එ කෙනෙහි වශවර්තිමාරයා ‘සිදුහත් කුමර අද මෙ දොරින් පිටත් වී නම් ගොසින් ඒකාන්තයෙන් බුදු වෙයි. බුදු වී නම් එදවස් මාගේ නරකවල ගිනි නිවයි. හැම නරක හිස් කෙරෙයි. හැම සතුන්ම දෙව්ලෝ පුරයි. මට බොහෝ හානි කෙරෙයි. මායමක් කියා ඔහු අද යා නො දෙමි’ යි සිතාලා දිව දිව අවුත් නුවර දොර ආකාශයෙහි සිට:
“මා නික්ඛම මහාවීර - ඉතො තෙ සත්තමෙ දිනෙ,
දිබ්බන්තු චක්කරතනං - අද්ධා පාතු භවිස්සති”යි.
යන මේ ගාථාව කියා “නො යව, සිද්ධාර්ථ කුමාරයෙනි! සත් දවසක් ගිය කල තොපට චක්‍රවර්තිරුවන පහළ වෙයි. සතර මහා ද්වීපය හා දෙදහසක් කොදෙව්වලින් පිරුණා වූ මේ සක්වළ ගබ මුළුල්ලෙහි ම ඒකාධිපත්‍යයෙන් චක්‍රවර්ති රාජ්‍යය කරව. යහළු නො යව නොයව”යි කී ය. බෝධිසත්ත්‍වයෝ මාරයා දැක “තෝ කවරෙක්දැ”යි විචාළ දෑ ය. මර දෙව්පුත් කියනුයේ “මම එසේ මෙසේ එකෙකිම් නො වෙමි. සවන පරනිර්මිත වශවර්ත්ති දිව්‍ය ලෝකයෙහි මාර දිව්‍යපුත්‍රයා නම් මම ය. මා කීවා කරව”යි කී ය. බෝසතාණෝ එ බස් අදා “තා සේ වූ මාරයෝ සියයෙක් දහසෙක් ලක්‍ෂයෙකුත් අද මා රඳවා ගත නො හෙති”යි කියාලා:-
මාර ජානාමාතිට්ඨ මය්හං චක්ඛුස්ස සම්භවං,
අනත්‍ථි කොහං රාජ්ජන තිට්ඨ ත්‍වං මාර මා ඉධ යි.
යනාදීන් ගර්ජනා කොට “දසදහසක් සක්වළ ගුගුරුවා ලොවුතුරා බුදුව දම්සක් පවත්වමියි මට තාගේ සක්රුවනින් කම් නැත. තෝ මෙතැන නො රඳා පලා යා”යි කී සේක. එ වසවත් මර එ බස් අසා ආකාශයෙහි සිට බෝසතුන්ට දත් කකා “මතු තා බුදු වන ලෙස් බලමියි මෙතැන් පටන් ගෙන කාම විතර්කයක් හෝ, ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ, සිතූ විටෙක තට නිහඬ දනිමි”යි කියා ඡායාවක් සේ ළඟ සිටගෙන ඒ සාවුරුද්ද මුළුල්ලෙහිත් අවකාශයක් බලා නො දැක, බුදු වන දා ද මහත් වූ යක්‍ෂ සේනාව හැරගෙන දිව පැරද ගොසිනුත්, බුදුවූ හවුරුද්දක් මුළුල්ලෙහිත්, බුදුන් සමීපයෙන් දුරු නො ව මෙසේ සත් හවුරුද්දක් බුදුන් හා සමග ඇවිද්දේමය.
ඉක්බිත්තෙන් අනන්‍ය සාධාරණොත්තම වූ සුරහණීමණිරත්නාලඞ්කෘත විශුද්ධ බුද්ධාංකුර මාගේ ශ්‍රීමහාබෝධිසත්ත්‍වයෝ සත් දවසෙකින් ලැබෙනා චක්‍රවර්ති රාජ්‍යය අලුයම දැමූ කෙළපිඩක් සේ දරු නො කොට හැරපියා මහත් සත්කාරයෙන් නුවරින් පිටත් වූ සේක. මෙසේ ඇසළමස මැදි පොහෝදා උතුරුසළ නකතින් එදා මධ්‍යම රාත්‍රියෙහි මහබිනික්මන් කොට නික්මිලා නුවර බලාපියනු කැමැති වූ සේක. එකෙණෙහි මහ පොළොව කුඹල් සකක් සේ පෙරළී බෝසතාණන්ට නුවර දක්වාලීය. ඒ ස්ථානය කන්ථක නිවත්ත නම් චේතියක් මතු වන්නේ ය යි සලකුණු දීලා වඩනාලද මාර්ග මුඛයට ම අශ්වරාජයා විහිදුවා ගමන් ගත් සේක.