එ කල පස්වග මහණහු දුරින් වඩනා බුදුන් දැක; “භවත් ගෞතමයෝ දුෂ්කර ක්‍රියා හැරපියා තමන් රජකුලෙන් මහණ වූ හෙයින් සුඛිතයන් විසින් දෙනලද මධුර වූ ආහාරය අනුභවකොට ඡවි පහස් ලදින් දැන් ප්‍රභා සම්පන්නව රන්කඳක් සේ ව ගියාහුය. බඩ පුරා කන බත් හෙයින් මුඛ සන්තෝෂ ඇති ව යහපත් වූයේ නොයෙක් උත්සාහ කොට බුදු විය නො හී දැන් අප කරාම එමින් සිටියහ. ඔහු රජ කුලෙහි උපන් බැවින් හිඳිනා අසුන් පමණක් දෙම්හ. හුනස්නෙන් නොනැඟෙම්හ, පෙර ගමන් නො කරම්හ. පෙර සේ ඔහු අපි නො වඳුම් හ”යි කතිකා කළහ.
එ කල මාගේ ස්වාමිදරුවෝ ඒ භික්‍ෂූන්ගේ අදහස් දැන එකොළොස් දහස් පන්සියයක් මහා ගඞ්ගාවන් පඤ්ච මහා ගඞ්ගාවට මෙහෙයා ලුවා සේ, අනන්තාපරියන්ත වූ සත්ත්‍වලෝකයෙහි පැතිර සිටිනා මහා මෛත්‍රී නමැති ජලප්‍රවාහය ඒ පස්දෙනා කරා ම මෙහෙයාලූ සේක. එ වේලෙහි සැඩවතුරෙහි මළ පරඬලාපත් තුබූ පළෙහි තිබිය නොහී ඉපිළ පැනනැංගා සේ බුදුන් මෛත්‍රී කරත් කරත් තමන් කරා වඩුත් වඩුත් බුදුරස් පෙලින් පෙළ හී තමන් කරා වදුත් වදුත් පස්දෙනම හුනස්නෙහි හිඳ ගත නොහී සෙල් වී පැන නැංගාහ. ස්වාමිදරුවන් ළඟට වඩු ත් වඩු ත් බුද්ධ තේජසින් සිට ගත නො හී පෙරමගට ගොස්, තව ද සිටගත නො හී, බුදුන් වැඳ පෙරළී පාසිවුරු අතින්ගෙන හිඳිනා අසුන් පනවා ආදරයෙන් ශ්‍රීපාදය වැඳ සෝධා ඇඟට පත්සලා පැන් පවස් විචාරා බුදුන් බුදු වූ බව නො දැන සාමීදි කථා කරන්නාහු “ආවුසො” වාදයෙන් සම සමයන් සේ කථා කෙරෙති. එ කල ස්වාමිදරුවෝ මේ භික්‍ෂූහු මා බුදුවූ බව් නො දනිති. මා හා යම් කෙනකුන් ලෝකයෙහි නැති බව නො දනිති, මම් ම මා බුදු වූ බව මොවුන්ට හඟවමි’යි සිතා “මහණෙනි සම සමයන් හා කථා කරන්නා සේ ලොවුතුරා බුදුන් හා කතා නො කරව. මරසෙන් බිඳහැරපීමි. වසවත් මර මන් බිඳපීමි. ගිරිමෙවුලා මතැ‘තු දන බිම අන්වාපීමි. එකොළොස් මහා යුද්ධයෙහි ජයගතිමි. මරු දැමූ චක්‍රායුධය පාබිසි කෙළෙමි. මහපොළොව ගුගුරුවාපීමි. මහමෙර සක්වළගල් නටවාපීමි. දෙවි බඹ කැලන් කළ පූජා විඳපීමි. මරඟනන් පලවාපීමි. මහබඹුන් ලවා සාධුකාර දෙවාපීමි. මහණෙනි! සව්නේ ගෙවා බුදුව තුන්ලෝ මුදුන්පත්වීමි. තොප හැමදෙනාගේ සැක හැර අද රෑ දම්සක් දෙසුම් අසා බලව”යි වදාළසේක.