මෙසේ ධම් සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් ආරාධිත වූ බුදුහු මහා වර්ෂාවක් පිට වර්ෂාවක් වස්වන්නා සේ නැවත අනාගතවංශ දේශනාවට පටන්ගත් සේක්:- “ශාරිපුත්‍ර ස්ථවිරය, මේ මාගේ කරුණා ශාසනය මා නැති පන්දහසක් හවුරුදු නො නැසී සිටිනේ ය. එයින් මත්තෙහි ලොව අබුද්ධෝත්පාද වන්නේය. සත්ත්‍වයන්ගේ ආයුසංස්කාරය අකුශලයන් උත්සන්නභාවයෙන් ක්‍රමයෙන් පිරිහී දසහවුරුද්දට ආයු වෙයි. එකල සත්ත්‍වයෝ තිරිසනුන් වැනියහ. මවුපියෝ යයි වෙනසක් නො දනිති, නැගනියෝ ය, බුහුනනියෝ ය, මයිලනුවෝ ය, බෑනනුවෝ ය, පුතණුවෝ ය, දියණියෝ ය, යනාදි ව්‍යවහාරයෙක් නැති ව තම තමන් කෙරෙහි ම ප්‍රේම කෙරෙති. පස්මැසිකුමරුවන්ට පස්මැසි කුමරියන් ශරණ පාවා දෙති. සියලු රස ම අන්තර්ධාන වෙයි. හැල් වී අන්තර්ධාන වෙයි. වරාසලේ බත් රජදරුවන්ට අග්‍ර භෝජන වෙයි. මෙසේ ලොව සියලු දෙයින් ම හීන වූ කල ත්‍රිවිධ වූ අන්තඃකල්පයන් අතුරෙන් දැන් සත්ත්‍වයාගේ ද්වේෂය උත්සන්න වීම හේතු කොටගෙන ශස්ත්‍ර අන්තඃකල්පයෙන් ලොව විනාශ ය වෙයි. හේ කෙසේ ද? යත්;
අන්තඃකල්පය නස්නට පළමු ව සත්වන දවස කාමාවචර දේවතා කෙනෙක් අවමගුල් වෙසක් ගෙන “සත්ත්‍වයෙනි! මෙයින් සත් දවසක් ගිය කල මෘගසංවර්ෂාව ය යි යන විනාශකර වූ මහ වැස්සෙක් සත් දවසක් ධාරානිපාතයෙන් වස්සි, එහි තෙමුනු කෙනෙක් ඔවුනොවුන් ඇසට මුවන් සේ පෙනී ඔවුනොවුන්ගේ ජීවිත විනාශ කෙරෙති. දිවි රක්නා කෙනෙක් ඒ සත්දවසට දිය දර බත් පැන් සහල් ලුණු ඇඹුල් රැස්කොට තබාගෙන ගල්ගුහා පර්වතගුහා ආදියට වැද දිවි රකුව”යි කිය කියා කෙළ ලක්‍ෂයක් සක්වල ඇවිදිති. එ බස් අසා සත්ත්‍වයෝ තමන් අඥාන හෙයින් “ඒ දුටුවෝ කවුරුද? ඇසුවෝ කවුරුද? දැක ආවෝ කවුරු ද? එ නම් කුමන බසෙක් දැ? යි නො ගිවිස සිනාසෙති. සමහර නුවණැ‘ති කෙනෙක් කවුරු දනිත් දැ? යි දෙවියන් කී සැටියේ ම ගල්ගුහා ආදියෙහි දෙදෙනෙක් ඔවුනොවුන්ට නො පෙනෙන සේ හිඳිති.
එ කල මෘගසංවර්ෂාව කෙළලක්‍ෂයක් සක්වල මුළුල්ලෙහි එක පැහැර ධාරානිපාතයෙන් වස්නට පටන් ගන්නි. පොද බින්දුවෙකිනුත් තෙමුනා වූ යම් කෙනෙක් ඔවුනොවුන් ඇසට මුවන් සේ පෙනෙති. කොල! තෙල මුවා ගනුව, මරව හනුව. හසුකරවයි කිය කියා ඔවුනො‘වුන් ලුහුබඳවා ගනිති. තණපත් පරඬලාපත් සියුම් මුවහත් ඇති කඩුපත් සේ මැවී යෙයි. එ කල සත්ත්‍වයෝ ඒ සත් දා මුළුල්ලෙහි මෙසේ ඔවුනොවුන් මරා එක මස් කලවිටක් සේ කොට ලොව ලෙහෙ මුහුදු කෙරෙති. ඉක්බිත්තෙන් වැසි හළ කළ ජීවත් වූ කෙනෙක් එළිබැස මළ මළ නෑයන්ගේ පොලුගෙන තිබෙන අතුල් පතුල් ඉස් කන් නාසාදි වූ ඇඟ මස් දැක “අපගේ නෑයෝ අප කියමන් නො ගෙන හැමදෙන ම දැන් නටහ”යි මහත් වූ කරුණා උපදවා “අපි සැම ජීවත් වූ පමණෙක් ඔවුනො‘වුන්ගේ ආත්ම රක්‍ෂාවෙහි අප්‍රමාද වම්හ”යි ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රී ඇතිව ‘මෙතැන් පටන් ප්‍රාණඝාත නො කරමි’යි පළමුකොට පාණාතිපාතය දුරු කෙරෙති. ඒ කුශලයෙන් ඔවුන් වැදූ දරුවන්ට විසි හවුරුද්දට ආයු වෙති. ඔහු දෙවනු ව අදත්තාදානය හැර පියති. උන් වැදූ දරුවන්ට තිස් හවුරුද්දට ආයු වෙයි. තුන්වනුව පරදාරය හැර පියති. උන් වැදූ දරුවන්ට සතළිස් හවුරුද්දට ආයු වෙයි. සතරවනුව මුසාවාදය හැර පියති. උන් වැදූ දරුවන්ට පනස් හවුරුද්දට ආයු වෙයි. පස්වනුව පිසුනාවාචය හැර පියති. උන් වැදූ දරුවන්ට සැට හවුරුද්දට ආයු වෙයි, මෙම ක්‍රමයෙන් දශවිධ වූ අකුශල ධර්මයන් හැර දශවිධ වූ කුශල ධර්මයෙහි පිහිටා යෙති. ඒ කුශල ධර්මයන්ගේ ම ආනුභාවයෙන් ක්‍රම ක්‍රමයෙන් වැඩී දෙසියයක් හවුරුද්දට ආයු වෙයි. එ කලට දඹදිව ඉතා සමෘද්ධව බරණැස්නුවර නම් නො පෙරළී එ නමින් ම ව්‍යවහාර වෙයි.
තව ද එයින් මත්තෙහි කුශල ධර්මයන් වැඩි වැඩි සේම සත්ත්‍වයන්ගේ ආයු ක්‍රම ක්‍රමයෙන් ම වැඩී අනූ දහසක් හවුරුද්දට ආයු වෙයි. එ කල බරණැස් නුවර නම් පෙරළී උත්පල නම් නුවරෙක් වෙයි. එ නුවර දිගින් පුළුලින් යොදනක් පමණ මහත් ව සමෘද්ධ වෙයි. එයින් මත්තෙහි තව ද ආයු ක්‍රම ක්‍රමයෙන් වැඩී ලක්‍ෂයක් හවුරුද්දට වූ කල උත්පල නම් නුවර නම් පෙරළී අයම් විතරින් සත් යොදුන් පමණ ඇති පදුම නම් නුවරෙක් වෙයි. තව ද වඩ වඩා කුශල ධර්මයන්ගේ ම බලයෙන් අසඞ්ඛ්‍යයක් හවුරුද්දට ආයු වෙයි. එ කල පදුම නම් නුවර නම් පෙරළී දොළොස් යොදුන් අයම් විතර ඇති මන්‍දාර නම් නුවරෙක් වෙයි. ඒ අවධියට මිනිස්ලොව දෙව් ලොවට ත් වඩනේ ය, උපන් කල් නො දනිති, මියන කල් නො දනිති, ජරා විලි පිලි නො දනිති, රෝගන්තරා ය නැත.
මෙසේ සුව විඳීම හේතුකොට ගෙන දුක් නම් කෙසේ බවත් නො දැන සත්ත්‍වයෝ කුශල් කිරීමෙහි ප්‍රමාද වෙති. ඒ අකුශලයෙන් ආයු පරිහාණියට පැමිණ ක්‍රම ක්‍රමයෙන් අසූදහසක් හවුරුද්දට ආයු වෙයි. එ කලට මන්‍දාර නම් නුවර නම් පෙරළී කේතුමතී නම් රාජධානියෙක් වෙයි. වදාළේ මැනෝ:-
තදා කෙතුමතී නාම - රාජධානි භවිස්සති,
ද්වාදස යොජනායාමා - සත්තයොජන විත්‍ථාතා - යි.
තව ද සාරිපුත්‍ර ස්ථවිරය, එ නුවර දිගින් දොළොස් යොදුන. පුළුලින් සත් යොදුන. අවටින් අටතිස් යොදුන. අන්තයෙහි පොළොව පළා නැගි සත්රුවන් පවුරු සතෙක් මැවී නුවර සිසාරා සිට දිව රෑ වෙනසක් නො දක්වා ප්‍රභාවත් කෙරෙයි. එහි අන්තරන්තරයෙහි රිදීමය වූ කඳ ඇති, ඉන්‍ද්‍රනීල මාණික්‍යමය වූ පත් ඇති, ඝනරන්මය වූ ඵල ඇති, තාලවෘක්‍ෂ පඞ්ක්තීහු සත් වළල්ලක් ව වටින් වට ගසා සිට ගනිති. සතර දිශාවෙහි සත්රුවන් ම ය වහසල් සතරෙක් මැවී සත් සත් මහල් ඇති ව, දිවා රෑ වෙනසක් නො දක්වා නුවර අලඞ්කාර කෙරෙයි. ඒ සතර වාසල්දොර කප්රුක් සතරෙක් පොළොව පලා ගෙන පැන නැඟී නන් විසිතුරු වූ සම්පත්තීන් සැදී සිටී. මුළු දඹදිව සත්ත්‍වයන් කැමැති කැමැති වස්ත්‍රාභරණ ඉන් එක කප්රුකෙකින් ගෙන යත්. ඒ අසූදහසක් අවුරුදු මුළුල්ලෙහිත් ඇද නිමවාගත නො හැක්ක. තව ද එ නුවර බැඳ පැන නැගී සත්රුවන් ම ය වූ ශාලාවෙකු දු ඇත. ඒ ශාලාවට සතර දිග ද කප්රුක් සතරෙක් මැවී තිබෙයි. ඒ කේතුමතී නම් රාජධානියෙහි දණ්ඩෙන් පතින් කළ ගෙයෙක වසන්නා වූ එක ද සත්ත්‍වකෙනෙක් නැත. සත්රුවන් ගෙවල ම වාසය කෙරෙති. දිව්‍යමය වූ උයන් හා දිව්‍යමය වූ පොකුණින් ගැවසී ඇත.
එ කල ඒ සා දඹදිව මුළුල්ලෙහි සත්ත්‍වයන් කෙරෙන් සාන වපුරණ කෙනෙක් වෙළෙඳාම් නවාම් කරන කෙනෙක් බඩ නිසා දුක් ගන්නා වූ එක ද මනුෂ්‍ය කෙනෙක් නැත. පොළොව පළා ගෙන ස්වයං ජාත වූ රත් හැල් පැන නැගෙයි. කරල්වල කුඩු තෝ නැතිව මුතුදැල් සේ සාල් ගෙන තිබෙයි. එකබිජුවටක් හුනුතෙනින් නැගි පඳුරෙන් කරල්කඩා මැඩගත්කල දෙදහස් දෙසිය දෙසැත්තෑ ගැල් පුරා සොළොසාමුණු අටළොසක් සාල් ඉතිරි වෙයි. ඒ සාල් මැණික් බඳනෙහි ලා මැණික් උදුනෙහි දී පැසවා ඇම සත්ත්‍වයෝ ම අනුභව කෙරෙති. සත්ත්‍වයන් මළ මුත්‍ර වහනය කරම්හ යි සිතු වේලෙහි නිල් වලාකඩෙක් දිවගෙන අවුදින් තිරයක් සේ සිසාරා සිටගනිති. එකෙණෙහි පොළොව පැළී මහ වළෙක් මැවී යෙයි. එහි ශරීරාධානය කළ කල එ වල අන්තර්ධාන ව පැන් පොකුණෙක් මැවී යෙයි. එයින් උදකකෘත්‍ය ය කළ කල ඒ වලාකඩ අන්තර්ධාන වෙයි. එ සමයෙහි ඒ කේතුමතී නම් රාජධානිය දිව්‍යපුරයක් වැන්න.
තව ද ශාරිපුත්‍ර ස්ථවිර ය, පෙර දිඹුල්දණ්ඩෙන් ගෙයක් නඟ වස් වස්වා පින් කළ කුළුපතු - දෙපුතු පියන් අතුරෙන් පුතණුවෝ මාගේ ශාසනයෙහි භද්දිය නම් සිටු ව නිවන් දකිති. පියාණෝ තමන් කළ පින් නුමූ කළ හෙයින් මේ බුද්ධාන්තරය මුළුල්ලෙහි සදෙව්ලොව සැරිසරා ඇවිද එ කල ඒ කේතුමතී නම් රාජධානියෙහි සඞ්ඛ නම් චක්‍රවර්තී රජ ව උපදනාහු ය. ඒ රජහු පෙර කළ ආවාස දානයාගේ කුශලයෙන් පෙර මහාපනාද රජ්ජුරුවන් අසඞ්ඛ්‍යයක් හවුරුදු හිඳ රාජ්‍යය කළ පස්විසි යොදුන් උස ඇති, සියල් මහල් ඇති, සුවාසූ දහසක් රුවන් ගබඩා ඇති, ඉඳුනිල් මිණිමය වූ බිම් ඇති, ඝනරන්මය වූ ටැම් ඇති, රිදීමය වූ කොතුරු හා පේකඩ ඇති ප්‍රවාලමය වූ ව්‍යාඝ්‍ර පඞ්ක්ති ඇති, රන්මය වූ පලසෙවෙනි ඇති පස්විසි යොදුන් ඒ පාය ආකාශයට පැනනැගී දෙවන සඳක් සේ අවුදින් නුවර මැද පිහිටා යෙයි. චක්‍රරත්නය, මාණික්‍යරත්නය, හස්තරත්නය, අශ්වරත්නය, පරිණායකරත්නය, ගෘහපතිරත්නය, ස්ත්‍රීරත්නය යි යන සත්රුවන ද පහළ වෙයි. එ රජ තමා හා සම බල දහසක් පුතුන් ඇති වෙයි. ආකාශයෙන් යන සෘද්ධි ඇති වෙයි. සඳුන් සුවඳ වහන ශරීර ඇති වෙයි. මහනෙල් මල්සුවඳ මුඛ ඇති වෙයි. දෙවියෝ සතර දෙනෙක් සතර දිග කඩුගත් අත් ඇති ව රකවල් ගෙන සිටිති. සතර මහාද්වීපයෙහි මහසෙන් සමග එකදා ඇවිද සියලු සතුන්ට පන්සිල් රකුව යි අදවාද කියා දවල් බතට සිය නුවරට එයි.
මෙසේ ඒ සඞ්ඛ නම් චක්‍රවර්තීති රජ දිඹුල්දඬු ගෙයි පිනින් ඒ සා මහ පායක් ලබයි. එ ගෙයි ලා ලූ එක ඇඳෙහි පිණින් සුවාසූ දහසක් යහන් ලබයි. එක ඇතිරියෙහි පිනින් සුවාසූ දහසක් ආස්තරණ ලබයි. බැලමෙහෙ කොට දුන් දානයෙහි පිනින් දිව්‍යභෝජන ලබයි. ඒ ගෙයි ලාලූ එක පීඨයෙහි පිනින් සුවාසූ දහසක් සිංහාසන ලබයි. එ කල සමසිතින් දන් පිසූ ස්ත්‍රිය ප්‍රධාන කොට සුවාසූ දහසක් බිසෝවරුන් පිරිවර යි. ඒ පන්සල වටා වැට කරවාලු පිණින් නුවර වටා සත්රුවන් පවුරු සතක් ලබයි. වෙහෙර වටා හිඳුවාලූ තල්පෙළෙහි අනුසසින් සත්රුවන්මය වූ තල්ගස් නුවර සිසාරා සත්වළල්ලෙකින් ඵලගෙන සිට ගනිති. සත්වසක් වස් වැස් වූ පිනින් සත්රුවන් ලබයි. වස් අන්තයෙහි නො වරදවා දුන් වස්වාසික සිවුරු පිළියෙහි පිනින් ඒ සා මහත් කප්රුක් ලබයි. මෙසේ සඞ්ඛ නම් චක්‍රවර්ති රජ එ කල ඒ කේතුමතී නම් රාජධානියෙහි ශක්‍රයා සේ සුව විඳිනේ මැ යි. වදාළේ මැනෝ:-
සඞ්ඛො නාම සො රාජා - අනන්තබලවාහනො,
සත්තරතන සම්පන්නො - චක්කවත්තී මහබ්බලො - යි.
තවද ශාරිපුත්‍ර ස්ථවිරය, ඒ මෛත්‍රෙය බුදුහු පෙර මුහුර්ත නම් බුදුකෙනකුන් සමයෙහි ප්‍රභාවන්ත නම් චක්‍රවර්ති රජක් ව මාසේ ම අෂ්ටාඞ්ග ධර්මයෙන් යෙදී ප්‍රථමාභිනිහාරය ලදින්, එ තැන් පටන් සොළොසාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් පැරුම් පුරා එදෑතුරෙහි බුදුවූ දහස් ගණන් බුදුන් අතින් මා සේ ම විවරණ ලදින් කෙළවර විශ්වන්තරාත්ම වන් ජාතියෙන් සැව ගොස් තුසීපුරයෙහි ඉපද එතැන් පටන් මේ බුද්ධාන්තරය මුළුල්ලෙහි දිව සුව විඳ එ කල දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයන්ගේ ආරාධනා ඉවසා පස්බැලුම් බලා බ්‍රාහ්මණවංශය උතුම් සේ දැක කේතුමතී නම් රාජධානියෙහි සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ට අග්‍ර පුරෝහිත වූ සුබ්‍රහ්ම නම් බ්‍රාහ්මණ මහාසාරයාණන්ගේ බ්‍රහ්මවතී නම් බැමිණිදේවීන් කුස පිළිසිඳ දසමස් පුරා වැස දසදහසක් සක්වළ දෙවිබඹුන් මධ්‍යයෙහි මෛත්‍රී පිඬක් සේ මසබ්‍රහ්මයා අතට බිහිව අජිත නම් කුමාරව තරු පිවරු සඳක් සේ වැඩ දොළොස් දොළොස් ගවු උස ඇති සිරිවඩ්ඪක වූ වඩ්ඪමාණකය-සිද්ධාර්ථය-චන්‍ද්‍රකයයි යන සත්රුවන්මය වූ තුන් සෘතුවට වෙන වෙන තුන් පායෙක් වෙයි.
එකි එකී පායෙක්හි සත් සත් මහල; එකි එකී මාලෙක්හි ලක්‍ෂයක් ලක්‍ෂයක් කුළුගෙවල. එකි එකී පායට සත් සත් රුවන්, පවුරු ය. සත් සත් රුවන් වාසල. එ තුන් පායෙහි පසඟ තුරු රැවු විහිදුනා රන් රසුදැල් එල්වා තිබෙයි. මුදුනෙහි සත් රුවන්මය වූ ධ්වජ නඟා තිබෙයි. ඒ ධ්වජ කකුල්වල බඳනාලද රන්මිණි ඝෝෂයෙන් නුවර එකනින්නාද වෙයි. ඒ ප්‍රාසාදයන් තුන් දෙනාගේ භිත්ති සත්රුවන්මය වූ තාල පඞ්ක්තිය, මකරපඞ්ක්තිය, සිංහ පඞ්ක්තිය, ව්‍යාඝ්‍ර පඞ්ක්තිය, හස්ති පඞ්ක්තිය, අශ්ව පඞ්ක්තිය, රථ පඞ්ක්තිය, මයුර පඞ්ක්තිය, හංස පඞ්ක්තිය යනාදි නිර්මිත වූ කර්මාන්තයෙන් ශෝභමානය. දවස් පතා මල්වැසි වස්නේය. එකි එකී මාලෙක සත්සියක් සත්සියක් රුවන් ගබඩා ය, සත්සීයක් සත්සීයක් සිංහාසනය, සත්සීයක් සත්සීයක් සේසත, සත්සීයක් සත්සීයක් යහන, එකී එකී පාය සිසාරා පිරිවරා ඡද්දන්ත නම් හස්තිරාජයා ප්‍රමුඛ වූ සත් දහසක් සත් දහසක් මඞ්ගල හස්තීහු සැරහී සිටිති. වලාහක අශ්වරාජයා ප්‍රමුඛ වූ සත් දහසක් සත් දහසක් අශ්වයෝ සැරහී. සත්රුවන් ධ්වජ නැගූ හිරුමඬල සඳමඬල වැනි වූ සත් දහසක් සත් දහසක් රථපඞ්ක්ති සරහා එකි එකී මාලෙහි සත් දහසක් සත් දහසක් නාටක ස්ත්‍රීහු සැරහී සිටිති.
මෙසේ මහත් වූ ශ්‍රීවිභූතීන් ඒ මෛත්‍රෙය නම් බෝධිසත්ත්‍වයෝ මෙසේ වූ තුන් පායෙහි තුන් සෘතුවෙහි වෙසෙති. සඞ්ඛ නම් චක්‍රවර්තී රජ්ජුරුවන් ආදි වූ දඹදිව සුවාසූ දහසක් රජදරුවෝ මඟුල් කඩු ගෙන බෝසතුන් කරා අවුදින් හිමි නුඹට සේවය කරම්හ යි කියති. මාගේ පර්ෂද් බෙහෙව. තොපි තොපගේ රාජ්‍යශ්‍රී ම විඳුවයි යවන්නාහු ය. කැටි ව දෙව්ලොව සිට අවුදින් එක දා උපන් අටළොස් කෙළක් අමාත්‍යයෝ නිති ම ඒ බෝසතුන්ට ආරක්‍ෂා ගෙන සිටිති.
මෙසේ ඒ අජිත නම් මෛත්‍රෙය බෝසතාණෝ බුදු මුඛයකිනුත් කියා නිමවා ගත නො හැක්කා වූ මහත් වූ ශ්‍රී සම්පත් විඳ අටදහස් හවුරුදු ගිහිගෙයි වැස තුන් පූර්වනිමිත්ත දැක සසර කල කිරී සතරවනුව දෙවියන් මවා පෑ තපස්වෙස දැක මහණවනු කැමැති ව චන්‍ද්‍රමුඛී නම් අගමෙහෙසි දේවිය බ්‍රහ්මවර්ධන නම් පුත් රුවන වැදූ දා මහණවෙමි යි සිතා එ කෙණෙහි ම එම රුවන්පායෙහි ම පලක් බැඳ මතු මාල්තෙලෙහි ඉඳ සත් දවසක් දුෂ්කරක්‍රියා පුරන්නාහු ය. එ වේලෙහි සඞ්ඛ නම් චක්‍රවර්තී රජ්ජුරුවෝ සුවාසූ දහසක් රජුන් හා සුවාසූ දහසක් බිසෝවරුන් පිරිවරා පූජාභාණ්ඩ ගෙන පාය සිසාරා එ සද්දා ම අරක්ගෙන සිටිනාහුය. එසේ ම දසදහසක් සක්වළ දෙවියෝ ද දිව්‍ය පූජාභාණ්ඩ ගෙන අහස්කුස පුරා සිටිනාහුය.
මෙසේ සත් දවසක් දුෂ්කරක්‍රියා පුරා කිසිකෙනකුන් හා මුවෙන් නො බැන කිසි කෙනෙකුන් මුහුණ නො බලා දවස් යවූ කල ඇම බුදුන් බුදුවන වෙසග මැදි පොහෝදා මහබිනික්මන් කෙරෙමි යි සිතූ ක්‍ෂණයෙහි ඒ රන්පාය සත්පවුරු සත්දොරටු පිරිවරා සිටි ම සෙනඟ සමගින් ආකාශයට පැන නැගී බෝමැඩ දිශාවට නික්මෙයි. කැටි ව මහණවනු කැමැති සියලු සත්ත්‍වයෝ ම සිටි සිටි පලින් ආකාශයට පැනනැගි පියුම් විලකට දිවන රාජහංස පෙළක් සේ යෙති. මෙසේ මහත් වූ පුණ්‍යප්‍රභාවෙන් ගොස් එ රන්පාය මහ සෙනඟ හා බෝසතුන් ගෙන බෝමැඩ කරා බස්සී. එ කෙනෙහි මඟුල් කඩුව විදුලියපතක් සේ හයා කෙස්වැටිය කපා ආකාශයට දමා මහබඹුන් දුන් සිවුරු පිළිගෙන මහණ වෙති.
තව ද: මේ බුද්ධෝත්පාදයෙහි පින්කොට ප්‍රාර්ථනා කළා වූ ස්ත්‍රී-පුරුෂයෝ බොහෝදෙන එම විට ම මහණ වෙති. චතුර්වේදයෙහි නිපුණ වූ බ්‍රාහ්මණයෝ සුවාසූදහසක් එ ම විට ම මහණවෙති. තව ද: මේ ශාසනයෙහි පින්කළ ඉසිදත්ත ය - පුරාණය යි යන දෙබෑ කෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පිරිස් ගෙන මහණ වෙති. තව ද: ජිනමිත්‍ර ය - අජිතමිත්‍ර ය යි යන පණ්ඩිතවරු දෙදෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පර්ෂද් ගෙන මහණ වෙති. තව ද: මේ ශාසනයෙහි පින්කළ සිද්ධාර්ථ නම් සිටාණ කෙනකුන් හා සුනන්‍දා නම් සිටුදියණි කෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පුරුෂ ස්ත්‍රීන් හා සමග මහණ වෙති. තව ද: මේ ශාසනයෙහි පින් කළ සඞ්ඝ නම් උපාසක කෙනකුන් හා සඞ්ඝා නම් උපාසිකා කෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පුරුෂ ස්ත්‍රීන් හා සමග මහණ වෙති. තව ද: මේ ශාසනයෙහි පින්කළ යශවතී ය - විශාඛා ය යි යන යෙහෙළියෝ දෙදෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් ස්ත්‍රීන් හා සමග මහණ වෙති. අවශේෂ වූ රජ - බමුණු - වෙළඳ - ගොවි ලක්‍ෂ ගණන් එමදා ම මහණ වෙති.
ඉක්බිත්තෙන් බෝධිසත්ත්‍වයෝ මහණවෙලා ඒ චන්‍ද්‍රමුඛී නම් අග්‍ර දේවීන් දුන් කිරිපිඬු වළඳා එම දා ම සවස අපරාජිත ස්ථානයෙහි පැනනැඟි විදුරසුන් නැඟී නාග ශ්‍රී බෝධියට පිටකලා හිඳිනාහු ය. ඒ නාග ශ්‍රී බෝධි ය නම්: රිදීකඳක් සේ සමවට වූ කඳ ය. එක්සිය විසි රියන් උස ය. පඤ්ච මහාශාඛාවෝ ද එක්සියවිසි එක්සියවිසි රියන් උස ය. මුල පටන් අග දක්වා දෙසිය සතලිස් රියන් උස ය. පූර්ව ශාඛාග්‍රය පටන් පශ්චිම ශාඛාග්‍රය දක්වා දෙසිය සතළිස් රියන. උත්තර ශාඛාග්‍ර ය පටන් දක්‍ෂිණ ශාඛාග්‍ර ය දක්වා දෙසිය සතළිස් රියන. ශාඛාමණ්ඩල ය වටින් සත්සියවිසි රියන. ඉඳු නිල්මිණි සේසතක් සේ ඇමදා ම ශෝභාවත් ව තිබෙයි. ඇමදා ම විලික්‍ෂ ව වැගිරෙන පතෙකු දු නැත. මුහුකළ පත් ඉන්‍ද්‍රනීල මාණික්‍යම ය. අසු අස්සෙහි ලිය හා අඞ්කුර ප්‍රවාලමය ය. එ කෙණෙහි ම නාග ශ්‍රී බෝධිය මුල පටන් අග දක්වා මලින් සැදී සිටිනේ ය. දොළොස් නැළියක් පැන්ගන්නා පමණ කැකුළු වෙයි. පිපි මල් මහ ගැල් සක පමණ වෙයි. එකි එකී මලෙක්හි නැළියක් පමණ රේණු වෙයි. එදා පිපි මල් අසූදහසක් හවුරුදු පර නොවී තිබී ඒ බුදුන්ගේ පරිනිර්වාණය හා සමග හැම මල් පරව නටුවෙන් ගිලිහී පෙත්තකුත් බිම නොහී ආකාශයෙන් ගොස් දර සෑයෙහි ම වැගිර බුදුන් හා සමග ආදාහන වෙයි.
තව ද: බෝමැඩ සිසාරා වටින් දෙගවු දෙගවු පමණ තෙන සත් රුවන් වැලි පැන නැගී තැනී තිබෙයි. එ ව සත්රුවන්මය වූ පවුරෙක් වෙයි. එයින් පිටත වට දොළොස් දොළොස් ගවු පමණ තෙන නන් විසිතුරු වූ සුවඳ මල්ගස් සමූහයෝ ඇමදෙන ම ඒ නාග ශ්‍රී බෝධියට වැඳුම් ගෙන එක්පඞ්ක්තින් සිටිනාහු ය.
මෙසේ ඒ මෛත්‍රෙය බුදුහු තමන් සොළසාසඞ්ඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි පිරූ උග්‍ර වූ පාරමිතාවන් ගේ මහිමයෙන් ම ලබන ලද මෙ බඳු වූ නා සිරි බෝ පිටලා අට පනස් රියන් විදුරසුන් නැඟී චතුරඞ්ග වීර්‍ය්‍යාධිෂ්ඨානයෙන් දසදහසක් සක්වළ දෙවිබඹුන්ගෙන් පූජා විඳ විඳ හිඳිනාහු ය. එ කෙණෙහි වසවර්තීතිමාරයා මහත් වූ මරසෙනඟ ගෙන ‘ඔහු අද බුදු විය නොදෙමි. දෙ කකුල ගෙන පරසක්වළ ගසමි’යි කිපී දිව සක්වළ මුවවිට සිට ඒ මෛත්‍රෙය නම් බුදුන්ගේ මෛත්‍රීපිඬක් බඳු වූ ශ්‍රී මුඛය දැක ළංවිය නො හී භයින් වෙවුලා පැරද දිවපී ය යි. මෙසේ මරසෙන් බිඳ එදා රෑ අලුයම් වේලෙහි ලොවුතුරා බුදු ව අනන්තාපරියන්ත වූ සක්වළට බුදුරස්කඳ විහිදුවති.
තව ද: ශාරිපුත්‍ර ස්ථවිරය, ඒ මෛත්‍රෙය නම් බුදුහු අශෝකය-බ්‍රහ්මදේවය යි යන අගසවු දෙදෙනකු හා සමග මහත් වූ ශ්‍රාවක ගණයා ඇතියහ. ඇමදා ම දිවා රාත්‍රියෙහි පස්විසි යොදනෙක පවත්නා බ්‍යාමප්‍රභා මණ්ඩලය ඇතියහ. තව ද: ඒ මෛත්‍රෙය බුදුන්ගේ බුද්ධකාය අටඅසූ රියන් උසය; ශ්‍රීපාදයෙහි පටන් දන මඬලට දෙවිසි රියන් උස ය. දණමඬල පටන් නාභිමණ්ඩලයට දෙවිසි රියන් උස ය. නාභිමණ්ඩලයෙහි පටන් අකුධාතුවට දෙවිසි රියන් උස ය. දකුණු උරමඬලෙහි පටන් වම් උඩමඬලට පස්විසි රියන් පළලය. විදුලිය දෙකක් වන් කන්පට දෙක සත් සත් රියන. එකී එකී ඇස දිග පස් පස් රියන. දෙව්දුනු දෙකක් වන් බැම සඟල පස් පස් රියන. දෙබැම අතුර පස් රියන. නාසිකාව සත් රියන. සුරක්ත වූ තොල් සඟල පස් පස් රියන. සුරකත වූ දිව දස රියන ශිරෝ ධාතුවෙහි වට පස්විසි රියන. රන්වන් වූ ශ්‍රී මුඛමණ්ඩලය පස්විසි රියන් වට ය. රන් මහිඟක් සේ වට වූ ග්‍රීවා ධාතුව පස් රියනක් උස ය. රන්වන් වූ ශ්‍රි හස්ත දෙක සතළිස් සතළිස් රියන එකි එකී අතුල් පස් පස් රියන. ශ්‍රීපාද දෙක තෙළෙස් රියන් එක් වියත් සාඟුල් පමණ දිග ඇත්තේ ය.
මෙසේ ශ්‍රීමත් වූ බුද්ධකායෙකින් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාදි වූ අප්‍රමාණ වූ ධර්මදේශනා කොට සියලු සතුන් සංසාර සාගරයෙන් ගොඩනඟා ඒ මෛත්‍රෙය බුදුහු අසූදහසක් හවුරුදු ආයුශ්‍රී වළඳා හිඳිනාහු ය. එ කල සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවෝ තමන්ගේ පස්විසි යොදුන් රන් පාය සඞ්ඝාරාමයක් කොට බුදුන්ට දන් දී සියලු චක්‍රවර්ති රාජ්‍යය බුදුන්ට පුදා පෙර තමන් දිඹුල් දණ්ඩෙන් ගේ නඟා වස්වස්වා කළ පින්බලයෙන් ම කැටි ව පින් කළ ස්ත්‍රිය හා සමග නවකෙළ දහසක් අමාත්‍ය්‍යන් ගෙන බුදු සසුන් වැඳ මහණ ව අමාමහ නිවන් දක්නාහු ය.
මතු බුදුවන ඒ මෛත්‍රෙය නම් බුදුන් නො දක්නො කවුරුද දැක සසරින් ගැලවෙන්නෝ කවුරුදැ?යි යත හොත් මවුන් මැරුවෝ ය, පියන් මැරුවෝ ය, රහතන් මැරුවෝ ය, බුදුන් ඇඟින් ලේ සෙල්වූවෝ ය, සඞ්ඝභේදකළෝ ය යි මේ පඤ්චානන්තරිය කර්ම කළා වූ සත්ත්‍වයෝ ඒ එන මෙතේ බුදුන් දැක්ක නොහෙත් ම ය. දාගැබ් බිඳ බෝධි ශාඛා කපා රන්පිළිම පොතු උපුටා බණ පොත් සිඳ මේ පව්කිරීම හා ආනන්තරිය කර්මයට ඇතුළු වන හෙයින් ඔහුත් ඒ බුදුන් නො දකිත් ම ය. සඞ්ඝයා වහන්සේට ආක්‍රොශ පරිභව බිණුවා වූ සත්ත්‍වයෝ ද, සිල්වතුන්ට බොරුවෙන් වත් දොස් ඉපද වූ සත්ත්‍වයෝ ද, ධර්මයට අනාදර බිනූ සත්ත්‍වයෝ ද, යන මොහු ත් ඒ බුදුන් දැක්ක නො හෙත් ම ය. දන්වැට කෑවෝ ද, කුසලාන් ගසා කෑවෝ ද, බුදුන් සතු දෙය කෑවෝ ද, ධර්මය සතු දෙය කෑවෝ ද, සඟ සතුදෙය කෑවෝ ද යන මොහුත් ඒ බුදුන් දැක්ක නොහෙත් ම ය. මේ බුද්ධෝත්පාදයෙහි අලු ගා මිථ්‍යාදෘෂ්ටි ගෙන මෙලෝ පරලෝ නැතැ යි ඇවිදුනා සත්ත්‍වයෝ ද ඒ බුදුන් දැක්ක නො හෙත් ම ය. හිරසඳ දෙවියන්ට ද, වැසිවලා දෙවියන් ට ද, දෙස් කළා වූ සත්ත්‍වයෝ ද ඒ බුදුන් දැක්ක නොහෙත් ම ය. නරක-තිරිසන්-අසුර යන තුන් අපායෙහි උපන්නා වූ සත්ත්‍වයෝ ද ඒ බුදුන් දැක ගැලවිය නො හෙත් ම ය. අරූතල - අසංඥතල පරසක්වළ යනාදියෙහි උපන්නා වූ සත්ත්‍වයෝ ත් ඒ බුදුන් නො දකිත්ම ය.
තව ද: මේ බුද්ධෝත්පාදයෙහි බණ අසා මෙලෝ පරලෝ දැන තමන් තමන් ශක්ති පමණින් දන් පින්කළෝ දකිති. තව ද සිල් රක්‍ෂා කළෝ දකිති. පෙහෙවස් රක්‍ෂා කළෝ දකිති. බඹසරවස් රැක්කෝ දකිති. දාගැබ් දාකරඬු කරවූවෝ දකිති. බෝධි පිහිටුවූවෝ දකිති. පුෂ්පාරාම-ඵලාරාම කැරවූවෝ දකිති. හේදවු ලැවුවෝ දකිති. මාවත් එළිකළෝ දකිති. ගොනටුකඳ තැනවූවෝ දකිති. ලින් පැන් පොකුණු කැනවූවෝ දකිති. නටඹුන් මෙහෙර කැරවූවෝ දකිති. බණ කියා ලෝවැඩ කළෝ දකිති. බණ කියවූවෝ දකිති. ධර්මශාල තැනවූවෝ දකිති. ධර්මාසන කරවූවෝ දකිති. ධර්ම ශාලාවෙහි වියන් බැන්දවූවෝ දකිති. බණපොත් ලියවා දුන්නෝ දකිති. ඒ පොත් අකුරු ගණනේ චක්‍රවර්ති සම්පත් ආදි වූ බොහෝ සැපත් ලදින් සුව විඳ මෙතේ බුදුන් දැක නිවන් දකිති. කබලිදණ්ඩාසන බණ වසුන් ලැවුවෝ දකිති. ධර්මකථිකයන් පය සේදවූවෝ දකිති. බණ කියන්නන් උපචාරයෙන් සත්කාරයෙන් වඩා ගෙනාවෝ දකිති. බණ කියන කල සාධුකාර දුන්නෝ දකිති. බණට අඬගෑවෝ දකිති. විජිනිපත් දන් දුන්නෝ දකිති. විජිනිපත් අතට ඔසවා දුන්නෝ දකිති. ධර්මාසනයෙහි මල් සුවඳ පිදුවෝ දකිති. වස්ත්‍රාභරණ පිදුවෝ දකිති. බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිති. මේ සියල්ල නිමවා බණ පැවැත්වූවෝ දකිති. ගිලනුන්ට අත් පා මෙහෙ කළෝ දකිති. ආවාස දාන කරවා දුන්නෝ දකිති. චීවර පිණ්ඩපාත දන් දුන්නෝ දකිති. ලාබත්-පෙහෙබත්-අවදිබත් දන්දුන්නෝ දකිති. මවුපියන්ට අත් පා මෙහෙකළෝ දකිති. යටත් වශයෙන් එක මලක් එක පානක් එක බත්කෙනෙස්සක් දන් දී වේව යි තුණුරුවන් කෙරෙහි සිත පහදවා වේව යි යම් යම් කෙනෙක් මෛත්‍රෙය බුදුන් දැකුම්වේව යි කියා මාගේ බුද්ධෝත්පාදයෙහි ප්‍රාර්ථනා කළාහු වූ නම්, ශාරිපුත්‍ර ස්ථවිරය ඔහු මතු මෙතේ බුදුන් දැක සංසාර සාගරයෙන් ගොඩ නැඟෙන්නාහු ම ය යි වදාරා මේ අනාගතවංශ දේශනාව නිමවා වදාළ සේක.
මෙසේ මාගේ ස්වාමිදරුවෝ තමන් නො වඳුම්හ යි මන් කළ ඤාතිගණයා මධ්‍යයෙහි ආකාශයට පැනැනැඟී ඒ රුවන් සක්මන දී මහත් වූ යමකප්‍රාතිහාර්‍ය්‍ය දක්වා ධම්සෙනෙවි - සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් මේ බුද්ධවංශය හා අනාගතවංශය දේශනා කොට නිමවා, නෑයන්ගේ මන් බිඳ ආකාශයෙන් බස්නා පුන්සඳක් සේ බැස පළමුව වැඩහුන් බුද්ධාසනයෙහි පෙනී ගිය සේක.
ඒ ආශ්චර්‍ය්‍යය දුටු ශුද්ධෝදන රජ්ජුරුවෝ පුතණුවන් වහන්සේගේ ශ්‍රී පාදමූලයට ගොස් දොහොත් මුදුනෙහි තබාගෙන සන්තෝෂ බාෂ්පයෙන් දෙනුවන් තෙම තෙමා: ස්වාමීනි, මාගේ බුදුරජාණෙනි, මාගේ සිද්ධාර්ථ කුමාරයෙනි, මාගේම පුතණුවන් වහන්ස, පුත්‍රව්‍යාජයෙන් ලොවට වැඩ පිණිස මාගේ ගෙයි උපන් මාගේම පියාණන් වහන්ස, අද පටන් නුඹ මට දරු නොවන දෑ ය. මම නුඹට දරුයෙමි. එසේ හෙයින් මා සේ වූ නුඹගේ දාසයකුත් නො වටනා හිනා වූ පියක්හට මෙ බඳු වූ ප්‍රාතිහාර්‍ය්‍යයක් දක්වා මුළු ලෝ වෙවුල්වා කුමක් නිසා දුක් ගෙන වදාළසේක් ද? මම නුඹවහන්සේ උපන්දා කාලදේවල නම් සෘෂීන්ගේ නළල්මැද නුඹගේ තෙල සිතුපතුල් දෙක සැපී ගිය ප්‍රාතිහාර්‍ය්‍යය දැක සතුටු ව එදා ද මේ සිරි පතුල් දෙක නළල් තබා වැන්දෙමි. ඒ මාගේ පළමුවන වැඳීම ය. තව ද නුඹ පස්මැසි කල වප්මඟුල් කරණ දා දඹගස මුලදී කළා වූ ප්‍රාතිහාර්‍ය්‍යය දැක සතුටු ව එදාත් මේ සිරිපතුල් දෙක වැන්දෙමි, ඒ මාගේ දෙවන වැඳීම ය. අද මා වැනියකු තබා දිව්‍ය බ්‍රහ්මයනුත් නුදුටු නො ඇසූ විරූ මෙ බඳු වූ ප්‍රාතිහාර්‍ය්‍ය දැක රාජ්‍යය පුදා පියම් නම් ඒ නුඹ අලුයම දැමූ කෙළපිඩක් සේ පිළිකුල්කොට හැරපියා ගිය රාජ්‍යය වුව. ජීවිතය පුදාපියම් නම් නුඹගේ බුද්ධශ්‍රී වඩ වඩා දකින ලෝභය මාගේ බොහෝ හෙයිනුත් ඒ ජීවිත පූජාව නුඹ නො ඉවසන හෙයිනුත්, ජීවිතය ත් පුදාපිය නො හෙමි. යනාදීන් කිය කියා බුදුන්ගේ ශ්‍රීපාද දෙක ඉස්මුදුනෙහි තබාගෙන මේ තුන් වන වැඳීම ය යි කිය කියා ඒ ශුද්ධෝදන රජ්ජුරුවෝ සිටගත නොහී මුලින් සිඳහෙළූ කනක රූපයක් සේ බුදුන් පාවිට ම වැඳ පෙරළී ගියහ.
රජ්ජුරුවන් වැඳි කල එක්ලක්‍ෂ සැටදහසක් පමණ ශාක්‍ය රජ දරුවෝ සිටි සිටි පලින් සිටගත නොහී යුගාන්තවාතයෙන් හුනු මහ සල්වනයක් සේ වැඳ පෙරළී ගියහ. එක රජෙකු ත් බුදුන් නො වැඳ සිටීමට සමර්ථ නුවූයේ ම ය. ඇම ශාක්‍යයන්ගේ ම මානය සුළං දුටු වලාකඩක් සේ සිඳී බිඳී ගියහ.
ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ ඥාති සමාගමයෙහි මුදුන් පැමිණ නෑයන්ගේ මාන භංගකොට වදාළ සේක. හැම ශාක්‍යයෝම බුදුන් වැඳ නැගී මන් බිඳ දොහොත් මුදුන් දී නමස්කාර පූජායෙන් හිඳ ගත්තාහු ය.
එ වේලෙහි ශක්‍රදේවේන්‍ද්‍රයා මලාගිය මලස්නෙක පැන් ඉස්නා ශ්‍රද්ධාවන්ත පුරුෂයකු සේ, බුදුන්ගේ ශාක්‍යකුල නමැති බන්‍ධු කුසුමයන් සන්තෝෂ කරවා මහත් වූ පොකුරු වැස්සක් වස්වා පූජා කෙළේ ය. ඒ පොකුරු වැස්සෙහි තඹවන් දිය යට පොළොවින් දිවෙයි. තෙමෙනු කැමැත්තෝ තෙමෙති. නො තෙමෙනු කැමැත්තෝ නො තෙමෙති. ඒ ආශ්චර්‍ය්‍යය දැක විසිදහසක් භික්‍ෂූහු බුදුන්ගේ බන්‍ධුසමාගමයෙහි වට පොකුරු වැස්සෙක මහිමයක් බලව යි ස්තුති කළසේක. ස්වාමිදරුවෝ ඒ අර්ථෝත්පත්තියෙහි: මහණෙනි, දැන් මතු නො වෙයි. පෙර ත් මාගේ බන්‍ධු සමාගමයෙහි පොකුරු වැසි වටුයේ ම වේදැ යි වදාරා දහසක් ගාථාවෙන් ප්‍රතිමණ්ඩිත වූ මහා වෙස්සන්තර ජාතකය ගෙනහැර දක්වා ධර්මදේශනා කොට වදාළ සේක. එ වේලෙහි ද බොහෝ ප්‍රාණීහු සෝවාන් ආදි මාර්ගඵලයට පැමිණියාහ.
ඉක්බිත්තෙන් ඒ ශාක්‍ය රජදරුවෝ බුදුන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට බුද්ධදර්ශනයට විෂය තාක් තැන් පසු බැස බැස ගොස් දර්ශනාවසානයෙහි සිට නැවත නැවත පසඟ පිහිටුවා වැඳ ‘ශාක්‍යසිංහ’ ‘ශාක්‍යකෙතු’ යනාදීන් බුදුන්ට ස්තුති කොට ගියහ.
මෙසේ මාගේ බුදුහු පළමුවන ඥාතිසමාගමයෙහි දී යමකප්‍රාතිහාර්‍ය්‍යය දැක්වූ දා දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්ම රාජයන් කළා වූ දෙලක්‍ෂ සතළිස්දහසක් නමස්කාර පූජා ය, ශාක්‍ය රජදරුවන් කළ එක්ලක්‍ෂ සැටදහසක් නමස්කාර පූජා ය, ශක්‍රයා කළ පුෂ්කර වර්ෂා නම් පූජා ය, විසිදහසක් මහරහතන් විසින් කරන ලද ස්තුති පූජා ය යි මෙසේ සාරලක්‍ෂ විසිදහස් එකුතුරු මහා පූජාවක් ලත් හෙයිනුත්, මෙසේ වූ වික්‍රමයෙන් පූජා විඳීමට සුදුසු හෙයිනුත්, ශාක්‍යකුල සිංහ වූ, ශාක්‍යකුල තිලක වූ, ශාක්‍යකුල ධ්වජ වූ, ශාක්‍යකුල කේතු වූ, ශාක්‍යකුල කිරීට වූ, ශාක්‍යකුල චූඩාමාණික්‍ය වූ, ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ, ශාක්‍යකුල කල්පද්‍රැම වූ, ශාක්‍යකුල මහානිධාන වූ, ශාක්‍යකුල ප්‍රදීපායමාන වූ, මාගේ ස්වාමිදරු වූ, බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.
එසේ හෙයින් කියන ලදුයේ මැයි:
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො
අත්‍ථානු රූපං අරහන්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාම මෙතං යි.
මේ පූජාවලියෙහි අප බුදුන් බන්‍ධුසමාගමයෙහි දී ලද
නිග්‍රොධාරාම පූජා කථා නම් වූ පසළොස් වන පරිච්ඡේදය නිමි.