තුන්බෑ ජටිල දමනය

star_outline

මෙසේ ලෝකයෙහි එකානූවක් රහත් සඟුන් ඇතිවූකල මාගේ ස්වාමිදරුවෝ උරුවෙලා නම් දනව්වට වැඩිසේක. එහි නිල්තලා නම් ගංතෙර උරුවෙල කාශ්‍යප ය, නදී කාශ්‍යප ය, ගයා කාශ්‍යප ය යන ජටිලයෝ තුන්බෑ කෙනෙක් රහතුම්හයි කියා මිථ්‍යාදෘෂ්ටි ගෙන ලෝවැස්සන් වඤ්චාවෙන් පහදවා ලාභයෙහි යසසෙහි අග්‍ර ව වෙසෙති. එයින් උරුවෙල කාශ්‍යපයන්ගේ පන්සියයක් අතැවැසියෝ ය. නදී කාශ්‍යපයන්ගේ තුන්සියයක් අතැවැසියෝ ය. ගයා කාශ්‍යපයන්ගේ දෙසියයක් අතැවැසියෝ ය. මෙසේ මේ දහසක් දෙනම මිථ්‍යාදෘෂ්ටි ගෙන වෙසෙති. බුදුහු මොවුන් දහසක් දෙනා හේතුසම්පත් ඇති සේ දැක ‘අපායගතවූවන් නිවන් පුරයෙහි ලමි’යි උපන් මහා කරුණා ඇති ව එදා ඒ උරුවෙල කාශ්‍යපයන්ගේ පන්සලට වැඩ “කාශ්‍යපයෙනි! තොපගෙන් අවසර ලදුමෝ නම් තොපගේ මේ ගිනිහල් ගෙයි අද එක රෑ සැතපෙනු කැමැත්තම්හ”යි වදාළ සේක.

එ කල උරුවෙල කාශ්‍යපයෝ කියන්නාහු ‘මහණ භවත් ගෞතමයෙනි! තපස් චීවරයන්ට අවසර දීම අප සේ වූ තපස්වීවරයන්ට සුදුසු ම ය. එසේ ද වී නමුත් ගිනිහල් ගෙයි විෂඝෝර වූ නාග රාජයෙක් වෙසෙයි. ඒ අප රහත් හෙයින් අපට කිසිවකුත් නො කෙරෙයි. නො රහත් වූ තොප වැනි සොඳ රුවක් ඇති මහණ කෙනෙකුන්ට උපද්‍රවයක් කෙළේ නම් අලාභ වේදැ’යි කීහ. බුදුහු එ බස නො ඇසූ කන් ව ‘තොපගෙන් අවසර ලදුමෝ නම් මේ ගිනිහල් ගෙයි ම සැතපෙනු කැමැත්තම්හ’යි දෙවනුවත් වදාළසේක. තව ද උරුවෙල කාශ්‍යපයෝ ‘භවත් ගෞතමයෙනි! ඒ ගිනිහල් ගෙයි ලැගීමෙන් අපට කිසිවක් නැත. ඒ නාගරාජයා ඉතා දරුණු වූ විෂ ඇත්තේ ම ය’යි කීහ. එ බසට ස්වාමිදරුවෝ තුන්වනු ව වදාරණ සේක්: ‘නයින්ගේ දැඩිකම් නො කියා අද එක රැයට ගිනිහල් ගෙය අපට අවකාශ කරව’යි වදාළසේක. බුදුන්ට තුන්වන වාරයෙහි උත්තරයක් කී සතකු ඉස සත් කඩක් ව පැළෙන හෙයින් කාශ්‍යපයෝ අනිකක් කියාගත නොහී නයාගේ දැඩිකම් ම කීහ. ඉක්බිත්තෙන් බුදුහු ‘නයිගේ බල නොකියා තොපගේ ගිනිහල්ගෙය අපට අවසර දෙව’යි වදාරා උන්ගෙන් අනුදන්වා ගෙන නා විමනකට වදනා ගරුඬරාජයක්හු සේ නිර්භීත ව ඒ ගිනිහල්ගෙට වැද බුද්ධාසන පනවා පලක් බැඳ වැඩ උන්සේක.

ඉක්බිති නාගරාජතෙම ගිනිහල්ගෙයි වැඩහුන් බුදුන් දැක ‘ඇතකු කරා පැමිණි උන්මත්තකයකු සේ මාගේ භවනයට අවුදින් මා අභිමාන මැඩ තමාගේ ගෙයක සේ හිඳගත් මොහු කවරෙක්දැ’යි කිපී බුදුන්කරා විෂධූමහරණයට වන. ස්වාමිදරුවෝ ‘මම ද එක විෂ ධූමයක් හළිම් නම් එක නයකු තබා මුළු ලොව මකුළු හුයක් සේ දායෙයි. එසේ ද වුවත් මොහුගේ අභිමාන මැඩ දැමු ව මනාවේදැ’යි සිතාලා ‘මාගේ ශරීරයෙන් නික්මුනා වූ දුමින් මුළුලොව කිසි සතකුටත් මේ ගෙයි වසන මැසි මදුරු කුරු කුහුඹු ආදී සියලු සතුන්ටත් උපද්‍රවයෙක් නො වෙව’යි අධිෂ්ඨාන කොටලා පිදුරු කලවිටෙක ගිනි ලූ කලක් සේ ශ්‍රි ශරීරයෙන් දුම් කඳු හරණට පටන්ගත් සේක. ඒ දුම්කඳු නයිගේ විසඳුම් ඔබා ඔහුගේ ඡවිමාංසයට හානියක් නො කොට පෙළන්නට පටන්ගත. ඉක්බිත්තෙන් නාග රාජයා මුඬුමහණහු ගින්නෙන් දවාපියමි යි සිතා බුදුන් කරා ගිනිකඳ හරණට පටන්ගත. එ කල බුදුහු තේජෝ කසිණ සමාපත්තියට සමවැද ලා ඕහට වඩා ශතසහස්‍ර ගුණයෙන් ශ්‍රී ශරීරයෙන් ගිනිකඳු නඟන්නට පටන්ගත් සේක. එ වේලෙහි සියලු ගිනිහල් ගෙය ගිනිගෙන දිලියෙන සේනක් සේ පෙනී සියලු ආශ්‍රමය ඒකාලෝක විය. ඒ ගිනි දුටු උරුවෙල කාශ්‍යපාදි ජටිලයෝ ‘තෙලෙ නාගරාජයා හළ ගිනිකඳ ය. මහණ භවත් ගෞතමයන්ගේ රන්කඳක් වන් ශරීරය අද දා නස්සි. අප කියමන් නො ගත්හ. ඉතා ගත්නැගි කෙනෙකැ’යි කිය කියා සිටියහ.

මෙසේ ස්වාමිදරුවෝ තමන් වහන්සේගේ ගින්නෙන් නයි හික්මවා අභිමාන ශූන්‍යෙකාට ශ්‍රී හස්තය දිගුකොට, දළ මුත්හරක් හයා ගන්නා සේ සමන් මල් දමක් හයා ගන්නා සේ, නාග රාජයා හයාගෙන ඉඳුනිල් මිණි කරඬුවෙක රිදී සවඩියක් ලන්නා සේ, පාත්‍රධාතු ව ඇතුළෙහි දරණ ලා විෂ නැතිකොට හොවා ලා උදාසන උරුවෙල කාශ්‍යපයන් කැඳවා ලා “ඊයේ තොප ආනුභාව කී නාගරාජයා වැදහොත් ලෙස් බලව’යි දක්වා වදාළසේක. එ කල නාගරාජයා බුදුන්ගේ ශ්‍රි මුඛය ප්‍රේමයෙන් බල බලා ඇකිළි ඇකිළී හොත්තේ ය. ඒ ප්‍රාතිහාර්යය දැක උරුවෙල කාශ්‍යපයෝ “මේ මහණ භවත් ගෞතමයෝ අප සේ ස්වසන්තාන දමනය කොට රහත්වන සේ නො දන්නා බව මුත් නයින් දමන්නා වූ ආනුභාව ඇතියහ’යි කියා රහත්ගුණ තමන් කෙරේ ම තබා දුටහ.

තව ද බුදුහු ඔහුගේ ලය මොළොක් නො වූ සේ දැක තව වද ප්‍රාතිහාර්ය දක්වනු කැමැති ව ඔහුගේ ම පන්සල අනික් නයකුදු එසේ ම දමා පාත්‍රා ධාතුවෙහි ලා පැසේක. එ දවස ද ඒ ප්‍රාතිහාර්යය දැක උරුවෙල කාශ්‍යපයෝ ‘රහත් ගුණය මා කෙරෙහි ම පිහිටියේ ය. නයින් දමන්නා වූ සෘද්ධි භවත් ගෞතමයන් කෙරෙහි පිහිටියේ ය’යි කීය. තව ද එක් දවසෙක බුදුහු කාශ්‍යපයන්ගේ පන්සලට නුදුරු වූ එක් තෙනෙක රාත්‍රියෙහි වැඩහුන්සේක. එකල වරම් රජදරුවෝ සතරදෙන තුන්ගව් උස දිව්‍ය ශරීරයෙන් දිලිහි දිලිහී අවුදින් බුදුන්ට සතරදිග රකවල් ගෙන සිට ගත්හ. බුදුහු පාන් ඇගෑ සතරක් මැද දිලියෙන රන් දාගබක් සේ ශ්‍රිමත් ව වැඩහිඳ ඔවුන්ට බණ වදාළ සේක. ඉක්බිත්තෙන් පාන් වූ කල උරුවෙල කාශ්‍යපයෝ බුදුන් කරා අවුදින් ‘මහණ භවත් ගෞතමයෙනි! වළඳන්නට අවමැනව. ඊයේ රෑ රන්වන් රස් විහිදුම් විහිදුවා තමන් කරා අවුදින් සතර දිග සිට බණ ඇසුවෝ කවුරුදැ’යි විචාළහ. එ බසට බුදුහු කාශ්‍යපයෙනි, වරම් රජදරුවෝ සතරදෙනය’යි වදාළ සේක. ඒ ප්‍රාතිහාර්යය දැක ද උරුවෙල කාශ්‍යපයෝ ‘තොපගේ වරම් රජ දරුවෝ අප කරා නො එත් ම ය. අපගේ රහත්ගුණ තොප කරා නො එත් ම ය’යි කීහ.

තව ද එක් දවසෙක ශක්‍රයෝ දෙදෙව්ලොව දෙවියන් පිරිවරා අවුදින් බුදුන් වැඳ බණ අසා ගියහ. අනික් දවසෙක මහාබ්‍රහ්මයෝ අවුදින් බුදුන් දැක වැඳ බණ අසා ගියහ. එදා ද උරුවෙල කාශ්‍යපයෝ විචාරා දැන ‘මහණ භවත් ගෞතමයෙනි! තොප ශක්‍ර බ්‍රහ්මයන් අතිනුත් වැඳුම් ගන්නා තැනැත්තන් අප සේ රහත් නො වන්නේ නො යෙදෙ’යි කීහ. තව ද එක් දවසෙක අගු මගධ දෙරට වාසීහු පූජාසත්කාර ගෙන උරුවෙල කාශ්‍යපයන් කරා අවුත් වන්හ. උරුවෙල කාශ්‍යපයෝ එ දා සිතන්නාහු ‘මහණ භවත් ගෞතමයෝ මහත් වූ ආනුභාව ඇතියහ. මනොහර වූ රූ ඇතියහ. මේ මනුෂ්‍යයන් මධ්‍යයෙහි ආනුභාවයක් දක්වාලු නම් අප හැම තවුස් වෙස් ගත් වඳුරන් කොටත් නොතකති. භවත් ගෞතමයෝ අද මෙතැනට නො අවු නම් යෙහෙකැ‘යි සිතූහ. ස්වාමිදරුවෝ ඔහු සිතූ සිත් දැන ඔහු දමා ගන්නා තෙක් ඔහු කැමැති කැමැති දෙයක් ම කෙරෙමි යි සිතා එ දවස් උදාසන උතුරුකුරු දිව් වැඩ අහර පිළිගෙන අනවතප්ත නම් විලට වැඩ එහි දී වළඳා මෙසේ තුන් දවසකින් ඔහුගේ පූජාව නිමිකල නැවත ඒ පන්සලට ම වැඩිසේක. ඉක්බිත්තෙන් උරුවෙල කාශ්‍යපයෝ උදාසන බුදුන් කරා ගොස් ‘භවත් ගෞතමයෙනි! අද වළඳන්ට අව මැනව. ඊයේ පෙරෙවිදා අගු මගධ දෙරට වාසීහු අපට මහා පූජාවක් කොට මහා දානයක් දුන්නාහු ය. අපි එ කල තමන් සඳහන් කළම්හ. ඊයේ පෙරෙවිදා කොයි ගිය නියා දැයි කීහ. මාගේ බුදුරජාණන් වහන්සේ එ බසට සිනා පහළ කොට උරුවෙල කාශ්‍යපයෙනි! සෙසු ලෝ වැස්සන්ට කියන වඤ්චා මට නො කියව. මම තොප තබා සියලු සත්ත්‍වලෝකයෙහි කුහුඹුවා පටන් මහා බ්‍රහ්මයා දක්වා සියලු සතුන් සිතූ සිත් දනිමි. තොපගේ ම අදහස් දැනය මා නො ආයේ යි වදාළ සේක. ඒ ප්‍රාතිහාර්යය දැකද උරුවෙල කාශ්‍යපයෝ ‘භවත් ගෞතමයෝ පරසිත් දන්නා බව මුත් අප සේ රහත් මග නො දනිති’යි කීහ.

තව ද එ සමයෙහි බුදුන්ට පාංශුකූල චීවරයෙක් අපන, ඒ කල බුදුහු මේ සිවුර කොයිදී සෝදම්දෝ හෝ යි සිතා වදාළ සේක. ඒ සිත හා සමග ශක්‍රදේවේන්‍ද්‍රයා අවුදින්, නඳුන් පොකුණ සේ මනෝහර වූ පොකුණක් හා, විසිතුරු පියගැට පඞ්ක්ති හා, සිවුර ගසන්නට සුදුසු වූ පාණක් හා, සිවුර වනාලන්ට මනෝහර වූ ගලතලක් හා මවාලීය. ඒ වෙනෙහි වන දේවතාවා බුදුන් පොකුණට බස්නා කල එල්බගන්නා පරිද්දෙන් පොකුණුතෙර ගසෙක අත්තක් නමා පැලී ය. බුදුහු ඒ පොකුණෙහි දී සිවුර සෝදා වදාළසේක. ඉක්බිත්තෙන් උදාසන උරුවෙල කාශ්‍යපයෝ තමන්ගේ අසපුවෙහි ඉන්‍ද්‍රජාලයක් සේ මැවී තුබූ පොකුණ හා පාන හා ගලතල හා ගසින් නැමීගිය අක්ත දැක මහා ආශ්චර්යයවත් ව බුදුන් අතින් විචාරා ශක්‍රයා මැවූ බව අසා ‘මහණ භවත් ගෞතමයන්ගේ අසාධාරණ වූ සෘද්ධි දවසින් දවස වඩ වඩා දකුම්හ. අප සේ රහත් ගුණයක් නුදුටු විරුමෝ ම ය’යි කීහ.

තව ද එක් දවසෙක උරුවෙල කාශ්‍යපයෝ බුදුන් වැඩහුන් තැනට ගොසින් ‘භවත් ගෞතමයෙනි! වළඳන්නට අව මැනව’යි කීහ. බුදුහු ‘අපි එම්හ, තෙපි යව’යි කියා කාශ්‍යපයන් පළමුකොට යවා සරසනක් පමණ තෙන තුබූ භෝජන ශාලාවට උන් නොයන තුරු තමන්වහන්සේ අසුරුසනකින් හිමාලය වනයට වැඩ දඹ දිවට සලකුණු වූ සියක් යොදුන් උස මහ දඹගසින් දඹපාත්‍රයක් ගෙන උරුවෙල කාශ්‍යපයන්ට පළමුකොට ගොස් ශාලාවේ වැඩහුන් සේක. එකල කාශ්‍යපයෝ ‘මහණ භවත් ගෞතමයෝ එද්දෝ හෝ නො එද්දෝ හෝ”යි සිත සිතා ශාලාවට ගොස් පළමුව ගොස් වැඩහුන් බුදුන් දැක ආශ්චර්යයවත් ව ‘භවත් ගෞතමයෙනි! මට පසුව අවුත් කවර ඇසිල්ලෙක පළමුව අවුත් වැඩහුන්නේදැ’යි විචාළහ. එවිට බුදුහු වදාරණසේක් ‘කාශ්‍යපයෙනි! තොප එවාලා අපි මහදඹ අසට ගොස් දඹ ගෙන අවුදින් උනුම්හ. තව ද මේ ආශ්චර්ය නො වෙයි. තොප මෙතනට එන අතුරෙහි සිතුමෝ නම් සතිස්ලක්‍ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් වට ඇති සක්වළ ගල වටා ලක්‍ෂ ගණන් වාරයෙහි සිසාරා ඇවිදපියා මෙ තෙනට එන්ට පොහොසතුම්හ’යි වදාළ සේක. එ බසට උරුවෙල කාශ්‍යපයෝ අප සේ නිවන් මඟ දිවන සේ නොදන්නා බව මුත් නිකම් ගමන් යාමෙහි ඉතා දක්‍ෂයෝය’යි කීහ.

තව ද මෙසේ ම මොහු අද දමා ගනිමි”යි සෙට දමා ගනිමියි සිත සිතා දවසෙක එම හිමාලයෙහි අභ්‍යන්තරයෙන් අඹ ගෙන වුත් පෑ සේක. එහි ම දිව්‍ය වූ ඇඹුලගසින් ඇඹුල ගෙනවුත් පෑ සේක, තව ද දවසෙක දිව්‍ය වූ අරළු ගසින් අරළු ගෙනවුත් පෑ සේක. දවසෙක තවුතිසා භවනයට වැඩ ශක්‍රයාගේ පරසතු ගසින් මදාරා මල් ගෙනවුත් පෑ සේක. ඒ ඒ ප්‍රාතිහාර්යයෙහි උරුවෙල කාශ්‍යපයෝ ‘භවත් ගෞතමයෝ අපගේ රහත් ගුණ නැති බව මුත් ශීඝ්‍ර ගමන් දන්නා සෘද්ධි ඇත්තේය’යි කීය. තව ද එක් දවසෙක ගිනිදෙවියාට පූජාවක් කරම්හ යි සිතාලා උරුවෙල කාශ්‍යපයන්ගේ පන්සියයක් ජටිලයෝ පන්සියයක් පොරෝ ගෙන එක විට ම දර පළන්ට පටන් ගත්හ. එදා බුදුහු ‘මේ දර එකෙකුත් නො පැළේව යි අධිෂ්ඨානකොට වදාළ සේක. ඒ අධිෂ්ඨානය හා සමගම සමහරු එළා ලූ පොරෝ තුඹපත් සේ වක් ව ගිය. සමහරෙක් කිල ගැසුවා සේ දරදණ්ඩේ ම ඇලී ගිය. ඔසවා ගන් පොරෝ එළා ලිය නො හී සමහරෙක් සිතියම්කළ රූ සේ ම සිටියහ. එක දඬෙකුත් නො පැළෙයි ජටාධරයෝ මේ මහණ භවත් ගෞතමයන් කළ අධිෂ්ඨානයෙක් උවමැනවැ’යි සිතූහ. එ කල බුදුහු කාශ්‍යපයන් මුහුණ බලා ‘කිමෙක් ද කාශ්‍යපයෙනි, දර පැළුව මනාදැ යි වදාරා ‘එසේය! භවත් ගෞතමයෙනි! දර පැළුව මනාය’යි කී කල දර පැළේව යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එකෙණෙහි ඔසවා ගත් පොරෝ නො එළන තෙක් පන්සියයක් දඬු තෙමේ ම පැළී ගියේ ය. ඒ ආශ්චර්යය දැක උරුවෙල කාශ්‍යපයෝ කියන්නාහු මහණ භවත් ගෞතමයෝ අප සේ කෙලෙස් පලා රහත්වන සේ නො දන්නා බව මුත් දර පලා ප්‍රාතිහාර්යය පානා සේ ඉතා දක්‍ෂයෝම ය’යි කීහ.

තව ද එක් දවසෙක පන්සියයක් ජටිලයෝ යාගයට ගිනි දල්වන්නාහු, බුදුහු ‘ගිනි නො දැල්වෙව’යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එ කල දියෙහි ගැලූ පිදුරු කැරැල්ලෙක ගිනි නො ඇවිලෙන්නා සේ ගිනි නො දැල්වේ ම ය. දුම් කඳු නැගේ ම ය. පන්සියයක් දෙන ඇග ඩා වගුරුව වගුරුවා පත් සලා ගිනි දල්වා ගත නො හී ‘මේ භවත් ගෞමයන්ගේ අධිෂ්ඨානයෙකැ’යි සිතූහ. එ කල බුදුහු ‘කාශ්‍යපයෙනි ගිනි ඇවිලෙනු කැමැත්තෝ දැ” කියා විචාරා ‘එසේය භවත් ගෞතමයෙනි! ඇවිලෙනු කැමැත්තෙමි’ යි කී කල බුදුහු ගිනි ඇවිලෙයි අධිෂ්ඨානකොට වදාළ සේක. එ කෙනෙහි තෙල් තළ නමා ලුවා සේ ගිනි තෙමේ ම ඇවිල පැනනැංග. ඒ ප්‍රාතිහාර්යය දැක කාශ්‍යපයෝ කියන්නාහු ‘රහත්ගුණ අප කෙරේ ඇති සේ භවත් ගෞතමයන් කෙරෙහි ගිනි දල්වන්නාවූ ආනුභාව විශේෂ ඇතැ’යි කීහ.

තව ද එම දා යාගකොට නිමිකල පන්සියයක් ජටිලයෝ ගිනි නිවන්නට පටන් ගත්හ. බුදුහු ‘ගිනි නො නිවේව’යි අධිෂ්ඨානකොට වදාළ සේක. ජටිලයන් ගඟින් පැන් කළ සලත් සලත් තෙල්කළ සලන්නා සේ, ගිනි බුර බුරා නැඟේම ය. එ වේලෙහි ද බුදුහු ‘කාශ්‍යපයෙනි! ගිනි නිවමෝදැ’යි වදාරා යහපතැ යි කී කල ගිනි නිවේව යි අධිෂ්ඨානකොට වදාළ සේක. එ කෙනෙහි ගිනි තෙමේ ම අන්තර්ධාන විය. ඒ ප්‍රාතිහාර්යය දැක උරුවෙල කාශ්‍යපයෝ මේ මහණ භවත් ගෞතමයෝ ‘අප සේ රහත් ව කෙලෙස් ගිනි නිවන සේ නොදන්නා බව මුත් නිකම් ගිනි නිරායාසයෙන් නිවන සේ දත් මැයි කීහ. තව ද එක් දවසෙක පන්සියයක් ජටිලයන් ඒ නිල්තලා හොයට බැස නහා ශීතයෙන් වෙවුල වෙවුලා සිටි වේලෙහි බුදුහු පන්සියයක් ගිනිකබල් මවා පන්සියයක් ජටිලයන්ට පෙරට ඉන්‍ද්‍රජාලයක් සේ දක්වා වදාළ සේක. ඒ ආශ්චර්යය දැක උරුවෙල කාශ්‍යපයෝ ‘අනුන්ගේ ශීත දුක් නසා ගිනිකබල් තබන සේ දන්නා බව මුත් තමන්ගේ සසර දුක් නසා රහත්වන සේ නො දනිති’යි කීහ.

තව ද එක් දවසෙක අකාල මේඝයක් නහාලා ඒ ගඟ මහ වතුරෙක් දිව හැම වල් ගලාගෙන නික්මිණ. බුදුන් වැඩඋන් ලැහැබත් ගලා දිවෙයි; එ වේලෙහි ස්වාමිදරුවෝ ‘දියවතුර මාගේ ළඟට නො වැද සිසාරා රිදී පවුරක් සේ සිටී ව’යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එ කල වතුර බුදුන්ගේ සක්මන හැරලා සතර අත සතර මහපවුරක් සේ සිටගත. බුදුහු පූර්වසාගර පල්ලට බැස රුවන් වැල්ලෙහි සිටගත්තා වූ චක්‍රවර්ති රජක්හු සේ දියෙහි නොගැවි දසදිග් නොබලා සක්මන්කොට වදාළ සේක. එ වේලෙහි උරු කාශ්‍යපයෝ ‘මහණ භවත් ගෞතමයෝ වතුරෙන් ගියෝ නම් නපුරැ’යි කියා ලා ඔරුවක් පැදගෙන වහ වහා දිවගෙන ගොස් රිදී ගුහාවෙක සිටිනා සිංහපොව්වකු සේ දිය මධ්‍යයෙහි වැඩ සිට සවණක් රසින් දිලියෙන බුදුන් දැක ‘මහණ භවත් ගෞතමයෝ අප සේ රහත් ව තෘෂ්ණා වතුර රඳවන සේ නො දන්නා බව මුත් දියවතුර රැඳවීමට උන් හා සමාන කෙනෙක් නැතැ’යි කීහ.

ඒ සා වතුර මාගේ ස්වාමිදරුවන්ගේ ශ්‍රී ශරීරය තෙත් කළ නහනවා සේ ම මේ සා පෙළහරක් දැක ද උරුවෙල කාශ්‍යපයන්ගේ ලයත් තෙත්කළ නුහුනුයේ ම ය. එ කල ‘භවත් ගෞතමයෙනි! මේ ඔරුවට පැනනැංග මැනවැ යි කී බස හා සමග බුදුහු ඔරුවේ පෙණී ගොඩට වැඩ බුද්ධාසනයෙක වැඩහිඳ සිතා වදාරණ සේක්: කිමෙක් දෝ, මේ උරුවෙල කාශ්‍යපයා මෙතෙක් දා මුළුල්ලෙහි මා විසින් පානාලද දර නො පැළීමෙන් පන්සියයෙක, දර පැළීමෙන් පන්සියයෙක, ගිනි නො දැල්වීමෙන් පන්සියයෙක, ගිනි නො නිවීමෙන් පන්සියයෙක. ගිනි නිවීමෙන් පන්සියයෙක, ගිනි කබල් මැවීමෙන් පන්සියයෙක, ප්‍රථම නාග සමනයෙන, ද්විතීය නාගදමනයෙන, වරමුන්ගෙන ශක්‍රයාගෙන, බ්‍රහ්මයන් ගෙන, පරසිත් දැන්මෙන, පොකුණෙන, ගළ තලින, ශාඛායෙන, අඹයෙන, දඹායෙන, ඇඹුලෙන, අරළුයෙන. මදාරා මලින, දිය වතුරෙනැ යි තුන්දාස් පන්සිය සොළොසක් ප්‍රාතිහාර්යය දැකගත් තමා රහත්මි යි යන මිථ්‍යාදෘෂ්ටිය නො හරණේ ම ය; මොහුගේ මිථ්‍යාදෘෂ්ටි නමැති ව්‍යාධියට සෙසු පිළියමින් කම් නැත. මාගේ සද්ධර්ම නමැති දිව්‍ය ඖෂධ ය කොට මොහු ගොඩ ගනිමි යි සිතාලා මුඛ නමැති කරඬුයෙන් නික්මුනා වූ සුවඳ ගඳින් සියලු වනලැහැබ සුවඳ කෙරෙමින් මධුර ස්වර විහිදුවා ධර්මදේශනාවට පටන්ගත් සේක.

එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන් ආකාශ ගඞ්ගාව ගෙනහැර දක්වන්නා සේ, මහා නිධාන වස්තුවක් ගෙනහැර දක්වන්නා සේ, තමන්ගේ චාරිත්‍රානුකූල වූ පරිද්දෙන් දේශනා කරත් කරත් යෙළ දහසක් පමණ කෙළෙසුන් නසා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටා අන්‍ධකාරයෙක පානක් නැගුවා සේ, මොලොව මේ ය, පරලොව මේ ය, බුදුහු නම් මොහු ය, සද්ධර්මය නම් මේ ය, රහත්තු නම් වූ ය, නො රහත්තු නම් වූ යයි විශේෂයෙන් දැක බුදුන්ගේ ශ්‍රී පාදය තමන් හිස්මුදුනෙහි තබාගෙන දතිමි ස්වාමීනි! හැඳින්නෙමි ස්වාමීනි! ශුද්ධෝදන රජ්ජුරුවන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ නම් නුඹ ද? එදා මහාමායා දේවීන් කුසින් බිහිවූ සේක් මහාබ්‍රහ්මයා අත රන්දැලට වැඩිසේක් නුඹ වහන්සේ ද? කාළදේවළයන්ගේ ජටාන්තරයෙහි එ දවස් පෙනී ගියේ මේ ශ්‍රීපාදය ද? වසවත් මරහු පැරද පලාගියේ නුඹ බුදුවූ දා ද, මහපොළොව ගිගුරුයේ නුඹ සවනේ දත් වේලෙහි ද? බුදුව පළමු කොට ගැත්තවු ම දැක වදාළසේක්ද? නුඹ බුදුකෙනෙක් නොවෙයි. බුදු වෙසින් මා කරා ආ මට මෑණි කෙනෙක. පියාණ කෙනෙක. ගුරු කෙනෙක. කල්‍යාණ මිත්‍ර කෙනෙක. මෙතෙක් දවස් නුඹ බුදුවූ බව නොදත්තෙමි. නො හැඳින්නෙමි. ගැත්තවූ නො දැන කළ වරද ක්‍ෂමාකොට වදාළ මැනව ස්වාමීනි”යි යනාදීන් බුදුන්ට ස්තුති කිය කියා ‘දැන් ම ස්වාමීනි! ගැති මහණවනු කැමැත්තේ ය”යි ආරාධනා කළහ.

එ බසට බුදුහු ‘කාශ්‍යපයෙනි! තොපගේ පර්ෂදයෙහි හා අදහස් දනුව’යි වදාළ සේක. උරුවේල කාශ්‍යපයෝ එ වේලෙහි පන්සිය යක්ජටිලයන් කරා ගොසින් ‘දරුවෙනි! අපගේ ආශ්‍රම පදයෙහි මෙතෙක් දවස් වෙස්වළා හුන් සේක් ලොවුතුරා බුදුහු ය. දැන් මම දතිමි. හැඳින්නෙමි. බණ ඇසීමි. බුදුන් කෙරෙහි මහණ වෙමි. තෙපි කුමක් කරාදැ’යි විචාළහ. පන්සියයක් දෙන ම නුඹ මහණ වතොත් අපිදු මහණවම්හ යිකියා ජටාමඬුලු හා පන්සියයක් තවුස් පිටිකර ගඟ දියට දමා බුදුන් කරා දිව අවුදින් බුදුන් පිරිවරා සිටියහ. එ වේලෙහි ස්වාමිදරුවෝ පන්සියයක් දෙනාගේ චරිත බලා බණ වදාරා සෝවාන් කොට හැමදෙනම ඒහිභික්‍ෂුභාවයෙන් මහණ කළ සේක.

ගඟදියෙහි යන ජටාමඬුලු හා තවුස් පිරිකර යටි ගඟ වසන නදීකාශ්‍යප-ගයාකාශ්‍යප දෙබෑයෝ දැක පන්සියයක් ජටිලයන් හා සමග අවුදින් මෙ පවත් දැන තුමූ ද ජටාමඬුලු කපාදමා බුදුන් දැක බණ අසා සෝවාන් ව ඒහි භික්‍ෂුභාවයෙන් ම පැවිදිවූහ. මෙසේ බුදුරජාණන් වහන්සේ ගයා නම් ගං හිස ගයා නම් පර්වතය මුදුනට ගෙන ගොස් එහිදී ආදිත්‍යපර්‍ය්‍යාය නම් වූ සූත්‍ර දේශනාව කොට දහසක් දෙනා වහන්සේ ම රහත් කළ සේක.

ඒ කාශ්‍යප තුන් බෑ ආදි වූ දහසක් දෙනා වහන්සේ පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදුසස්නෙක මහණවැ සසරින් ගැලවී නිවන් දුටුසේක් ද? යත්; මෙතෙනට දෙයානුකපකින් යට උපන් ඵුස්ස නම් බුදුන් සමයෙහි මේ තුන් බෑයන් වහන්සේ ඒ බුදුන් සුළු මවුන්ට දරු ව මුල්වූ තුන්බෑ රජ කුමරු ව තුන්මසක් බුදුන් පවරා මෙම පන්සියය, තුන්සියය, දෙසියය. මහා අමාත්‍යයන් දහස හා සමග මහදන්දෙන්නාහු ඒ දහය හා සමග ම ඒ තුන් මස මුළුල්ලෙහි සිල් රක්‍ෂාකළාහු ය. ඒ පිනින් ඒකානූකපක් මුළුල්ලෙහි දිව්‍ය ලෝක මනුෂ්‍යලෝක සුවවිඳ එක්ව ම ඇවිද මෙ කල අප බුදුන්ගේ ශාසනයෙහි මහණ ව අමා මහ නිවන් දැක සසරින් ගැලවුනුසේකැ යි දතයුතු.