එකල මාගේ ස්වාමිදරුවෝ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ තෙපුල් අසා “අද මේ ස්ථානයෙහි දී බුද්ධවංශ දේශනාව කෙරෙමි. ඒ දේශනාවගේ කෙළවර බොහෝ සතුන්ට අධිගමය වෙයි” සිතා තමන් වහන්සේගේ මුඛ නමැති කරඬුව හැර සැඟවී තුබූ නිධාන වස්තුවක් දක්වා සියලු සතුන්ට බෙදා දෙන්නා සේ බුද්ධවංශ දේශනාවට පටන් ගත් සේක. කෙසේ ද? යත්:
අසව ශාරිපුත්‍රස්ථවිරය, ගිය දවස සාරාසඞ්ඛ්‍යය කප්ලක්‍ෂයකින් යට එක් කල්පයෙක:තණ්හඞ්කරය, මේධඞ්කරය. සරණඞ්කරය, දීපඞ්කරය යි බුද්ධදිවාකරයෝ සතරදෙනෙක් ලොව පහළවූහ. එයින් අසඞ්ඛ්‍යයක් කප් බුද්ධශූන්‍යව ගිය කල එක් කපෙක කොණ්ඩඤ්ඤ නම් බුදුකෙනෙක් උපන්නාහු ය. එයින් අසඞ්ඛ්‍යයක් කප් ගියකල මඞ්ගලය - සුමනය - රේවතය - සෝභිතය යි බුදුහු සතරදෙනෙක් උපන්නාහු ය. එයින් අසඞ්ඛ්‍යයක් කප් ගිය කල එක් කල්පයෙක අනෝම දස්සිය - පදුමය - නාරද යයි සර්වඥවරයෝ තුන්දෙනෙක් උපන්නාහු ය. එයින් අසඞ්ඛ්‍යයක් කප් ගියකල අපගේ මේ මහා භද්‍ර කල්පයට ලක්‍ෂයක් වන කප පියුමතුරා නම් බුදුකෙනෙක් උපන්නාහු ය. ඒ ලක්‍ෂයක් වන කපින් සැත්තෑ දහසක් කප් බුද්ධශූන්‍යව ගිය කල මේ කල්පයට තිස් දහසක් වන කප සුමේධය-සුජාත යයි සර්වඥවරයෝ දෙදෙනෙක් උපන්නාහුය. එයින් විසිනව දහස් අටසිය දෙයානූකපක් ගිය කල මෙයට එක්සිය අටළොස්වන කප පියදස්සිය-අත්‍ථදස්සිය-ධම්මදස්සී යයි සර්වඥවරයෝ තුන්දෙනෙක් උපන්නාහු ය. එයින් බුද්ධශූන්‍ය වූ කප් සූවිස්සක් ගිය කල මෙයට සුවානූවන කප සිද්ධාර්ථ නම් බුදුකෙනෙක් උපන්නාහු ය. එයින් බුද්ධශූන්‍ය ව එක් කපක් ගිය කල තිස්ස ය-ඵුස්ස යයි සර්වඥවරයෝ දෙදෙනෙක් උපන්නාහු ය. එයින් කප් දෙකක් ගිය කල මෙයට එකානූවය කප මහා විපස්සී නම් බුදුකෙනෙක් උපන්නාහු ය. එයින් බුද්ධශූන්‍ය වූ කප් පණස් නවදෙනෙකු ගිය කල මෙයට එක්තිස් වන කප සිඛීය වෙස්සභූ ය යි යන සර්වඥවරයෝ දෙදෙනෙක් උපන්නාහුය. මේ මහාභද්‍රකල්පයෙහි කකුසඳය-කෝණාගමනය ය-කාශ්‍යප ය යි බුදුහු තුන්දෙනෙක් උපන්නාහු ය. දැන් මම සතරවනු ව ගෞතම නම් බුදු වීමි. මතු මෛත්‍රය නම් බුදු කෙනකුත් උපන්නාහු ය. එසේ හෙයින් මේ කල්පය බුදුන් පස් දෙනකුන්ගෙන් උතුම් වූ හෙයින් මහා භද්‍රකල්ප නම් විය.
ශාරිපුත්‍ර ස්ථවිර ය. ඒ දීපඞ්කරාදි සියලු සර්වඥවරයෝ ම සොළොසාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් හෝ, අටාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් හෝ සාරාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් හෝ, පාරමිතා පූරණය කළාහු ය. ඒ සියලු සර්වඥවරයෝ ම කෙළවර වෙස්සන්තරාත්ම වන් සමයෙහි මහ පොළොව ගුගුරුවා පුත්‍රදාරාදි පරිත්‍යාගයෙන් මුළු ලොව විස්මය පත් කළාහු ය. ඒ සියලු සර්වඥවරයෝ ම තුසීපුරෙන් සැව මවුකුස පිළිසිඳ මා සේම ලොවුතුරා බුදුව ලෝවැඩ කළාහු ම ය යි යනාදීන් මෙසේ බුද්ධවංශ දේශනාව වදාරා තමන් වහන්සේ ඒ ඒ බුදුන් නො වරදවා දැක කළ කළ පින් සම්භාරයක් වදාරණ සේක්:
තව ද ශාරිපුත්‍රස්ථවිරය, මම ඒ දීපඞ්කර නම් බුදුන් සමයෙහි සුමේධ නම් තාපසව අෂ්ටධර්මයෙන් යෙදී ජීවිතයෙන් පූජා කොට මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. කොණ්ඩඤ්ඤ නම් බුදුන් සමයෙහි විජිතාවී නම් චක්‍රවර්ති රජව බුදුන්ට තුන් මසක් අසදෘශ මහ දන් දී චක්‍රවර්ති රජය පුදා මේ බුදුවට ම ප්‍රාර්ථනා කෙළෙමි. මඞ්ගල නම් බුදුන් සමයෙහි සුරුචි නම් බ්‍රාහ්මණව දොළොස් යොදුන් සත් රුවන් මඬුවෙක කෙළ ලක්‍ෂයක් රහතන් හා සමග බුදුන් වඩා හිඳුවා චතුමධුර කිරිපිඬු සත් දවසක් වළඳවා කෙළ ලක්‍ෂය්ක සිවුරු පිරිකර දී මේ බුදුබවටම ප්‍රාර්ථනා කෙළෙමි. සුමන නම් බුදුන් සමයෙහි අතුල නම් නාගරාජන්ව කෙළලක්‍ෂයක් බුදු පාමොක් මහසඟපිරිස් දිව්‍ය භෝජන වළඳවා දෙකෙළ ලක්‍ෂයක් දිවසළු පුදා මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. රේවත නම් බුදුන් සමයෙහි අතිදේව නම් බ්‍රාහ්මණව දහසක් වටනා උතුරු සළුවක් පුදා බුදුන් බල බලා සිට විසිතුරු සොලෝ දහසක් බැඳ ස්තුති පූජා කොට මේ බුදුබවටම ප්‍රාර්ථනා කෙළෙමි. සෝභිත නම් බුදුන් සමයෙහි සුජාත නම් බමුණුව බුදුන්ට තුන්මසක් මහ දන් දී මේ බුදු බවටම ප්‍රාර්ථනා කෙළෙමි.
අනෝමදස්සී නම් බුදුන් සමයෙහි මහේශාක්‍ය වූ යක්‍ෂරාජන් ව ඉපද සත් දවසක් බුදු පාමොක් මහ සඟ පිරිසට දිව්‍ය භෝජන දන් දී මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. පදුම නම් බුදුන් සමයෙහි සිංහරාජව ඉපද ධ්‍යාන සුවයෙන් වැඩ හුන් බුදුන් දැක ප්‍රීතින් තුන් යළක් පැදකුණු කොට තුන් යළක් සිංහනාදයෙන් පුදා සත් දවසක් ඇස නො මරා බුදුන් බල බලා සිට ඇස් දෙකින් පූජාකොට මේ බුදු බවට ම ප්‍රාර්ථනා කෙළෙමි. නාරද නම් බුදුන් සමයෙහි උග්‍රවූ තාපසව අසූ කෙළක් රහතන් හා සමඟ මා කරා වැඩි බුදුන් දැක සත්දවසක් බුදුපාමොක් මහ සඟ පිරිසට උතුරුකුරු දිවින් දිව්‍යාභාර ගෙනවුත් වළඳවා අනර්ඝ වූ රත් සඳුනක් බුදුන්ට පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. පියුමතුරා නම් බුදුන් සමයෙහි ජටිල නම් මහ රැටි ව බුදු පාමොක් සඟ පිරිසට මහදන් හා සිවුරු පිරිකර දී මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. සුමේධ නම් බුදුන් සමයෙහි උත්තර නම් මානවක ව අසූකෙළක් ධන එක දා වියදම් කොට දන් දී ඒ බුදුසසුන් වැද මහණව මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. සුජාත නම් බුදුන් සමයෙහි සප්තරත්න නම් චක්‍රවර්ති රජ ව ඒ සත්රුවන හා සමග රජ ය බුදුන්ට පුදා එදා මහණ ව මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. පියදස්සි නම් බුදුන් කාශ්‍යප නම් ධන මානවක ව කෙළ ලක්‍ෂයක් ධන වියදම් කොට සඞ්ඝාරාමයක් කරවා බුදුන්ට දන් දී මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි.
අත්‍ථදස්සි නම් බුදුන් සමයෙහි සුසීම නම් තාපස ව බුදුන් අතින් බණ අසා එ කෙණෙහි ම දිවගොස් ශක්‍රයාගේ පරසතු ගස සලා පරසතුමල් වර්ෂාවක් වස්වා පරසතු මලින් දිවමල් මඬුවක් මවා පරසතු මල් කූඩයක් ඒ බුදුන් සිරසට පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. ධම්මදස්සි නම් බුදුන් සමයෙහි ශක්‍රදේවේන්‍ද්‍රව ඉපද ඒ බුදුන්ට දිවමල් සුවඳින් පූජාකොට මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. සිද්ධාර්ථ නම් බුදුන් සමයෙහි මඞ්ගල නම් තාපස ව දඹදිවට සලකුණු වූ සියක් යොදුන් උස දඹගසින් මහ දියකළ සා දඹ ගෙනවුත් නව කෙළ ලක්‍ෂයක් රහතන් හා සමග ඒ බුදුන් දඹ වළඳවා මේ බුදු බවට ම ප්‍රාර්ථනා කෙළෙමි. තිස්ස නම් බුදුන් සමයෙහි සුජාත නම් රජ තවුස් ව යොදනක් සා කරඬුවකින් දිවමල් පුදා මහ පියුමක් බුදුන් සිරසට පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. ඵුස්ස නම් බුදුන් සමයෙහි විජිත නම් රජ ව රජය හැර බුදුන් කෙරේ මහණ ව පිටකත්‍රය ගෙවා දැන බුදුසස්නෙහි ධම්මකථිකයන් කෙරෙහි අග්‍ර ව ප්‍රතිපත්තීන් බුදුන්ට පූජාකොට මේ බුදු බවට ම ප්‍රාර්ථනා කෙළෙමි. විපස්සි නම් බුදුන් සමයෙහි අතුල නම් දිව්‍ය නාගරාජන් ව සඳමඬලක් සා මඬුවෙක දී සත්දවසක් බුදුන් සඟුන් වළඳවා අනර්ඝ වූ මිණි පළඟක් පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි.
සිඛී නම් බුදුන් සමයෙහි අරින්‍ද නම් රජ ව සත් දවසක් මහ දන් දී මඟුලැ‘තු සරහා ඇතු උසට කප්පිය භාණ්ඩ පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. වෙස්සභූ නම් බුදුන් සමයෙහි සුදසුන් නම් රජ ව දහසක් විහාර කරවා බුදුන් පිළිගන්වා රජ සැපතත් පුදා මහණ ව තව ද තෙළෙස් ධුතාඞ්ග ප්‍රතිපත්තීන් ඒ බුදුන්ට පුදා මේ බුදුබවටම ප්‍රාර්ථනා කෙළෙමි. කකුසඳ නම් බුදුන් සමයෙහි ඛේම නම් රජ ව සතලිස් දහසක් පමණ රහතන් හා සමග ඒ බුදුන් පවරා මහදන් දී සතළිස්දහසක් පමණ පාත්‍රා සිවුරු හා අඳුන් ආදි නොයෙක් බෙහෙත් බඩු දන් දී මේ බුදුබවටම ප්‍රාර්ථනා කෙළෙමි. කෝණාගමන නම් බුදුන් සමයෙහි සමන නම් නරේන්‍ද්‍ර ව වස් තුන්මසක් බුදුන්ට දන් දී බුදුපාමොක් මහ සඟපිරිසට සළු සිවුරු පිරිකර දන් දී අනගි වූ රුවන් මරවැඩි සඟළක් පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. කාශ්‍යප නම් බුදුන් සමයෙහි ජෝතිපාල නම් බමුණු ව ඝටීකාර නම් කුම්භකාරයාගේ මිත්‍රබලයෙන් බුදුසසුන් වැද මහණ ව තුන් පිටකය ගෙවා දැන ප්‍රතිපත්තීන් පූජාකොට මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි.
මෙසේ ශාරිපුත්‍ර ස්ථවිරය, ලොවුතුරා බුදුබව නම් එසේ මෙසේ සාදාගත හැකි සම්පත්තියෙක් නො වෙයි. යම් සේ ලක්‍ෂ ගණන් මහා ගඞ්ගාවල ජලය මහ මුහුදට අනවකාශයෙන් වදු ත් මහමුහුද උතුරුවාලිය නො හැක්කා සේ, කපක් මුළුල්ලෙහි වස්නා වර්ෂා ජලයෙන් පුරාලිය නො හැක්කා සේ, මේ බුදුබව ද කෙතෙක් පුණ්‍ය සම්භාරයන් රැස්කොට ත් පුරාලිය නො හැක්කේ ම ය. පාරමිතාවන් වැඩු වැඩු සේ බුද්ධශ්‍රීත් වැඩි වැඩීම පල දෙන්නේ ම ය. එහි විභාග මඞ්ගලාදි බුදුන්ගෙන් ම දතයුතු.
“මෙසේ දීපඞ්කරාදි හැම බුදුන් නො වරදවා ම දැක මෙසේ මෙසේ වූ මාගේ ධන පමණින් කරන ලද කුසල් නමැති මහා ගඞ්ගා සමූහයන්, පාරමිතා නමැති මහ මුහුදට මෙහෙයා, සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයකින් ඒ මුහුද පුරා උතුරුවාගෙන දන් සිල් නමැති නැවෙහි ඉඳ සිත් සේ ධ්‍යාන සුවයෙන් නිවන් කෙළියට පටන් ගතිමි”යි වදාරා මෙසේ ස්වාමිදරුවෝ විසිතුරු වූ ගාථා දහසකින් ප්‍රතිමණ්ඩිත වූ මේ බුද්ධවංශ දේශනාව ගෙන හැර දක්වා වදාරා:
න මෙ දෙස්සා උභො පුත්තා - මද්දිදෙවි න දෙස්සියා,
සබ්බඤ්ඤුතං පියං මය්හං - තස්මා පියෙ අදාසහං,
යනාදි වශයෙන් චර්‍ය්‍යාපිටකයෙන් මේ බුද්ධවංශ දේශනාව නිමවා වදාළ සේක.
මේ දේශනාවගේ කෙළවර අසඞ්ඛ්‍යයක් දෙවියෝ සෝවාන් පෙළෙහි පිහිටියහ. අසඞ්ඛ්‍යයක් දෙවියෝ සෙදගැමි පෙළෙහි පිහිටියහ. අසඞ්ඛ්‍යයක් දෙවියෝ අනගැමි පෙළෙහි පිහිටියහ. කෙළ ලක්‍ෂයක් දිව්‍යබ්‍රහ්මයෝ අමාමහ නිවන් දැක සසරසයුරෙන් ගොඩනැංගාහ.
තව ද මෙසේ බුද්ධවංශදේශනාව නිමි කල දම් සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ දේවතාවන්ගේ ධම්මලෝභය තව නුසුන් සේ දැක සිවුර එකාංශ කොට බහාගෙන චක්‍රවර්ති රජක් ඉදිරියෙහි ප්‍රේම වඩා යන පරිණායක පුත් රුවනක් සේ පියවරක් පියවරක් ඔසවා ගොස් බුදුන්ට මඳක් ළං ව නමනව සිට දෝත් මුදුනෙහි තබා “මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෙනි, නුඹ වහන්සේගේ මේ විශේෂ වූ දේශනාව අසා මාගේ ද, සියලු සතුරන්ගේද, සියලු කාංක්‍ෂාවෝ දුරුව ගියහ. තව ද නුඹවහන්සේ ම විසින් ‘මතු මෙ කප මෛත්‍රෙය නම් බුදුකෙනෙකුන් උපදිති’යි වදාරණ ලද, ඒ මෛත්‍රෙය නම් බුදුහු කවර කලෙක උපදිත් ද, කෙසේ වූ බුද්ධශ්‍රී ඇතියාහු ද, ඒ විශේෂයෙන් අසනු කැමැත්තෙමි”යි ආරාධනා කළසේක. කීයේ මැනෝ:
සාරිපුත්තො මහා පඤ්ඤො - උපතිස්සො විනායකො,
ධම්ම සෙනාපති ධීරො - උපෙත්‍වා ලොකනායකං
.
අනාගතං ජිනාරම්භ - ආපුච්ඡි කඞ්ඛමත්තනො,
තුම්හානන්තරිකො ධීරො - බුද්ධො කීදිසකො භවෙ,
විත්‍ථාරෙනෙ‘ව‘හං සොතුං - ඉච්ඡාමා‘චික්ඛ චක්ඛුමා - යි.