බිම්සර රජු කරා වැඩමවීම

star_outline

ඉක්බිත්තෙන් බුදුහු ඒ උරුවෙල කාශ්‍යපාදි දහසක් රහතුන් පිරිවරා, බිම්සර රජහට දුන් ප්‍රතිඥාවෙන් මිදෙනු සඳහා දුරුතු මස මැදි පොහෝදා ප්‍රදීප සහස්‍රයෙන් දිලියෙන පහන් ඇගෑයක් සේ රජගහ නුවරට තුන්ගවු පමණ තෙන වැල්මී වැල් වැළඳි හෙයින් යෂ්ටිවන නම් තල්උයනට වැඩ එක් රුකක් මුල සවණක් රසින් දිලිහි දිලිහි දහසක් රසින් දිලියෙන හිරුමඩලක් සේ, දහසක් තරු මැද දිලියෙන සඳමඬලක් සේ, දහසක් අකුරෙන් දිලියෙන ස්වර්ණාංකුරයක් සේ, දහසක් මහරහතන් පිරිවරා වැඩහුන්සේක.

එ කල බිම්සර රජ්ජුරුවෝ බුදුන් තමන්ගෙ උයනැ වැඩහුන් පරිදි උයන්ගොව්වා අතින් අසා එක්ලක්‍ෂ විසිදහසක් අමැති බමුණු සිටු සෙනග ගෙන දිව අවුදින් සඳ සිසාරා සිටි සඳමඬුල්ල සේ ශ්‍රී මුඛය සිසාරා වටින් සරියන් පමණ තෙන රැළි දිදී නොයෙක් පෑයෙන් සිටගත් බ්‍යාමප්‍රභා මණ්ඩලය මැද දිලියෙන ශ්‍රි ශරීරය ඇති ව වැඩහුන්මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් දැක පස්වනක් ප්‍රීතීන් පිනා පියුම් ගබකට බස්නා රාජහංසයකු සේ ශ්‍රීපාදපද්මයට නැමී පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව හිඳගත්හ.

එකල උරුවෙල කාශ්‍යපයෝ නම් එ නුවර නැඟූ ධ්වජයක් සේ ඉතා ප්‍රසිද්ධයහ. ඒ කාරණයෙන් ඉන් සමහර පිරිසෙක් සිතන්නාහු ‘කිමෙක් දෝ හෝ මහණ භවත් ගෞතමයෝ උරුවෙල කාශ්‍යපයන් නිසා වෙසෙද්දෝ හෝ, උරුවෙල කාශ්‍යපයෝ මහණ භවත් ගෞතමයන් නිසා වෙසෙද්දෝ හෝ’යි සැක සිතුවාහු ය. බුදුරජාණන් වහන්සේ ඔවුන් සිතූ සිත් දැන මහතෙරුන් මුහුණ බලා:

කිමෙව දිස්වා උරුවෙලවාසි - පහාසි අග්ගිං කිසකෙ‘වදානො,

පුච්ඡාමි තං කස්සප එතමත්‍ථං - කථං පහීනං තව අග්ගිහුත්තං - යි.

යන මේ ගාථාව වදාරා ‘උරුවෙල කාශ්‍යපය, තාගේ පර්ෂදයෙහි සැක තෝ ම හරව’යි වදාළසේක.

එකෙණෙහි උරුවේල කාශ්‍යප නම් මහතෙරුන් වහන්සේ හුනස්නෙන් පැන නැගී බුදුන් කරා ගොස් ශ්‍රීපාදය වැඳ අවසර ඉල්වාගෙන චතුර්ථධ්‍යානයට සම වැද ආකාශයට මහ තලක් පමණ පැන නැගී නොයෙක් වාරයෙහි දුමා දිලිහි අන්තර්ධාන ව සක්මන්කොට නොයෙක් වාරයෙහි නොයෙක් ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා ලා, තව ද බුදුන් වැඳ මෙසේ ම දෙවරක - තුන්වරෙක - සතර වරෙක - පස්වරෙක - සවරෙක - සත්වරෙක බුදුන් වැඳ වැඳ, දෙතලෙක - තුන් තලෙක, සතර තලෙක - පස් තලෙක - ස තලෙක සත් තලෙක පමණ යයි ආකාශයට පැන නැගී පෙර සේ ම පෙළහර දක්ව දක්වා ආකාශයෙන් බැස බුදුන් වැඳ සිංහරාජයකු පෙරට වැ සිටි ඇත්පැටවකු සේ ආදරයෙන් නැඹුරු ව සිට ‘අඥාන වූ සත්ත්‍වෙයනි! මාගේ ස්වාමිදරුවන් හා මා හා සමකොට නො සිතව. බුදුහු මහමෙර සේ ඉතා උස්වූ නුවණ ඇති සේක. මම ලිප්කැටයක් සේ මිටි වූ නුවණ ඇත්තෙමි. බුදුහු මහමුහුද සේ ගැඹුරු වූ නුවණ ඇතිසේක. මම ගෝකුර පැන් සේ ස්වල්ප වූ නුවණ ඇත්තෙමි. බුදුහු මහ පොළොව සේ විපුල වූ නුවණ ඇතිසේක. මම තණපතක් සේ ලඝුවූ නුවණ ඇත්තෙමි. බුදුහු ආකාශය සේ ඉතා විශාරද වූ නුවණ ඇතිසේක. මම අංගුලි පර්වතයක් සේ ඉතා අක වූ නුවණ ඇත්තෙමි. බුදුහු සමපනස් යොදුන් හිරුමඬල වැනි සේක. මම කදෝකිමියකු වැන්නෙමි. බුදුහු උනු පනස් යොදුන් සඳමඬල වැනිසේක. මම දර්පණයක් වැන්නෙමි; බුදුහු සියක් යොදුන් උස ඇති පරසතුරුක වැනිසේක. මම කොබෝලිල පැලයක් වැන්නෙමි. බුදුහු යෙළ සියයක් යොදුන් ගරුඬරාජයා වැනි සේක. මම කැට කිරිල්ලක් වැනියෙමි. චක්‍රවර්ති රජකු හා චණ්ඩාලයකු හා සම කරන්නා සේ, බුදුන් හා මා හා සම නො කරව. මාගේ ස්වාමිදරුවන් නිසා සංසාරසාගරයෙන් ගොඩනැංගෙමි. බුදුහු මට මවු සේක. පියසේක. ගුරුසේක. ස්වාමිදරු සේක” යනාදීන් අප්‍රමාණ වූ බුදුගුණ එක්ලක්‍ෂ විසි දහසක් පමණ ඒ මහාසේනාවට ඇසෙන සේ කියා බුදුන් වැඳ එකත්පස් ව වැඩහුන්සේක.

එ වේලෙහි ඒ මහපිරිස මහතෙරුන් වහන්සේ කළ ප්‍රාතිහාර්‍ය්‍ය දැක ඉතා මහත් වූ සාධුකාර කොට කුල්මත් වූවාහු “බුදුහු මහානුභාව ඇතිසේක. මෙසේ වූ මිථ්‍යාදෘෂ්ටි ගෙන රහතුම්හ යි බොහෝ කලක් ඇවිද්දා වූ උරුවෙල කාශ්‍යපයන්ගේ දෘෂ්ටි බිඳ විශේෂයෙන් ම දමන ලදැ”යි ස්තුති කළහ. එ කල මාගේ ස්වාමි දරුවෝ ඒ කථා අසා ‘අද මේ මහ පිරිසට මේ අර්ථොත්පත්තියෙහි දී පන්සියපනස් ජාතකයට පළමුවන ජාතක දේශනා වූ මහා නාරක කාශ්‍යප ජාතකයෙන් බණ කියා මේ පර්ෂද දැන් ම සසරින් ගලවමි’යි සිතා වදාරා ‘උපාසකවරිනි! මොහු දැන් මතු දැමුයෙම් නොවෙමි. පෙර ත් මොහු දමා අපාය මුඛයෙන් ගැලවීමි’යි වදාරා මහ මේගබක් පළා සඳමඬලක් පානා සේ අතීත කථාව ගෙනහැර දක්වා වදාළ සේක. ඒ කෙසේ ද? යත්;