කිරි මවුන් තේරීම

star_outline

ඉක්බිත්තෙන් ශුද්ධෝදන රජ්ජුරුවෝ “මපුතණුවන්ට කිරි මවුන් ගෙනෙව”යි ශාක්‍ය-කෝළිය දෙ නුවරින් රජදූන් ගෙන්වා කිරිමවුන් තෝරන්නාහු ඉතා උස් වූ ගෑනුන් ඔර හිඳ කිරිබොන දරුවන් කර ඔසවා කිරිබොන හෙයින් ග්‍රීවා දික් වෙයි. ඉතා මිටිවූ ස්ත්‍රීන් ඇකයේ හිඳ කිරි බොන දරුවන් කර නමා බොන හෙයින් බද කර වෙයි. ඉතා ස්ථූල වූ ස්ත්‍රීන් ඇකයෙන් වඩනා දරුවන් බකල වූ පා වයෙි. ඉතා දුර්වල වූ ස්ත්‍රීන් වඩනා දරුවන් කලවේ සිහින් වෙයි. ඉතා එළලි වූ ස්ත්‍රීන්ගේ තනයේ කිරි හුණු වන හෙයින් හුණු කිරි පූ දරුවන් ඇඟ [1]ලවුණ ඇතිවෙයි. ඉතා කැළි වූ ස්ත්‍රීන්ගේ තනයේ කිරි සිහිල් වන හෙයින් ඇලි කිරි පූ දරුවන් ඇඟ මස් පිපිසලු වෙයි කියා මේ වරද සයින් දුරු ව උසුත් නො වන, මිටිත් නොවන, ස්ථූල ත් නො වන, දුර්වලත් නොවන, එළලි ත් නො වන, [2]කැළි ත් නො වන, ස්ත්‍රීන් ම තෝරා සියගනන් කිරිමවුන් ලූහ.

මෙසේ තරු පිරිවර සඳ සේ වැඩී මාගේ ඒ බෝසතාණන් පස්මැසි වූ කල ඒ ශුද්ධෝදන රජ්ජුරුවන්ගේ මහ පෙළහරින් යුක්ත වූ වප් මඟුලෙක් වි ය. එදා ඒ මුළුනුවර දෙව්නුවරක් සේ සරහා ඒ රජ ශක්‍රදේවේන්‍ද්‍ර ලීලායෙන් සැරහී දිව්‍යසේනාවක් බඳු වී මහ සෙනඟ පිරිවරා පායෙන් නික්මෙනුයේ පුතණුවන් රන්සිවූ ගෙයකින් වඩාගෙන එ කෙත්වත් කෙළවර ඝන වූ ඡායා හා අභිනව වූ පත්‍රයෙන් ගැවසී ගත් මහ දඹගසක් මුල සුදුවැල්ලෙන් තවරා, යහන් සලසා, පුතණුවන් ඒ යහනට වඩා, රන් තරු රිදී තරුවෙන් විසිතුරු වූ වියන් බඳවා, වටතිර අද්දා, රැකවල් ලවා, තුමූ ද ඇමැති දහස් පිරිවරා කෙත්වතට වැද වප් මගුල් කෙරෙති. එදා ඒ වප් මගුලෙහි හැමදෙන ම සුදු පිළි හැඳ, සුවඳ මලින් සැරහී, කෙත්වත පුරා සිට ගත්හ. ඒ වප් මගුලෙහි දහසක් පමණ නගුල් එකවිට ම යොදන ලද. එයින් අටතුරාසියක් නගුල් රිදී පතින් වසා ගොනුන්ගේ අංවල රිදී කුප්පි බහා කර සුදුමල් කඳු බැඳ යොදා සිටුවන ලද රජ්ජුරුවන් අතට වඩනා නඟුල ඝනරන් පතින් වසා මඞ්ගල වෘෂභරාජයන්ගේ අංවල රන්කුප්පි බහා කර රන්වන් මලින් සරහා පිට රන්සැදින් වසා යොදා සිටුවන ලද.

ඉක්බිත්තෙන් රජ්ජුරුවන් වමතින් රන් නඟුල ගෙන, දකුණතින් රන්කැවිට ගෙන, සිටගත් කල අටතුරාසියක් මඟුල් ඇමැතියෝ මඟුල්වෙස් ගෙන, රිදී නඟුල් රිදී කැවිටි ගෙන සිටගනිති. පරිවාර ජනයෝ මඟුල් වෙස් ගෙන දහසක් ගොන්ගේ යොදා සිටගනිති. රජ්ජුරුවෝ දකුණතින් රන්කැවිට ගෙන නැගෙනහිරින් බස්නාහිරට එක හීවටක් ලා ලති. එදා ඒ මඟුලෙහි රජ්ජුරුවන්ගේ මගුල් මහ ඇමැතියෝ තුන් තුන් හීවිට ලා ලති. සෙසු දහසක් පුරුෂයෝ දහසක් ගොන්ගේ ගෙන ඔවුනොවුන් පරයා දක්‍ෂව වප්මඟුල් කෙරෙති. එදා ඒ උත්සවයෙහි රජ්ජුරුවන්ගේ රන් ධජ ය, [3]රන් පැන ය, රිදී පැන ය, රන් කලස ය, රිදී කලස ය, රන් කොතලා ය, රිදී කොතලා ය, රන් කරඬු ය, රිදී කරඬු ය, රන් කැටපත ය, රිදී කැටපත ය, රන් තල්වැට ය, රිදී තල්වැට ය, යනාදි වූ රජ පෙළහරින් ඒ කෙත තරුකැලයෙන් ගැවසී ගත් ආකාශය සේ දිලියෙයි. එදා ඒ හැම කිරිමවුන් බෝසතාණන් පිරිවරා උන්නාහු තිරයෙන් පිටත් ව රජ්ජුරුවන්ගේ මේ පෙළහර බලති.

  1. හුණු.

  2. කැළළිත්,

  3. රන් පානය,