ඥාති ප්‍රේතයන්ගේ පැමිණීම

star_outline

බුදුන් වේළුවනාරාමය පිළිගෙන වසන කල තුන් බුද්ධාන්තරයක් බත් පැන් නො ලත් සුවාසූදහසක් ප්‍රේතයෝ අවුදින් බුදුන් දැක බත් පැන් ලදින් සුඛිත වූහ. හේ කෙසේ ද? යත්;

පෙර දෙයානුවන කප යට කී ඵුස්ස නම් බුදුන්ට තුන්බෑ රජුන් තුන්මසක් පවරා දන් දෙන සමයෙහි ඒ දන් පිසුවෝ සුවාසූදහසක් සත්ත්‍වයෝ ය. ඔහු දන් පිසන කල ආදි මුඛයෙහි දවස් භය ඇති ව දන් පිසුවාහු ය. පසුවත් පසුවත් දරුවන් අඬන වේලෙහි බාල දරුවන්ට දුන්නෙන් වරද නැතැ යි කිය කියා අග්‍ර භෝජනය දරුවන් කවති. වළඳවා ඉතිරි පසය වරද නැතැයි කිය කියා තුමූ ද කති. මෙසේ කකා පසුව පසුව සරු නැති ව දුක් ගන්නන් කෑයෙන් වරද නැතැ යි කිය කියා දන්වැට අග්‍ර භෝජනයක් කෑවාහු ය. ඒ දන්වැට කෑ පවින් ඒ සුවාසූ දහසක් දන් පිසූ පරිවාර ජනයෝ ඒකානු කපක් මුළුල්ලෙහි නරක දුක් විඳ මේ භද්‍රකල්පයෙහි ප්‍රේත ලෝකයෙහි ඉපද බත් නො ලදින් පැන් නො ලදින් ඇවිදිනාහු, පළමුව බුදුවූ කකුසඳ නම් බුදුන් බුදුවූ දා මොහොතක් කල් බුද්ධානුභාවයෙන් සා දුකින් මිදී නැවත ක්‍ෂුධාව වැද ගත් වේලෙහි ‘මේ උතුමා බුදු වූ පමණෙකින් මොහොතක් කල් අප සා දුක් නිවීය. ඔහු කරා ගියමෝ නම් බත් ලැබ ප්‍රේතදුකින් මිදෙම්හ’යි කියා සුවාසූදහසක් ප්‍රේතයෝ බෝමැඩට දිව ගොසින් පෙනී “ස්වාමීනි! මේ කප අටගත් දා පටන් බත් උළක් ඇසිනුත් නුදුටුම්හ. පැන් බින්දුවකුත් නො ලදුම්හ. සා පිපාසයෙන් වෙවුලම්හ. අපගේ සා දුක් නිවුව මැනවැ”යි යාච්ඤා කළහ.

එ කල බුදුහු ඔවුන්ට බතක් තමන් වහන්සේ සමයෙහි නොලැබෙන සේ දැක, කළ කම් බොහෝ සේ දැක, උපන් මහා කරුණා ඇති ව “ප්‍රේතයෙනි! තොපට දැන් බතෙක් නොලැබෙයි” කීම් නම් ගින්නට ගිනි දැමුවා සේ මොවුන්ට දුක් බෝම ය යි සිතා ‘මතු කෝණාගමන නම් බුදු කෙනෙක් උපදිති. උන් කරා යව, උන් අතින් විචාරව, ඔහු කියන්නාහු වේ දැ’යි වදාළ සේක. එකල ප්‍රේතයෝ ඒ බුද්ධාන්තරය මුළුල්ලෙහි බත් නොලදින් පසුව ඒ කෝණාගමන නම් බුදුන් බුදු වූ දා ද එ සෙයින් ම ගොස් බත් ඉල්වූවාහු ය. උන්වහන්සේ ද ‘මතු කාශ්‍යප නම් බුදු කෙනෙක් උපදිති. ඔවුන් කරා ගොස් විචාරව’යි වදාළ සේක.

ඒ දෙවන බුද්ධාන්තරයෙහි ද බත් නො ලදින් කාශ්‍යප නම් බුදුන් බුදු වූ දා ද එසෙයින් ම ගොස් දැක බතට යාච්ඤා කළහ. ඔබ වදාරණසේක්: දහසක් අවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව මෙයින් ආකාශයට සත් ගව්වක් වැඩී ගිය කල මතු ගෞතම නම් බුදු කෙනෙක් උපදිති. උන් සමයෙහි තොපගේ නෑ බිම්සර නම් රජෙක් රජගහා නම් නුවරෙක දී ඒ ගෞතම බුදුන්ට දන් දෙයි.

ප්‍රේතයෝ ඒ එන බුද්ධාන්තරයෙහි බත් ලැබෙයි. වදාළ බස් අසා සෙට ලබන සිතක් සේ සිතා සතුටු ව ඒ බුදුහු අද බුදුවෙති යි සෙට බුදුවෙති යි කිය කියා මේඝ කාලය ප්‍රාර්ථනා කරන සැල් ගොවිනේ සේ බුදුන් බුදුවනකල් බල බලා වැස බුදුන් බුදු වූ දා අවුදින් පෙනී රජගහනුවරට කවර දා වඩනා සේක් දෝ හෝ යි පරීක්‍ෂා කරන්නාහු ඒ රජ්ජුරුවන් බුදුන්ට පළමුවන දානය දුන් දා සමාදන් විය නොහී වේළුවනය බුදුන්ට පිළිගැන්වූ දා රෑ මධ්‍යමරාත්‍රියෙහි ඒ සුවාසූ දහසක් ප්‍රේතයෝ බඩපොතු අල්වා සෙලුව සිඹ මහ හඬින් ගුගුරා රජුට හැම දෙන ම පෙනී ගියහ.

රජ්ජුරුවෝ උදාසනම බුදුන්කරා අවුදින් ‘ස්වාමීනි! ඊයේ රෑ මෙසේ වූ භයානක වූ සත්ත්‍වසමූහයක් මහ හඬින් හඬන්නා දිටීවි”යි කීහ. බුදුහු වදාරණසේක්: මහරජ ඔහු පෙර තාගේ නෑ සමූහයෙක. ඔහු දැන් ප්‍රේත යෝනියෙහි උපන්හ’යි උන් පෙර කළ පව් හා, නරකවල විඳි දුක් ගා, මේ බුද්ධාන්තරයෙහි බත් නොලත් බව හා, පෙර තුන් බුදුන් කී ස්වරූප හා, මේ පූර්ව කථාව දක්වාලා ‘තාගේ ප්‍රේත නෑයන්ව අද පින්පෙත් දෙව’යි වදාළසේක.

එදා බිම්සර රජ්ජුරුවෝ ඒ ප්‍රේතයන් නමට බුදුන් ප්‍රධාන වූ දහසක් මහ රහතන්ට මහ දන් දුන්හ. එදා ප්‍රේතයෝ සුවාසූදහසක් දෙන තුන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි බත් උළක් නො ගෑවුනා වූ කුස් පුරා දිව්‍යභෝජන ලදින් පිනා එදා රෑ ගොස් රජ්ජුරුවන්ට පිළි නැති ව පෙනුනාහ. රජ්ජුරුවෝ අනිද්දා උදාසන බුදුන් කරා ගොස් ‘ස්වාමීනි ප්‍රේතයෝ හැමදෙන ම බත් ලද්දාහු නග්නයෙන් රෑ සිටියා දිටිමි’යි කීහ. බුදුහු ‘මහරජ ප්‍රේතයන් ලබන්නේ දුන් දෙයෙක. නුදුන් දෙයක් නො ලැබෙත් ම ය. ඔවුන් නමට වස්ත්‍ර දන් දෙව යි වදාළසේක.

එදා රජ්ජුරුවෝ හැමදෙනා වහන්සේට ම පිළි සමගින් දන් දී පින්පෙත් දුන්හ. එවේලෙහි ප්‍රේතයෝ දිව්‍ය වූ වස්ත්‍ර හා දිව්‍ය වූ සුවඳ විලවුන් හා දිව්‍ය වූ සම්පත් ලදින් සතුටු ව එදා රෑ රජ්ජුරුවන්ට දිව්‍යශරීරයෙන් පෙනී පසු දා බුදුන්ට ද එ සෙයින් ම පෙනුනාහ. බුදුහු සුවාසූදහසක් ඒ ප්‍රේතයන් ප්‍රේතලෝකයෙන් ගලවා තිරොකුඩ්ඪ සූත්‍ර දේශනාව කොට ඒ සුවාසූ දහසක් දෙනා ම අමා මහ නිවන් දක්වා සසරින් ගලවා වදාළසේක. මොහු හැමදෙන බුදුන්සතු දෙය කෑ පවින් මේ සා ප්‍රේතදුක් ගත්හ. දන් පිසූ පිිනින් සසරින් ගොඩනැගී අමා මහ නිවන් දුටුවාහු ය යි දැන නුවණැත්තා වූ සත්පුරුෂ ජනයන් විසින් පව් පින් දෙදෙනාගේ විභාගය මෙසේ දැන විසිය යුතු.