසේබුදු වෙත් ම ය. ලොවුතුරා බුදු වෙත් ම ය. ස්ත්‍රීන් කෙතෙක් පින් කළ ත් ඒ සම්පත් නොලැබෙත්ම ය. එසේ හෙයින් ස්ත්‍රීන්ට ලැබෙන්නේ එක නිවන් සම්පත් ම ය. මේ මේ කාරණයෙන් සසර ගැලවීම ස්ත්‍රීන්ට දුර්ලභ ම ය. පුරුෂයන්ට සසර ගැලවීම ආශ්චර්‍ය්‍ය නො වේ ම ය. එසේ හෙයින් මොහු මා කරට දමමි යි සිතූ මල මම මොහු කරට දමාලා තපසට යෙමි”යි කළය බැද්දෙක ලා පියා පරිබ්‍රාජිකා වෙහෙරට ගොස් පැවිදිව සිල් රක්‍ෂා කළාහු ය.
බෝධිසත්ත්‍වයෝ මඟ බල බලා හිඳ භාර්‍ය්‍යාවන් නො එන හෙයින් තපසට ගියහ යි දැන ‘මා වැනි වීර පුරුෂයකු ස්ත්‍රියකට බැඳී ගිය සේ ඉතා නො යෙදෙයි’ කිය කියා පුතණුවන් කෙරෙහි කළ ප්‍රේමයෙන් දමින් මසාලූ ඇතකු සේ පය ඔසවා පලා යා නො හී ස්වහස්තයෙන් පෑර පිස දර පැන් ඇද පුතණුවන් මහත් වූ ප්‍රේම ඇති ව වඩා පුතණුවන් ලුණු ඇඹුල් රස දැනගත් අවස්ථාවෙහි “ම පිත් නුවණැත්තේ ය. මා නැතිව ත් රක්‍ෂා විය හෙයි” දැන පුතණුවන් සිඹ සනහා කුල නෑයන් කැඳවා පාවා දී තමන් වහන්සේ වලට ගොස් පැවිදි වී ධ්‍යාන උපදවා බඹලෝ ගොස් උපන් සේක. මෙසේ මහණ සුවයත් හැරපියා ගිහිගෙයි වැස මේ සා මහත් දුක් ගෙන ප්‍රේම කොට වැඩුයේ ත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.
තව ද: මඛාදේව ජාතකයෙහි ශාක්‍යකුල රත්නාකර වූ මෙම බුදුරජාණන් වහන්සේ මඛාදේව නම් රජ ව බොහෝ දවසක් රාජ්‍යය කොට පළමුවන නරකෙස දැක රාජ්‍යය හැර ගොස් මහණ ව ධ්‍යාන සුවයෙන් දවස් යවු සමයෙහි මඛාදේව නම් පුත්‍ර ව එම රාජ්‍යය පරිපාලනය කොට සුවාසූදහසක් හවුරුදු මුළුල්ලෙහි රාජ්‍යය කොට එදෑතුරෙහි පියාණන් වහන්සේට සිවු පසයෙන් උපස්ථාන කළා වූ ඒ මඛාදේව නම් පුතණුවන් වහන්සේ ද මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.
තව ද: මහා සුදස්සන ජාතකයෙහි ශාක්‍යකුල චක්‍රවර්ති වූ මෙම බුදුරජාණන් වහන්සේ සප්තරත්නාධිපති වූ මහාසුදර්ශන නම් චක්‍රවර්ති රජ ව සතර මහ දිවයිනින් හා දෙදහසක් කොදිව්වලින් පිරුණා වූ මේ සක්වළ ගබ මුළුල්ලෙහි එකාතපත්‍රෙයන් රාජ්‍යය කොට චන්‍ද්‍ර-සූර්‍ය්‍ය දිව්‍යපුත්‍රයන් සේ සියලු සතුන්ට ම පෙනි පෙනී සියලු සතුන් පඤ්චශීලය රක්‍ෂා කරවා ඉදින් ඒ පඤ්චශීලය තමා රහසත් බිඳපු සත්ත්‍වයෙක් ඇත්නම් ඔහුගේ ඉස සත් කඩක්ව පැළී යන තරම් උග්‍ර වූ ආඥා තේජස් ඇති ව දශවිධ වූ චක්‍රවර්ති ධර්මයන් පුරා රාජ්‍යය කළ සමයෙහි අවටින් පන්සියයක් යොදනෙහි හිවි ගැවසී සිටිනා ඒ සා චක්‍රවර්ති සේනාවෙහි මේ සත්ත්‍ව යා සුදු පිළී කැමැත්තේ ය. මේ සත්ත්‍වයා රත් පිළී කැමැත්තේ ය. මේ නිල් පිළී කැමැත්තේ ය. මේ රන්වන් පිළී කැමැත්තේ ය. මේ මෙසේ මෙසේ වූ ආභරණ කැමැත්තේ ය. මේ මෙසේ වූ මල්පළඳනා කැමැත්තේ ය. මේ මෙසේ වූ සුවඳ විලවුන් කැමැත්තේ ය. මේ මෙසේ වූ ඛාද්‍ය භෝජ්‍ය කැමැත්තේ ය. යනාදි වසයෙන් සියලු සතුන් කැමැති කැමැති දෙයින් සියලු සත්ත්‍වයන් සන්තෝෂ කළා වූ පරිණායක රත්න ව දහසක් පුතුන් ව ජ්‍යෙෂ්ඨ වූ ඒ පුතණුවන් වහන්සේ ද මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.
තව ද: කෙළවර වෙස්සන්තර ජාතකයෙහි ජූජක නම් බමුණා වංකගිරි පර්වතයට ගොස් ‘ස්වාමීනි! තොප පුතු මට ගැතිකොට දන් දෙව’යි කී බස් අසා බා දිව ගොස් සිවුරැස් පොකුණෙහි සැඟවී සිටිකල “පුත! ජාලිය කුමාරයෙනි” යි පියාණන් වහන්සේ එකවිට ම බැණ නැගී බස අසා “බමුණා මා ගැති කෙරේව යි මම ද බමුණාට ගැතිවෙම්ව යි මා වැනි දරුවෝත් මපියාණන් වහන්සේ දෙවිටක් අඬගාවද්දැ”යි නෙලුම්පත් ඉසින් පිහිරා දිවගොස් අවුදින් “ස්වාමීනි! මා කැමැත්තතක් කළ මැනව”යි පියාණන් වහන්සේට දකුණත පෑලු කීකරු වූ ජාලිය කුමාරයෝ නමුදු මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.
මෙසේ පෙර බුදුන් කෙරෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති හෙයිනුත් ජාති කෝටියෙහි දරුව ම ආ හෙයිනුත් ඔවුනොවුන්ට උපකාර ව ආ හෙයිනුත් සසරත් බුදුන්ට කීකරුව ම ආ හෙයිනුත් “රාහුලයා ඉසකේ කපා මහණකරව”යි වදාළ වේලෙහි උත්තරයක් නො කියා “මපියාණන් වහන්සේ උතුම් වූ දායාදයක් අද මට දෙන සේක් වනැ”යි සිත සිතා සතුටු සතුටු ව සිටි සේක.
එ වේලෙහි දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ රාහුල කුමාරයන් ඉසකේ කපා මහණ කරවා වදාළ සේක.