මෙසේ සැට දවසෙකින් වැඩ වෙසඟ මැදි පොහෝ දා බුදුන් කිඹුල්වත් නුවරට වැඩි කල එක්ලක්‍ෂ සැට දහසක් කුලෙහි ශාක්‍ය රජදරුවෝ ‘අපගේ නෑ උතුමා අද බලම්හ’යි රැස්ව බුදුන් වසන්ට සුදුසු තැන් කවරේ දෝ හෝ යි පරීක්‍ෂා කරන්නාහු ‘නිග්‍රොධ නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ අයන ඉතා රම්‍ය ය. ඉතා සුදුසු ය’යි සනිටුහන්කොට එහි කළමනා වූ රාත්‍රිස්ථාන දිවාස්ථාන චංක්‍රමණාදී විහාර කර්මාන්ත නිමවාලා බුදුන්ට පෙර ගමන් කරන්නාහු. සියලු අලඞ්කාරයෙන් හෙබියා වූ සොළොස් හැවිරිදි සිටු කුමරුවන් සරහා සුවඳ මල් දී පන්සියයක් දෙන පළමුකොට පෙරමගට යවා, දොළොස් හැවිරිදි සිටුකුමරියන් පන්සියයක් සරහා මහනෙල්මල් කලබ් අතට දී දෙවනු ව යවා, ඉක්බිත්තෙන් පන්සියයක් ශාක්‍ය කුමරුන් සුවඳ මල් දී මහ පෙරහරින් යවා, සතරවනු ව පන්සියයක් ශාක්‍ය කුමරියන් සරහා යවා, පස්වනු ව එක්ලක්‍ෂ සැටදහසක් ශාක්‍ය රජදරුවෝ මහ පෙරහරින් ගොස් මහත් වූ පූජායෙන් සුවඳින් මලින් සුවඳ සුන්නෙන් පුද පුදා බුදුන් වඩා නිග්‍රොධාරාමයට ම ගෙන ගියාහු ය.
මෙසේ ස්වාමිදරුවෝ ඒ ආරාමයට වැඩ විසිදහසක් රහතන් පිරිවරා පනවනලද බුද්ධාසන මුදුනෙහි සවනක් රසින් දිලිහි දිලිහී බාලාකී මණ්ඩලයක් සේ වැඩහුන් සේක. ඒ ශාක්‍ය රජදරුවෝ නම් ස්වභාවයෙන් ම මානීහු ය. මානයෙන් මඩනා ලද්දාහු ය. එසේ හෙයින් සිතන්නාහු: “සිද්ධාර්ථ කුමාරයෝ නම තමන් බුදු වූ බවක් මුත් අපගේ බාල මලනුවෝ ය, බෑනනුවෝ ය, පුතනුවෝ ය, මුණුබුරානෝ ය” යනාදීන් කල්පනා කොට බාල රජකුමරුවන් ළඟට කැඳවා කොඳුරා මෙසේ මෙසේ කියති. “දරුවෙනි, තෙපි අපට පෙරට ම සිට සිද්ධාර්ථ කුමාරයන් වැඳලව. අපි තොප හැමට පිටි පසුව ලා නො හඟවා හිඳුම්හ. මුළු දඹදිව රජදරුවෝ ද දැන් උන් වඳිත්ම ය. දෙවියෝ දක්වා ත් වඳිත් ම ය. අප හැම උණ් නො වැන්දැ යි සැලව ගියේ නම් සිද්ධාර්ථ කුමාරයන් කෙරෙහි ඔහු ඇම සරු මඳ වෙති. එසේ හෙයින් මේ සොරකම කාටත් සැල නොකරව”යි උගන්නාලූහ. එ බස් අසා බුදුන්ට බාල වූ රජකුමරුවෝ බුදුන් වැඳලා මාලු නෑයන්ට අවසර නොදී දහස්ගණන් ඉඳගත්හ. ඉක්බිත්තෙන් මාලු නෑයෝ ඔවුන් අසු අස්සෙහි සැඟවී හිඳගත්තා හු ය.