ඒ වේලෙහි ශුද්ධෝදන රජ්ජුරුවෝ “මේ කිමෙක් දෝ හෝ යි මේ ලෝකයෙහි දෙවියෙක්, බඹෙක්, මරෙක්, රජෙක්, සිටෙක්, බමුණෙක් බුදුන් ඇඟ අතගාන්ට පොහොසත් වූ එක සතෙක් නැත ම යේළී ස්ත්‍රි ව සිට බුදුන්ගේ පය අල්වාපුව, එසේ හෙයින් බුදුන්ට අනාදර කළා ය, බුදුන් සිත කලකිරී ගියේ දෝ හෝ, ම යේළියව් පව් පිරී ගියේ දෝ හෝ‘යි සිතා “ඈ ක්‍ෂමා කරවමි”යි කියන්නාහු “ස්වාමීනි! මාගේ යේළනියෝ මේ යශෝධරාවෝ නුඹ වහන්සේ කෙරෙහි අධික වූ ප්‍රේම ඇතියාහු ය. නුඹවහන්සේට ඉතා පක්‍ෂපාත යා හු ය. නුඹවහන්සේ මහබිනික්මන් කළ දා නුඹ වහන්සේ ස්වහස්තයෙන් ඉසකේවැටිය කපාපීහ යි අසා තුමූ ද ලෙහි අත් ගසා හඬාගෙන මේ ශ්‍රීයහන් ගබඩාවට ම දිව අවුදින් උනාපී කල විළුඹ පැහැර තුන්පටෙකින් රැළි දි දී උඩ බලාසිට ගන්නා වූ අඳුන් රැසක්වන් හිසකේ වැටිය කරයක් බලා තමා සිය අතින් ම කපා දමාපුව. තව ද නුඹවහන්සේ කෂාකඩක් පෙරව ගත්හ යි අසා තොමෝ ද කශීසලු නො හැඳ මේ සත්හවුරුද්ද මුළුල්ලෙහි අද දක්වා තෙලෙ කෂාපිළිම ඇන්දීය.
තව ද නුඹවහන්සේ එක් වේලේ වළඳති අසා තොමෝ ද. මේ සත් හවුරුද්දෙහි අද දක්වා රෑ බතෙක රස නො දත්තී ය. තව ද නුඹවහන්සේ මැටිපාත්‍රයක් ගෙන සිඟති යි අසා තොමෝ ද මේ සත්හවුරුද්ද මුළුල්ලෙහි රන් වළඳින් නො කා මැටිපාත්‍රයෙකින් ම කෑව. තව ද: නුඹවහන්සේ උසසුන් මහසුන්වල නො සැතපෙති යි අසා තොමෝ ද මේ සත්හවුරුද්ද මුළුල්ලෙහි මහා යානාවෙක වැද නො හොත්තී ය. තව ද: නුඹවහන්සේ මල් සුවඳ නො පළඳිති යි අසා මේ සත් හවුරුද්ද මුළුල්ලෙහි තොමෝ ද මල් සුවඳ නො පැලැන්දී ය. තව ද: තමාගේ බොහෝ වූ නෑ රජදරුවන් අපි දකුම්හ. අපි රකුම්හ යි කියා වෙන වෙන ම බොහෝ පඬුරු එවුකල ගිවිස්නා තබා ඔවුන්ට තෙපුල් පමණකුත් නො දී නුඹවහන්සේට ම පක්‍ෂපාත ව විසුව. මෙසේ මාගේ යේළනියෝ නුඹවහන්සේට ම මහත් වූ ගුණ ඇතියහ. ඉතා ශික්‍ෂිත යහ ඇය නො දැන කළ වරද ක්‍ෂමා කොට වදාළ මැනවැ යි” කීහ.
ස්වාමිදරුවෝ වනාහි වෙස්සන්තර ජාතියෙහි බමුණාට බැඳ දෙන වේලෙහි ක්‍රිෂ්ණජිනා නම් ප්‍රිය දියණියන් තමන් වහන්සේගේ පය අල්වාගෙන හඬන වේලෙහි උපන් මහා කරුණා සේ ම දේවීන් කෙරෙහි ද පියකු පය අල්වාගෙන අඬන දුවක කොට සිතා උපන් මහා කරුණාවෙන් වැඩහුන් සේක් ම ය. කාරණ කිම ය යත්:-
පෙර සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයකින් යට මාගේ බුදුන්ට පළමු වන විවරණ දුන්නා වූ දීපඞ්කර නම් බුදුන් සමයෙහි එම රම්‍යවතී නම් නුවර බහුධන කුලයෙක සුමිත්‍රා නම් කුල ස්ත්‍රියක් ඒ බුදුන් ගිහිකල අගමෙහෙසුන් වූ පදුමා නම් බිසවුන්ගේ අසූරියන් ගෙයි පාන් නොවන ශරීර ප්‍රභා හා රූපශ්‍රී දැක “මම ද මෙසේ වූ රූසිරි ලදිම් නම් මැනවැ”යි සිතා රූ ලබන පින් දනුමැතියන් අතින් විචාරා සිල් රක්‍ෂා කළ ස්ත්‍රී රූපයෙන් අග්‍ර වෙති යි අසා තොමෝ ද බොහෝ ධන හැර තවුස් වෙස් ගෙන පරිබ්‍රාජක ව සිල් රක්‍ෂා කරන්නී “මේ පිණින් මම මතු රූපයෙන් අග්‍ර ව එක්තරා එක් බුදු කෙනකුන් බුදුවන ජාතියෙහි මේ පදුමා නම් අගබිසවුන් සේ ම දහස් ගණන් ස්ත්‍රීන් පිරිවරා අගමෙහෙසින් වෙම්ව”යි පත පතා නොයෙක් කුසල් රැස් කරන්නා වූ ඒ පරිබ්‍රාජිකාවෝ එ දවස් මාගේ බෝධිසත්ත්‍වයන් විවරණ ලබන කාලයෙහි බුදුන් පෙර මඟට මල් ඇගෑ, පාන් ඇගෑ, බුලත් ඇගෑ, මල් තොරන්, පාන් තොණ, බුලත් තොරණ, මල්මිටි, මල්කඳ, සුවඳ කඳ, ගෙන පින් ලෝභයෙන් ඔවුනො‘වුන් පරයා දින මිනිසුන් දැක තුමූ ද මහනෙල් මල් අට කලඹක් මුදුනෙහි තබාගෙන බුදුන් පෙරමගට දිව, ඒ බුදුන්ගේ අසූරියන් බුදුබඳින් දිවන සවණක් රසින් හා, බුදුන් ගේ රූපශ්‍රී හා දෙතිස් අසූ ලකුණු දැක පිනා “මේ ලෝකයෙහි පින්වත් වූ ස්ත්‍රී නම් මෙ බඳු වූ ස්වාමියක්හට පක්‍ෂපාත වූ ස්ත්‍රියක් ම ය”යි කිය කියා බලන තෙනැත්තී පස්සෙහි වඩනා උසභක්ඛන්‍ධ නම් වූ පුත් මහතෙරුන් සඳුට අනු වූ නකත් තරුවක් සේ දිලියෙන්නවුන් දැක බුදුන්ගේ ශ්‍රී මුඛය හා පුතණුවන් වහන්සේගේ ශ්‍රී මුඛය හා එක්වැනි සේ බලා බුදුකෙනකුන් හා එක්වැනි වූ මෙ වැනි පුත්රුවනක් වදාපී ම බුදු කෙනකුන් ම වැදුවා වැන්න. මෙ සිරි මටත් වාසනා වේ ව”යි සිතූහ.
සෙස් ස්ත්‍රීන්ගේ රූප ශ්‍රී බලා මේ රූපශ්‍රී මටත් වේව යි සිතීම ද, පුරුෂයන්ගේ වික්‍රම බලා මේ පුරුෂයා මට වල්ලභ වේව යි සිතීම ද. අනුන් දරුවන්ගේ සුරතල් බලා මෙ බඳු දරුසිරි මටත් වේව යි සිතීම ද, සියලු ස්ත්‍රීන්ගේ ස්වභාව ධර්මයෙක් ම ය.
ඒ කාරණයෙන් යට කී සේ සිත සිතා බුදුන්ගේ ශ්‍රි බල බලා පුත් මහතෙරුන් එන ලීලා බල බලා පදුමා නම් බිසවුන් ලද දරු සිරි සිත සිතා දෝත් මුදුන් දී බුදුන් වැඳ එන්නාවූ ඒ පරිබ්‍රාජිකාවෝ සුවන් මේ කඳුරෙහි දී දිවි දී වැදහොත් බෝධිසත්ත්‍වයන් දැක “මේ සුමේධ තාපසයෝ මහණෙනි! මතු ගෞතම නම් බුදුවෙති”යි කියා පෙර කී සේ බුදුන් වදාළ විවරණ කථා අසා “මාගේ ප්‍රාර්ථනාව අද මේ වීරපුරුෂයා නිසා ඒකාන්තයෙන් සිද්ධ වේ ම ය”යි එම විට ම බෝසතුන් කෙරෙහි ප්‍රේම බැද තමා ගෙන යන මහනෙල් මල් අටකබලින් පස් කලබක් ගෙන, තෙල පිනින් පස්මරුන් බින්ද මැනවැ යි කියන්නා සේ බෝසතුන් නමට පුදා; මතු තුන් පායෙහි එක් ව සුව විඳීමට කාරණ පානා සේ තුන් කලබක් තමන් නමට පුදා; “මේ ස්වාමීහු මතු බුදුවන කල් දක්වා මොහු සිත් සේ වාසය කොට මොහු බුදුවන ජාතියෙහි මේ බුදුන් දැන් විවරණ කථාවෙහි වදාළ යශෝධරා නම් අගබිසෝ තනතුරු මට ම ලැබේව යි, තව ද මෙම බුදුන් වදාළ රාහුල නම් පුත්රුවන මාගේ කුසින් ම වදා දෙම්ව”යි මෙසේ තුන්යළක් පැදකුණුකොට ප්‍රාර්ථනා කළාහුය. මුයෙන් නො බැණ ඉවසූයෙන් මා කළා වූ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් සිද්ධ වේ ම ය යි අතිශයින් සතුටු වූ ඒ පරිබ්‍රාජිකාවෝ නම් දැන් මේ යශෝධරා දේවීම ය. සෙසු අසූමහ සවු-අගසවු ආදී වූ මහාශ්‍රාවකයෝ පවා කප් ලක්‍ෂයක් හෝ එකාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් හෝ පැරුම් පුරා ආවාහුය.