තව ද ඒ රජගහ නුවරට නුදුරු තෙන කෝලිතය උපතිස්සය යි බමුණුගම් දෙකෙක් විය. ඒ දෙගම සහමුත්තක් පරම්පරායෙහි ඔවුනොවුන්ට මිත්‍ර ව ආවා වූ පින්වත් බ්‍රාහ්මණසාර දෙකුලයෙක කෝලිත-උපතිස්ස නම් වූ පින්වත් බ්‍රාහ්මණ කුමාරවරු දෙදෙනෙක් ඇත්තාහු ය. ඒ කෝලිත නම් කුමාරයන් උයන්කෙළියට දිය කෙළියට නික්මෙන වේලෙහි අසුන් යෙදූ රථ පන්සියයෙක් කැටුව ම යෙයි. උපතිස්ස නම් කුමාරයන් හා සමග පන් සියයක් පමණ රන්සිවි ගෙවල් යෙයි. දෙදෙන ම පන්සියයක් පන්සියයක් පිරිවර ඇත්තාහු ය. දෙදෙන ම නොයෙක් ශිල්පයෙහි දක්‍ෂයෝ ය, කෙළිනලු බලන කන දෙදෙන ම සමග ම හිඳ බලන්නාහු ය. එකවිට ම සන්තෝෂ වුවමනා ස්ථානයෙහි සන්තෝෂ වෙත්ම ය. ස්තුති කළමනා විට ම ස්තුති කෙරෙති. ප්‍රසාද දුනමනා කාලයෙහි එකවිට ම ප්‍රසාදත් දෙති.
මෙසේ මිත්‍ර ව වාසයකොට දෙදෙනාගේ ම නුවණ පිරී හුන් කල දවසෙක ක්‍රීඩාමණ්ඩලයෙහි හිඳ දෙදෙනෙ ම සංසාරයෙහි කලකිරී සන්තෝෂ නැති ව ‘මේ කෙළි නම් සසරින් ගැලවී යන උපායෙක් නොවෙයි. මෙතැන් පටන් කෙළිනළු නො සොයා නිවන් සොයම්හ’යි මන්ත්‍රණය කොට කවුරුන් ගුරුකොට තපස් කරමෝ දැ යි පරීක්‍ෂා කොට එ සමයෙහි රජගහා නුවර ලාභයෙන් යසසින් අග්‍රව වසන සඤ්ජය නම් වූ පරිබ්‍රාජකයන්ගේ ස්වරූප අසා පන්සියයක් රථ හා පන්සියයක් සිවිගෙවල් හා පන්සියයක් දෙනා අත ගමට යවා පන්සියයක් අතැවැස්සන් හැරගෙන ගොස් ඒ සඤ්ජය නම් පරිබ්‍රාජකයන් කෙරේ තවුස් වෙස් ගෙන කීප දවසක් උන් කෙරේ වැස තමන් මහනුවණැ‘ති හෙයින් උන්ගේ සමයෙහි නිවන් මගෙක් නැතැ යි දැන මුළු දඹදිව ඇවිද නිවන් මඟ පානා තරම් ගුරු කෙනෙකුන් සොයන්නාහු දෙදෙන ම එක්ව ගොස් යම් යම් කෙනෙකුන් අතින් පැන විචාරති. ඔවුන් විචාළ පැන කියහෙන්නෝ නැත. සෙසු ඇමදෙන විචාළ පැන මොහු දෙදෙන කියත්ම ය. මෙසේ දඹදිව තෙසැට දහසක් රාජධානිවල ඇවිද නිවන් මඟ පානා තරම් ගුරු කෙනකුන් නොලදින් නැවත රජගහ නුවරට අවුදින් ‘අප දෙදෙනා අතුරෙන් යමෙක් පළමුව නිවන් මග දුටුවෝ නම් ඔවුනොවුන්ට කියම්හ’යි මන්ත්‍රණයකොට වාසය කෙරෙති. එකල මාගේ ස්වාමිදරුවෝ පෙර කී ක්‍රමයෙන් වැඩ වේළුවනාරාමයෙහි වසන සේක. පස්වග මහණුන් වහන්සේ අතුරෙහි අස්සජි නම් මහතෙරුන් වහන්සේ මුළු දඹදිව ඇවිද බුදුන් උපන් පරිදි බොහෝ සතුන්ට කියා ලෝවැඩ කොට නැවත බුදුන් කරා රජගහ නුවරට වැඩ වේළුවනාරාමයෙහි දී බුදුන් දැක එදා රෑ එහි ලැග අනික් දා උදාසන නුවරට වැඩ ගෙපිළිවෙළින් පිඬු සිඟන සේක.
එ කල පෙර කී දෙයාළුවන් අතුරෙන් උපතිස්ස නම් පරිබ්‍රාජකයෝ උන්වහන්සේ සිඟන්නා දැක ‘මේ උපසමය ඉතා සන්හුන් වෙසෙකැ’යි දැක පැහැද පසුපස්සේ ගොස් ඔබ වළඳන වේලෙහි තමන්ගේ පරිබ්‍රාජක පුටුව පිට වාඩිහිඳුවා වළඳා අන්තයෙහි කෙණ්ඩිකායෙන් පැන් අතට ගෙන ලා මෙසේ පළමුකොට ඇදුරුවතින් ආදර දක්වා ‘ස්වාමීනි නුඹගේ ඉන්‍ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. නුඹගේ කායවාක් සමාචාරයෝ ද මට ප්‍රියයහ. එසේ දහයින් නුඹ නිවන්මග දුටහ යි සිතමි. හිමි! නුඹගේ ගුරු කවුරුදැ’යි විචාළහ. එ බසට තෙරුන් වහන්සේ ‘භවත! මාගේ ගුරු සව්නේ ගෙවා දත් බුදුරජය’යි වදාළ සේක. පරිබ්‍රාජකයෝ කියන්නාහු ‘ස්වාමීනි! එසේ වී නම් නුඹගේ ගුරුන් වදාළෙන් අවවාද පදයක් මට ද වදාළ මැනවැ’යි කීහ. අස්සජි මහතෙරුන් වහන්සේ මේ පරිබ්‍රාජකවරු නම් බුදුසස්නට ප්‍රතිපක්‍ෂයහ. එසේ හෙයින් මෝහට බුදුන්ගේ ධර්මය ගරු බව හඟවා භය ගන්වමි’යි සිතාලා ‘මම අභිනව යෙමි භවත! දහම් ඉතා ගරු ය. විශේෂයෙන් කියා තට හඟවාලීම් මට පිළිවන්දැයි වදාළසේක. උපතිස්ස පරිබ්‍රාජකයෝ එ බසට කියන්නාහු ස්වාමීනි, මට බොහෝකොට වදාරා දුක් නො ගත මැනව. එක නයකින් සංක්‍ෂේප කොට කිව මැනව. නුඹවහන්සේ එක නයින් කීවා මම සියක් දහසක් දසදහසක් ලක්‍ෂයක් නයින් විස්තරයෙන් සිතාගන්නා නුවණ ඇතියෙමි යි කීහ. එකල මහ තෙරුන් වහන්සේ:-
යෙ ධම්මා හෙතුපභවා - තෙසං හෙතුං තථාගතො, ආහ
තෙසඤ්ච යො නිරොධො - එවං වාදී මහාසමණො - යි.
යනාදීන් චතුෂ්පදික මේ ගථාවෙන් බණ වදාළසේක. එකල උපතිස්ස නම් පරිබ්‍රාජකයෝ ඒ එක ගාථාවෙන් පළමුවන දෙපදයෙහි සොළොස්වන අක්‍ෂරයට වදාළ වේලෙහි ශතසහස්‍ර නයින් සද්ධර්මය කරතලාමලකයක් සේ දැන සෝවාන් පෙලෙහි පිහිටා ගියහ. අන්ත දෙපදය සෝවාන් ව සිට අසා සාධුකාර දුන්හ.
මේ ගාථාවගේ කෙළවර ස්වාමීනි, මම නුඹවහන්සේගේ ගුණත් දැනී ගිය බුදුන්ගේ ගුණත් දැනී ගිය සියලු සද්ධර්ම සාගරයත් පෙනී ගිය. එතෙකින් මට බණ වදාරා ආයාස නොගත මැනව. මාගේ බුදුහු දැන් කොයි දැ යි විචාරා ඒ වේළුවනාරාමයෙහි වැඩහුන් සේකැ යි අසා තෙරුන් වහන්සේ පසඟ පිහිටුවා වැඳලා සමුගෙන කෝලිත පරිබ්‍රාජකයන් කරා ගොස් නිර්වාණ ධර්මය දුටුයෙම් වේ දැයි කියා ලා බුදුන් උපන් පවත් කීහ. එ බසට කෝලිත පරිබ්‍රාජකයෝ බුදුහු ය යි යන බස හා නිවණැ යි කී බසට ලොමු දැහැ ගන්වා සතුටු ව තොප ඇසූ බණ මටත් කියව යි කීහ. උපතිස්සයෝ තමන් ඇසූ ගාථාව නො වරදවා කීය. කෝලිත පරිබ්‍රාජකයෝ ඒ ගාථාව අසා නිමි වේලෙහි අන්තෘක්‍ෂරය හා සමග සෝවාන් ව බුදුහු දැන් කොයිදැ යි විචාරා වේළුවනයෙහි යයි අසා ‘අපගේ ගුරුන් සඤ්ජය පරිබ්‍රාජකයන්ටත් අප ලද නිවන් රස දෙම්හ’යි ඔවුන්ගේ ආරාමයට ගොස් බුදුන් උපන් පරිදි කියා ‘අපි දැන් බුදුන් කෙරේ මහණවන්ට යම්හ, අප හා සමඟ අවුදින් බුදුන් කෙරේ මහණ වුව මැනවැ’යි කැඳවූහ. සඤ්ජය පරිබ්‍රාජකයෝ, ‘පෙර බොහෝ කලක් මම් බොහෝ දෙනාට ගුරුකම්කොට ඇවිද්දෙමි. පසුව දැන් භවත් ගෞතමයන් කරා ගොස් උන් කෙරේ මහණ ව උන්ට අතැවැසි වීම නම් සැළක් ව පසු ව සාළුවක් වූවා වැන්නෙමි. එසේ හෙයින් මම ඔවුන් කරා නො යෙමි. මෙලොව අඥානයෝ බෙහෙව, නුවණැතියෝ මදහ, අඥානයෝ අඥාන වූ මා කරා එති. නුවණැතියෝ නුවණැත්තාහු වූ භවත් ගෞතමයන් කරා යෙති, එසේ හෙයින් මාගේ පර්ෂද් බොහෝ වෙති. මම නොයෙමි’යි කියා නො ගිවිස්සාහුය.
ඉක්බිත්තෙන් කෝලිත - උපතිස්ස දෙදෙන ආචාර්‍ය්‍යයන් නොයෙක් ලෙස කැඳවා නො ගිවිස්නා හෙයින් ‘බුදුන් කරා අපි යම්හ’යි කියා නික්මුනෝ ය. ඒ කෙණෙහි සඤ්ජය පරිබ්‍රාජකයන්ගේ පන්සියයක් පර්ෂත් එකකුත් නොරදා ආරාමය සිස් කොට දෙදෙනා හා කැටිව නික්මුණාහු ය. සඤ්ජය පරිබ්‍රාජකයෝ සිස් වූ ආරාමය දැක ලෙන් පැන නැඟි ශෝක හැල්ලෙන් හුණු ලේ හෑල්ලක් නඟා පීහ. එ වේලෙහි ඒ පන්සියයක් පර්ෂදින් දෙසිය පනස් දෙනෙක් ගුරුන් කෙරෙහි කරුණායෙන් රඳාපීහ. අනික් දෙසිය පනස් දෙනා හැරගෙන දෙදෙන ම වේළුවනාරාමයට නික්මුණාහ.
එදා බුදුරජාණන් වහන්සේ සිවුවණක් මහ පිරිස් පිරිවරා බුද්ධාසන මුදුනෙහි රන්කඳක් සේ දිලිහි දිලිහී වැඩහිඳ බණවදාරණසේක් දුර එන්නාවූ ඒ කෝලිත - උපතිස්ස දෙයාළුවන් දැක බණ අසන්නාවූ සඟපිරිසට ආමන්ත්‍රණය කොට මහණෙනි මා කරා එන තෙල පරිබ්‍රාජකවරු දෙදෙන මාගේ ශාසනය නමැති දිව්‍යරථය අලඞ්කාර කරන්නාවූ දිව්‍යචක්‍ර යුග්මයක්සේ මාගේ අගසවු දෙදෙන බුදුන් කරා අවුදින් පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව හිඳ ස්වාමීනි! නුඹ වහන්සේගේ ශාසනයෙහි පැවිද්ද ලබමෝ දැ’යි විචාළහ. එකෙණෙහි බුදුහු දක්‍ෂිණ ශ්‍රි හස්තය දිගුකොට:- “එථ භික්ඛවෙ ස්වාක්ඛාතො ධම්මො, චරථ බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය”යි වදාළසේක. එ කෙණෙහි හැම දෙන ම සෘද්ධිමය වූ පාත්‍රා සිවුරු ලදින් වර්ෂ ශතයක් ගුණධර්ම පිරූ මහතෙර පෙළක් සේ වැඩහුන් සේක.
ඉක්බිත්තෙන් බුදුහු ධර්මදේශනා කළසේක. අගසවු දෙදෙනා වහන්සේ හැර අවශේෂ වූ දෙසියපනස් දෙනා වහන්සේම රහත් වූ සේක. මුගලන් මහතෙරුන් වහන්සේ මහණ වූ සත් දවසින් මගධරට කල්ලවාල නම් ගමදී බුදුන් විසින් දුන්නාවූ ධාතුකර්මස්ථානය අසා සෙදගැමි-අනගැමි-අරහත් යන තුන් මාර්ගඵලයට පැමිණ ශ්‍රාවක පාරමිතා ඥාන ය මස්තකප්‍රාප්ත කළසේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ ද මහණ වූ පසළොස් දවසින් බුදුන් හා සමග එම රජගහ නුවරට නුදුරු තෙන හුරුකළ නම් ලෙන වසනසේක් දිඝනඛ නම් පරිබ්‍රාජකයන් එම ධම්සෙනෙවි සාමීන්ගේ ම බෑණනුවන්ට වේදනා පරිග්‍රහ නම් සූත්‍ර දේශනාව බුදුන් දේශනා කරන දා ඒ දේසනාව අසා අනිකක්හට ලනබතක් උදුරාගෙන කන්නා සේ තමන් වහන්සේ ද සෙදගැමි අනාගැමි අරහත් යන තුන් මාර්ගඵලයට පැමිණ අග්‍ර ශ්‍රාවක ඥානයෙහි මුදුන් පැමිණිසේක.
ඉක්බිත්තෙන් එම දා සවස වේළුවනාරාමයෙහි දී ශ්‍රාවක ගනයා රැස්කොට සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේට අගසවු තනතුරු දි එම දා නවම් මස මැදිපොහොයෙහි ඵුස්ස නම් යෝගයෙන් මෙසේ මැදිපොහොයක් හා හැම සව්වන් නො කැඳවා රැස්වීමක් හා හැම සව්වන් ඒහි භික්‍ෂුභාවයෙන් ම පැවිදි වූ බවක් හා හැම සව්වන් රහත් වූ බවක් හා මෙසේ වූ චතුරඞ්ගයෙන් යුක්ත ව වැඩහිඳ එක්දහස් දෙසියපනස් මහරහතන් හා සමග අනන්තාපරියන්ත වූ රජ පිරිස් පළඳනා ලද මුක්තාහාරයක් බඳු වූ අනන්තාපරියන්ත වූ බුදුන් විසින් මුඛාලඞ්කාර කරන ලද:
සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පද,
සචිත්ත පරියොදපනං - එතං බුද්ධාන සාසනං.
යන මේ ගාථාරත්නයෙන් අලඞ්කාර කොට පාමොක් දෙසා වදාළ සේක.
එතැන් පටන් ඒ සැරියුත් මුගලන් අගසවු දෙදෙනාවහන්සේ බුදුසසුන් නමැති ආකාශය හොබවා ඇවිදිනා හිරු සඳු දෙදෙනා සේ බුදුන්ට අනුව බුදුසසුන් හොබවා වදාළ සේක.
මේ අගසවු දෙදෙනා වහන්සේ කෙසේ වූ පින් කොට මෙසේ වූ බුදුකෙනෙකුන් වහන්සේට අග්‍රශ්‍රාවක වූ සේක් ද? යත්;
මෙයට එකාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයකින් යට අනෝමදස්සි නම් බුදුන් සමයෙහි සැරියුත් ස්වාමි සරද නම් තාපස ව සුසැත්තෑ දහසක් තපස්වීන් පිරිවරා හිමාලය වනයෙහි පන්සලෙක වැස ලක්‍ෂයක් රහතන් හා සමග තමන් වහන්සේගේ පන්සලට වැඩි බුදුන් දැක පැහැද වන මුල් වන ඵලාහාර වළඳවා ලක්‍ෂයක් මල් ආසන පනවා සතර ගව්වක් උස මලස්නෙක බුදුන් වඩා හිඳුවා තුන් ගවු උස මලසුන්වල අගසවු දෙදෙනා වහන්සේ වඩාහිඳුවා ගවු දෙගවු උස මලසුන්වල සෙසු ලක්‍ෂයක් රහතන් වඩා හිඳුවා බුදුන් සිරසට මහත් මල්කුඩයක් මවා ඒ කුඩය අතින් අල්වාගෙන සත්දවසක් නිරාහාරයෙන් බුද්ධාලම්භන ප්‍රීතින් සිට ධ්‍යානසුවයෙන් වැඩහුන් බුදුන්ට මෙසේ පූජාකොට සිට සත්වනදා අගසවුදෙදෙනා බුදුන් අභිමුඛයේ හිඳ වදාරණ බණ අසා ‘මම ද බුදුකෙනෙකුන්ට අගසවු ව මුන් වහන්සේ සේ ම නුවණැති ව බණ නිමවා දැන කියන්නවුන් කෙරෙහි අග්‍රවෙම්ව’යි කියා ප්‍රාර්ථනා කළසේක. බුදුහු ද විවරණ පතුල් දුන් සේක.
තවද මුගලන් මහතෙරුන් වහන්සේ ද එ ම සමයෙහි ඒ සරද තාපසයන්ගේ ගිහි යහලු වූ සිරිවඩ්ඪන නම් සිටු ව මෙපවත් අසා මම ද මාගේ යහළුවාණන් වහන්සේ කළ ප්‍රාර්ථනාව කෙරෙමියි සිතා නිලුපුල් මලින් මණ්ඩපයක් නිමවා ඒ බුදුන් ප්‍රධාන වූ එක් ලක්‍ෂ සූසැත්තෑ දහසක් රහතන් පවරා වඩා හිඳුවා සත්දවසක් මහ දන් දී ‘මම ද මතු බුදුවන කෙනකුන්ට ද්විතීය ශ්‍රාවක වෙම්ව’යි ප්‍රාර්ථනා කළ සේක. මෙසේ ඒ දෙදෙනා වහන්සේ එකල පටන් එකාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි ම ඔවුනොවුන් හා සමග මිත්‍ර ධර්මය රක්‍ෂාකොට දිව්‍යලෝකයෙහි හා මනුෂ්‍යලෝකයෙහි සම්පත් එක්ව ම විඳ මේ බුද්ධෝත්පාද කාලයෙහි කෝලිත උපතිස්ස නම් උතුම් වූ බමුණු කුලයන්හි ඉපද එ සමයෙහි එක් ව කළ කුශල බලයෙන් ම අප මහාගෞතම නම් බුදුරජාණන්ට අග්‍රශ්‍රාවක ශාසන නමැති දිව්‍යරූපයෙහි නිර්මිත වූ දිව ඇස් දෙකක් සේ ශෝභමාන වූ සේකැ යි දතයුතු.
තව ද ඒ මතු නො වෙයි. මේ දෙදෙනා වහන්සේ මාගේ ස්වාමි දරුවන් පාරමිතා භූමියෙහි ඇවිදිනා කල ද පාරමිතා නමැති රථය සුවසේ ගෙන යන රථ සක් දෙකක් සේ ම බුදුන්ට ද උපකාර ව බුදුන්ගෙන් ද උපකාර ලදින් අනුබල ම වාසයකළ හෙයිනුත් බුදුහු ඔබ ම අගසවු කළසේක් ම ය. කෙසේ ද? යත්;
සරභංග ජාතකයෙහි ස්වාමිදරුවන් සරභංග නම් ශාස්තෘ ව ලොව බුද්ධෝත්පාද කාලයක් සේ කරන සමයෙහි සාලිස්සර ය කිසවච්ඡ ය යි යන අතැවැසි මහ තවුස් ව බෝසතුන්ගේ සිත් සේ වාසය කළ සේකුත් මේ සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ම ය. තව ද චුල්ලසුතසෝම ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් සුතසෝම නම් රජ ව රාජධර්මයන් හා සත්‍යපාරමිතාව පූරණය කරන සමයෙහි ද ජ්‍යෙෂ්ඨ වූ පුත්‍ර ව, ජ්‍යෙෂ්ඨ වූ සේනාපති ව, අනුබල ව, පක්‍ෂපාත ව, කීකරු ව විසූයේ කුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද විනීල ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් හංසරාජ ව ඉපද හීන ජාතියෙහි ඇත්තවුන් මනා උපකාරයක් ලත් කල උත්සන්න වන පරිදි දක්වා හීන ස්ත්‍රීන් හා සමගත් උත්තමයන්ගේ සංවාසය වෙයි කියා කාමයෙහි ආදීනව දක්වන්නා වූ සමයෙහි ද ප්‍රිය පුත්‍ර වූ හංසපෝතක ව ඉපිද පියාණන් වහන්සේ මිනිස්ලොව ඇවිද්ද නො දී ප්‍රේම සහිත ව විසූසේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද කුරුංගමිග ජාතකයෙහි ස්වාමිදරුවන් කුරුංග නම් මුව රජ ව ඉපද හීන වූ මිත්‍රයාගේත් විශ්වාසය උතුම් ම ය යි මිත්‍රධර්මයෙහි බල දක්වා වදාරණ සසමයෙහි කෑරල ව ඉදිබුව ඉපද බෝසතුන් මල බැඳී ගියදා ජීවිතය රක්‍ෂාකොට වදාළසේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද මාගේ බුදුරජාණන් වහන්සේ ව්‍යාඝ්‍ර ජාතකයෙහි වෘක්‍ෂ දේවතාව ඉපද පාරමිතා ධර්මයන් පූරණය කරන සමයෙහි ද සිංහ ව ව්‍යාඝ්‍ර ව ඉපද ඔබ වසන ඒ මහවනයෙහි කිසිකෙනකුන් අත්තක් කපාලිය නො දි මිත්‍රකම් කළසේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද කුරුධර්ම ජාතකයෙහි ස්වාමිදරුවන් දාන පාරමිතාව හා ශීල පාරමිතාව පරිශුද්ධ කොට රක්‍ෂා කරන සමයෙහි ද සිටු පුත්‍ර ව ද්‍රොණමානවක නම් ඇමැති ව බෝසතුන් සේ ම පංචශීලය රක්‍ෂා කොට ධර්මයෙන් විසූ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද සසජාතකයෙහි මාගේ බුදුරජාණන් වහන්සේ සසරාජ ව ඉපද ශීලපාරමිතාවෙහි කෙළ පැමිණ සඳමඬලේ බැබැලුනු සමයෙහි වානර ව සිගාල ව එක් ව සිල්රක්‍ෂාකොට බෝසතුන්ගේ අවවාද නො ඉක්ම මිත්‍ර ධර්මය රක්‍ෂාකොට කීකරු ව විසූයේ කු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද කක්කාරි ජාතකයෙහි දශබලධාරි වූ තිලෝගුරු මාගේ බුදුරජාණන් තවුතිසා දිව්‍යභවනයෙහි දිව්‍යරාජ ව ලෝකාර්ථචර්‍ය්‍යාව පූරණය කොට මෘෂාවාදයෙහි ආදීනව පෑ ලොව භයගැන්වූ සමයෙහි යහළු වූ දිව්‍යරාජයන් ව ඉපද බෝසතුන් හා සමග ලෝවැඩ කොට ඇවිදි සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද සත්තුභස්ත ජාතකයෙහි මෙ ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සේනක නම් පණ්ඩිත ව ප්‍රඥාපාරමිතාවේ බල දක්වන සමයෙහි ආයූරක ය පුක්කුස ය යි යන අතැවැසි පණ්ඩිත ව ඔබ ම ගුරුකොට කීකරු ව විසූ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද තිත්තිර ජාතකයෙහි දිපදොත්තම වූ මාගේ ස්වාමිදරුවන් වටු ව ඉපද පවා ත්‍රිවේදය නිමවා දැන දඹදිව වේද දන්නන් කෙරෙහි අග්‍ර ව දිසාපාමොක් ආචාර්‍ය්‍ය ව මහ වන මැද පන්සලෙක වාසය කොට බොහෝ අතැවැසියන්ට ශිල්ප දී ප්‍රඥාපාරමිතාවෙහි සාරය මැඩගන්නා සමයෙහි එ වෙනෙහි සිංහ ව්‍යාඝ්‍ර දෙයාළුව ඉපද වටු වූ බෝධිසත්ත්ව ආචාරීන් කරා අවුත් අවවාද ඉගෙනගෙන එකාවනුව සේවනය කළ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද බිළාල කෝසිය ජාතකයෙහි ස්වාමිදරුවන් ශක්‍ර දේවේන්‍ද්‍ර ව ඉපද අශ්‍රද්ධා සතුන් දමා ලෝභ කරවා දන්සොඬ කරවා ලෝකාර්ථචර්‍ය්‍යාව පූරණය කළ සමයෙහි චන්‍ද්‍ර-සූර්‍ය්‍ය දිව්‍යපුත්‍ර ව ඉපද උන් වහන්සේට අනුබල සහාය ව මිනිස්ලොවට ආ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද චතුපට්ඨාන ජාතකයෙහි ස්වාමිදරුවන් එක්තරා එක් ගසෙක රුක්දෙවි ව ඉපද දිව්‍යධර්මයන් පූරණය කරන සමයෙහි ද චිත්‍රකූට පර්වතයෙහි දෙබෑ වූ රන්වන් හංසව ඉපද ගොදුරු සොයා යන එන කල බෝසතුන් වසන ගස සැතපි සැතපී ගොස් මිත්‍ර ධර්මය නො නසා කථා කොට ප්‍රියයෙන් අවවාද ලදින් ඇවිදි සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද හස්තිපාල ජාතකයෙහි මාගේ ශාක්‍ය සිංහයාණන් වහන්සේ හස්තිපාල නම් කුමාර ව ධන හැර ගොස් පැවිදි ව ශීල පාරමිතාවෙහි මුදුන් දැක ධ්‍යාන කෙළි කෙළනා සමයෙහි අශ්වපාල නම් ගවපාල නම් කුමාර ව බෝසතුන් හා සමග ම රජය හැර ගොස් මහණ ව ධ්‍යාන කෙළි කෙළි සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද ජවන හංස ජාතකයෙහි මාගේ ශිරෝමාණික්‍ය වූ බුදුරජාණන් වහන්සේ ජවන හංසරාජ ව ඉපද ඉරු හා ශීඝ්‍ර ජවයෙන් යුද්ධකොට ඉරු පරදවා ඉතා මහත් වූ වික්‍රම දක්වා සතුන්ගේ ආයු සංස්කාරය ඉතා ශීඝ්‍ර ව ගෙවෙන පරිදි නොයෙක් උපමාවෙන් දක්වා ලෝවැසියන් මරණයෙහි භයගන්වා කුශල මාර්ගයෙහි පිහිටුවා ලූ සමයෙහි මල් බෑ හංසරාජ ව ඉපද හිරුගේ තේජෝ ගින්නෙන් දා මියන වේලෙහි බෝසතුන් නිසා ම ජීවිතය ලදින් ජීවිතාන්තය දක්වා ඔවුනොවුන්ට උපකාර ව විසූ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද ඛණ්ඩහාල ජාතකයෙහි මාගේ ලෝකාධිපති වූ බුදුන් චන්‍ද්‍ර නම් කුමාරව ඛණ්ඩහාල නම් දේවදත්තයාගේ බන්‍ධනයට පැමිණ මරණ ප්‍රාප්ත වූ සමයෙහි සූර්‍ය්‍යගෝත්‍ර නම් චන්‍ද්‍රගෝත්‍ර නම් සහෝදර කුමාර ව ශක්‍රයාගේ බලයෙන් එක්ව ම ජීවිතය ගලවාගෙන බොහෝ කලක් එක්ව ම රාජ්‍යය කළ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද මහාජනක ජාතකයෙහි මාගේ බුදුරජාණන් වහන්සේ පඤ්චකාමයෙහි ආදීනව දැක කාමබන්‍ධන ය මුදාහැර තපසට වලට යන දා නාරක නම් මිගාජින නම් දෙනෙ ව මහා තාපස ව බෝසතුන් පෙරමග දී දැක වීර්‍ය්‍ය වඩා බණ කියා කල්‍යාණ මිත්‍ර ධර්මය පිරූ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද දුතිය තිත්තිර ජාතකයෙහි මාගේ ධර්මරාජයාණන් වහන්සේ වඩුජාතියෙහි ම ඉපද හිමාලය වනයෙහි මහ නුග රුකක් අස වැස බොහෝ ආයු ඇති ව ජ්‍යෙෂ්ඨාපචායන ධර්මයන් පුරන සමයෙහි ද වඳුරු ව ඇත් ව ඉපද බාලයන් මහල්ලන් තෝරා දැක බොහෝ කලක් බෝසතුන් ගුරු තනතුරෙහි තබා සහවාසය කළ සේකු ත් මේ දෙදෙනා වහන්සේම ය.
තව ද සම්භව ජාතකයෙහි මාගේම ප්‍රඥා ගඞ්ගා වූ බුදුරජාණන් වහන්සේ ම සත්හැවිරිදි සම්භව නම් කුමාර ව මුළු දඹදිව උපන් පැන කියා ලොව බුද්ධොත්පාද කොට ප්‍රඥා පාරමිතාවෙහි කුළුගන්නා සමයෙහි භද්‍රකාරය සඤ්ජයය යන මහලු දෙබෑ කුමාර ව කුඩා මල් වූ බෝසතුන් ගුරු කොට තබා ආදරයෙන් සහෝදරව විසූ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද සංකිච්ච ජාතකයෙහි ලෝකාචාර්‍ය්‍ය වූ මාගේ ස්වාමිදරුවාණන් බරණැස රජය කොට දශරාජධර්මයන් පුරන සමයෙහි ඔවුනොවුන්ට සතුරු වූ නාග මූෂික ජාතියෙහි ඉපද පවා දෙදෙන ඔවුනොවුන් දැක ඔවුනොවුන් හා මිත්‍ර ව තමන් දෙදෙනාගේ මිත්‍ර ධර්ම බලයෙන් ම බෝසතුන්ට ඒ සා රාජ්‍යයක් ගෙන දී උපකාර කළාහු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
මෙසේ මෙසේ නො එක් ජාති කෝටියෙහි ද සසර බුදුන් හා සමග ම විසූ හෙයිනුත් ඔවුනොවුන්ට උපකාර ව විසූ හෙයිනුත් බුදුහු තමන් වහන්සේ කෙළෙහි ගුණ දන්නවුන් කෙරෙහි අග්‍ර හෙයිනුත් මෙම දෙදෙනා වහන්සේ අග්‍රශ්‍රාවක කළසේක් ම ය. මේ දෙදෙනා වහන්සේ ත් උතුම් වූ අග්‍රශ්‍රාවක තනතුරු ලදින් බුද්ධශාසන නමැති ස්වර්ණ නෞකාවෙහි රන් පළුපත් සඟළක් සේ බුදුසස්න හොබවා වදාළ සේක. මෙසේ මේ අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේගේ විභාග සංක්‍ෂේපයෙන් දතයුතු.
මෙසේ මාගේ ස්වාමිදරුවෝ පස්වග මහණුන් විසින් කරන ලද අසාධාරණ වූ ප්‍රතිපත්ති පූජාය, යස නම් මහතෙරුන් ආදි පස්පනස් රහතන් විසින් කරන ලද විශේෂ වූ ප්‍රතිපත්ති පූජාය, භද්‍රවර්ගයෙහි තිස් මහ රහතන් විසින් කරන ලද උතුම් වූ ප්‍රතිපත්ති පූජාය, උරුවෙල කාශ්‍යපාදි දහසක් මහරහතන් විසින් කරන ලද අනොපම වූ ප්‍රතිපත්ති පූජාය, අගසවු දෙදෙන හා දෙසියපනස් මහ රහතන් කළා වූ උත්තුඞ්ග වූ ප්‍රතිපත්ති පූජාය, සුවාසූ දහසක් ප්‍රේතයන් ප්‍රේතාත්මභාවයෙන් මිදී දිව්‍යාත්මභාව ලදින් බණ අසා නිවන් දුටු වේලෙහි සන්තෝෂයෙන් කළාවූ සාධුකාර පූජාය, බිම්බිසාර රජ්ජුරුවන් හා සමග එක්ලක්‍ෂ දස දහසක් අමාත්‍යයන් සෝවාන් ආදි මාර්ගඵලයට පැමිණ එකෙණෙහි උපන් සන්තෝෂයෙන් කළා වූ සාධුකාර පූජාය. තවද දසදහසක් මනුෂ්‍යයන් ශරණ ශීලයෙහි පිහිටා දිවි පමණින් කළා වූ බහුමාන පූජාය, ඒ බිම්සර රජ්ජුරුවන් වේළුවනාරාමය පිළිගැන්වූ පූජාය, එ වේලෙහි මහීකාන්තාව කළා වූ මහීගර්ජනා නම් වූ පූජා ය යි මෙසේ දෙලක්‍ෂ පනස්දහස් තුන්සිය සත් සාළිසක් පමණ මහ පූජා ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, සංසාර හේතු වූ, සංසාර නෞකා වූ, සංසාරප්‍රතිෂ්ඨා වූ, සංසාර පාර වූ, සංසාර වාහන වූ, සංසාර ගජ වූ, සංසාර තුරඞ්ග වූ, සංසාර සාරග ඵලක වූ, සංසාර සාගර ද්වීප වූ, මාගේ ස්වාමිදරු වූ, මාගේ ම ශිරෝමාණික්‍ය වූ මාගේ ම මුදුන් මල්කඩ වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුත් අර්හත් නම් වන සේක.
එසේ හෙයින් කියන ලදුයේ මැයි:
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො,
අත්‍ථානුරූපං අරහන්තිලොකෙ
තස්මා ජිනො අරහති නාම මෙතං-යි
මේ පූජාවලියෙහි අප බුදුන් රජගහ නුවරදී ලද
වේළුවනාරාම පූජා කථා නම් වූ තුදුස්වන පරිච්ඡේදය නිමි.