ඔවුන් අතුරෙහි හැමදෙනාට ශිල්ප දුන් රාම ය, ධජ ය, ලක්‍ෂණ ය, [1]ජාතිමන්ත්‍රි ය, කොණ්ඩඤ්ඤ ය, භොජ ය, සුයාම ය, [2]සුදත්ත ය, යන මේ ආචාර්‍ය්‍ය බමුණන් අටදෙනා අතුරෙන් වැඩි මාලු සත්දෙන බෝසතුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූ අනුව්‍යංජන ලක්‍ෂණයන් දැක “මේ කුමර ගිහිගෙයි වෙසේ නම් චක්‍රවර්ති රජ ව. සතර මහා සෘද්ධි ඇති ව, සතර මහාද්වීපයෙහි ආකාශයෙන් ඇවිද අනුශාසනා කෙරෙයි. මහණ වී නම් ලොවුතුරා බුදුව දිව්‍යබ්‍රහ්මයන් අතින් වැඳුම් ගන්නා පින් ඇත්තේ ය යි ව්‍යාකරණ දෙකක් කියා සත්දෙන ම දෙ ඇඟිලි ඔසවා පෑහ. ඔවුන් සත්දෙනාට බාල සුදත්ත කොණ්ඩඤ්ඤ නම් බමුණු ආචාර්‍ය්‍ය තෙමේ ඌර්ණ ලෝම ධාතුව සුදුසු සේ දැක චක්‍රවර්ති වේ නම් මේ ලොම ය රන්තිලකයක් සේ තිබෙයි. බුදු වන්නාහට මකුල් තිලකයක් සේ තිබෙයි. ඒකාන්තයෙන් මේ කුමර බුදු වේ ම ය”යි කියා එකැඟිල්ලක් ඔසවා පෑහ.
එදා ඒ මගුල් පිණිස රැස් වූ බ්‍රාහ්මණයෝ මේ කුමර මතු ලොවට ද සිද්ධාර්ථ කෙරෙයි. තමාට ද සිද්ධාර්ථ කෙරෙයි කියා සිද්ධාර්ථ කුමාර යයි නම් තබා ගියහ. ගොසින් ඒ බමුණෝ අටදෙන තම තමන්ගේ ගෙයිදී පුතුන් කැඳවා කියන්නාහු, “දරුවෙනි! ශුද්ධෝදන රජ්ජුරුවන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ පන්තිස් හවුරුද්දක් ගියකල බෝමැඩ හරා බුදු වෙති. අපි ඉතා මහල්ලම්හ. තෙපි උන්ගේ සසුන් වැද මහණ ව සසරින් ගැළවෙව”යි අවවාද කීහ. ඔවුන් අතුරෙන් මහලු සත්දෙන නොබෝ කලෙකින් පරලොව ගියහ. ළදරු සුදත්ත කොණ්ඩඤ්ඤ මානවකයෝ ඉතා නිරෝගීහ. නිරෝගී හෙයින් එ කල ගිහිගෙය හැරපියා තවුස්වෙස් ගෙන දඹදිව ඇවිදිනාහු උරුවෙලා නම් දනව්වෙහි ඉසිපතන් ගොස් මේ භූමිභාගය තපස්වීන්ට රම්‍ය යයි එ තැන සිත් අලවා ‘සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ මහබිනික්මන් කරන කල් දක්වා මෙ තැන වෙසෙමි”යි වාසය කොට බෝසතුන් මහබිනික්මන් කළ බව අසා පසුව මහලු බමුණන් සත්දෙනාගේ දරුවන් කරා ගොස් “ඉදින් තොපගේ පිය බමුණෝ දැන් ඇත්තාහු වූ නම් බෝසතුන් හා සමග මහණ වෙති. ඉදින් තෙපි හැම කැමැත්තාහු වූ නම් මා හා සමග එව”යි කියා හැමදෙනා ම නො ගිවිස්නා හෙයින් භද්දිය ය, වප්ප ය, මහානාම ය, අස්සජි ය, යන සතරදෙනා ගිවිස්වා ගෙන මහණ කරවා ගෙන ගොස් මෙසේ පස්දෙනා වහන්සේ උරුවෙලා නම් දනව්වෙහි විසූ සේක. පස්වග මහණුන්ගේ උත්පත්ති කථාව මෙසේ විය යුතු.
එදා බෝධිසත්ත්‍වයන්ට නම් තබන මඟුලට රැස් වූ අසූදහසක් කුලෙහි නෑයෝ “මේ සිද්ධාර්ථ කුමාරයෝ මතු ඉදින් චක්‍රවර්තී වූ නම් ක්‍ෂත්‍රිය සේනාව ම පිරිවරා ඇවිදිති. ඉදින් බුදු වූ නම් ක්‍ෂත්‍රිය භික්‍ෂූන් ම පිරිවරා ඇවිදිති. මේ දෙ කාරණයෙන් ම අප දරුවන්ට මතු වැඩ වෙයි” සිතා අසූදහසක් ශාක්‍ය කුමරුවන් බෝසතුන් හා සමග වඩනා සේ එදා ම රජගෙයි ලා ගියහ.