කිඹුල්වතට නික්මීම

star_outline

මෙසේ මහණ ව ඒ කාළුදායි නම් මහතෙරුන් වහන්සේ මහණ වූ සත් අට දවසක් ගිය කල මැදින්දින මස මැදිපොහොය සම්ප්‍රාප්ත විය. සියලු හේමන්ත කාලය ඉක්ම ගිය. වසන්ත කාලය සම්ප්‍රාප්ත විය. හැම භූමිමණ්ඩලය නිල් හීතණයෙන් ගැවසී සිටගත. සියලු වනලැහැබ් නන් මල්පෙළින් සැදි විසිතුරුව සිටගත. බුදුන් නෑයන් කරා කිඹුල්වත් පුරයට වඩනා කලැ යි සිතාලා එදා බුදුන් කරා ගොසින් වැඳ බුදුන් අභිමුඛයෙහි ඇඳිලි බැඳ ආදරයෙන් සිට මෙසේ දන්වන සේක.

අඞ්ගාරිනො දානි දුමා භදන්තෙ - ඵලෙසිනො ඡදනං විප්පහාය,

තෙ අච්චිමන්තො ව පභාසන්ති - සමයො මහවීර භගීරථානං.

.

නාති සීතං නාති උණ්හං - නාතිදුබ්භික්ඛ ඡාතතං,

සද්දලා හරිතා භූමි - එස කාලො මහාමුනි - යි.

යන මේ ආදි ගාථා සැටක් බුදුන් අභිමුඛයෙහි සිට විසිතුරු කොට කියා, ස්වාමිදරු වූ බුදුරජාණෙනි, හේමන්ත කාලය දැන් අතික්‍රාන්ත විය. වසන්ත කාලය සම්ප්‍රාප්ත විය. අනෙක ප්‍රකාර වූ වෘක්‍ෂ රාජයෝ තමන් තමන්ගේ පුරාණ පත්‍රයන් නුඹවහන්සේ වඩනා මග කසළ හරණවූන් සේ පහකළාහු ය. නන් විසිතුරු කුසුමයෙන් සැදී සැටයොදුන් මග මලිස් ගෙන නුඹවහන්සේට පූජාකොට සිටියවුන් වැනියහ. තව ද අභිනව පල්ලවාඞ්කරයන් හේතුකොට ගෙන ඒ වෘක්‍ෂරාජයෝ නුඹවහන්සේට ශීතනිවාරණයට ගිනි අඟුරු කබල් ගෙන සිටිනවුන් වැන්නහ. නොහොත් නුඹ වහන්සේට ලොහිතඞ්ක මාණික්‍ය රාශියෙන් පූජාකරන්නන් වැනියහ. මාර්ගයෙහි පිටි මං හැර වැට කඩහෙලු නැතිව නුඹ වඩනා මග නිරවුල් විය. සියලු සතුන්ට රෝ බිය නැත. සියලු ජනයන්ගේ කොටුගෙවල් පිරී ඉතිරී තිබෙන සමය ය. එසේ හෙයින් බත් බුලතින් ද සමෘද්ධ ය. ඉතා ඇලුත් නැත, ඉතා ගිමු ත් නැත. මේ තැන පටන් කිඹුල්වත දක්වා සැට යොදුන් මාර්ගයෙහි නුඹ වහන්සේට පූජාවට ඉඳුනිල් මිණි පෝරුවක් තනා අතරතුරෙහි රුවන් ගල් ඔබාලවා සේ උභය භාගයෙහි හටගත්තා වූ නීල තෘණ ජාතීන් අතුරෙහි රතිඳු ගොව්වෝ පෙළ පෙළ දී සිටගත්හ. යනාදීන් මෙසේ මාර්ගය වර්ණනා කළ සේක.

ඉක්බිත්තෙන් බුදුරජාණන් වහන්සේ, කිමෙක් ද? උදායි ස්ථවිරය මධුරස්වරයෙන් වර්ණනා කෙරෙයිනැ යි වදාළසේක. ඒ උදායි මහතෙරුන් වහන්සේ ස්වාමීනි, නුඹගේ පියාණෝ ශුද්ධෝදන රජ්ජුරුවෝ නුඹ වහන්සේගේ මේ බුද්ධ මහිම අසා මේ ධර්ම ප්‍රවාහය අසා, මේ නිවන් අසා නුඹ වහන්සේ දැක තුමූ ද ශ්‍රීවිඳුනා ලෝභයෙන් මා ඇතුළු ව දසදහසක් අමාත්‍යයන් දශවාරයෙක නුඹ වහන්සේ කරා දූත මෙහෙවර එවා තව දක්වා දැක්ක නොහී මග බල බලා හිරු උදය ප්‍රාර්ථනා කරන පියුම් විලක් සේ, නුඹ වහන්සේගේ දැක් ම ප්‍රාර්ථනා කොට කොට ම හිඳිති. තව ද නුඹ වහන්සේගේ මවු පිය දෙපක්‍ෂෙයි බන්‍ධු සමූහයෝ ද සඳරස් පතන කෞමද සමූහයක් සේ නුඹවහන්සේගේ තෙලෙ මුඛ චන්‍ද්‍රයාගෙන් දිවන දේශනා නමැත් රස් ප්‍රාර්ථනා කොට කොට ම හිඳිනාහු ය. ස්වාමීනි! නුඹවහන්සේගේ පිය මහරජ්ජුරුවන් ආදි වූ බන්ධු සමූහයාට අනුග්‍රහ කොට වැඩ වදාළ මනා කල් වේදැයි වදාළ සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ පූර්ව බුද්ධවරයන් බන්ධූන්ට සංග්‍රහ කළා වූ කාලය මේ යයි දැන ‘මාගේ බුද්ධවංශ චාරිත්‍රය කෙරෙමි’යි සිතා ‘මැනව උදායිය, බන්‍ධුසංග්‍රහයට යෙමි, භික්‍ෂුගණයාට තෝ ම ගොස් කියා දැන් ම රැස් කරව’යි වදාළ සේක. තෙරුන් වහන්සේ බුදුන් වදාළ බස් මුදුනෙන් පිළිගනෙ එ කෙණෙහි ම ගොස් එ පවත් භික්‍ෂුගණයාට සැලකළ සේක.

එ වේලෙහි අඟු-මගධ දෙරටින් මහණ වූ දස දහසක් රහතන් වහන්සේ ය, කිඹුල්වත සිට රජ්ජුරුවන්ගේ මෙහෙවරට අවුදින් මහණ වූ දස දහසක් රහතන් වහන්සේ ය යි මෙසේ විසිදහසක් රහතන් වහන්සේ, මණි කවචයෙන් සන්නද්ධ වූ ගඳැ’ත් පොව්වන් සේ, සුපිපි රත් පියුම් වනයක් සේ ‘අපි බුදුරජාණන්ට දරු වැ නීකම් පිළියෙන් සිවුරු වළඳුමෝදැ’යි ආකාශයට අත් පොවා සඳ වලාපටලයන් ඇදගෙන හැඳ පෙර ව ගන්නා සේ ශෝභා සම්පන්න වූ සුරකත වූ පාංශුකූල චීවරයන් දරාගෙන අවුත් බුදුරජාණන් පිරිවරා සිට ගත්හ.

එ කෙණෙහි ස්වාමි දරුවෝ දුරුතුමය පටන් මැදින් දින මස දක්වා දෙමසක් මුළුල්ලෙහි ප්‍රබන්‍ධෙයන් වාසය කළා වූ ඒ වේළුවනාරාමයෙන් එම මස මැදි පොහෝදා ඒ විසිදහසක් රහතන් පිරිවරා වැඩ කිඹුල්වත පටන් රජගහ නුවර සැට යොදුන් පමණ මාර්ගය සැට දවසෙකින් යෙමි යි සිතා දවස දවස යොදනක් තැන් බැගින් වඩනාසේක් ගම ගමදී ම මහත් වූ ධර්මදේශනාවන් කොට බොහෝ සතුන් නිවන් දක්ව දක්වා ම වඩනා සේක.

එ කල උදායි නම් මහතෙරුන් වහන්සේ ‘බුදුන් නික්මුණු පරිදි පිය රජ්ජුරුවන්ට කියා සතුටු කරවමි’යි සිතා බුදුන් නික්මුණු දෙවන දා උදාසන ම ආකාශයෙන් වැඩ රජ්ජුරුවන්ගේ ප්‍රාසාදයට බැස සිත ප්‍රසාද කරවා සිටිසේක. රජ්ජුරුවෝ මහතෙරුන් වහන්සේ දැක හැඳින බුදුන් දුටුවා සේ සතුටුව සිංහාසනයෙහි වඩා හිඳුවා තමන්ට පිසන ලද්දා වූ නොයෙක් රසයෙන් යුක්ත වූ රාජ භෝජනයෙන් පාත්‍රය පුරා පිළිගැන්වූහ. තෙරුන් වහන්සේ නික්මෙන ආකාරය දැක්වූ සේක. රජ්ජුරුවෝ ‘පුතණුවන් වහන්ස, මා දැක්ක දී වළඳා වදාළ මැනවැ’යි කීහ. එ බසට තෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් එක තෙන දී වළඳමි යි වදාළ සේක. බුදුහු දැන් කොයිදැයි විචාළාහු ය. මහරජ! විසිදහසක් රහතන් පිරිවරා තොප දක්නා නිසා මාගේ ආරාධනායෙන් බුදුන් දැන් වඩිමින් සිටිසේක් වේදැ යි වදාළ සේක. එ බසට රජ්ජුරුවන්ගේ සියලඟ නවානූදහසක් ලොම් කීල නැඟී කෙළින් සිටගත. රජ්ජුරුවන්ගේ දෙනුවන සතුටු කඳුළු පිරීගත් නිලුපුල සේ පිරී සිටගත.

මෙසේ සතුටු වූ සිත් ඇති ව ‘එසේ වී නම් නුඹවහන්සේ මේ බත් මේ ගෙයි දී ම වළඳා වදාළ මැනව. යම් දවසෙක මාගේ පුතණුවන් වහන්සේ මේ නුවරට වඩනාසේක් ද, එ දවස් දක්වා මාගේ ගෙන් ම බත් ගෙන ගිය මැනවැ’යි ආරාධනාකොට තෙරුන් වහන්සේ ඒ බත් වළඳවාලා ඒ පාත්‍රය සෝධවා සුවඳ සුන්නෙන් උළා පරිශුද්ධ කොට බුදුන් පෙර ගමැ වසන කල අනුභව කොට පුරුදු අග්‍රවූ තුන් හවුරුදු සුවඳ කවා තුබූ සුවඳ හැල්සාලේ බත් හා නොයෙක් සූප ව්‍යඤ්ජන රසයෙන් පාත්‍රය පුරා: මපුතණුවන් මා කෙරේ ප්‍රේම ඇතෝතින් අනික් දනක් නො වළඳා මාගෙන් ම යවූ බත් වළඳන්ට වදාළ මැනවැ’යි කියාලා පාත්‍රය තෙරුන් වහන්සේ අත තබාලූහ.

තෙරුන් වහන්සේ “මා මෙ තෙන පටන් ආකාශයෙන් යන නියාවත්, පාත්‍රය බුදුන්ට පිළිගන්වන නියාවත්, බුදුන් ඒ බත් වළඳන නියාවත්, රජ්ජුරුවන්ට පෙනේව”යි අධිෂ්ඨාන කොට ලා හුනස්නෙන් පැනනැගී සියලු ජනයන් බල බලා සිටිය දී පාත්‍රය ආකාශයට හැරපියා තමන් වහන්සේ නීල භෘඞ්ගරාජයක්හු පෙරට කොට පියුම් වනයකට ගමන් ගත් රාජහංස ලීලාවෙන් ලීලෝපේත ව වැඩ පාත්‍රය ගෙන ගොස් බුදුන් ශ්‍රී හස්තයෙන් තබාලූසේක. බුදුහු ඒ බත් ම වළඳා වදාළ සේක. මේ ම ක්‍රමයෙන් ම තෙරුන් වහන්සේ රජ්ජුරුවන් පහදවා දවස දවස රජගෙන් බත් පාත්‍රයක් බැගින් ගෙනෙන සේක. අනික් බතක් නො වළඳා බුදුහු එ බත ම වළඳා වදාරණ සේක් ම ය. තෙරුන් වහන්සේ ද දවස දවස වළඳා අන්තයෙහි රජගෙට ගොස් ‘අද බුදුහු මෙ තෙක් යොදුන් වැඩි සේක. අද බුදුහු මෙ තෙක් යොදුන් වැඩිසේකැ’යි රජ්ජුරුවන්ට හා සියලු රාජකුලයට බුදුගුණයෙන් යුක්ත වූ කථා කියා සූර්යෝදය බලන්නා වූ පද්මයන් සේ රාජකුල පද්මයන් සන්තෝෂ කරවා පහදවන සේක. ඒ කාරණයෙන් බුදුන් වහන්සේට “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං කුලප්පසාදකානං යදීදං කාළුදායි”යි එතදග්‍ර පාළිය වදාරා තමන් වහන්සේගේ ශාසනයෙහි කුල පහදවන්නන් කෙරෙහි අග්‍ර වූ තනතුරු දුන්සේක.