එබස් අසා පස්වග මහණහු බුද්ධතේජසින් වෙවුලා කේශර සිංහයක්හු දුටු ඇත්පැටවුන් සේ විදව දළ නො සොල්වා එකත්පස්ව උන්හ. එ වේලෙහි ස්වාමි දරුවාණන් වහන්සේ අනන්තා පරියන්ත වූ බුදුන් දම්සක් දෙසන දා වැඩහිඳිනා වූ ධම්මභූමියෙහි පැනනැගි බුද්ධාසනයෙක් විය. මහමුහුද රළ පෙළ මැඩ අඳුරු විදහා උදයපර්වතයට පැන නැංගාවූ සම පනස් යොදුන් ඒ හිරු මඬල සේ බුද්ධාසනයට පැනනැඟී සියලඟින් බුදුරස් කඳ හරින්ට පටන්ගත් සේක. දිවු බුදුරැස් බඹලොව ගැසී සක්වළගලින් සක්වළ ගලට පැන පැන දිවන්නට පටන්ගත. එ කෙණෙහි නිශා නමැති කාන්තාව තරුපෙළ නමැති ගෙලෙ මුතුදම් පැලඳ, නිල්වලා නමැති කෙස්වැව තනා, දික් නමැති හස්තයෙන් සඳරස් නමැති දිවසළු විදා හැඳ, බඹලෝ නමැති මිණිඔටුනු දරා, තුන්ලෝ නමැති ඇඟ සොල්වා, කෞමද නමැති ඇස් දල්වා, භෘඞ්ගනාද නමැති ගායනා පතුරුවා, මාගේ ස්වාමිදරුවන් වහන්සේ පළමුවන මඟුල් බණ පූජාවට මෙසේ ලීලොපෙතව සැරහී සිටගත.
එ කෙණෙහි ම ඈට ම අලඞ්කාර වූ රුවන්තෝඩු දෙකක් තිබුවා සේ සමපණස් යොදුන් හිරුමඬල පශ්චිම චක්‍රවාට කර්‍ණය සරහා සිටගත. පූර්‍වචක්‍රවාට කර්‍ණෙයන් පැනනැගි එකුන් පණස් යොදුන් සඳමඬල ප්‍රභා විහිදුවමින් සිටගත. එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන්ගේ ධර්‍මදේශනා කාලය සම්ප්‍රාප්ත විය. මෙරගල නටා පැනනැංග සත්කුළ පව්වෝ බුදුන් දසාවට වැඳුම් ගත්හ. සක්වළගල සක් වළල්ලක් සේ බමා ලී ය. මහමුහුද ඇද සදාලු බෙරයක් සේ රළ සන්හිඳී පස්පියුමෙන් සැදී ගිය. මහ පොළොව සෙලවී පැනනැංග, මේ ආදි වූ දෙතිස් මහා පූර්ව නිමිත්ත පූජාවෝ ද මගුල් බණට පහළ වූහ.
එ කෙණෙහි දසදහසක් සක්වල දිව්‍යබ්‍රහ්මයෝ ‘අපගේ ස්වාමිදරුවෝ දහම් අමාවතුරෙහි අප හැම ගලා සංසාරදුක් නමැති මහ ගිම් නිවති. ඔහුගේ දහම් අමාරස බොන්නට යම්හ’යි කියා දසදහසක් ලොව අසුරයන් වන් ශක්‍රපුරය සේ ඇළල, දසදහසක් සක්වළ දිව්‍ය නාගයෝ කඩුපුල්මල් මිටි ගෙන දිවූ ය. ගරුඬයෝ මහ පියුම් තුඩින් කඩාගෙන දිවුය. ගන්‍ධර්වයෝ තූර්‍ය්‍යභාණ්ඩ ගෙන දිවුය. අසුරයෝ පළොල්මල් ගෙන දිවුය. දෙවියෝ පරසතුමල් ආදි වූ නන් විසිතුරු දිවමල්ගෙන දිවුය. බ්‍රහ්මයෝ සේසත් ගෙන දිවුය. දසදහසක් සක්වළ මුළුල්ලෙහි සඳහිරුදෙවියෝ දිවුය. පළමුව දිවු පිරිස ගව්වක් සා තැන සැට සැත්තෑව බැගින් සිටියහ. දෙවනුව දෙවියන් එත් එත් අල්ලක් සා තැන අසූවක් අනූවක් බැගින් සිටියහ. තුන්වෙනුව දෙවියන් එක් එක් අඟලක් සා තැන සියයක් දහසක් බැගින් සිටියහ. සතරවෙනුව දෙවියන් එත් එත් ඉදිකටු මලක් සා තැන සියයක් දහසක් බැගින් සිටියහ. පස්වනුව දෙවියන් එත් එත් ඉදිකටු අගක් සා තැන දහසක් බැගින් සිටියහ. සවනුව දෙවියන් එත් එත් එම සා තැන සුවහසක් සුවහසක් බැගින් සිටියහ. මෙසේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි සැටදහසක් කාමාවචර දිව්‍ය ලෝකවල දෙවියන් තමන් තමන්ගේ දෙව්ලෝ සිස්කොට ගහනව අවුත් හි වි ගැවසී සිටගත් වේලෙහි;
තව ද දසදහසක් සක්වළ අරූතල අසංඥ තලයන් හැර එක්ලක්‍ෂ පනස් දහසක් රූපාවචර බ්‍රහ්මලෝකවලට එක බ්‍රහ්මයකුත් නො රඳා දොළොස් යොදුන් උස ඇති ඒ සා බ්‍රහ්මසේනාව තුන්යොදුන් ගවු සා සේසත් ගෙන අවුත් සිටගත්හ. යහලක් පමණ ධාන්‍යයන් එක ලාහස්සෙක නො ගන්නා සේ මේසා සක්වළ ගබ සතර රියන් ගබඩා සුඟක් සේ අවකාශ මඳ විය. එකල දෙවියෝ සත්වනු ව එන බ්‍රහ්මසේනා දැක තව ද සියුම් වෙස් මවාගෙන කෙස් ලොම් අගක් සා තැන සැට සැත්තෑ අසූ අනූ බැගින් සිට ගත්හ. මෙසේ සිටි දිව්‍ය-බ්‍රහ්ම සේනා සක්වළ ගල පරියන්තව අකනිටා බඹලොව දක්වා නලෙක පුරාලූ රන්සුණු සමූහයක් සේ අවකාශයක් නැති ව ම සිට ගත්හ. බඹලෝ සිට වට පැලක් සා ගලක් හෙළාපී කල සාරමස් දෙපෝයකින් අවුත් පොළොවට පැමිණෙයි. මෙසේ දුරු වූ අවකාශය මාගේ බුදුන්ගේ පළමුවන මගුල් බණෙහි පිරිස් ගහනයෙන් මෙසේ අස්ලොමක් සා තැනුත් අවකාශයක් නැතිව සිටගත්තා වූ බණපිරිස ම ය.
තව ද බුදුන් වැඩහුන් බුද්ධාසනයේ පටන් බ්‍රහ්මාණ්ඩය දක්වා බුදුන් සිරසින් පැනනැගි බුදුරස් කඳට ම අවකාශ විය. විමනෙක් වේව යි, දෙවි බඹ කෙනෙක් වේව යි බුදුරස් කඳෙහි නො ගෑවෙන්නාහු ම ය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවන් සිරසට පිදූ සඳමඬුලු සේ දස දහසක් මහාබ්‍රහ්මයෝ දස දහසක් සේසත් මතු මතුයෙහි තබා සිට ගත්හ. දස දහසක් ශක්‍රයෝ බුදුන්ගේ යසරැස් උරා බොන්නවුන් සේ දස දහසක් ජයසක් තුඩ තබාගෙන පිඹින්ට පටන්ගත්හ. දස දහසක් සුයම් දෙවියෝ දස දහසක් චාමර සලති. දස දහසක් සන්තුසිත දෙවියෝ දස දහසක් මිණි තල් වැට සලති. සෙසු දෙවියෝ රන් තොරණ මිණි තොරණ රන් ඇගෑ මිණි ඇගෑ රන් පියුම රුවන් පියුම රන් මල් රුවන් මල් රන් කරඬු රුවන් කරඬු රන් සුණු රුවන් සුණු මුතු සුණු රන් දම් රුවන් දම් මුතු දම් ආදි වූ පූජා භාණ්ඩ ගෙන සිට පූජාකරන්ට පටන් ගත්හ. එකල දෙවියන්ගේ පූජා කෝලාහලයෙන් බ්‍රහ්මාණ්ඩය දක්වා ගැවසී ගත් මුහුද ගිගුමක් සේ එකනින්නාද විය. දෙවියන්ගේ අරගලය සන්හිඳුවාලන්ට සමර්ථ අන්කිසි සත්ත්‍වයෙක් නැත්මය. බුදුන් වටා සිටි දස දහසක් ශක්‍රයෝ ඒ තමන් කළ මනා ධුරයක් හෙයින් දස දහසක් දකුනු සක් පිඹ සක් පිට වතුරුවා ගෙන විසි දහසක් අත් ඔසවා එකවිට අත්පොළසන් දී ‘ඔ හෝ බණ පිරිස සන්හිඳෙව’ යි කියා තුන්ලෝ වෙවුල්වා බැණ නැංගාහ. එ වේලෙහි ඒ ශක්‍රඝෝෂාව අසා තුන්ලෝ පුරා සිටි දෙවි බඹ පිරිස් රළ නැති මුහුදක් සේ නිශ්ශබ්ද වූහ. එකෙණෙහි දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළොව සාධුකාර දින.
මාගේ ස්වාමිදරුවෝ ඒ මහීනාදය හා සමග තමන් වහන්සේගේ පාරමිතා නමැති දියෙන් පිරුණු වූ, බුද්ධඥාන නමැති සූර්‍ය්‍ය කාන්තියෙන් ප්‍රබෝධ වූ, සුරකත වූ ජිහ්වාධාතු නමැති කෙමි ඇති දන්තධාතු නමැති කෙසුරු ඇති, සුරකත වූ ඔෂ්ඨධාතු නමැති පත්‍ර ඇති, සද්ධර්ම නමැති මධුබින්‍දු ඇති, ශ්‍රීමත් වූ මුඛපද්මය විවෘත කොට බැණ නැගි බසින් දිවු සුවඳ ගඳින් සියලු බණ පිරිස සුවඳ පිඬක් සේ කෙරෙමින්, “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො භීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්‍ථසංහිතො යොචා‘යං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්‍ථසංහිතො එතෙ තෙ භික්ඛවෙ උභො අන්තො අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චන්‍ධුකරණි ඤාණකරණි උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති”ති යනාදීන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට පටන්ගත් සේක.
එ කල පූර්ව චක්‍රවාටයෙහි සිටි දෙවියෝ බුදුහු අප මුහුණ බල බලා ම හිඳ බණ දෙසති යි සිතති. දක්‍ෂිණ චක්‍රවාටයෙහි සිටි දෙවියෝ බුදුහු දකුණුදිග් බලා ම වැඩහුන්සේකැ යි සිතති. පශ්චිම චක්‍රවාටයෙහි සිට දෙවියෝ බුදුහු පශ්චිම දිග් බලා ම වැඩහුන් සේකැ යි සිතති. උත්තර චක්‍රවාටයෙහි සිටි දෙවියෝ බුදුහු උතුරු දිග් බලා ම වැඩහුන්සේකැයි සිතති. දස දිග සිටි දෙවියෝ තමන් තමන් දිසාවට මුහුණ ලා වැඩහුන් සේකැ යි සිත සිතා පින පිනා ම බණ අසති. සදෙව්ලොව සිටි දෙවියෝ තම තමන්ගේ දිව්‍යලෝකයෙහි දී ම බණ වදාරණසේකැ යි සිත සිතා ම සතුටු සතුටු ව ම අසන්නාහු ය. බ්‍රහ්මලෝකවල සිට බණ අසන බ්‍රහ්මයෝ තමන් තමන්ගේ බඹලොව දී ම වදාරණ බණෙකැ යි සිත සිතා විඳ විඳ අසති. බුදුහු නම් සඳ සේ උපමා ඇති සේක. යම් සේ ගුවන් මුදුනෙහි දිලියෙන්නා වූ සඳ බැලු බැලු සත්ත්‍වයන් අභිමුඛයට ම පෙනේ ද, ඉවත් ව නො පෙනේ ද, එසෙයින් ම මාගේ ස්වාමි දරුවෝත් තමන් වහන්සේ සියලු සතුන් කෙරෙහි සම ව පවත්නාවූ මහා කරුණා ඇති හෙයින් සියලු සතුන් අභිමුඛයටම පෙනි පෙනී සියලු සතුන්ගේ සිත් තමන් වහන්සේ කරා ම ඇද ඇද සියලු සතුන්ගේ ඇස් තමන්වහන්සේගේ ඇස් හමුවට ඇද සියලු සතුන්ගේ ප්‍රේම නමැති මහා ගඞ්ගාවන් තමන් වහන්සේගේ රූප නමැති මහ මුහුදට ඇද ප්‍රේම වඩ වඩා, බණ වදාරණ සේක්මය.
තව ද අකනිටා බඹලොව සිට බණ අසන්නා වූ, දොළොස් යොදුන් උස ඇති මහා බ්‍රහ්මයෝ දොළොස් රියන් උසින් මිනිස් ලොව වැඩහිඳ බණ වදාරන්නාවූ මාගේ ස්වාමිදරුවූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය පුන්සඳක් බලන්නවුන් සේ කර ඔසව ඔසවා බල බලා බණ අසන්නාහු ම ය. අනවලෝ මුදුන් ධාතුව සඳ මතුපිට නො දක්නවුන් සේ එක කෙනෙකුත් නො ම දක්නාහු ය. එදා තමා ස්වාමිදරුවන් බුදුව වැඩහුන් පන්සාළිස් හවුරුද්ද මුළුල්ලෙහි ම කිසි දෙවියෙක් බඹෙක් මරෙක් ඒ අනවලෝ මුදුන් ධාතුව නුදුටුයේ ම ය.
එ වේලෙහි පොළොව පටන් බඹලොව දක්වා ගැවසී සිටින මේ සා බණ පිරිසෙහි මේ සත්ත්‍වයා රාග චරිතය. මේ සත්ත්‍වයා ද්වේෂ චරිතය, මේ සත්ත්‍වයා මෝහ චරිතය, මේ සත්ත්‍වයා ශ්‍රද්ධා චරිතය, මේ සත්ත්‍වයා බුද්ධි චරිතය, මේ සත්ත්‍වයා විතර්ක චරිතය, යනාදීන් එකි එකී සත්ත්‍වයකුගේ සිත් තෙසැටක් තෙසැටක් නියායෙන් වෙන වෙන ම චරිත බලා වදාරණ සේක්මය. තවද මේ බ්‍රහ්මයා සිතුයේ මේ ය, මේ දිව්‍යයා සිතුයේ මේ ය, මේ අසුරයා සිතුයේ මේ ය, මේ යක්‍ෂරාක්‍ෂයා සිතුයේ මේ ය, මේ සිද්ධ විද්‍යාධරයා සිතුයේ මේ ය, මේ වස්සවලාහකයා සිතුයේ මේ ය, මේ නාග සුපර්ණයා සිතුයේ මේ ය, මේ ස්ත්‍රී මේ පුරුෂයා සිතුයේ මේ ය, මේ අපාද ද්විපාදයා සිතුයේ මේ ය, මේ චතුෂ්පාදයා සිතුයේ මේ ය, මේ බහුප්පාදයා සිතුයේ මේ ය, යටත් වශයෙන් මේ පණු පැණියා සිතුයේ මේ ය, මේ කුරුකුහුඹුවා සිතුයේ මේ ය යි යනාදීන් සියලු සතුන්ගේ සිත් දැක බණ වදාරණ සේක් ම ය.
තව ද මාගේ ස්වාමිදරුවන් එක මාගධික ශබ්දයෙන් වදාරන්නාවූ බණ බ්‍රහ්මයෝ බ්‍රහ්ම භාෂාවෙන් කියති යි සිතති. දිව්‍යයෝ දිව්‍ය භාෂාවෙන් කියති යි සිතති. අසුරයෝ අසුර භාෂාවෙන් කියති යි සිතති, නාගයෝ නාග භාෂාවෙන් කියති යි සිතති. ගරුඬයෝ ගරුඬ භාෂාවෙන් කියති යි සිතති. මනුෂ්‍යයෝ වෙන වෙන තමන් තමන්ගේ නො එක් මනුෂ්‍යභාෂාවෙන් කියති යි සිතති. සිවුපාවෝ තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති. හංස මයූරාදි පක්‍ෂීහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති. යටත් වසයෙන් සියලු ක්‍ෂුද්‍ර ප්‍රාණීහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති. කුරුකුහුඹු සිණි පැණි ආදි වූ සූක්‍ෂම ප්‍රාණීහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතා විඳ විඳ අසති. මෙසේ සියලු සතුන්ගේ භාෂානුකූල ව බණ වදාරණසේක්ම ය. මේ සාරාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි ඉස් දී, මස් දි, ඇස් දී, ලේ දී, අඹු දරුවන් දී, රාජ්‍ය දී, උතුම් වූ ධන දී, කළ පාරමිතාවන්ගේ ආනුභාවයෙන් ජනිත වු පින් සම්භාරයන් හෙයින් මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේගේ මේ අසාධාරණ වූ බුද්ධානුභාවය හා බුද්ධඥාන හා බුද්ධවික්‍රම හා බුද්ධශ්‍රි අචින්ත්‍යම ය. අසදෘශ ම ය. ඔබ සේ වූ බුදුකෙනකුන්ට මුත් අනික් සත්ත්‍වයක් හට ඒ අවිෂම ය. අචින්ත්‍යම ය. නො දැනේ ම ය. නො සිතේ ම ය. අසාධාරණම ය. ආශ්චර්‍ය්‍ය ම ය. විසමය ම ය, මට ද මේ ඇසූ සිතූ සියලු සතුන්ට ද මේ වික්‍රමය වාසනා වේව යි මෙසේ මාගේ ස්වාමිදරුවෝ සියලු සතුන් කැමැති කැමැති රස කවා පොවන එක් මෑණිකෙනකුන් සේ හැමදෙනා කැමැති කැමැති චරිතයෙන් බණ වදාරා ඒ දම්සක් පැවතුම් පළමුවන සූත්‍රදේශනාව මෙසේ සමහර කොට වදාළ සේක.
එ කෙණෙහි පස්දෙනා වහන්සේට වැඩිමහලු අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් මහ තෙරුන් වහන්සේ කෙළ දහසක් පමණ කෙලෙසුන් නසා දහසක් නයින් සම්පූර්ණ වූ සෝවාන් මාර්ගයෙන් වැඳ අමා මහ නිවන් පුරය දුටු සේක. එදා අසඞ්ඛ්‍යයක් දෙවියෝ සෝවාන් මාර්ගයෙන් වැද අමාමහ නිවන් පුරය දැක සතුටු වූහ. තව ද අසඞ්ඛ්‍යයක් දෙවියෝ දෙවන වූ සෙදගැමි මාර්ගයෙන් වැඳ අමාමහ නිවන් පුරය දැක පිනා ගියහ. තව ද අසඞ්ඛ්‍යයක් දෙවියෝ තුන්වන වූ අනාගාමි මාර්ගයෙන් වැඳ අමාමහනිවන් දැක සතුටු වූහ. තව ද අටළොස් කෙළක් මහා බ්‍රහ්මයෝ සතරවන වූ රහත් මගින් වැඳ අමාමහනිවන්පුරය දැක සසර දුකින් මිදී ගියහ. මෙසේ එදා මාගේ ස්වාමිදරුවෝ ඇසළ මැදිපොහෝදා පතළ සඳපානේ කළා වූ පළමුවන ධර්මදේශනාවෙහි තුන් අසඞ්ඛ්‍යයක් දෙවියන් හා අටළොස් කෙළක් බ්‍රහ්මයන් නිවන් දක්වා නිවන් කෙළවර බණ සමහරකොට තොප තොපගේ විමන් යව යි අවසර දුන්සේක. එ කල දිව්‍ය බ්‍රහ්මයෝ ස්වර්ණ රස ධාරාවෙන් අභිෂික්ත ගාත්‍රා ඇතියවුන් සෙයින් පින පිනා සාධුකාර පවත්වා බුදුන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට බුදුන්ට ස්තුති කොට තමන් තමන්ගේ භවනයට ගියාහුය.
මෙසේ බුදුහු තමන් වහන්සේ පළමුවන ධර්මදේශනාව කළ දා පූර්වනිමිත්ත නම් වූ මහා පූජා දෙතිසක් හා, කාමාවචර දිව්‍යරාජයන් කළ අනූ දහසක් පූජා හා, මහාබ්‍රහ්මයන් කළ එක්ලක්‍ෂ පනස් දහසක් පූජා හා, මෙසේ දෙලක්‍ෂ සතලිස් දහස් දෙතිස් මහා පූජාවක් ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, සද්ධර්ම මහා චක්‍රවර්ති වූ, සද්ධර්ම මහා මේඝ වූ, සද්ධර්ම මහා ප්‍රවාහ වූ, සද්ධර්ම මහා ගඞ්ගා වූ, සද්ධර්ම මහා සමුද්‍ර වූ, සද්ධර්ම මහා චූඩාමණි වූ, සද්ධර්ම මහා කිරීට වූ, සද්ධර්ම මහා තිලක වූ, සද්ධර්ම මහා කේතු වූ, සද්ධර්ම මහා නිධාන වූ මාගේ ස්වාමිදරු වූ, ශෞද්ධෙදනීය වූ, ගෞතම ගෝත්‍රෙයහි උපන් හෙයින් ගෞතම නම් වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේමැ යි:
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොක නාථො,
අත්තානු රූපං අරහන්තිලොකෙ,
තස්මා ජිනො අරහති නාම මෙතං යි.
මේ පූජාවලියෙහි අප බුදුන් පළමුවන දම්සක් පැවතුම් සූත්‍ර දේශනායෙහි දී ලද
ඉසිපතනාරාම පූජා කථා නම් වූ තෙළෙස් වන පරිච්ඡේදය නිමි.