සවණක් රැස් විහිදීම

star_outline

ඉක්බිත්තෙන් බාහිර වූ පද්මයෙහි උපන් මකරන්‍දෙයනි, අප සදෙනා ඉන්ද දී අප බුදුන්ගේ ශ්‍රී ශරීරය තෙපි හොබවා සරහව් දැ යි ඒ මකරන්‍දයන්ට නින්‍දා කරන්නවුන් සේ, බුදුන්ගේ ශ්‍රි ශරීරයෙහි සවණක් ඝන බුදුරැස් යන්ත්‍ර තලෙකින් මඩනා ස්වර්ණ රසධාරාවන් සේ, බලසම්පන්න වූ පුරුෂයන් මහ සම් මඩනා වේලෙහි ය මුදුනෙන් නැගෙන රශ්මිජාලාවන් සේ, ස්වර්ණ සාගරයෙන් නැඟෙන මහ රළපතර සේ, චිත්‍රකූට පර්වතයෙන් නැඟී දිවන ස්වර්ණ හංසරාජ සමූහයන් සේ, එම ස්වර්ණ සාගරයෙන් ඉස් නඟා ඒ ඒ දිග්හි දිවන රන්වන් වූ දිව්‍යරාජ නාගයන් සේ, සුපුෂ්පිත චම්පක වෘක්‍ෂරාජයෙක්හි සුළං පහරින් පැන නැඟී ආකාශයෙහි බම බමා දිවන සපුමල්කඳු සේ ඒ ඒ දිග්හි නික්මින.

කෙසේ ද? යත්; දක්‍ෂිණ භාගයෙන් නාඹ තල් කඳක් සා බුදුරස් කඳෙක් දිව බුදුන් සිසාරා තුන්යළක් පැදකුණු කොට දකුණුදිගින් අසූරියනක් පමණ තැන් දිව එ දිග හොබවා සිටගත. වාම භාගයෙන් ද නාඹතල්කඳක් සා බුදුරස් කඳෙක් දිව එ ද බුදුන් සිසාරා තුන්යළක් පැදකුණු කොට අසූරියනක් පමණ තැන් දිව එ දිග ද හොබවා සිට ගත. ශ්‍රී මුඛයෙන් ද නාඹතල්කඳක් සා බුදුරස් කඳෙක් දිව මුඛය තුන්යළක් පැදකුණුකොට සඳ මඬුල්ලක්හුගේ ආකාර දක්ව දක්වා අභිමුඛයෙන් අසූරියනක් පමණ තැන් දිව: කොල බුදුහු වඩනා සේක, මඟ හරුව යි කිය කියා දිවන පක්‍ෂපාත අභියුක්තයකු සේ පෙරමඟ හොබවා සිටගත. පශ්චිම භාගයෙන් ද නාඹ තල්කඳක් සා බුදුරස් කඳෙක් දිව තුන්යළක් පැදකුණු කොට අසූරියනක් පමණ තැන් දිව පශ්චිම භාගය ද හොබවා සිට ගත. ශිරෝධාතුවෙන් නාඹතල්කඳක් සා බුදුරස් කඳෙක් දිව සිරස තුන්යළක් පැදකුණුකොට දෙවිබඹුන් කැඳවා දෙව්ලොව දිවන දූතයකු සේ අසූරියනක් තැන් ආකාශය හොබවා සිටගත.

එ කල මාගේ ස්වාමිදරුවෝ සත්රුවන් ගොනැස් උරවාලූ රුවන් කැණිමඩුල්ලෙක ශෝභාවෙක් ඇත්නම් තමන් වහන්සේ. කරාම හය හයා; තව ද: සඳැස් පිල් විදහා ලීලෝපෙත ව රත්ගල් තලා මුදුනෙකින් නික්මුණු රන්වන් මයූර රාජයක්හුගේ ශෝභා පැහැරගෙන දහසක් රැස් දහසක් දිග විහිදුව විහිදුවා උදයගිරිතලා මුදුනෙහි ගමන්ගත් ළහිරු මඬලක්හුගේ රශ්මි ප්‍රභාව නිෂ්ප්‍රභා කෙරෙමින්; තව ද: සත්රුවන් කුඩයෙක උරවා ලූ සත්රුවන් ගොනැස් පෙළක් සේ පෙළ පෙළ බුදුරස්කඳු විහිදුව විහිදුවා තව ද; ප්‍රවාලමය වූ සිරි පතින් සූක්ෂ්ම වූ රන්කොඳු අදනා සේ සුරක්ත වූ සිවුරෙහි අසු අස්සෙන් සූක්‍ෂ්ම වූ බුදුරස් කොඳු පිටතට හයව හයවා මෙසේ වඩනා සේක. එ වේලෙහි උභය භාගයෙහි නිල් තණ රන්පට තැනුවා සේ බුදුරස් ගැසී රන්වන්ව ගිය. නො ඵක් වෘක්ෂලතාවෝ ද බුදුරස් බලයෙන් තුමු තුමූ ද රන්වන් ව නිලපත්‍ර පෙරළා බුද්ධපූජාවට රන්තැටපත්ගෙන සිටිනා සේ රන්වන් පතින් සැදී සිට ගත්හ.

මෙසේ මාගේ ස්වාමිදරුවන් එදා විසිදහසක් රහතන් පිරිවරා මෙ බඳු වූ බුද්ධශ්‍රීන් දිලිහි දිලිහී වඩනා පරිදි ‘රත්පියුම් සාගරයක් මැදින් ගමන් ගත්තාවූ ස්වර්ණ නෞකාවක්.වැනි සේකැ’යි කියම් නම්; ඒ රන් නම්, මල්වඩා ඔබගේ ශ්‍රීපාදමූලයෙහි පිදූකල අපමණ වූ චක්‍රවර්ති සම්පත් ශක්‍ර සම්පත් ආදි වූ බොහෝ සම්පත් ලැබේ මය; එසේ හෙයින් ඔබගේ ශ්‍රීපාද පූජාවට ම සුදුසුවූ; ඔබගේ ගුණ ගෙන වසන සව්වන් පවා කුණපයක් කොට සිතා තමන් පාපිස්නා බිස්සට ත් නො ගන්නාවූ; ඒ රත් රනින් නිමියාවූ ඒ ස්වර්ණ නෞකාව ඔබ වැනි ය යි උපමා කොට කියම් නම් අනාදර වේදෝ හෝ යි යන භයින් ඒ උපමාවත් හැර පියමි.

තව ද; මාගේ බුදුන් එදා වඩනා ශ්‍රී විභූතිය “වෛපුල්‍ය නම් පර්වතයෙන් පැනනැඟී සතර ගවුවක් තැන් ඒකාලෝක කොට සුවාසූ දහසක් මැණික් පිරිවරා චක්‍රවර්තී රජක්හුගේ දොරට ගමන් ගත් චින්තාමාණික්‍ය රත්නයෙහි ශ්‍රී වැනි සේකැ”යි කියම් නම්; එසේවූ චින්තාමාණික්‍යයෝ දෙදෙනෙක් ඔබගේ ශ්‍රීපාදයුග්මයෙහි පිරිවර සමඟින් පෙනෙන්නාහු ය; එසේ හෙයින් ඔබගේ ශ්‍රීපාදයෙහි සැඟවී තිබෙන ‘චින්තාමාණික්‍ය රත්න ය වැනි සේකැ’යි උපමා කියා ඔබට නින්‍දා නො කෙරෙමි.

තව ද; මාගේ බුදුන් වඩනා ශ්‍රී විභූති ය දොළොස් යොදනෙක පැතිර සිටිනා තූර්‍ය්‍ය සේනාවක් හා පස්විසි යොදනෙක පැතිර සිටිනා බ්‍රාහ්මණ මණ්ඩලයක් හා, අටසාලිස් යොදනෙක සිටිනා අමාත්‍ය මණ්ඩලයක් හා, අනූ යොදනෙක රන්කැටි ගෙන සැරසී සිටිනා යෝධ මණ්ඩලයක් හා පන්සියක් යොදනෙක සැරසී සිටිනා මහා පර්ෂද් මණ්ඩලයක් හා මේ සා මහත් පර්ෂදදෙකින් දිලිිහි දිලිහී චක්‍රවාටය වට කෙරෙමින් අහසින් නික්මුණා වූ සප්ත රත්න චක්‍රවර්ති රජකු වැනි සේකැ යි කියම් නම්; ඒ චක්‍රවර්ති රජ නම් බුදුන්ගේ සේවක ය. බුදුන්ගේ උපාසකය. බුදුන්ගේ කුලගැතිය. එසේ හෙයින් ඒ මාගේ ස්වාමිදරුවාණන්ට නින්දා වේ දෝ හෝ සිත ඒ උපමාවත් හැරපියමි.

තව ද: අනූදහසක් ස්වර්ණ හංසයන් පිරිවරා ගගන තලයෙහි ගමන් ගත් ධෘතරාෂ්ට්‍ර නම් හංසරාජයා වැනි සේකැයි කියම් නම්; ඒ හංසරාජයා නම් බුදුන් ධර්මදේශනා කරන වේලෙහි මහ පියුමක් තුඩින් ගෙන බුදුන්ට පුද පුදා ආකාශයෙහි රන් පැදුරක් අතුළාසේ පියාපත් විදහා තබා සිතියම ඇඳපු රුවක් සේ, හෙව බණ අසන්නාවූ හංසරාජයෙකු;මෙසේ ඔබට පූජාවට අවුත් සිටිනාවූ ඒ හංසරාජයා ගෙන ඔබට උපමා කීමෙන් මාගේ බුදුන්ට ම නින්දා වෙති යි ඒ උපමාවත් හළිමි.

තව ද: කෙළලක්‍ෂයක් පමණ සිංහසේනාව පිරිවරා සැටයොදුන් රත්ගලා මුදුනෙහි ගමන් ගත් කේශර සිංහරාජයකු වැනි සේකැ යි කියම් නම්; එසේ වූ සිංහරාජයෝ දෙදෙනෙක් බුදුන්ගේ ශ්‍රිපාද යුග්මයෙහි සපිරිවරින් පෙනෙති. ඔබගේ ශ්‍රීපාදයෙහි සැඟවී තිබෙන්නා වූ ඒ සිංහරාජයා ගෙන ඔබට උපමා කීමෙන් ඔබට ම නින්‍දා වෙති යි ඒ උපමාවත් හරිමි.

තව ද : අයමින් විතරින් උනුපණස් යොදුන් පමණ ඇති, වටින් එක්සිය සත්සාළිස් යොදුන් ඇති, එකදා ඇතුළත සවිසි ලක්‍ෂ දසදහසක් යොදුන් පලායන ගමන් ඇති, එකපැයක් ඇතුළත තෙසාළිස් දහස් පන්සියයක් යොදුන් පලායන ගමන් ඇති, එක විනාඩිකාවක් ඇතුළත සත්සිය පස්විසි යොදුන් පලායන ගමන් ඇති එක සුස්මක් ඔසවා එලාලන ඇසිල්ලෙහි එක්සිය විසි යොදුන් සවිසි ඉසුබු තෙළෙස් යට එක් රියන් එක් වියත් සතරගලක් පලායන තරම් ශීඝ්‍ර වූ ගමන් හා ආනුභාව ඇති, රාශි ග්‍රහයන් දොළොස් දෙනා හා, නකත් ග්‍රහයන් සත්විසිදෙනා හා පාදයන් එක්සිය අටදෙනා හා, පිරිවරා විමාන ග්‍රහයන් දහස් ගණන් හා සමග දෙලක්‍ෂ පස්විසි දහසක් යොදුන් දිග ඇති, මේෂ නම් මහා වීථියට බැස අභ්‍රය මහීකය ධූමය රජස් ය රාහුය යන පඤ්චෝපක්ලේශයෙන් විරහිත ව මේ නකත් තරු පිරිවරා සොළොස් කලාවෙන් සම්පූර්ණ ව මැදි පොහෝදා ගුවන් මුදුනෙහි ගමන් ගත් පූර්ණ චන්‍ද්‍රයා වැනි සේකැ යි කියම් නම්: ඒ චන්‍ද්‍රයා නම් රාහු අසුරේන්‍ද්‍රයා දැක බා බුදුන් කරා දිවගොස් වැඳ බුදුන්ගේ ශ්‍රීපාදමූලයට වැද ගැලවුනා වූ දෙවියෙක. සතුරන්ට බා ඔබ කරා වැද ගැලවෙන තැනැත්තවූ ඔබ හා සමකොට උපමා කියා මාගේ ස්වාමිදරුවන්ට අනාදරයක් නො කෙරෙමි.

තව ද: මාගේ ස්වාමිදරුවන් බුදුරස් කඳින් දිලිහි දිලිහී වඩනා පරිදි සමපණස් යොදුන් අයම් විතර ඇති, යෙළ සියයක් යොදුන් වට ඇති, දවසකින් සත්විසි ලක්‍ෂයක් යොදුන් පලායන තරම් ගමන් ඇති, පැයෙකින් පන්සාළිස් දහසක් යොදුන් පලායන තරම් ගමන් ඇති, විනාඩිකාචෙකින් සත්සිය පනස් යොදුන් තැන් දිවන, සුස්මක් නහාලන ඇසිල්ලෙහි එක්සිය පස්විසි යොදුන් දිවන්නාවූ ගමන් හා ආනුභාව ඇති, නවලක්‍ෂයක් යොදුන් තැන් පැතිර සිටිනා ප්‍රභාමණ්ඩල ඇති, ප්‍රවාලසාගර මුදුනෙහි දසදිග අඳුරු විදහා ගමන්ගත් ලහිරුමඬල වැනි සේකැ යි කියම් නම් ඒ ලහිරු මඬල නම් රාහු අසුරිඳු දුටු දා ඔහුගේ මුඛයට පැමිණ නයකු මුඛයෙන් ගැලවුනා වූ මැඩියකු සේ මාගේ ස්වාමිදරුවන්ගේ කරුණා මන්ත්‍ර බලයෙන් ගැලවී, එතැන් පටන් ඒ මාගේ ස්වාමිදරුවන්ට ශීත නිවාරණය කළමනා වේලෙහි සමපනස් යොදුන් මිණි පෝරුවක් සේ තෙමේ බුදුන් පිටා‘ටුවක් ව පූජාකොට ශීත නිවාරණය කෙරෙයි. එසේ වූ ඔබට අත් පා මෙහෙ කරන ඒ ලහිරු මඬල ගෙන ඔබට ම උපමා කියා ඔබට නින්දා නො කෙරෙමි.

තව ද: තුන් ගවු පමන උස ඇති, ගවු පමණ මිණි වොටුනු ඇති, දසදහසක් රියන් පමණ දිග් අත් ඇති, තුන් දහසක් රියන් දිග වියත් ඇති, දෙසිය පනස් රියන් දිග අතුල් ඇති, තුන්දහස් සත්සිය පනස් රියන් දිග පතුල් ඇති, යහළක් පමණ සුවඳ විලවුන් ගෙන සැට ගැලක් පුරා ලන දිව්‍යාභරණ ගෙන පැළඳ, දෙදෙව් ලොව දෙවියන් පිරිවරා; පුළුල් සැට යොදුන්, දිග දහසක් යොදුන්, සුදර්ශන නම් වීථියට බැස දිව්‍යශ්‍රීන් නික්මුණා වූ ශක්‍රදේවේන්‍ද්‍රයා වැනි සේකැයි ඉදින් කිනම් නම්: ඒ දිව්‍යරාජයා නම් මාගේ බුදුන්ට සක් පිඹිනා එක්තරා උදියෙක, එසේ හෙයින් ඒ උපමාවත් හළිමි.

තව ද: සුයාම දිව්‍ය ලෝකයෙහි දෙවියන් පිරිවරා නික්මුණා වූ සුයාම නම් දිව්‍යරාජයා වැනි සේකැ යි කියම් නම්, ඒ දිව්‍ය රාජයා නම් බුදුන් ඇඟට චාමර සලන්නා වූ බුදුන්ගේ ම අතැවැස්සෙක. එසේ හෙයින් ඒ උපමාවත් හළිමි.

තව ද: සන්තුෂිතයන් පිරිවරා නික්මුණා වූ සන්තුෂිත නම් දිව්‍ය රාජයා වැනි සේකැ යි කියම් නම් ඒ මාගේ බුදුන් ඇඟට මිණිතල් වැට සලන්නා වූ එක්තරා අහියුක්තයෙක. එසේ හෙයින් ඒ උපමාවත් හළිමි.

තව ද: සුනිර්මිත දිව්‍යරාජයා වැනි සේකැ යි කියම් නම් ඒ තමාගේ මකුට මාණික්‍ය රශ්මීන් මාගේ බුදුන්ගේ ශ්‍රීපාදයට පූජා කෙරෙයි. එසේ හෙයින් ඒ උපමාවත් හළිමි.

තව ද: ඔවුන් හැමදෙනාට ම වඩනා වූ ආනුභාව හා තේජස් ඇති පරනිර්මිත නම් දිව්‍යරාජයා වැනි සේකැ යි කියම් නම් ඒ මාගේ බුදුන්ට කුලගැති වූ සේවකයෙක. එසේ හෙයින් ඒ උපමාවත් බුදුන් කෙරෙහි ගත් ආදරයෙන් ම හළිමි.

තව ද: මාගේ ස්වාමිදරුවාණන් විසිදහසක් රහතන් පිරිවරා එදා වඩනා ශ්‍රී විභූතියට “අටසාලිස් ගව්වක් පමණ උස ඇති දොළොස්ගවු රියන් ඇති, සගවු දිග වියත් ඇති, අඩ ගවු පමණ ඇඟිලි ඇති, සත්ගවු හමාරක් දිග පතුල් ඇති, දොළොස් යොදුන් දිවසළු ඇඳ, සොළොස් ගවු මිණි වොටුනු පැළඳ, එක ඇඟිල්ලෙන් දිව රසින් දහසක් සක්වළ අලුකෙරෙමින් දස ඇඟිල්ලෙන් දිවු රසින් දස දහසක් සක්වළ ඒකාලෝක කෙරෙමින්, ලක්‍ෂ ගණන් බ්‍රහ්මසේනාව පිරිවරා මිනිස්ලොවට නික්මුණ සහම්පති මහාබ්‍රහ්මයා වැනි සේකැ”යි කියම් නම් ඒ බ්‍රහ්ම රාජයා නම් මාගේ ස්වාමිදරුවන්ගේ සිරසට කුඩ අල්ලන්නා වූ සරසෙක. එසේ හෙයින් ඔබට මෙහෙතැන් ධුරයකොට සිටි ඒ බ්‍රහ්මරාජයා ඔබ හා සමකොට මාගේ මුඛයෙන් උපමා නො කෙරෙමි.

වැළි කා වැනි සේක් ද? කෙසේ වූ උපමා ඇති සේක් ද? යත්; තමන් වහන්සේ සේ ම ලොවුතුරා බුදුකෙනකුන් ශ්‍රාවකගණයා පිරිවරා කුලගමට වඩනා ශෝභා වැන්නැ යි මේ උපමාව භය නැති ව ම සරිගස්වා කියමි.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ කිඹුල්වත් පුරයට මෙසේ මහත් වූ ප්‍රාතිහාර්‍ය්‍ය දක්ව දක්වා තුන් ලොවට ම කියා ගිවිස්වාලිය නොහැකි, අනුපමේය වූ අසදෘශ වූ, අචින්ත්‍ය වූ, අද්භූත වූ අසාධාරණ වූ බුද්ධශ්‍රීන් දිලිහි දිලිහී වැඩ දකුණු ශ්‍රිපාදය එ නුවර මහවාසල ඉන්‍ද්‍රඛීලය මුදුනෙහි පළමුකොට තබා වදාළ සේක.

එකෙණෙහි ඒ ශ්‍රි පාදය ඇතුළට දිගු කිරීම හා සමග ම ඒ පය පඤ්චාංගුලියෙහි පඤ්චනඛ ග්‍රෙයන් බුදුරස්කඳ පසෙක් පඤ්ච මහා ගඞ්ගා ව දිවුවාසේ ඇතුළු නුවරට දිව නුවර වට තුන්යළක් සිසාරා පවුරු අටලුවල ගැසි ගැසී රැළි දිදී දිව ඇම නුවරෙහි ව්‍යාප්ත ව, ප්‍රාසාද ය, කුළුගෙවල භිත්ති ය, පවුරු ය, පදනම ය, අටලු ය, තොරණ ය, වාසල ය, කවුළු ය, වළඳ යනාදිය රන්පට රිදීපට පොරවන්නා සේ, රන්දිය වත්කරන්නා සේ, රන්රසයෙන් පුරන්නා සේ, ඒ ඒ දිග්හි දිව එ නුවර දිව්‍ය පුරයක් සේ සවනක් රසින් අලුකෙළේ ය.

ඒ ආශ්චර්‍ය්‍යයෙහි බන්‍ධනාගාරයෙහි වසන හස්ති අශ්ව මයුර ශාරිකාදීහු එකනින් නාද කළහ. බෙර සක් තිඹිලි තන්ත්‍රි වීණා ආදි තූර්‍ය්‍ය භාණ්ඩයෝ තුමු තුමූ ම පූජාවට පටන්ගත්හ. කොල! බුදුහු වැඩියහ. ආභරණ ගලවව. සසුන් වැද මහණ වව යි කියා පොබයන්නා සේ ඇම මිනිසුන් පලන් කනක කටකා දී ආභරණයෝ එ කෙණෙහි ඉපිළ රැවු දී නැංගාහ. මේ මේ කාරණයෙන් මුළු නුවර සත්ත්‍වයෝ සමුද්‍රය සේ, ඇළල රළපතර දිවන්නා සේ, පෙර මගට දිවන්ට පටන් ගත්හ.

ඉක්බිත්තෙන් මාගේ ස්වාමිදරුවෝ මේබඳු වූ ප්‍රාතිහාර්‍ය්‍යයෙන් වාසල් එළියේ වැඩසිට: පූර්ව බුදුවරයෝ කුලනුවරට වන් දා සුඛිතයන් ගේ ම දොර සිඟූ දෝ හෝ, නො වරදවා ගෙ පිළිවෙලින්ම සිඟූ හ යි. දැන් මම ද මාගේ බුද්ධවංශ චාරිත්‍රය නො වරදවා ම සිඟමි යි සිතා වදාරා අපවිත්‍ර පවිත්‍ර ස්ථානයෙහි වෙනසක් නැති ව පවත්නා වූ චන්‍ද්‍රකාන්තිය සේ, හීන-මධ්‍යම-උත්කෘෂ්ට වූ සකල සත්ත්‍වයන් කෙරෙහි ම තමන් වහන්සේ සම ව පවත්නා මහා කරුණා ඇති බවට දෙස් කියවන්නා සේ, වාසල් දොර ගෙයි පටන් ගෙන ගෙයක් පන්වා ගෙයකට නො ගොසින් සපදාන චාරිකාව නො වරදවා ඒ විසි දහසක් රහතන් පිරිවරා එදා ගෙපිළිවෙලින් ම සිඟන්ට පටන් ගත් සේක.

ආරාධනා කිරීම පාත්‍රා ගැනීම යනාදී ව්‍යවහාර දන්නන් තව නැති හෙයින් කිරි ඉතිර වැගිරෙන කල අපන් සන්සලයෙන් තෙ බල තෙ බලැ යි කියන බසත් මුත් දර හයා පියන්නවුන් නැත්තා සේ ඇම මනුෂ්‍යයෝ ම බුදුන් දැක විස්මය පත් ව බල බලා ම සිටිති. බත් සැන්දක් ගෙනෙන සේත් නො දනිත් ම ය. පාත්‍රා ගන්නා සේ ත් නො දනිත්ම ය.

එ වේලෙහි දෙමහල් - තුන්මහල් - පස්මහල් - සත්මහල් - පාවල උඩුමහලින් යටිමහල නො බැස වසන්නා වූ බිසෝවරුන් හා කුල ස්ත්‍රී සමූහයෝ සිවුමැදුරු කවුළුවල දොර හැර දිගු පුළුලැ‘ස් නමැති නිලුපුලින් හා, දත් නමැති කොඳ කැකුළින් හා, මුඛ නමැති පද්මයෙන් හා, බුදුන්ට පූජාකරන්නාහු සඳමඬුලු රන් කැටපත් බඳු වූ මුඛ මණ්ඩලයන් පිටත් කොට බුද්ධශ්‍රී විඳ විඳ බලන්නට පටන් ගත්හ.