නන්‍ද කුමරුගේ පැවිද්ද

star_outline

ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ බුද්ධාසනයෙන් පැන නැගී ඒ යශෝධරා දේවීන්ගේ ගෙයි සිට නිග්‍රොධාරාමයට වැඩ එදා රාත්‍රි භාගයෙහි දවස් යවා දෙවන දා උදාසන තමන් වහන්සේ වැඩු කුඩාමවු වූ මහාප්‍රජාපතී දේවීන් විසින් වදන ලද ශුද්ධෝදන රජ්ජුරුවන්ට ම දා නන්‍ද නම කුමාරයන්ගේ සිරිබඳනා මගුල, ගෙවදනා මගුල, ජනපද කල්‍යාණි නම් රාජකුමාරිකාව ශරණ රක්‍ෂා කරන මගුලය යන මෙතුන් මඟුල ම එම දා පැමිණියේ ය. එ කල බුදුරජාණන් වහන්සේ එ පවත් දැන ‘මාගේ මල් නන්‍ද කුමරුවා කාමබන්‍ධනයෙහි බැඳී ගියේ නම් සසරින් මුදාගත නො හැක්ක. දැන් ම ගොස් ඔහු මහණ කරවමි යි සිතාලා විසිදහසක් රහතන් ගෙන දෙවනදා උදාසන ම මහත් වූ බුද්ධශ්‍රීන් ඒ නන්‍ද කුමාරයන්ගේ මඟුල් මාලිගාවට වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ:

තපො ච බ්‍රහ්මචරියං ච - අරියසච්චාන දස්සනං,

නිබ්බාණ සච්ඡි කිරියා ච - එතං මඞ්ගල මුත්තමං.

යනාදීන් මඟුල්බණ වදාරා මලනුවන් පැවිදි කරනු කැමැතිව පාත්‍රාධාතුව නන්‍ද කුමාරයන් කරා දිගු කොට වදාළ සේක.

එ කෙණෙහි නන්‍ද කුමාරයෝ සර්වාභරණයෙන් මඞ්ගල විධානයෙන් සැරහී සිටියාහු ම බුදුන් දිගුකළ පාත්‍රය ආදරයෙන් දෙඅත්ලෙහි තබාගත්තාහු ය. එ කෙණෙහි බුදුහු බුද්ධාසනයෙන් පැන නැගී වෙහෙර බලා නික්මුණු සේක. නන්‍ද කුමාරයෝ හිණිමුල දී දොරකඩ දී, පාත්‍රය හැරපන්නා සේක් දෝ හෝ යි සිත සිතා බුදුන් පසු පස්සෙහි නික්මුණාහුය. බුදුහු පස නො බලා වඩනා සේක් ම ය.

එ වේලෙහි ජනපදකල්‍යාණි නන්‍ද කුමාරයන් යන්නා දැක, තමා වසන පායෙහි මතුමාල්තෙලෙහි සිවුමැදිරියෙහි දොර හැර, තමාගේ සඳමඬලක් වන් මුවමඬල දක්වාලා වලාගබෙකින් නිකුත් විදුලියක් සේ ලීලෝපෙත වූ මොළොක‘ත දිගුකොට ලා දිගු පුළුල් වූ ඇසින් නන්‍ද කුමරුන් මුහුණ බලා “හිමියඃ පුත, ඔබ නො රඳා වහා දිව එව”යි කීව. එ තෙපුල් අසා නන්‍ද කුමාරයන් ලය කම්පිත වී ය. එසේ ද වුවත් පාත්‍ර ය ගෙන වාසල දී ඇරගන්නා සේක් දෝ හෝ යි සිතා ගොස් පසු නො බලා ම වඩනා හෙයින් බුදුන් කෙරෙහි ආදරයෙන් පාත්‍රය ගත මැනවැ යි කිය නො හී නොසිතින් ම වෙහෙරට ගියහ.

ඉක්බිත්තෙන් බුදුහු නන්‍ද කුමාරයන් ළඟට කැඳවා “නන්‍ද ය, චක්‍රවර්ති රාජ්‍යය හැර මා වැනියන් මහණ වූ කල තාවැනියන්ට ගිහිගෙය ඇයි ද? දැන් ම මහණව”යි වදාළ සේක. නන්‍දකුමාරයෝ බුදුන් වදාළ බසට අනෙකක් කිය නො හී ජනපදකල්‍යාණීන් සිත සිතා නුවන් කෙළවරින් බැලූ බැලුම් සිත සිතා කරබා සිටියහ. බුදුහු “නන්‍දයා මුවෙන් නොබැණ ඉවසූය”යි සැරියුත් - මුගලන් දෙදෙනා වහන්සේට වදාරා එම විට ම ඔහු ඉසකේ කපා මහණ කළසේක. නන්‍ද කුමාරයෝ මහණ වූ දා පටන් ජනපද කල්‍යණීන්ගේ රුව සිත සිතා, ඇය දිගුකළ අත සිත සිතා, නුවන් කෙළවරින් බැලු බැලුම් සිත සිතා, එදා කී බස් සිත සිතා, කඳුළු ගෙන ගෙන මහණදම් නැති ව ජනපදකල්‍යාණීන් කෙරෙහි ම ශෝක කෙරෙති. වහරති. භික්‍ෂූන් වහන්සේ ඒ කාරණය දැක “ඇවැත්නි! තෙපි බුදුන්ගේ මලනුවහ. රජකුලයෙන් පැවිදි වුවහ. ඉතා තෙපි සුඛිතයහ. තොපට දුක් කිම් ද? දවසින් දවස දුර්වල වනැ”යි විචාරණ සේක. නන්‍ද සාමණේරයෝ සබ්‍රම්සරුන්ගේ බස් අසා ස්වාමීනි, මටකිසිදෙයකින් දුක් නැත. ජනපද කල්‍යාණියට ඉතා මා බඩ කකිය යි. එසේ හෙයින් දුර්වල වෙමි”යි කීහ. භික්‍ෂූන් වහන්සේ එ තෙපුල් අසා බුදුන් කරා ගොස් දැන්වූ සේක. බුදුහු නන්‍ද සාමණේරයන් කැඳවා “සැබෑ ද නන්‍ද ය, තෝ මා වැනි බුදුකෙනකුන් කෙරේ මහණව ස්ත්‍රියක කෙරේ කළ ලෝභයෙන් ශෝක කෙරෙහි දැ”යි විචාළ සේක.

නන්‍ද සාමණේරයන් වහන්සේ “එසේ ය! ස්වාමීනි, ජනපද කල්‍යාණි එ දවස් මා පාත්‍රය අතින් ගෙන නුඹවහන්සේ පස්සෙහි එන වේලේ “හිමියා පුත, නො ලස්සා වරැ යි පුන් කලස් කරක් වන් තමාගේ කර දිගුකොට බැලුව. ඇය සිතු සිතු කල ඉතා ම මට ශෝක මහත් ය”යි වදාළ සේක. බුදුහු නන්‍දය තාගේ ජනපදකල්‍යාණියගේ රුව යහපත් ම දැ යි වදාළ සේක. නන්‍ද සාමණේරයන් වහන්සේ ජනපදකල්‍යාණියන්ගේ රුව බුදුන් ඉදිරියෙහි සිට වර්ණනා කළ සේක.

එ කල නන්‍ද සාමණේරයන් වහන්සේට උපන්නා වූ කාම නමැති පරිඩාහ නිවන් නමැති අමාගඟින් නිවමි යි සිතා වදාරා නිදන් බලා බෙහෙත් කොට ව්‍යාධී සන්සිඳුවන වෛද්‍යාචාර්‍ය්‍යයකු සේ මාගේ මලනුවනුගේ ස්ත්‍රීශෝක නමැති සලල ය කෙසේ හැර පියම් දේ හෝ යි සිතා වදාරා උපදෙසක් දැක “නන්‍දය ජනපදය කල්‍යාණියට වඩනා ස්ත්‍රීහු නැත් ම දැ?යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ ‘එසේ ය, ස්වාමීනි! උන්ට වඩනා කෙනෙක් මුළු දඹදිව නැතැ”යි කීහ. බුදුහු ‘ඈට වඩනා ස්ත්‍රීන් දක්නා කැමැත්තෙහි දැ?යි වදාළ සේක. උන්ට වඩනෝ තව ත් ඇද්දැ යි නො ගිවිස උන්ගේ රූප වර්ණනා කරන සේක්: නන් විසිතුරු මලින් සැරසුනා වූ නිල් වරලසින් හා; කන් නමැති මධුගුහාවට ගමන් ගත් නීලභෘඞ්ග යුග්මයක් සේ ඉඳුමිණි නිල්වන් දිගුපුලුල් වූ ඇසින් හා, ගන නිල් වරල් නමැති මහ මේ කුළින් පැන නැඟී දෙව්දුනුවන් දිලියෙන බැම සඟළෙකින් හා, දුටු දුටුවන් දෙපා මැසී යන තරම් රන්හැකිළි සේ සක් පතින් දිලියෙන කන්වැල් සඟළෙකින් හා, කෙම්පල වන් තඹුරු තොල් සඟළෙකින් හා, කොඳ කැකුළු වන් දත්පෙළින් දිවන සුදු රසින් සඳ රස් පරදවමින් සිටි හා, මුව පියුම් බල බලා කර ඔසවා සිටිනා වූ රන්වන් හංස පැටවුන් දෙදෙනකු සේ ලීලොපෙත ව සිටිනා පිරුණු තන සඟළෙකින් හා, නැබ පියුමට මුවරඳ ලොලින් බස්නා භෘඞ්ගාවලියක් සේ දුටු දුටුවන් සිත් උමතු කරවන නිල් වසාරොදකින් හා, රන්තිඹිලි කඳක් වන් අසුරෙන් ගන්නා සිඟු වළඟෙකින් හා, කාමී පුරුෂයන් මනදොළ විශාරද කරවන්නා වූ රන්වන් පුළුලුකුලකින් හා, පුරුෂයන්ගේ ධෛර්‍ය්‍යය මඬනා තිරිහිකඳ සේ රන් කෙහෙල් කඳට නිගාදුන් මට සිලුටු වූ කළවා යුවලකින් හා, යුක්ත වූ මේ බඳු ස්ත්‍රියක් මේ මුළු දඹදිව මා දන්නේ නැතැ යි කී සේක. බුදුහු ‘ඇත නන්‍ද ය’යි වදාළ සේක. එසේ වී නම් මට උන් පෑව මැනවැ යි කීහ.

එ කෙණෙහි ස්වාමිදරුවෝ ලද බොළඳ වූ ඒ නන්‍ද සාමණේරයන් වහන්සේ සෘද්ධියෙන් අත අල්වාගෙන ශක්‍ර පුරයට වඩනා සේක් මහා වනමධ්‍යයෙක නව දැලි සේනක් මවාලා ගින්නෙන් දෑ කණුවෙක දා මියගිය කන් නාසා නගුටු නැති වැඳිරි මැහැල්ලක දත් නියාගෙන ඉතා විරූපී ව උන්නා සේ දක්වාලා ‘නන්‍ද ය, තෙල දා මියගිය වැඳිරි මැහැල්ල දිටි දැ’යි වදාළ සේක. ‘දිටිමි, ස්වාමීනි’යි කියා කම්පා වූ සේක.

ඉක්බිත්තෙන් බුදුහු ශක්‍රයාගේ නන්‍දෙනාද්‍යානයට වැඩ ඔහුගේ දිව්‍යස්ත්‍රීහු මේ තෙනට රැස්වෙත්ව යි සිතා වදාළ සේක. එ කෙණෙහි ශක්‍රයාගේ අග මෙහෙසියන් වූ කකුටපාදිනී නම් දිව්‍යාඞ්ගනාවෝ පන් සියයෙක් අවුත් බුදුන් පිරිවරා වැඳ එකත්පස් ව සිටියාහු ය. බුදුහු ඔවුන්ට බණ වදාරා නන්‍ද සාමණේරයන් වහන්සේට දිව්‍යස්ත්‍රීන් පෑලා ශක්‍රපුරයෙන් වැඩ ‘නන්‍ද ය, මේ දිව්‍යාඞ්ගනාවෝ වඩිද්ද, ජනපදකල්‍යාණි වඩීදැ’යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ “ස්වාමීනි, දිව්‍යාඞ්ගනාවන් දුටු ඇසට ජනපදකල්‍යාණීන්ගේ රුව අර සේනේ දා මිය හොත් වැඳිරි මැහැල්ල සේ ම සිතෙයි” කීහ. බුදුහු ‘නන්‍දය! එසේ වූ දිව්‍යාඞ්ගනාවන් ලදොත් කැමැතියෙහි දැ’යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ වදාරණසේක් ‘ස්වාමීනි, එ වැනි දිව්‍යාඞ්ගනාවන් කෙසේ ලැබෙම්දැ’යි කී සේක. බුදුහු ‘දෙවඟනන් ලබන උපදෙස් මම දනිමි’යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ ‘ඒ උපදෙස් මා උගන්වා වදාළ මැනවැ’යි කී සේක. බුදුහු ‘නන්‍දය, දිව්‍යාඞ්ගනාවන් කැමැතියෙහි නම් මාගේ සස්නෙහි නිර්මල කොට සිල් රක්‍ෂා රක්‍ෂා කළවුන්ට දිව්‍යාඞ්ගනාවෝ ලැබෙති. සිල් රක්‍ෂාකරනුවන් කරා දිව්‍යාඞ්ගනාවෝ තුමූ ත් එති. ඒ දෙවඟනන් මා කරා අවුදින් පිරිවරා සිටි ලෙස් නො ම දුටුයෙහි වේ දැ’යි වදාරා කර්මස්ථාන උගන්වා වදාළ සේක. නන්‍ද සාමණේරයන් වහන්සේ දිව්‍යාඞ්ගනාවන් ලබමි යි යන ලෝභයෙන් නිර්මල වූ ශීලය රක්‍ෂා කොට නොබෝ කලෙකින් විදර්ශනා වඩා රහත් ව නන්‍ද නම් මහ තෙර ව බුදුසසුන් නමැති ආකාශයෙහි හිර සඳ සේ ප්‍රසිද්ධ වූ සේක.

මෙසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි තුන් වන දා නන්‍ද මහතෙරුන් මහණ කරවා, සත්වන දා විසිදහසක් රහතන් පිරිවරා සවණක් රසින් දිලිහි දිලිහී පියරජුගේ ගෙට වළඳන්ට වඩනා සේක.

එ කල යශෝධරා දේවී තම පුතණුවන් සත්හැවිරිදි රාහුල කුමාරයන් කැඳවා ඇක ය පිට හිඳුවාගෙන සිඹ සනහා “පුතණ්ඩ! රාහුලයෙනි! තොපගේ පියාණන් වහන්සේගේ සතර මහා නිධානයෙක් ඇත. ඒ නිධාන සතර: ගවු, දෙගවු, තුන්ගවු, සතරගවු පමණ වටින් ඇති යේ ය. ගැඹුර මෙතෙකැ යි පමණ දන්නෝ නැත. උන් වහන්සේ මහණ වූ තැන් පටන් ඒ සතර මහා නිධානය කොතැනෙක බවත් දන්නෝ නැත; තව ද ඔබගේ චක්‍රවර්ති රාජ්‍යය හා සත්රුවනෙකුත් ඇත, පියන්ගේ සැපත් දරුවන්ට හිමි වේදැ’යි කියාලා තොප පියාණන් වහන්සේ කරා ගොස් ඒ සතර මහානිධානය හා සත්රුවන් සක්විතිරජය ඉල්වා ගනුව”යි කීහ. රාහුල කුමාරයෝ මුතුන් රජ්ජුරුවන් අඳුනන බව මුත් පියන් කවුරුන් බවත් නො දනිති. එසේ හෙයින් ‘අම්ම ම පියාණෝ නම් කවුරුදැ’යි කීහ. යශෝධරා දේවි පුතණුවන් වඩාගෙන සිවුමැදිරියෙහි දොරහැර රාජවීථියෙහි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හා අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් දිලිිහි දිලිහි කසුන් කඳක් සේ සවණක් රස්විහිද විහිදා වඩනා බුදුන් පුතණුවන්ට අත දිගුකොට පෑලා:

“චක්ක වරඞ්කිත රත්ත සුපාදො

ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හි,

චාමර ඡත්ත විභූසිත පාදො

එස හි තුය්හ පිතා නරසීහො.

.

සක්‍ය කුමාර වරො සුඛුමාලො

ලක්ඛණ චිත්තිත පුණ්ණ සරීරො,

ලොකහිතාය ගතො නරවීරො

එස හි තුය්හ පිතා නරසීහො.

.

පුණ්ණ සසඞ්ක නිභො මුඛවණ්ණො

දෙව නරාන පියො නර නාගො,

මත්ත ගජින්‍ද විලාසිත ගාමී

එස හි තුය්හ පිතා නරසීහො.

.

ඛත්තිය සම්භව අග්ග කුලීනො

දෙව මනුස්ස නමස්සීත පාදො,

සීල සමාධි පතිට්ඨිත චිත්තො

එස හි තුය්හ පිතා නරසීහො.

.

ආයත යුත්ත සුසණ්ඨිත නාසො

ගොපමුඛො අභීනීල සුනෙත්තො,

ඉන්‍දධනූ අභීනීල භමූකො

එස හි තුය්හ පිතා නරසීහො.

.

වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවො

සීහ හනු මිගරාජ සරීරො,

කඤ්චක සුච්ඡවි උත්තම වණ්ණො

එස හි තුය්හ පිතා නරසීහො.

.

ස්නිද්ධ සුගම්භිර මඤ්ජු සුඝොසො

හිඞ්ගුල බද්ධ සුරත්ත සුජිව්හො,

වීසති වීසති සෙත සුදන්තො

එස හි තුය්හ පිතා නරසීහො.

.

අඤ්ජන වණ්ණ සුනීල සුකෙසො

කඤ්චන පට්ට විසුද්ධ ලලාටො,

ඔසධි පණ්ඩර සුද්ධ සුඋණ්ණො

එස හි තුය්හ පිතා නරසීහො.

.

ගච්ඡති නීලපථෙවිය චන්‍දො

තාරගණා පරිවෙඨිත රූපො,

සාවක මජ්ඣ ගතො සමණින්‍දො

එස හි තුය්හ පිතා නරසීහො

යන මේ පෙර තමන් බුදුන්ගේ වියෝග කාලයෙහි බැඳගෙන එකාවනු ව ගායනා කොට කොට හිඳිනා වූ නරසීහ ගාථා පුතණුවන්ට උගන්වාලා “පුතණ්ඩ තොප පියාණන් වහන්සේ නම් එසේ මෙසේ වූ ස්වල්ප කෙනකුන් වහන්සේ නො වෙති. දෙපතුල් පුරා සිටි දෙසිය සොළොසක් මඟුල් ලකුණෙන් හා, රන්තෙලි තුඩු බඳු ව සිනිඳු වූ ඇඟිලි පෙළින් හා, ක්‍රෙමාන්නත ව රන්වන් වූ ජංඝායුග්මයෙකින් හා, රන්කඳක් බඳු වූ බුදුබඳෙකින් හා, කල්පදාම ශාඛා යුග්මයක් බඳු වූ ශ්‍රී හස්ත යුග්මයකින් හා, පුන්සඳක් බඳු වූ ශ්‍රි මුඛයෙකින් හා, විදුලිය දෙකක් බඳු වූ කන්වැල් සඟළෙකින් හා කනකාඞ්කුශයක් බඳු වූ උත්තුඞ්ගනාසිකාවෙකින් හා පස්වණක් පෑයෙන් දිලියෙන ඉඳුමිණි නිල්වන් ඇස්සඟළෙකින් හා, දෙවුදුනු දෙකක් බඳු වූ ශ්‍රීමන්ත වූ බැමසඟළෙකින් හා, රන්මිහිගත් බඳු වූ ග්‍රීවාවෘත්තයෙකින් හා රන්කුළු දෙකක් බඳු වූ උරසඟළෙකින් හා සිංහ හනු බඳු වූ හනු භාග දෙකෙකින් හා රන්පියුම් පෙත්තතක් බඳු වූ සුරකත වූ නාස දෙසිදුර ලලාට දෙකන්සිලු පිරිමදනා තරම් දිගුපුළුල් තුනු වූ ජිව්හායෙකින් හා, නකත් තරු පෙළක් සේ දිලියෙන සම සතළිස් දන්තපඞ්ක්තින් හා මිණිවඩම් දෙකක් සේ සුරකත් වූ අධරයුග්මයෙකින් සා, සඳවලා ගබින් නිකුත් සඳරැස් පරදවමින් ශ්‍රී මුඛයෙන් නිකුත් සුදු බුදුරස් කලඹෙකින් හා, ජාමබෝනද කනක පට්ටයක් බඳු වූ නළල් තලයෙකින් හා, රන්ගිරි මුදුනෙහි දිලියෙන පුන්සඳක් බඳු වූ ඌර්ණනාරෝමයකින් හා, නිල් වලාකුළක් බඳු වූ ඉඳුමිණි නිල්වන් සිරසෙකින් හා මඩුරියන් උස ඉස්මුදුනෙන් පැනනැඟී දිලියෙන කේතුමාලා නම් රශ්මිකදම්බයෙකින් හා, හිරුරැස් කළඹක් වන් සියලඟින් නිකුත් සවණක් රසින් හා,

උතුම් වූ හස්තිරාජයක්හුගේ ලීලා පරයන මනෝහාර වූ ගමනින් හා; හුදු කරුණාවෙන් මවා ලූ රුවක් සේ, හුදු මුදිතාවෙන් මවා ලූ රුවක් සේ, හුදු උපේක්‍ෂාවෙන් මවා ලූ රුවක් සේ, හුදුදානයෙන් මවා ලූ රුවක් සේ, හුදු ශීලයෙන් මවා ලූ රුවක් සේ, හුදු ප්‍රඥාවෙන් මවාලූ රුවක් සේ, හුදු වීර්‍ය්‍යයෙන් මවා ලූ රුවක් සේ, හුදු පෙළහරයෙන් මවා ලූ රුවක් සේ, පෙර තමන් පහස් ලත් අප වැනි කම්කිළියන්ගේ වියෝග දුඃඛ නමැති ලැව්ගින්න දල්වන්නා සේ, බඳු වදමල් රැසෙකින් වැසූ චිත්‍රකූටපර්වත රාජයා සේ, සුරක්ත වූ පාංශුකූල චීවර සඟළෙකින් තමන් වහන්සේගේ රන්වන් වූ ශ්‍රි ශරීරය වසාගෙන හිරු පැරයූ තේජසින් හා, සඳහු මන් බුන් සොමි ගුණෙන් සා, බැලු බැලුවන් ඇස් නිවමින්, කන් නිවමින්, සිත් නිවමින්, පිදු පිදූවන්ට දෙවි බඹ සැපත් දෙව මින්, තුඩ තුඩ සාධුකාර දෙවමින්, දෙවි බම කැලන්ගේ කිරුළු කුළු මිණිරැස් නමැති අමාදියෙන් තමන් පතුල් පිරිසිදු කෙරෙමින් පුතණ්ඩ! තෙලෙ විසිදහසක් රහතන් පිරිවරා ගෙන මඬුලු සඳක් සේ සිසාරා සිටගත් බ්‍යාමප්‍රභා මණ්ඩලය මැද මහබඹු සේ ගමන් ගත් සේක් තොප පියාණන් වහන්සේය.

ඔබ ඇඳින ගන්ව යි පුතණුවන්ට බුදුන් දක්වාලා බුදුන්ගේ රූපවර්ණනාව තමන් මුව නොපොහොනා සේ කියා පුතණුවන් මත්කොට ලා “පුතණ්ඩ තොපගේ අතුල් පතුල් හා එක්වැනි වූ යම් මහණරූපයක් දුටු නම් ඔබ තොපගේ පියාණන් වහන්සේ ම ය. නො බා ම තොප පියාණන් වහන්සේ ළඟට ගොස් සිවුරු කණ අල්වාගෙන තොපගේ මේ පතුල් සං ඔබගේ ශ්‍රී පාද ළඟ තබාලා එක්වැනි ලෙස් දක්වාලව. තොප විසින් දවස් එලිපතින් පිටත සිට දුරදී ම තොප බලා ගිය බව මුත් තව දක්වා තොප නුදුටුසේක. එසේ හෙයින් තොප තමන් වහන්සේ හා එක්වැනි රූ ඇති බවත් නො දන්නා සේක. එසේ හෙයින් තොප එක්වැනි ලෙසත් දක්වාලා සුරතල් වූ ප්‍රිය තෙපුල් කියා දරු දායද්ද ඉල්වා ගෙන පුතණ්ඩ! සතර මහ දිවයිනට අධිපති ව ඒ චක්‍රවර්ති රාජ්‍යය කරන්නැ”යි පුතණුවන් උගන්වාලා නැවත පුතණුවන් වඩාගෙන ම සත්බුමු මහ පායෙහි යටි මහලට බැස මහ පඩිකඳ පිට සිටුවා මෙසේ පුතණුවන් යවා නැවත තුමූ මතු මහලට නැඟී සිංහපඤ්ජරයෙන් බල බලා නො පැණී සිටියහ.