උපක ආජීවකයන් හමුවීම

star_outline

එ කල උපක නම් ආජීවකයෙක් සන්හුන් ගමනින් එකලා ව වඩනා මාගේ ස්වාමිදරුවන් දැක, සඳරස් දුටු කුමුදුවිලක් සේ ඉතා ප්‍රසන්න වූයේ බුදුන් මුහුණ බලා, සියලඟින් දිවන සවණක් රස් හා දෙතිස් අසූ ලකුණු හා ශ්‍රී මුඛයෙන් දිවන සඳ කැලුම් වන් බුදුරැස් කඳ හා, සඳමඬුල්ලක් ලූ වා සේ සිසාරා සිටිනා බ්‍යාම ප්‍රභාමඬුලු හා පුන්සඳක් සේ දිලියෙන ශ්‍රී මුඛය දැක, “ස්වාමීනි, තෙපි නිශ්චල වූ ගුණ මිහිකතගෙන් ලදු ද? ස්ථිර වූ ගුණ ඝනරන්මෙරින් ගතු ද? ගැඹුරු වූ ගුණ මහමුහුදින් ගතු ද? තේජෝ ගුණ හිරු මඬලින් ගතු ද? සොමි ගුණ සඳමඬලින් ගතු ද? අමාපිඬක් වැනි කෙනෙකු ව. මහපින් පිඬක් වැනි කෙනෙකු ව, ඝන රන් කඳක් සේ සොඳ කෙනෙකුව, ශක්‍රයා නම් තෙපි ද? බ්‍රහ්මයා නම් තෙපි ද? තොප දුටු වේලෙහි පටන් මාගේ සිත ඉතා අමා පිරූ බඳනක් සේ සන්තෝෂයෙන් ඉතිරි ඉතා ප්‍රසන්න ය. හිමි! තෙපි කවුරුදැ?යි විචාළේ ය.

එ කල ස්වාමිදරුවෝ තමන් කෙරෙහි එදා ඔහු කළ සන්තෝෂයෙන් මතු බොහෝ වැඩ වන සේ දැන තමන් වහන්සේ ද මඳ මඳ සිනා පහළකොට ඔහු මුහුණ බලා, “ආජීවක ය, මම ශක්‍රයා ත් නොවෙමි. බ්‍රහ්මයාත් නො වෙමි. සම්මා සම්බුද්ධයෙමි. සියලු සංස්කාර ධර්මයන් සකසා නිමවා දනිමි. දුරුකළමනා ධර්මයන්යට අජටාකාශයට උඩ අජටාකාශය සේ දුරින් දුරුකෙළෙමි. භාවිත කළමනා ධර්මයන් හැම අළලා අමාපිඬක් සේ හැරගතිමි. සදෙව්ලෝ වැසියන් මට කුලගැති කෙළෙමි. මා පා පිසපු බිසි පවා බ්‍රහ්මයාට මුදුන්මල් කෙළෙමි. දේවාතිදේව වීමි. ශක්‍රාතිශක්‍ර වීමි. බ්‍රහ්මාතිබ්‍රහ්ම වීමි. වන්‍දනීය්‍යාභි වන්‍දනීය්‍ය වීමි. පූජනීය්‍යාභිපූජනීය්‍ය වීමි. සද්ධර්මවරචක්‍රවර්තීති වීමි. දෙවිබඹුන් අතින් මෙහෙ ගෙනපීමි. පස්මරුන් ජයගෙනපීමි. එසේ ජයගෙන සිටි හෙයින්, ආජීවක ය! මට අනන්තජිනයෝ ය යි යෙති”යි වදාළ සේක. එ වේලෙහි ආජීවක තෙම බුදුන් කෙරෙහි අතිප්‍රසන්න ව “යහළු අනන්ත ජිනයෙනි, එසේ වී නම් අද පටන් තෙපි මාගේ යහළුහ. මතු තොප කරා මා ආ දවසෙක තොප මෙසේ පොහොසත් බැවින් මා රක්‍ෂා කරව් දැ? යි විචාළේ ය. ස්වාමිදරුවෝ තමන් වහන්සේ නිසා මතු ඕහට වන වැඩක් දැක මඳ සිනා පහළ කොට, “යහපත, දරුව! පලා එව. එ දවස් තොප රක්‍ෂාකරම්හ”යි වදාරා ඉසිපතනාරාමයට වැඩි සේක.

ඔහු පසු ව බුදුන් කරා ආ පරිදි කෙසේ ද? යත්; එදවස් ඒ ආජීවක තෙම ඒ බරණැසින් ගොස් මහා ප්‍රත්‍යන්තයෙහි වූ වංගහාර නම් දනව්වට පැමිණ එහි එක්තරා එක් වැදිගමක් මැද කිසිල්ලට නඟා හිනමසින් මත්තට පිළි හැඳ ආජීවක වෙසින් කරබාගෙන සිටියේ ය. එකල ඒ ගම නේසාද ජනයෝ ඔහු දැක කොල මොහු කවුරුදැ?යි ඒ ඒ දිගින් දිව අවුත් ඔහු සිසාරා විස්මය පත් ව සිට තෙපි කවුරුදැ?යි විචාළහ. ආජීවක කියනුයේ, ගිහි මිනිසුන් සේ ලජ්ජා වසා පිළි නො හඳුම්හ. අපි තපස් රක්‍ෂා කරම්හ. ලජ්ජාවෙන් අට්ඨයක් පාලනය කරන හෙයින් අට්ඨපාල නම් රහතුම්හ යි කී ය. එ කල මනුෂ්‍යයෝ “මොහු මහා බලවත් කෙනෙක, ලජ්ජා පමණකුත් නැත්තාහ. එසේ හෙයින් සෙසු පාපයෝ වූකලී මොහුගේ සන්තානයෙහි නැත්තාහුම ය”යි කියා පැහැද රහතුන්ට වඳිමියි කියා වඳිති පුදති සත්කාර කෙරෙති. එකල එ ගම වැදි මුදලි තෙම ඔහු කෙරේ පැහැද උපස්ථාන කෙරෙයි. ඒ දනව්වෙහි තල් ඇට සා මක්‍ෂිකා ජාතියෙක් බෙහෙව. ඔහු මිනිසුන් වෙනෙහි දී අසුකළ කල සියලඟ සිරුලා අදිනා සේ ලේ උරා බී පුවක්පත්කඩ සේ මරා හෙළා පියති. එසේ හෙයින් ඒ දනව්වෙහි සත්ත්‍වයෝ ඒ මැස්සන් බොහෝ වූ සමයෙහි මහ සැළවල් ගුහා සේ කරවා එහි වසන්නාහු ය. එසේ හෙයින් ඕ හට ද මේ වෙනෙහි මැස්සන්ගෙන් උපද්‍රවයක් නො වන සේ වල ගෙයක් නංවා ඒ ගෙයි මහත් වූ සැළක් කරවා ඒ සැළැ ඔහු ලා පිධානයකින් වසා දවසින් දවස දන් දෙති.

එ කල ඒ වැද්දහුගේ ජාවි නම් දුවක් ඇත. මෙ තෙමේ දවසෙක ඈ දැක ඈ කෙරේ කාමතෘෂ්ණා බැඳ නො කා නො බී කීප දවසක් නිරාහාරයෙන් හුන්නේ ය. එ කල ඒ වැදිතෙම බැහැරෙක ගොස් ගෙට අවුත් මාගේ රහතන් වහන්සේ කුමක් කොට හුන් සේක් දැ යි විචාරා අඹුවන් හා දුව ‘ඔවුන් අපි තුන් සතර දවසක් නුදුටුම්හ. දොරට සිඟා නො ආවෝ ය’යි කී කල්හි ඒ වැදි පුත් කම්පිත වූ සිත් ඇති ව ඔහු කරා ගොස් වැඳ ‘හිමි නුඹට කෙබඳු වූ ව්‍යාධියෙක් ද, මෙතෙක් දවස් සිඟා නො වැඩිය සේක් වන. වැහැර ගිය සේක් නැ’යි විචාළේ ය. එ වේලෙහි ආජීවක කියනුයේ “මට අනික් ව්‍යාධියෙක් නැත. බොහෝ දවසක් තපස් කොට විඩාව ගියෙමි. එන දවස තපස් කොටගත නො හෙමි. තොපගේ ජාවී නම් දුව මට පාවා දෙව් නම් තොප කෙරේ වෙසෙමි. එසේ නොකළා නම් මා රැකෙති යි නො සිතව”යි කී ය. එ වේලෙහි වැදි පිත් කියනුයේ: තපස්කිරීම නම් පළිරෝධ නැතියේ ය. ගිහි ගෙයි විසීම් නම් බොහෝ සම්පත් උපදවා පළිරෝධයෙන් විසුව මැනව. එක් ශාස්ත්‍රයක් දැනමුත් ගෘහවාසය බැරිම ය. නුඹ දන්නා ශාස්ත්‍ර කිම්දැ”යි විචාළේ ය.

ආජීවක කියනුයේ: “මා දන්නා ශාස්ත්‍ර නැත. තොප පස්සේ දැල්කත් පන්කත් හැදගෙන යෙමි. සතුන් මරාලූ කල මස්කත් ගෙන යෙමි. මෙතෙක් ශාස්ත්‍ර මඳදැ”යි කී ය. එවේලෙහි වැදිපත් ‘මේ මහා මුග්ධයෙක. ම දුව නො ලත් නම් මූ මියයන බවත් සබා ම ය. මූ මියයාමෙන් ප්‍රයෝජන නැත. මට මෙහෙ කෙරේ නම් එක් ප්‍රයෝජනයෙක් ම වේදැ’යි සිතා යහපතැ යි ගිවිස එ වේලෙහි තමාගේ උත්තරසාටක ය ඕහට දී පරිබ්‍රාජක වෙස් හැර වැදිවෙස් ගන්වා තමාගේ ගෙට ගෙන ගොස් ජාවි නම් දුව සරණ දින. එ තැන් පටන් එතෙම එක් වේලෙක මයිලා සිත් ගන්මි යි දැල්කත් පන්කත් මස්කත් අදී. එක් වේලෙක නැන්දා සිත් ගන්මි යි දරමිටි පලාමිටි ආදිය ඇද දෙයි, එක් වේලෙක අඹුව සිත් ගන්මි යි වී සාල් පෑර දී පැන්කත් ඇද දී නොයෙක් කර්මාන්ත කෙරෙයි. නොබෝ කලකින් මෙසේ දුක් ගැන්මෙන් තෙමේ ඉතා ම ජරා වී ය. ජාවි නම් අඹු ඕහට භද්දක නම් පුතකු වදා එතැන් පටන් පුතු වඩාගෙන තොමෝ ඔහු කෙරේ හිඳ මොහු අතින් ම සියලු කර්මාන්ත කරවයි. පුතු නලවන කල මොහු ඇසිය දී ‘මස්කත් අදිනා කත් සුමයගේ පුත නොහඬ’යි කිය කියා මෝහට බැණ බැණ පුතු නලව යි. එ කල ඒ තෙම ලජ්ජා ඇති ව: “කෙළි තෝ මා නිරාශ්‍රය වූ එ කලා එකකු ය යි සිතයි ද? මම නිරාශ්‍රය එකෙක්ම නො වෙයි. අනන්ත ජිනයෝ ය යි යන මාගේ යෙහලනු කෙනෙක් ඉතා බලවත්හ. මෙසේ තෝ මට බෙණෙයි නම් මම ඔවුන් කරා පලා යෙමියි” කී ය.

එ කල ජාවී ඔහුගේ බස් අසා “මෝහට මා කියන බස් ප්‍රිය නොවන වන, මොහු ජරාපත් මහල්ලා නිසා යෞවන පුරුෂයෝ මා කරා නො එළැඹෙති. මෝහට නොයෙක් කන්කටුළු බස් කියා බැණ මොහු පලවා පියා සිත් සේ වෙසෙමි”යි සිතා එ තැන් පටන් දවසින් දවස පුතු තොමෝ ම හඬ ව හඬවාලා පුතු නලවන ව්‍යාජයෙන් “මස් වැද්දහුගේ පුත නොහඬ. කත් අදනා සුමයගේ පුත නො හඬ, මූඩයගේ පුත නොහඬ, කොළතොල්ලගේ පුත නොහඬ” යනාදීන් කිය කියා මෝහට බැණ එකාවනු ව ලජ්ජාකරවයි. එකල එ තෙම ඇගේ නින්‍දා කිරීමෙන් ඉතා මහත් වූ ලජ්ජා ඇතිව අඹුව හා පුතු හැර ගිහිගෙයි කලකිරී නැදිමයිලන්ටත් නො කියා ඒ දනව්ව හැර පෙර ගිය සලකුණෙන් බරණැස් වැද අනන්ත ජිනයෝ කොයි දැ යි දුටු දුටුවන් අතින් විචාරයි. සමහරු එනම් කෙනෙකුන් අපි නුදුටුම්හයි කියති. සමහරු කෙසේ වූ කෙනෙක් දැ යි විචාරති. ඔහු ඉතා සන්තෝෂ කෙනෙක, උන් වැනි කෙනෙක් නැත. අසවල්හූ වැනියෝ ය යි කිය නො හෙමි. ඔහු තුමූ ම තමන් වැනි කෙනෙක, අමා කඳක් වැනි කෙනෙක, කප්රුකක් වැනි කෙනෙක, සිතුමිණිරුවනක් වැනි කෙනෙක, ගනරන් පිඬක් වැනි කෙනෙක, සුපිපි පියුමක් වන් මුවපියුමක් ඇති කෙනෙක, විදුලිය වන් කන්වැල් සඟළක් ඇති කෙනෙක, නලළැ මකුල් තිලකයක් වන් ඌර්ණරෝමයක් ඇති කෙනෙක, නන් සුවඳින් පිරුණා වූ ශ්‍රී මුඛයක් ඇති කෙනෙක, සඳවලාකඩක් වන් රත් සිවුරක් ඇති කෙනෙක, ඇත් ගමනක් වන් සන්හිඳී යන ලීලා සම්පන්න වූ ගමන් ඇති කෙනෙක, මිහිරි වූ කටහඬ ඇති කෙනෙක, දෙතිස් අසූලකුණු ඇති කෙනෙක, සියලඟින් නිකුත් සවණක් රස් ඇති කෙනෙක. ඔහු හිරුට වඩිති, සඳුට වඩිති, දෙවියන්ට වඩිති, බඹුන්ට වඩිති, අනන්තජිනයෝ ය යි කියති, මෙම බරණැස දි එක් සමයෙක. අතරමගදී මග යන්නවුන් දිටිමි. ඔහු දැන් කොයි වෙසෙද් දැ”යි විචාළේ ය.

එ කල නුවණැති සත්ත්‍වයෝ මොහු කියන සලකුණෙන් බුදුන් විචාරණ බව් දැන එවකට බුදුන් දෙවුරම් වෙහෙර වැඩ වසන කල් හෙයින් කොසොල් රජුගේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර ගොස් දැකගන්ව යි කීහ.

එකල ස්වාමිදරුවෝ මොහු තමන් වහන්සේ කරා එන කල් දැන මහණෙනි! අනන්තජිනයෝ කොයිදැ යි විචාළ කෙනෙක් ඇත් නම් ඔහු මා කරා ගෙනෙවයි වදාළ සේක. එ සමයෙහි මෙතෙමේ දෙව්රම් වෙහෙර දොරටුවට ගොස් සිට අනන්තජිනයෝ නම් වූ මාගේ රූපත් යහළුවෝ කොයිදැ”යි කී ය. පෙර බුදුන් අතින් නියෝග ලත් භික්‍ෂූන් වහන්සේ ඔහු ගෙන ගොස් බුදුන් දැක්වූ සේක. හෙතෙමේ බුදුන් දැක ඝර්මකාලයෙක අමා විලෙක ගැලෙන්නවුන් සේ බුදුන් දැක සිත් සේ වැඳ පෙරළී ‘අනන්ත ජිනයෙනි, මා හඳුනාදැ’යි විචාළේ ය. එ වේලෙහි ස්වාමිදරුවෝ ඔහු කෙරෙහි උපන් මහත් කුළුණු ඇති ව ‘එසේ ය උපකයෙනි, තොප හඳුනම්හ. එ දවස් බෝමැඩ ඉසිපතනයට යනුවමෝ අතරමග දී තොප දුටුවමෝ වේද, මෙතෙක් දවස් කොයි විසූදැ යි වදාළ සේක. හෙ තෙමේ තමා වංඟහාර නම් දනව්වෙහි විසූ නියාවත්, ජාවී නම් භාර්‍ය්‍යාවක් රක්‍ෂාකොට භද්දක නම් පුත්‍රයා ලත් නියාවත්, ඇගේ අවඥාවෙන් ගෘහවාසයෙහි කලකිරී බුදුන් කරා දෙව්රම් වෙහෙරට තමා ආ නියාවත් බුදුන්ට දැන්වීය. එයින් කීහ:-

ජාවිඤ්ච භද්දකං හිත්‍වා-අනන්තජින සන්තිකං

වංගහාරා ජනපදා උපකො ජෙතවනං ගතො.

ඉක්බිත්තෙන් උපක නම් ආජීවක “ස්වාමීනි, අනන්තජිනයෙනි, මා තොප කෙරේ මහණ කරවාගනුව”යි කීය. ස්වාමිදරුවෝ වදාරණ සේක් “තෝ ඉතා මහල්ලෙහි ය. මාගේ ශාසනයෙහි මහණ ධම් පුරාගත වේදැ”යි වදාළ සේක. “මනාකොට පුරමි! ස්වාමීනි යි” කී ය. එ වේලෙහි බුදුහු ඔහු මහණකරවා උපසම්පදා සීලය දී ඕහට තරම්වූ කමටහන් උගන්වා වදාළ සේක. එ කල විදර්ශනා වඩා නොබෝ දවසකින් අනාගාමී ව උපක නම් මහතෙර ව බුදුසසුන් හොබවා බුදුන්ට සම්‍යක් ප්‍රතිපත්තින් පූජාකොට ආයු කෙළවර මිස දහසක් කපට ආයු ඇති අවිහ නව සුද්ධාවාස බඹලොව දොළොස් යොදුන් බ්‍රහ්මාත්ම භාවයකින් ඉපද, උපන් කෙණෙහිම රහත් ව දස ඇඟිල්ලෙන් දිවූ දසරස් කඳින් දසදහසක් සක්වළ අලු කරණ තරම් මහත් වූ ආනුභාව ඇති ව දැන් දක්වා සුව විඳිනාහු ය. ඔහු මතු නො වෙයි. අපගේ මේ බුද්ධෝත්පාදයෙහි සද්දෙනෙක් මෙහි දී අනාගාමී ව ගොස් එම බමලොව ඉපද උපන් කෙණෙහි ම රහත් වූ දහසක් කප් බ්‍රහ්මසුව විඳිනාහු ය. වදාළේ මැනෝ:-

අවිහං උපපන්නාසෙ - විමුත්තා සත්ත භික්ඛවො,

රාගදොස පරික්ඛිණා - තිණ්නා ලොකෙ විසත්තිකං,

.

උපකො පලගණ්ඩො ච-පුක්කුසාති ච තෙ තයො,

භද්දියො ඛණ්ඩ දෙවො ච - බාහුදන්ති ච පියබයො;

තෙ හිත්‍වා මානුසං දෙහං - දිබ්බං යොගං උපච්චගුං - යි.

මෙසේ ඕහට මතු වන වැඩ දැක අටළොස් යොදුන් මඟ ගෙවා ශ්‍රීපාදයෙන් වැඩ එ දවස් ඔහු හා සමග මෙතෙක් කථාකොට මාගේ ස්වාමිදරුවෝ බරණැස ඉසිපතනාරාමයට එදා සවස වැඩි සේක.