ඤාතීන්ගේ මාන මර්දනය කිරීම

star_outline

මෙසේ ඒ ශාක්‍ය නෑයන් තමන් වහන්සේ නො වැඳ උන් වේලෙහි උන්ගේ අදහස් දැන ලා “මාගේ නෑයෝ තමන් හැම මෝහයෙන් වැඩිමහලු හෙයිනුත්, බුදුබල නො දන්නා හෙයිනුත්, දැන් මා නො වඳනාහු ය. පූර්වයෙහි මා සේ ම සර්වඥවරයෝ නෑයන් අතින් කෙසේ වැඳුම් ගත්තු දෝ හෝ”යි බලා වදාරා ලොව ට අද්භූත වූ යමක ප්‍රාතිහාර්ය දක්වා මුළු ලොව විස්මය පත්කොට නෑයන් අතින් නමස්කාර පූජා ලද්දාහු ය යි දැන, ඒ මාගේ වංශයෙහි අනන්තාපරියන්ත වූ බුදුන් කළා වූ චාරිත්‍ර ය අද මම ද මෙතෙන දී කොට මේ නෑයන් අතින් වැඳුම් ගනිමි යි සිතාලා පීත කසිණ සමාපත්තියට සමවැද ලා මා ඇඟින් නික්මුණු ප්‍රභාස්කන්‍ධයෙන් දස දහසක් සක්වළ ඒකාලෝක වේව යි අධිෂ්ඨාන කොට වදාළ සේක.

එ කෙණෙහි ස්වාමිදරුවන් සිතූ සිත හා සමඟ විදුලිය කළඹක් දිවුවා සේ බුද්ධ ශරීරයෙහි අඟලක් සා තෙනින් රස් කඳෙක් දිව සතිස්ලක්‍ෂ දසදහස් තුන්සියපණස් යොදුන් වට ඇති සක්වළ ගබ මුළුල්ලෙහි යුගන්‍ධර පර්වතය සිසාරා දිවන අනන්ත නම් නාග රාජයා සේ තුන්යළක් දිව සක්වළ ගබ අවකාශ නැත්තෙන් අකනිටා බඹලොව ගැසී එයින් දසදහසක් සක්වළ මුළුල්ලෙහි ද මෙ සෙයින් ම රන්වන් රසින් පුරාගෙන හිරු දහස් සුවහස් නැංගා සේ ඒකාලෝක කෙරෙමින් සිටගත. ඒ ශරීර ප්‍රභාව ඔබ මොබ දිවන්කා දැක දස දහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මයෝ අපගේ බුදුහු අද විශේෂ වූ ධර්මදේශනාවක් දෙසත් වනැ’යි සන්තුෂ්ට ව නොයෙක් පූජාභාණ්ඩ ගෙන ඔවුනොවුන් පරයා දිව අවකාශය මුළුල්ලෙහි විදාපු සිතියම් කඩක් සේ දිලිහි දිලිහි ගහන ව සිට ගත්හ. එ කෙණෙහි ස්වාමිදරුවෝ අවකාශය බලා වදාළසේක. එ වේලෙහි බුදුන්ගේ අභිප්‍රායෙන් දසදහසක් සක්වළ මුළුල්ලෙහි දසදහසක් ටැම් හිඳුවාලුවා සේ දසදහසක් රන්මෙර එක පඞ්ක්තීන් සිට ඒ මුදුනෙහි දසදහසක් සක්වළ පූර්වචක්‍රවාටයෙහි පටන් පශ්චිම චක්‍රවාටය දක්වා එක්දහස් දෙසිය තුන්කෙළ පන්සාළිස් ලක්‍ෂයක් යොදුන් දිග රුවන් සක්මනෙක් මැවී ගිය.

ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ මේ රුවන් සක්මන දැක උදය පර්වතයෙන් පැනනැගී ලහිරුමඬලක් සේ මුහුද රළ පෙළ මැඩ එම දා රෑ ගුවන්කුසට පැන නැගි සොළොස් කලාවෙන් සම්පූර්ණ චන්‍ද්‍රයාගේ ශෝභා තමන් වහන්සේගේ පාදමූලයට හයාගෙන යුගාන්ත වාතයෙහි පවන් වේගයෙන් අහස්කුසට පැන නැඟී ඝන රන්මෙරක් සේ සවණක් රසින් දිලිහි දිලිහී ආකාශයට පැන නැඟී තමන් වහන්සේට අභිමාන කළා වූ නෑයන් ඉස්මුදුනෙහි පිය පස් වගුරුවන්නා සේ ඒ රුවන් සක්මන සක්මන් කරන්ට පටන්ගත් සේක. එ වේලෙහි “මේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි බ්‍රහ්මයෝ ද, දිව්‍යයෝ ද, මනුෂ්‍යයෝ ද, සිවුපාවෝ ද, පක්‍ෂීහු ද දියෙහි වසන සත්තු ද හැම නරකවල සත්තු ද, ලෝකාන්තරිකාදි නරකවල දුක් ගන්නා ප්‍රේතයෝ ද, යටත් වසයෙන් මේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි කිහිඹි කුහුඹුවන් දක්වාත් හැම දෙන ම නො වරදවා මාගේ බුද්ධ ශ්‍රී දකිත්ව”යි අධිෂ්ඨාන කොට වදාළ සේක.

එ කෙණෙහි දසදහසක් සක්වළ මුළුල්ලෙහි සියලු සත්හු බුදුන් සිත් සේ බලන්ට පටන්ගත්හ. හැම සත්තු ඔවුනො‘වුන් දකිති. බ්‍රහ්මයෝ කුහුඹුවන්ට පෙනෙති. කුහුඹුවෝ බ්‍රහ්මයන්ට පෙනෙති. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි බ්‍රහ්මයන්ට පෙනෙති. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි තෙළෙස් ලක්‍ෂ සැටදහසක් පමණ නරකවල ගිනි නිවින. ගිනි පලා මහ පියුම් පැන නැංග. එ කෙණෙහි ඒ නරකවල දුක් ගන්නා සත්ත්‍වයෝ හැමදෙන ම දුකින් මිදී සිහිල් වූ ශරීර ලදින් ඒ පියුම් පිටට පැන නැඟි බුදුන් දැක දොහොත් මුදුන් දී “අනේ බුදුරජාණෙනි! තෙල සක්මනින් පහ නොවන්න. හිමියාණෙනි! මේ නරකවල නිවුනු ගිනි දෙවනුව දැල්විය නො දෙන්න. ස්වාමීනි! බොහෝ දවසක් දුක් ගෙන ගැලවී ගියම්හ”යි යනාදීන් බැහැ තෙපුල් කිය කියා බුදුන් බල බලා සිට ගත්තාහු ය.

එ කල බුදුහු තේජෝකසිණ සමාපත්තියට සමවැද දසදහසක් සක්වළ දුමවා සියලඟින් ම ගිනිකඳ හරණට පටන්ගත් සේක. දස දහසක් සක්වළට ම සියලඟින් දියකඳ හරණට පටන්ගත් සේක. දකුණු උරමඬලෙන් නාඹ තල්කඳ සා ගිනිකඳෙක් නැගෙයි. වම් උරමඬලෙන් නැඹ තල්කඳ සා දියකඳෙක් බස්සි. ගිනිකඳ නැගි තෙනින් දියකඳෙක් බස්සී. දිය කඳ බට තෙනින් ගිනිකඳ නැඟෙයි. දකුණු කන්සිදුරෙන් නාඹ තල් කඳ සා ගිනිකඳෙක් නැගෙයි. වම් කන් සිදුරෙන් නාඹ තල්කඳු සා දියකඳෙක් බස්සී. ගිනිකඳ නැඟි තෙනින් දියකඳ බස්සී. දියකඳ බට තෙනින් ගිනිකඳ නැඟෙයි. දකුණු නාසා සිදුරෙන් නැඹ තල්කඳ සා ගිනිකඳෙක් නැඟෙයි. වම් නාසා සිදුරෙන් නාඹ තල්කඳ සා දියකඳෙක් බස්සී. ගිනිකඳ නැඟි තෙනින් දියකඳ බස්සී. දියකඳ බට තෙනින් ගිනිකඳ නැඟෙයි. දකුණු ඇස්වලින් නාඹ තල්කඳ සා ගිනිකඳෙක් නැඟෙයි. වම් ඇස්වලින් නාඹ තල්කඳ සා දියකඳෙක් බස්සී. ගිනිකඳ නැඟි තෙනින් දියකඳ බස්සී. දියකඳ බට තෙනින් ගිනිකඳ නැඟෙයි. දෑත දස ඇඟිල්ලෙන් නාඹ තල්කඳ සා ගිනිකඳ නැඟෙයි. නැවත නාඹ තල් කඳ සා දියකඳ බස්සී. දෙපය දස ඇඟිලි අගින් ද වෙන් වෙන් ව නාඹ තල්කඳ සා ගිනිකඳ නැඟෙයි. නාඹ තල්කඳ සා දියකඳ බස්සී. අසූසියයක් පමණ සන්‍ධියෙන් ද නාඹ තල්කඳ සා අසූසියයක් පමණ ගිනිකඳ එකවිට ම නැඟෙයි. නැවවත එ ම සන්‍ධිවලින් අසූසියයක් දිය කඳ බස්සී. නවානූ දහසක් රෝමකූපයෙන් ද එකවිට ම නාඹ තල් කඳ සා නවානූදහසක් ගිනිකඳ නැගෙයි. නැවත ඒ රෝමකූපවලින් නවානූදහසක් දියකඳ බස්සි. නැවත එම අසුඅස්සෙහි සියළඟින් හරනා සවණක් රසින් දසදහසක් සක්වළ ඉතිරගෙන යෙයි. ගිනි කඳ හරණා ක්‍ෂණයෙහි තේජෝකසිණ සමාපත්තියට සම වදනා සේක. දියකඳ හරණා ක්‍ෂණයෙහි ආපෝකසිණ සමාපත්තියට සම වදනා සේක. නිල් බුදුරස් හරණා කල නීලකසිණ සමාපත්තියට සමවදනා සේක. රන්වන් රස් හරණා කල නීලකසිණ සමාපත්තියට සමවදනා සේක. රන්වන් රස් හරණා කල පීත කසිණ සමාපත්තියට සමවදනා සේක. සුදු බුදුරස් හරණා කල ඔදාතකසිණ සමාපත්තියට සමවදනා සේක. සෙසු රස් හරණා කල වෙන වෙන සමාපත්තියට සමවදනා සේක. නොයෙක් රස් හරණා කල නොයෙක් සමාපත්තියට එකවිට ම සමවදනා සේක. එදා බුදුන්ගේ ශ්‍රී ශරීරයෙන් නික්මුණු දිය කඳන් දසදහසක් සක්වළ මුළුල්ලෙහි අල්ලක් සාත් නො තෙමුණා වූ සිමෙක් නැත්මය. එසේ හෙයින් බුදුන්ගේ ජන්ම ක්‍ෂෙත්‍රෙයහි මහපොළෝවල පස් පවා විමසා බැලුවහොත් ධාතු කොටත් පුදත් සුදුසු ම ය. එදා එ දිය තෙමෙනු කැමැත්තන් තෙමයි. නො කැමැත්තන් නො තෙමයි. දසදහසක් සක්වළ මුළුල්ලෙහි බම තමා දිවන ගිනිකඳින් මකුළු හුයකටත් වන හානියෙක් නැත. මෙසේ මාගේ ස්වාමිදරුවෝ මා සේ වූ එක සත්ත්‍වයකුගේ මුඛයෙන් තබා දහසක් ලක්‍ෂයක් සත්ත්‍වයන්ගේ මුඛයෙනුත් කියා නිමවාගත නොහැකි යමකප්‍රාතිහාර්‍ය්‍යෙයන් ලොව විස්මය කොටලා ඒ සක්මන් සක්මන කරනා සේක.

එ කෙණෙහි දසදහසක් සක්වළ මුළුල්ලෙහි දිව්‍ය බ්‍රහ්මයෝ සක්මනින් එක ඇලයෙක සේසත් ගෙන සිටගත්හ. දසදහසක් සක්වළ ශක්‍රයෝ අනික් භාගයෙහි ජයසක් ගෙන සිටගත්හ. සුයාමයෝ පෙළක් මිණිචාමර සලති, සන්තුෂිතයෝ පෙළක් මිණිතල්වැව සලති. සෙසු දෙවියෝ මල් වර්ෂා වස්වති. මෙසේ පූජා විඳ මාගේ ස්වාමිදරුවෝ ඒ සක්මන සක්මන් කරනාසේක. සක්මන් කරන කල දසදහසක් සක්වළ මුළුල්ලෙහි ඇවිද සක්මන් කරන සේක. හැම සතුන්ට නො වරදවා ම පෙනෙන සේක. බුදුන් සක්මන මහතැයි මහත් ශරීරයක් මවා ගත්තෙත් නැත. තමන් වහන්සේ කුඩා හෙයින් ඒ සක්මන ද කුඩාකොට ගත්තෙත් නැත. ඒ මාගේ බුදුන්ගේ අචින්ත්‍ය වූ බුද්ධවිෂයෙක්ම ය. තුඩකම සේත් නොකොට බණත් වදාරන සේක. මෙසේ මේ දසදහසක් සක්වළ බුදුන්ගේ බුද්ධශ්‍රීයටම අවකාශ ය. දසදහසක් සක්වළ සත්ත්‍වයෝ ම එක බුදුන්ගේ රූපශ්‍රී බලා ප්‍රාතිහාර්‍ය්‍ය බලා ඇස් හයාගත නො හෙති.

ඒ අවස්ථාවෙහි දෙවන ඉරක් දෙවන සඳක් නැංගා සේ, දෙවන කප්රුකක් නැංගා සේ, දෙවන අමාකඳක් නැංගා සේ දෙවන බුදු කෙනෙකුන් මැවූ සේක. දසදහසක් සක්වළ සත්ත්‍වයෝ ම “කොල! ආදි එක බුදුකෙනෙක, දැන් දෙබුදු කෙනෙකැ”යි බල බලා සතුටුව සිටිති. එක් බුදුකෙනෙක් වැඩහිඳිනා සේක. එක් බුදු කෙනෙක් සක්මන් කරනා සේක. සක්මන් කරන බුදුහු වැඩහිඳිනා සේක. වැඩහුන් බුදුහු සක්මන් කරන සේක; සමහර විට දෙදෙනා වහන්සේම සක්මන් කරන සේක. එක් බුදු කෙනෙක් බස්නාහිර සක්මන් මෝවිට සිට වඩනා සේක. එක් බුදු කෙනෙක් නැගෙනහිර දිසාවේ සක්මන් මෝවිට සිට වඩනා සේක. මැද සක්මන දී ඔවුනොවුන් කරා නකත්තරු දෙකක් සේ පැමිණ ග්‍රහ යුද්ධයෙහි විමනින් විමන ගැසී ඉවත් ව කැමැති කැමැති වීථියෙහි යන ග්‍රහ විමන් දෙකක් සේ දෙදෙනා වහන්සේ ඔවුනොවුන් කරා පැමිණ ඔවුනොවුන් කෙරෙහි ආදරයෙන් දෙනෙ ම ඔවුනොවුන්ට මග හැර ඉවත් වන සේක. ඒ දුටුවා වූ දිව්‍යමනුෂ්‍යයෝ සාධුකාර දෙති. එවේලෙහි මවා ගත් බුදුන් විචාරණ පැන ලොවුතුරා බුදුහු කියන සේක. ලොවුතුරා බුදුන් විචාරණ පැන මැවු බුදුහු කියන සේක. දෙ බුදුහු ම එක්වැනි වූ උස ඇතිසේක. එක්වැනි වූ මහත ඇතිසේක. එක්වැනි වූ ශරීරප්‍රභා ඇති සේක. එක්වැනි වූ බ්‍යාමප්‍රභා ඇති සේක. එක්වැනි වූ ගමන් ඇති සේක. එක්වැනි වූ දේශනා ඇති සේක. එක්වැනි වූ කටහඬ ඇති සේක. දසදහසක් සක්වළ මුළුල්ලෙහි මෙසේ දෙදෙනා බුද්ධශ්‍රීපානා වේලෙහි මුන්වහන්සේ ලොවුතුරා බුදුහු ය. මුන්වහන්සේ නිර්මිත බුදුහු ය යි දැනගන්නා වූ එක ද දෙවියෙක් බඹෙක් නැත.

මාගේ ස්වාමිදරුවාණන් එකලා වූ බුදුවෙසින් දසදහසක් සක්වළ මුළුල්ලෙහි පළමු ව ප්‍රාතිහාර්‍ය්‍ය පානා වේලෙහි ඔබගේ බුද්ධශ්‍රීයට දසදහසක් ලොව එක යොහොඹු වැලෙක. යෙළසියයක් යොදුන් ගරුඬරාජයා හිඳගත් වේලෙහි යොහොඹුවැල නො පොහොනා සේ විය. සතර රියන් ගබඩාවකට හිරුමඬල සඳමඬල වැද ගියා සේ බුද්ධශ්‍රීයට ලොකශ්‍රී හක විය. මෙසේ හක වූ ලෝකයෙහි බුදුහු දෙදෙනෙකු වහන්සේ ප්‍රාතිහාර්‍ය්‍ය පානා වේලෙහි ලොව කුඩා වූ නියාවටත්, බුදුසිරි බොහෝ වූ නියාවටත්, උපමාවෙක් මාගේ සිතට නො වැටහේ ම ය. දොළොස් යොදුන් බ්‍රහ්මරාජයන් දෙදෙනෙක් කැටපත් වටක් සා බිමෙක පෙනී ගියා වැන්නැ යි කියාත් නො කියමි.

මෙසේ අද්භූත වූ, මෙසේ ආශ්චර්‍ය්‍ය වූ, මෙසේ විස්මය වූ, මෙසේ අසදෘශ වූ මෙසේ අනුපම වූ, මෙසේ අප්‍රමාණ වූ, ප්‍රාතිහාර්‍ය්‍යයෙන් බුද්ධශ්‍රි දක්වා මේ රුවන් සක්මන මෙසේ සක්මන් කරන වේලෙහි ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ රජගහා නුවර ගිජ්ඣකූට නම් පර්වතයෙහි වැඩවසන සේක් බුදුන්ගේ මේ ප්‍රාතිහාර්‍ය්‍ය දැක ඉතා ආශ්චර්‍ය්‍ය වූ සිත් ඇති ව “මාගේ ස්වාමිදරුවාණෝ අද මුළු ලොවට අද්භූත වූ පෙළහරක් දක්වා වදාරණ සේක. මා දැන් උපේක්‍ෂා වනු නො යෙදෙයි. මම එතෙනට ගොසින් බුදුන් හා සමග කතාවක් කෙරෙමි”යි සිතා තමන් වහන්සේගේ පන්සියයක් රහතන් කැඳවා ඇවැත්නි! බුදුන් කරා යම්හ යි ඔවුන් හා සමග ආකාශයට නැගිලා ‘අද මේ සියලු දසදහසක් සක්වළ බුදුන්ගේ ප්‍රාතිහාර්‍ය්‍ය ය බලන සියලු සත්ත්‍වයෝ ම මා දකිත්ව’යි අධිෂ්ඨාන කොට ලා රුවන් සක්මන බලා නික්මුණු සේක. දසදහසක් සක්වළ සියලු සත්ත්‍වයෝ සැරියුත් ස්වාමීන් වඩනා ශ්‍රී දැක “කොල! ආදි එක බුදු කෙනෙක, පසු ව දෙ බුදු කෙනෙක, තවත් බුදුකෙනෙක් එති. තුන් බුදුන්ගේ ශ්‍රි බලම්හ”යි කිය කියා සතුටු වෙත්. පස්සෙහි පන්සියයක් දෙනා වහන්සේ වඩනා දැක ‘බුද්දු තුන්දෙනෙක් ම නො වෙති. පන්සියයක් බුද්දු එන්නැ’යි යෙති. සත්ත්‍වයන් මෙසේ සිත ව සිත වා මහත් වූ ප්‍රාතිහාර්‍ය්‍ය දක්ව දක්වා පන්සියයක් රහතන් පිරිවරාගෙන අවුදින් රුවන් සක්මන කෙළවරට වැඩ බුදුන් වැඳලා සක්මන් මෝවිට වැටී, අගෙක නඟාලූ ප්‍රදීපයක් සේ දෝත් මුදුනෙහි තබාගෙන බුදුන්ගේ ශ්‍රි මුඛය බල බලා වදාරණ සේක්:

කීදිසො තෙ මහාවීර - අභිනිහාරො නරුත්තම,

කම්හි කාලෙ තයා ධිර - පත්‍ථිතා බොධි මුත්තමං - යි.

යන මේ ගාථාව බොහෝ දිව්‍යසේනාව බල බලා සිටිය දී වදාරා:

“ස්වාමීනි! ලොවුතුරා බුදුරජාණෙනි! මේ ලෝකයෙහි මට වඩා පිනැත්තා වූ සත්ත්‍ව කෙනෙක් නැත. කාරණ කිම? යත්:

නුඹ වහන්සේ වැනි නිවන් අමා දෙන මෑනි කෙනෙකුන් ලදිමි. නුඹ වහන්සේ වැනි සසර දුකට පිහිට වූ පියාණ කෙනකුන් ලදිමි. නුඹ වහන්සේ වැනි සියල්ල නිමවා දන්නා ගුරු කෙනකුන් ලදිමි. නුඹ වහන්සේ වැනි සද්ධර්ම මහානිධානයක් ලදිමි. නුඹ වහන්සේ වැනි ස්වාමිදරු කෙනකුන් ලදිමි. නුඹ වහන්සේ වැනි සිතු සිතූ ප්‍රශ්න නමැති රුවන් දෙන සිතුමිණි රුවනක් ලදිමි. නුඹ වහන්සේ වැනි කෙලෙස් නමැති දුක් නසන දිව්‍ය ඖෂධයක් ලදිමි. නුඹ වහන්සේ වැනි ලෝ උතුමාන කෙනකුන්ට අගසව්ව දෙවන තනතුරු ලදිමි. මේ මේ කාරණයෙන් මට වඩා පිනැති කෙනෙක් මේ ලෝකයෙහි නැත් ම ය. අද නුඹ වහන්සේගේ මේ බුද්ධශ්‍රීයට දසදහසක් ලොව එක පැලක් සේ කුඩා විය. නුඹ වහන්සේගේ බුද්ධ ශ්‍රී බොහෝ ව ගිය; නුඹ වහන්සේගේ රූප දර්ශනයට දෙවිමිනිසුන්ගේ ඇස් මඳ ව ගිය. රූප ශ්‍රී බොහෝ ව ගිය. නුඹ වහන්සේගේ දේශනා ගඞ්ගාවට දෙවිමිනිසුන්ගේ කන් තැටි පවා මඳ වි ය. දේශනා බොහෝ ව ම ගියහ. අද නුඹවහන්සේගේ බුද්ධාලම්භන ප්‍රීති නමැති මහා වර්ෂාවට ලෝවැසියන්ගේ සිත් එක ලියද්දක් සේ මඳ ව ගිය. බුද්ධාලම්භන ප්‍රීති බොහෝ ව ගිය. මේ බඳු වූ බුද්ධ ශ්‍රී ලැබීමට පෙර කෙසේ වූ සමයෙක, කෙසේ වූ අනර්ඝ පිනක් කොට කෙසේ වූ බුදුකෙනෙකුන් දැක කෙසේ වූ ප්‍රාර්ථනාවක් කළ සේක් ද, ඒ මට විශේෂයෙන් වදාළ මැනව”යි ආරාධනා කළ සේක.