කිඹුල්වත් පුර පිඬු පිණිස හැසිරීම

star_outline

තව ද අප බුදුන් මෙම කිඹුල්වත් නුවරදී ම ලද භික්‍ෂාටනාදි අද්භූත පූජා නම් කවරහ? යත්:

මෙසේ මාගේ බුදුරජාණන් වහන්සේ එදා බන්‍ධුසමාගමයෙහි මුදුන් පැමිණ සද්ධර්මාමෘතයෙන් අභිෂේක දුන් කල ඒ ශාක්‍ය රජ දරුවෝ බණ අසා සන්තෝෂයෙන් නුවරට යන්නාහු සද්ධර්ම ප්‍රීතීන් සිහි මඳ ව එක රජෙක් වේව යි එක බිසෝ කෙනෙක් වේව යි බුදුන් සෙට දවසට පවරා ගිය කෙනෙක් නැත්තාහු ය.

ස්වාමිදරුවෝ එ දා රෑ ඒ නිග්‍රෝධ නම් ආරාමයෙහි දවස් යවා අරුණොද්ගමන වේලෙහි මහා කරුණා සමාපත්තීන් නැගී දස දහසක් සක්වළ මුළුල්ලෙහි තමන් වහන්සේගේ නුවණ නමැති දැල දමා බලා හිරුරැසින් ප්‍රබෝධවන පද්මයන් සේ, දේශනා රශ්මීන් ප්‍රබෝධවන්නා වූ ආර්‍ය්‍ය භූමියට අවක්‍රාන්ත වන්නට නිසි වූ විනෙයජන පුද්ගලයන් බලා වදාරා අරුණෝද්ගමන වේලාවෙහි සමාපත්තීන් නැගි උපස්ථායකයන්ට අනුග්‍රහ සඳහා ද, ශරීරයට සුව සඳහා ද, දැහැටි කෘත්‍යය නිමවා, භික්‍ෂාටන වේලාව දක්වා විවික්ත වූ ආසනයෙහි වැඩ හිඳ සමවත් සුවයෙන් දවස් යවා, භික්‍ෂාචාර වේලාවෙහි ලාක්‍ෂාරසයෙන් තෙත් වූ අභිනව ප්‍රබුද්ධ රත් කොබෝළීල මල් පැහැ ඇති සුරකත වූ දෙපට හඳනා සිවුර රන් කතුරෙන් රත්පියුම් පෙති කලබක් කපන්නා සේ දෙදන ය නාභි ය යන තුන් මඬුල්ල වසා සකසා හැඳ, රත්පියුම් කලබක් රන්පටෙකින් වෙළන්නා සේ විදුලිය පතක් සේ දිලියෙන්නා වූ පටිධාතුව බැඳ, අටළොස් රියන් රුවන් ඇගෑයක් රත්පලස් කඩෙකින් වසන්නා සේ, රත්ගල් මුදුනෙක ලාක්‍ෂාරස වත්කරන්නා සේ, අටළොස් රියන් ගජකුම්භයක් ප්‍රවාල කලාපයෙකින් වසන්නා සේ, රන් දාගබක් ඉඟල්වතෙකින් වසන්නා සේ, චිත්‍රකූට පර්වතයක් බඳු වද මල් රැසෙකින් වසන්නා සේ, ගමන් ගත් පූර්ණ චන්‍ද්‍රයා සන්‍ධ්‍යා වලාපටලයෙකින් වසන්නා සේ, නිග්‍රෝධ ඵල සමාන වර්ණ වූ සුගත් මහ පවුල් සඟළ පෙරව, පාත්‍රා ධාතුව බලා වදාළ සේක.

එ කෙණෙහි පාත්‍රා ධාතූන් වහන්සේ පාත්‍රස්ථවිකාවෙන් ආකාශයට පැන නැඟී රත් පියුම් ගබෙකින් රත් පියුම් ගබකට වදනා ඉන්‍ද්‍රනීල මාණික්‍ය භෘඞ්ගරාජයකු සේ සුරක්ත වූ ශ්‍රී හස්තයෙහි පෙනීගිය සේක. අනන්තාපරියන්ත වූ සසර ලක්‍ෂගණන් කෝටි ගණන් පාත්‍රා පුරා බුදුන් රහතන්ට පිළිගන්වාපු මාගේ ස්වාමිදරුවාණන් අතට එක පාත්‍රයක් ආකාශයෙන් අවුත් පෙනී යාම නම් කවර ආශ්චර්‍ය්‍යයෙකැයි කියම් ද. මෙසේ පාත්‍රය දරා වැඩ සිට ගන්‍ධකුටි ද්වාරය බලා වදාළසේක.

එ කෙණෙහි බොහෝ සත්ත්‍වයන්ට නිවන්පුර දොර හැරපු කුශලයෙන් ඒ ගඳකිළියෙහි දොර තෙමේ ම ‘හැරී වැඩිය මැනව ස්වාමීනි’යි කියන්නකු සේ එකාඞ්ගන වි ය. එ කෙණෙහි ස්වාමිදරුවෝ ස්වර්ණ සුරභි පුෂ්පෝපහාර සමලඞ්කෘත භූමිභාග ඇති සුගන්‍ධ ගන්‍ධයෙන් පිරුණාවූ ගන්‍ධකුටි මුඛයෙන් මේඝ මුඛයෙකින් නික්මුණු පූර්ණ චන්‍ද්‍රයා සේ, රත්ගල් ගුහායෙකින් නික්මුණු කේශර සිංහරාජයක්හු සේ, පිටත් ව ගන්‍ධකුටි ද්වාරයෙහි වැඩසිටි සේක. එ කෙණෙහි සුවිනීත වූ සුප්‍රාවෘත වූ ශාන්ත වූ ඉඳුරන් ඇති ශාන්ත වූ සිත් ඇති අල්පේච්ඡ වූ සන්තුෂ්ට වූ ප්‍රවිචික්ත වූ අසංශෘෂ්ට වූ චෝදක වූ පාපගර්හී වූ ආරබ්ධවීර්‍ය්‍ය වූ වචනක්‍ෂම වූ ශීල සම්පන්න වූ සමාධි සම්පන්න වූ ප්‍රඥා සම්පන්න වූ විර්‍ය්‍ය සම්පන්න වූ විසිදහසක් රහතන් වහන්සේ මැණික් සන්නාහ බහාලූ අලඞ්කෘත වූ ගන්‍ධහස්ති රාජයන් සේ බුදුන් පිරිවරා සිටගත් සේක.

එ කෙණෙහි මාගේ ස්වාමිදරුවෝ පූර්ව බුද්ධවරයෝ කුලගාමීව වැඩි දා කෙසේ පිඬු සිඟු දෝ හෝ යි පූර්ව බුද්ධචරිතයන් බලා ප්‍රාතිහාර්‍ය්‍ය දක්ව දක්වා ගෙ පිළිවෙලින් සිඟුහ යි දැක අද මම ද එසේ ම ප්‍රාතිහාර්‍ය්‍යයෙන් සිඟමි යි සිතලා දකුණු ශ්‍රී පාදය ඔසවා වදාළ සේක. එකෙණෙහි මහ ගැල් සකස් සා පියුමෙක් පැන නැඟී ඒ ශ්‍රී පාදය පිළිගත; නැවත වාම ශ්‍රි පාදය ද ඔසවා වදාළ සේක. එසේ ම අනෙක් මහ පියුමෙක් පැනනැඟී ඒ ශ්‍රී පාදය ද පිළිගත. එ කෙණෙහි ස්වාමිදරුවෝ පියුමක් පිට පියුමක් තබන්නා සේ ඒ පැන නැඟි පියුම් පිට සිරිපා පියුම් තබ තබා නික්මුණු සේක. නැඟු නැඟු පත්ලෙහි පියුම් පෙනේ ම ය. එසවූ එසවූ පත්ලෙහි පියුම් අන්තර්ධාන වේ ම ය.

එ තැන් පටන් නුවර දක්වා මඟ උස් තැන් භේරිතලයක් සේ තැනි ගිය. මිටි තැන් සුළං පිරූ කඹුරු සමක් සේ පිරී ගිය. තව ද එ කෙණෙහි එක් සුළඟෙක් බුදුන් පෙරට ව දිවගෙන ගොස් මාර්ගයෙහි කැටදඬු පරඬලා ඇම නො තබා පිසහැර තලිපිටක් සේ තනා ලී ය. එක් වැස්සෙක් දිවගෙන ගොස් මඟ රජස් සන්හිඳුවා පොද බින්‍දුයෙන් තෙමා ගිය. එක් පවනෙක් වනකුසුමයන් ගෙන හැර පුරා මඟ මලස්නක් සේ තනා ලී ය. වලාකඩෙක් දිව අවුදින් බුදුන් සිරසට පස් පෑ දිසාන් අහස් වියනක් සේ මැවී ආතප නිවාරණය කෙරෙමින් යෙයි. මෙසේ නැඟු නැඟූ පත්ලෙහි පියුම් දක්ව දක්වා වඩනා කළ පියුම් ගබෙහි සුරක්ත වූ සුගන්‍ධ මකරන්‍දයෝ අනවලෝ මුදුන් දක්වා අහසට පැන නැඟී රන් පර්වතයෙක රුවන් සුනු ඉස්නා සේ, ලාක්‍ෂාරස ඉස්නා සේ බුදුන්ගේ රන්වන් වූ ශ්‍රී ශරීරය හොබවමින් යෙති.