යශෝධරා දේවිය පුතුට බුදුන් හැඳින්නීම

star_outline

එ කෙණෙහි රාහුල කුමාරයන් වහන්සේට මවු වූ යශෝධරා දෙවි බුදුහු දොර දොර පිඬු සිඟති යි අසා: “සිද්ධාර්ථ කුමාරයෝ පෙර මෙම නුවර රන් රථයකට පැන නැගී සූසැටක් ආභරණ පැළඳ රුවන් රසින් දිලියෙන අනර්ඝ වූ ඔටුන්නක් පැළඳ ලක්‍ෂයක් අගනා වූ මුත්හරෙකින් උරමඬල පුරාගෙන, ලක්‍ෂ ගණන් ඇමැති යෝධ නළු පිරිස් පිරිවරාගෙන, ශක්‍රදේවේන්‍ද්‍ර ලීලායෙන් රාජ්‍යශ්‍රී විඳ ඇවිද්දාහු ය. ඒ මාගේ ස්වාමියාණෝ දැන් කෙස් වැටි දැළි රවුලු කපාහැර ඒ ශරීරය වසා රත් පවුලක් පෙරව මැටි පාත්‍රයක් අතින් ගෙන, මෙම නුවර පෙරළා මෙම ජාතියෙහි දොර දොර සිඟමින් සිටියෝල. උන් මහණවන්ට ගිය දා ම මා දිවි තුබූ ආදීනවයෙන් ලාමක වූ, කණට අමධුර වූ, සිතට අමනෝඥ වූ, හදවත හුණුකරන්නා වූ මෙසේ වූ තෙපලක් ඇසීමි. කිමෙක් දෝ හෝ, ඒ සිද්ධාර්ථ කුමාරයන් දුටු යම්ම කෙනෙක් උන්ගේ මහත් වූ ආනුභාව ම කියති. උන්ගේ සිඟමනුත් ඉතා ම රිසි යෙයි යෙති. ඒ වෙස උන්ට හෙබිදෝ, නො හොබි දෝ, අද මා බැලුව මැන වැ”යි සිතාලා සත්බුමු මහපායෙහි සිංහපඤ්ජරයෙහි දොර අළහ.

එ කෙණෙහි ප්‍රිය වල්ලභයකු දුරට ගොස් අවුදින් තමාගේ ප්‍රිය කාන්තාව වසන ගෙට දොර හරවා වැද, ප්‍රේමයෙන් ඇය අතින් පැහැර, ගෙට වන් පුරුෂ කවරේදැ?යි කියා ගේ කුස බලා ඇවිදුනා සේ, ඇය හළ සිංහපඤ්ජරය හා සමග මාගේ ස්වාමිදරුවන්ගේ ශ්‍රීශරීරයෙන් රන්වන් වූ බුදුරස් කඳෙක් ගේ කුසට වැද දේවීන්ගේ රන්වන් ශරීරය පැහැර ගේ කුස සිසාරා තුන්යළක් දිව සියලු ගර්භාභ්‍යන්තරය ඒකාලෝක කොට යන්ත්‍ර නළින් දිවන ස්වර්ණරස ධාරා සේ, බබුළුවා වා කන්කුළු අසු අස්සෙන් පිටත දිවන්නට පටන් ගත.

එ කෙණෙහි ඒ යශෝධරා දේවි ස්වර්ණ සාගරයෙන් ඉස් දිගු කළ ශ්‍රී කාන්තාව සේ, සිංහපඤ්ජරයෙන් පිටතට කර දිගුකොට බලන්නී, බුදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හා, අසූ අනු ව්‍යඤ්ජනයෙන් හා, සියලඟින් දිවන බුදුරස් කඳින් හා, ලහිරු මඬලක් සේ දිලිහි දිලිහී විසිදහසක් මහරහතන් පිරිවරා සන් හුන් ලෙසින් වැඩ සිරිපතුල් ඉදිරියට වඩ වඩා සිඟන්නා වූ බුදුරජාණන් වහන්සේ දැක, දොහොත් මුදුනෙහි තබාගෙන තුන්යළක් සාධුකාර දී අමාවළෙක ගලා නඟ ලූ කනකරූපයක් සේ, සියළඟ ලොමු දහ ගන්වමින් පස්වනක් ප්‍රීතීන් පින පිනා මත් ව ‘අහෝ සිද්ධාර්ථ කුමාරයෙනි! එදා මැදයම් රෑ මා වැනි පක්‍ෂපාත වූ ස්ත්‍රියකට ත් නො කියා, රාහුලයන් වැනි එක්වැනි පුතණු කෙනෙකුන් දැක දැක උන් ඇඟ අතගා සිඹ සනා ත් නො පියා, සොරා ව එකලෑව පැලෑයේ මෙසේ වූ ආශ්චර්‍ය්‍යයක් ඇති ගමනකට ද, මෙසේ වූ ශරීර ප්‍රභාවක් සොයා ගිය දෑ ද, මෙසේ වූ පර්ෂදක් සොයා ගිය දෑ ද, මෙනුවර හැර නුඹ ගිය සේ යහපත් ම ය. නුඹ රජකිරි ඇර මහණවූ සේ යහපත් ම ය. නුඹ ලද සැපත නුඹට ම හොබි ම ය. පෙර නුඹගේ ඓශ්චර්‍ය්‍ය රාජ්‍යයට වඩා දැන් නුඹගේ සියත රාජ්‍යය ම මට ඉතා ම රිසි යෙයි කිය කියා:

“සිනිද්ධ නීල මුදු කුඤ්චිත කෙසො

සුරිය නිම්මල තලාභිලලාටො,

යුත්ත තුඞ්ග මුදුකායතනාසො

රංසි ජාල විතතො නරසීහො”යි.

යනාදීන් නරසීහ ගාථා අටක් කියා බුදුන්ගේ කෙශාග්‍රය පටන් නඛාග්‍රය දක්වා රූපවර්ණනාව කොට පියා එ විගස ම මයිලනුවන් ශුද්ධෝදන රජ්ජුරුවන්ගේ ගෙට දිව වැඳ “ස්වාමීනි, මයිලනුවන් වහන්ස! නුඹ පුතනුවන් සිද්ධාර්ථ කුමාරයන් දැන් සත් හවුරුද්දෙකින් තමන්ගේ ම නුවරට ආ තෙනැත්තවුන්ට එක දවසකුත් නො සිඟවා බත් දී ලිය නො හෙන්නෙහි ද? නුඹ සිඟා කෑ කෙනෙක් ද? දැන් ඔහු දොරින් දොර පිඬු සිඟමින් සිටියෝ ය. නුඹ සේ වූ දරුවන්ට දැඩි කෙනෙක් නැත. නුඹ ගෙයි හිඳ කුමක් කරන්නෙහි දැ යි යනාදීන් මයිල් රජහට දෙඩූහ.

ඒ රජ්ජුරුවෝ බුදුන් හා විසිදහසක් මහරහතන්ට පැන් නො වකා චතුමධුරයෙන් කිරිපිඬු පිසවන්නාහු යෙහළනියන් අතින් පුතණුවන් වහන්සේ සිඟති, යන බස් අසා කඳුළු පිරුණු ඇස් ඇති ව, ඉතා මහත් ලජ්ජා ඇති ව, එකතින් සළු පට රඳව රඳවා දිව ස්වර්ණ සාගරයෙහි දිය පිහිරා දිවන අනන්ත නම් දිව්‍ය නාගරාජයා සේ බුදුරස් පිහිර පිහිරා බුදුන් කරා දිව ක්‍ෂීර සාගරයෙහි ගැලෙන්නකුසේ පුතණුවන් වහන්සේගේ චරණ නඛ මයුඛයෙහි ගැලි ගැලී වැඳ “ස්වාමීනි, මාගේ ප්‍රිය පුතණුවන් වහන්ස, මට මේ සා මහත් පරිභවයක් කුමක් නිසා කොට වදාළසේක්ද? අද මේ මුළු දඹදිව තෙසැට දහසක් රාජධානියෙහි තෙසැට දහසක් රජුන් හා මහ සෙනඟ අවු නමුත් පැන් නො වකා සුවඳ හැල් සාලේ කිරිබත් දෙත් පොහොසත්මි. මෙතෙක් රහතන් හා නුඹ වහන්සේට මා බත් දී ලිය නො හෙති යි සිතූ සේක් ද? කුමක් නිසා ස්වාමීනි! මට මේ සා පරිභවයක් කොට දොරින් දොර සිඟා වදාරණ සේක්දැ’යි කීහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ වදාරණසේක් “මහරජ, මේ මාගේ වංශයෙහි සිරිතෙක් ම ය”යි වදාළ සේක. රජ්ජුරුවෝ එ බසට “පුතණුවන් වහන්ස, කුමක් වදාරණ සේක් ද? නුඹවහන්සේගේ වංශය නම් මහාසම්මතාදි රාජවංශය ය. ඒ මාගේ වංශයෙහි සිඟා කෑ එක රජෙකුත් නැත. නුඹවහන්සේගේ ඒ වංශයෙහි එක මුතුන් රජකු සෙසු සම්පත් තබා බැණ නැඟි බස හා මහනෙල්මල් සුවඳ මුඛයෙන් සතරගව්වක් තැන් දිවෙ යි. එක් මුතුන් රජකු අහස බලා අත් පොලාපී කල ඒ කෙණෙහි දෙව්ලොව වෙවුල්වා සතිස් යොදනක් මානයෙහි දන පමණ කටි පමණ සත්රුවන් වැසි වැස පිය යි. එක් මුතුන් රජකු ගේ අමාත්‍යයන්ට ප්‍රසාද දෙමි යි කියා පතුල් දෙක ඉන් ඊ ගටාලු වේලෙහි චින්තාමාණික්‍යය සේ කැමැති කැමැති සම්පත් වැගිරෙ යි. මෙසේ මෙසේ වූ නුඹගේ වංශයෙහි තුන්ලක්‍ෂ සූතිස් දහස් පන්සිය එකානූවක් මා ඇතුළු වූ රජුන් අතුරෙන් නුඹ සේ සිඟා කෑ එක රජෙකුත් නැත. වංශ චාරිත්‍රයෙකැ යි මාගේ වංශයට හෙළා වදාළ සේක් නැ”යි කීහ.

එ කෙණෙහි ස්වාමිදරුවෝ “මහරජ, තාගේ මේ මහාසම්මත වංශය ය, මාගේ දීපඞ්කරාදි බුද්ධවංශය ය. ඒ මාගේ වංශයෙහි එක බුදු කෙනකුන් මවුකුස වසන කල පවා අසූරියන් ගෙයි පහන් නැඟුව මැනවැ යි නැත. එක බුදුකෙනකුන්ගේ ඇඟින් නික්මුණු රසින් දසදහසක් සක්වළ බබලා හිරු සඳු කදෝකිමියන්සේ නිෂ්ප්‍රභ කොට පී ය. එක බුදු කෙනකුන්ගේ ඇඟින් නික්මුණු රශ්මි මණ්ඩලයෙන් පස්විසි යොදුන් තැන් දිවාරාත්‍රියෙහි වෙනසෙක් නැත. මෙසේ මෙසේ ආනුභාව සම්පන්න වූ මාගේ වංශයෙහි හැම බුදුහු ම කුල ගම ගෙපිළිවෙලින් සිඟුවාහුමය. එසේ හෙයින් තාගේ රාජ වංශය ය. මාගේ සිඟන වංශය ය”යි බුද්ධවංශය සංක්‍ෂේපයෙන් වදාරා පියරජ්ජුරුවන් මුහුණ බලා අනර්ඝ වූ නිධානයක් ලත් පුතනුකෙනකුන් ඉන් අනර්ඝ වූ රුවනක් තෝරාගෙන පියා නන් දැක පළමුව දුටු සතුටු පඬුරට දෙන්නා සේ, තමන් වහන්සේගේ සද්ධර්ම නමැති නිධානයෙහි පිධානය හැර ගාථා නමැති රුවනක් දෙනු කැමැති ව;

උත්තිට්ඨෙ නප්පමජ්ජය්‍ය - ධම්මං සුචරිතං චරෙ,

ධම්මචාරි සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හි ච

යන මේ ගාථාවෙන් බණ වදාළ සේක. ඒ ගාථාව අසා රජ්ජුරුවෝ යෙළ දහසක් කෙලෙසුන් ගෙවා දහසක් නයින් සම්පූර්ණ වූ සෝවාන් ඵලයට පැමිණියාහු ය. නැවත බුදුහු;

ධම්මං චරෙ සුචරිතං - න නං දුච්චරිතං චරෙ,

ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හි ච - යි.

යන මේ ගාථාව වදාළ සේක. ඒ ගාථාවගේ කෙළවර අන්තාක්‍ෂරය හා සමග රජ්ජුරුවෝ සෙදැගැමි මාර්ගයට පැමිණියාහු ය.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ රාජවීථි මධ්‍යයෙහි දී ම මෙසේ බුදුන් අතින් බණ අස අසා සෝවාන් සෙදගැමි ව බුදුන් අතින් පාත්‍රය ගෙන විසි දහසක් රහතන් හා සමග බුදුන් රජගෙට වඩා ගෙන ගොස් මධුර වූ ආහාරයෙන් දන් වැළඳ වූහ. වළඳා අන්තයෙහි සතළිස් දහසක් නාටක ස්ත්‍රීහු දිව අවුදින් බුදුන් වැඳ එකත්පස්ව සිටියාහ. එ වේලෙහි ශුද්ධෝදන රජ්ජුරුවෝ යේළනියන්ට “පුතණ්ඩ, අවුදින් තෙපිත් බුදුන් දැක වැඳ ශෝක සන්හිඳුවා ගන්ව”යි කියා යවුවාහුය. එපවත් අසා යශෝධරා දේවි “තමන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ ඉතා ම දැඩියහ. තපසට යන්නාහු මට නො කියා පලා ගියහ. මම උන්ට පක්‍ෂපාත ව විසීම් නම්, උන්කෙරේ සබා වූ ගුණ රසයක් ඇතියෙම් නම්, ඔහු මාගේ ගෙට එති. ආ කල වඳිනෙම් වේ දැ”යි කියා නො ගියහ. ශුද්ධෝදන රජ්ජුරුවෝ මෙ පවත් බුදුන්ට සැල කළහ.

එ වේලෙහි බුදුහු “ඒ යශෝධරා දේවීන් පෙර සසර බොහෝ කලක් පක්‍ෂපාත ව ම ආ නියාව ත්, ඒ යශෝධරා දේවීන් මුල්කොට පාරමිතාවන් කුළුගත් නියාවත්, උන්ගේ ම සහායයෙන් පුත්‍ර භාර්‍ය්‍යාදී පරිත්‍යාග කොට දැන් ලොවුතුරා බුදු ව මුළුලොවට වැඩ කෙරෙමින් සිටියෙමි’ මා විසින් කෘතොපකාරයෙහි මුදුන් පැමිණි ය මනාවේදැ”යි යිත් සිතාලා බුද්ධාසනයෙන් පැන නැඟී “මහරජ! එ බැවින් යශෝධරාවන්ගේ ගෙට යම්හ. පාත්‍රය තෙපි ම ගණුව”යි පාත්‍රා ධාතූන් වහන්සේ දී ලා රජ්ජුරුවන් පළමුකොට ලා තමන් වහන්සේ සස්නෙහි වඩනාසේක් සැරියුත් මුගලන් අගසව් දෙදෙනා වහන්සේ ළඟට කැඳවා වදාරණ සේක් “මහණෙනි, මම රාගාදි කෙළෙස් මුහුදු පීනා ගොඩ දැක සිටියෙමි. ඒ යශෝධරා දේවි තව කෙලෙස් මුහුද ඇවිදිති. මා නැඟියා වූ තොටට පැන නැංග නුහුනුව ඒ මට සසර බොහෝ දුග් ගත. මා කෙරෙහි දීර්ඝ කාලයක් නො නැසී පැවැත්තා වූ මහත් වූ ප්‍රේම සමූහයන් ඇත්තීය. ඇය සසරින් ගොඩ නගාගන්නා තෙක් ඇගේ ම චරිතයෙන් ඇයම සන්තෝෂ කරවනු කැමැත්තෙමි. අද තමා සිත් සේ අඬා පියන ආස්වාදයක් නොලද්දී නම් මා කෙරෙහි ශෝකයෙන් ලය පැළී මියෙයි. මන් ආස්වාදයක් ලත් නම් මාගේ සසුන් වැද මහණව දාසක් බිසෝවරුන් හා සමඟ අමා මහ නිවන් දක්නීය. එසේ හෙයින් ඇය තමා සිත්සේ අඬා වැලප ශෝක නිවාගන්නා තෙක් කවුරුත් නො වළකව”යි වදාරාලා දේවීන්ගේ ශ්‍රී යහන් ගබඩාවට වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක.

යශෝධරා දේවි එදා බුදුන් තමන්ගේ ගෙට වඩනා බැව් දැන පන්සියයක් පරිවාර ස්ත්‍රීන් හා සමඟ කෙස්වැටි කපා හැර කෂාපිළි පෙර ව බල බලා සිටියාහු ය. බුදුන් අවුදින් වැඩහුන් වේලෙහි සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි ආවරණයක් නැති ව සමගින් දිවුවා වූ පෙව් වතුරු රඳවාගත නොහී ප්‍රේමයෙන් ම උමතු ව “මම ස්ත්‍රියකිම් වේ ද, මුන්වහන්සේ ලොවුතුරු බුදුවෙද්දැ”යි සිහි එළවාගත නො හී බුදුන්ගේ ශ්‍රිපාදමූලයට ගොස් මුලින් සිඳ හෙළූ රන්තලියක් සේ ශ්‍රීපාදමූලයෙහි වැටී බුදුන්ගේ දෙපය ගොප්මස අල්වාගෙන ශ්‍රිපාදය තමන් හිස්මුදුනෙහි තබාගෙන හඬ හඬා වැඳ ශෝක සන්හිඳුවා සිහි එලවාගෙන නැවත බුදුන් කෙරේ හා මයිලනුවන් කෙරේ හා උපන් මහා ලජ්ජාවෙන් විළි ඇති ව මා කෙළේ කිම් දෝ හෝ යි භය ඇති ව එකත් පස් ව හුන්නා ය.