මේ යසාදි පස් පනස් යහළුවෝ ද පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදු උතුමාන කෙනකුන් දැක සසරින් ගොඩනැංගාහු ද? යත්; පෙර එක් කලෙක මේ පස්පනස් දෙන දැන් සේ ම යහළුව ඇවිදිනාහු දැරි ඇති ගැහැණියක අනාථ ව මිය වන මැදෙක වැදහොත්තිය දැක ඈ කෙරෙහි කරුණා උපදවා පින් නිසා දරසෑයක් බැඳ ඈ දවන්නාහු මිනිය දන වේලෙහි ඈ ඇගින් දදා නැඟෙන බුබුලු දැක බුබුලු ගැසුනු වේලෙහි පොතු ගැලවුනු කුකුළලයක් සේ සර්වාඞ්ගය සුදුවන සේ දැක අනිත් ලකුණු උපදවා මේ සියලු සතුන්ගේ ම ධර්මයෙකැ යි තිලකුණු මෙනෙහි කළහ. මෙසේ ඒ ජාතියෙහි මිනිය දවාපු පිනින් දිව්‍ය මනුෂ්‍ය ලෝකයෙහි සැරිසරා ඇවිද මේ බුදුන් සමයෙහි අපමණ කල් සුව සැපත් විඳ පස් පනස් යහළුවෝ එක්ව කළ පිනින් බරණැස ඉපද අප බුදුන් දැක සෘද්ධිමය වූ පාත්‍ර සිවුරු ලදින් මේ පස්පනස් දෙන ම අමාමහ නිවන් දැක සසරින් එතෙර වූහ යි දතයුතු. මෙසේ ලෝකයෙහි බුදුන් හා සමග එක් සැටක් මහ රහතන් පහළ වූ කල ස්වාමි දරුවෝ වප්මස මැදි පොහෝ දා වස් පවරා සැට මහ රහතන් ළඟට කැඳවාලා:
පරත්‍ථඤ්චත්තනො අත්‍ථං - කරොන්තා පඨවිං ඉමං,
බ්‍යාහරන්තා මනුස්සානං - ධම්මං චරථ භික්ඛවො, යි.
යනාදීන් අවවාද දී “මහණෙනි, මේ ලෝකයෙහි සත්ත්‍වයෝ බුදුරුවන් ලොව පහළ වූ බව නො දනිති. තෙපි හැම දෙදෙනෙක් එක මඟ නො යව. සැටදෙන වෙන වෙන සැට මාර්ගයෙකින් ගොසින් ගිය ගිය දෙස දුටු දුටු සත්ත්‍වයන්ට මා උපන් පරිදි කියා ලෝකාර්ථචර්‍ය්‍යා කරව. ‘සත්ත්‍වයෙනි, සර්වඥ නමැති මහ පියුමෙක් නැගී සදහම් නමැති රොන්සළා දෙමින් සිටියේ ය. සර්වඥ නමැති ආකාශයෙහි සද්ධර්ම නමැති ආකාශ ගඞ්ගාව ධාරානිපාතව වසිමින් සිටියේ ය. සර්වඥ නමැති මහානිධානයෙක් පෙනී දහම් නමැති නවරුවනින් දිලියෙමින් සිටියේ ය. සර්වඥ නමැති කප්රුකෙක් පැන නැගී දහම් නමැති මහ සැපත් දෙමින් සිටියේ ය. සර්වඥ නමැති දිවාකරයෙක් පැන නැඟී මෝහ නමැති අන්‍ධකාරයෙන් දූරීකරණය කොට සද්ධර්ම නමැති මහ රස්කඳ විහිදුවමින් සිටියේ ය’යි යනාදීන් අවවාද දී සත්ත්‍වයන් බුද්ධ දර්ශනයෙහි ලෝභ වඩව”යි වදාරා සැටදෙනා වහන්සේ සැට මාර්ගයෙකින් යවා තමන් වහන්සේ එකලාව නික්මුණු අමා ගංගාවක් සේ උරුවෙලා නම් දනව්වට වඩනාසේක් අතුරුමග එක්තරා එක් රුකක් මුල සවණක් රසින් දිලිහි දිලිහී ජම්බුනදියෙහි ජාත ස්වර්ණාඞ්කරයක් සේ ලීලාසම්පන්නව වැඩහුන් සේක.