එසේ හෙයින් බිම්සර රජ්ජුරුවෝ ඒ උයන ඉතා රම්‍ය ය යි කියා පිළිගත මැනවැ යි ආරාධනා කොට ඒ ආරාම ය නන්‍දනොද්‍යානය සේ සරහා උයන පවන් රජගෙට ධජ පුන්කලස් අහස් වියන් ලදපස්මලින් සදා, බිම සුදු වැල්ලෙන් තවරා, බුදුන් වඩාගෙන ගොස් ස්වර්ණහිංකාරයෙන් බුදුන් ශ්‍රී හස්තයෙහි පැන් වත්කොට වේළුවනාරාමය පිළිගැන්වූහ. එකෙණෙහි බුදුසස්න මුල් බටහ යි සතුටුව රජුගේ අග්‍ර වූ මර වැඩි දෙක තමා ඉස්මුදුනෙහි තබාලූ වේලෙහි මාගේ ස්වාමි මට ම හිතසේකැ යි සන්තෝෂයෙන් සාධුකාර දෙන පක්‍ෂපාත වූ මිද්ධියක සේ මාගේ ස්වාමිදරුවන්ගේ පළමුවන වූ අග්‍රවිහාරය මා මුදුනෙන් පිළිගතිමි යි ඉතා සතුටු ව මීකත් ගුගුරා පැනනැගිය.
දඹදිව් තෙලෙහි පොළොව ගුගුරුවා පිළිගත්තා වූ විහාරයෙක්, මේ වේළුවනාරාමය හා මච්ඡිකාසණ්ඩ නම් නුවර චිත්‍ර නම් සිටාණන් [1]සුධර්ම නම් මහා ස්ථවිරයන්ට පිළිගැන්වූ අම්බාටක නම් උද්‍යානය පිළිගැන්වූ දවස් හා මේ දවස් විනා පොළොව ගුගුරුවා පිළිගත්තා වූ විහාරයෙක් අනික් තෙනෙක නැත් ම ය. තවද ශ්‍රී ලඞ්කාද්වීපයෙහි මහමෙවුනා උයන හැර පොළොව ගුගුරුවා පිළිගත් අනික් විහාරයෙක් නැත්ම ය. මෙසේ බුදුහු රජගහා නුවර වැඩි දෙවන දා වේළුවනාරාමය පිළිගෙන විනෙය ජනයන් බල බලා වසනසේක.
කීයේ මැනෝ,
අකීලනෙ වෙළුවනෙ විහාරෙ
තථාගතො තත්‍ථ මනොභිරාමෙ
නානා විහාරෙහි විහාසි ධීරො
වෙනෙය්‍ය කාලං සමුදික්ඛමානො - යි.
-
මහානාම ↑