එදා බුදුන් සුන්බත් වන හෙයින් බුදුන්ගේ පුණ්‍යානුභාවයෙන් සක්දෙව් රජහුගේ පාණ්ඩුකම්බල ශෛලාසනය රත්කොට පූ යවටක් සේ කකියා ගිනි අළලින් ශක්‍රයාගේ තුන්ගවු උස දිව්‍ය ශරීරය සූර්‍ය්‍යකාපයෙන් තැවූ ඉටිකඳක් සෙයින් කකියා පැනනැංග. එ කෙණෙහි ශක්‍රදේවේන්‍ද්‍රයා මරණභයින් වෙවුලා ආසනයෙන් බිමට පැන කිමෙක් දෝ හෝ යි පරීක්‍ෂා කරනුයේ තමා උපේක්‍ෂා වුවහොත් එදා බුදුන් සුන්බත් වෙති යි දැන තරුණ වූ අභියුක්ත වෙසක් මවාගෙන සෝළු ලීයක් අතින් ගෙන තුනුරුවන් ගුණ අරභයා ස්තුති කොට බුදුන් ඉදිරියෙහි සිටගෙන තමාගේ ශක්‍රානුභාවයෙන් තුන්ගවු පමණ තැන සිටගත් ඒ සා මහපිරිස මුහුදු දිය දෙබේ කළ ගරුඬ රාජයා සේ දෙබේ කොට පියා දකුණ‘ත ඔසවාගෙන හඬ ගා ඒ පිරිසට ඇසෙන සේ;
දසවාසො දසබලො - දසධම්මවිදූ දසහි චු‘පෙතො,
සො දස සත පරිවාරො - රාජගහං පාවිසි භගවා.
මේ ආදීන් බුදුන් ගුණ කිය කියා පිරිස් දෙබේ කොට බුදුන් පෙරට ව ලා පර්වත පලා දිවන කඟවෙසන පෝතකයකු සේ පිරිස් පළා නික්මින.
එ කල ඒ මනුෂ්‍යයෝ මේ තරුණ පුරුෂයාගේ වික්‍රම හා රූප ශ්‍රී දැක “මේ දරු ඉතා රිසියෙන කෙනෙක. ඉතා බුහුටි කෙනෙක. මෙ වැනි තරුණ පුරුෂයෙකු මෙතෙක් දවස් මෙනුවර නුදුටු විරූම්හ. තෙපි කොයි සිට ආ කෙනෙක්දැ’යි විචාරති. එ කල ශක්‍රයා;
යො ධීරො සබ්බධී දන්තො - බුද්ධො අප්පටිපුග්ගලො,
අරහං සුගතො ලොකෙ - තස්සාහං පරිචාරකො යි.
මේ ගාථාවෙන් ‘මම තුන්ලෝ මුදුන් වූ බුදුන්ගේ දක්‍ෂ වූ පක්‍ෂපාත එක් අභියුක්තයෙකිමි’යි කියයි. එ කල බුදුරජාණන් වහන්සේ ශක්‍රයා විසින් අවකාශ කොට දුන් ඒ මාර්ගයට දහසක් පමණ රහත් ගණයා පිරිවරා මුහුදු මැද රළ පෙළ දෙබේ කොට ගමන් ගත් සක්රුවනක් සේ ඒ පිරිස් මුහුද මැදින් බැලු බැලු සතුන්ගේ ඇස් නිවමින්, සිත් නිවමින්, ලය සනහමින්, රූ සිරින් දිලිහි දිලිහී වැඩ ඒ රජගහා නුවරට වන්සේක.