මේ සසර හුනු සත්ත්‍වයාට ඉතා උපද්‍රවයෙක් වී ය. ඉතා පරිහානි වී යැ”යි උදාන පවත්වා අතිශයින් ම මහණ වීමෙහි සිත නැමී “දැන් ම මා නික්මුණ මැනවැ”යි සිතා යහනින් නැඟීලා පද සලකුණු නො දී ම සෙමෙන් සෙමෙන් රන් බාව කරා ගොස් මෙ තැන කවරෙක් දැයි විචාළ දෑ ය. එදා රෑ හිණිගබඩායෙහි එළිපත හිස තබාගෙන වැදහොත්තාවූ ඡන්න නම් අමාත්‍යයා “ස්වාමීනි! මම ඡන්නය” කීය. “යාළු ඡන්නය! දැන් ම මම මහබිනික්මන් කරනු කැමැත්තෙමි. කිසි කෙනකුන්ටත් නො හඟවා මඟුලසු සරහා වහා ගෙනෙව”යි කී දෑ ය. ඒ “මැනව ස්වාමීනි”යි කියා අශ්වාලඞ්කාර ගෙන දහස් ගණන් අසුන් සිටිනා අශ්වශාලාවට ගොස් සුවඳ වැට පහනින් දිලිහි දිලිහී සමන් මල් වියනක් යට බුමුතුරුණු පිට අස්රජ සිරින් සිටියා වූ කන්ථක නම් අශ්වරාජයා දැක මේ අසු සරහමි යි සිතාලා ඒ අශ්වයා සරහාලී ය. ඒ අශ්වරාජයා තමා සරහන වේලෙහි ම සිතනුයේ “මේ සැරහුම නො දැඩි ය. මෙතෙක් දා උයන් කෙලි ආදියට මාගේ ස්වාමීහු වඩින ක යොදන යෙදීමෙක් නො වෙයි. අද රාත්‍රියෙහි සොරා ම යොදති. මාගේ ස්වාමිදරුවාණෝ දැන් ම මහබිනික්මන් කෙරෙත් වනැ යි. බොහෝ කලක් මා පුරා ආවා වූ මාගේ ප්‍රාර්ථනාව ද අද කුළු ගන්නා වනැ”යි ඉතා සන්තුෂ්ට වූයේ මහත් කොට හේෂාරව කෙළේ ය. ඒ ශබ්දය මුළුනුවර පැතිර ගි ය. දේවතාවෝ ඒ ශබ්දය සඟවා කිසිකෙනකුන් කණ හි ය නුදුන්හ.
එ කල බෝධිසත්ත්‍වයෝ අමාත්‍යයා අශ්වශාලාවට යවාලා “පුතණුවන් දැක පියා යෙමි”යි සිතා යශෝධරා දේවීන් වසන ශ්‍රී යහන් ගබඩාවට ගොස් දොර හරපි දෑ ය. එ වේලෙහි ගර්‍භාන්තරයෙහි සුවඳ වැට පහන් සතර දිග දිලියෙයි. යශෝධරා දේවී අමුණක් සමන් මලින් තැනූ යහන් මතුයෙහි හෙව නාරිලතායෙන් නිකුත් රුවන් දළුවක් සේ පුතණුවන් බඩ දීගෙන ලෙහි අත තබා ලා නිදන්නාහු ය. බෝසතාණෝ එ වේලෙහි රන්බාව අතින් අල්වා ගෙන දකුණු පය එළිපත මත්තෙහි තබා සිට ගර්‍භාන්තරය බලා පුතණුවන්ගේ රූ හා දේවීන්ගේ ශෝභා දැක දරුවන් වඩාගෙන සිඹ සනහා පියමි”යි සිතාලා “දේවීන් අත පහ කොට පියා දරුවන් ඇල්ලීම් නම් යශෝධරා දේවී පිබිද යෙති. උන් හා සමග කථායෙක් වී නම් මා කාමබන්‍ධනයෙන් බැඳ මහබිනික්මන් කොට ගත නොදී ගමනාන්තරාය කෙරෙති”යි සිතා “මතු බුදු ව ආ දා ම දරුවන් දැක පියමි සිතා “දැන් මේ එක දරුකෙනකුන් කෙරෙහි කළා වූ ප්‍රේමයෙන් මහණ නො වීම් නම් මතු මුළුලෝ වැසියන් හැම නො වරදවා කෙසේ දරු කොට ගනිම් ද, සංසාර සාගරයෙහි ගොඩ නො දක්නා අපමණ වූ සත්ත්‍වයෝ කවුරුන් මුහුණ බලා ගැළවෙද්ද?” යනාදීන් සියලු සතුන් කෙරෙහි උපන් මහා කරුණා ඇති ව, පුතණුවන් කරා දිවූ ප්‍රේම නමැති මහවතුර තමන් වහන්සේගේ සාරාසඞ්ඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි නො කඩ කොට තිබුවා වූ ධෛර්‍ය්‍ය පාරමිතා නමැති මහ මයරින් රඳවා මහමෙරක් ඔසවන පුරුෂයකු මහත් වූ උත්සාහයෙන් ඔසවන්නා සේ, එළිපත තුබූ පය මහත් වූ වීර්‍ය්‍යයෙන් හයාගෙන ප්‍රාසාදයෙන් බැස අශ්වයා කරා ගොස් පිට අත ගසා ඕහට මෙසේ කී සේක. “යහළු කන්‍ථක ය! අද එක රෑ තෝ මා ගළවව. මම මාගේ සහායයෙන් ගොස් බුදු ව තා ඇතුළු ව බොහෝ දිව්‍ය මනුෂ්‍යයන් සසරින් ගළවමි”යි කියාලා ඒ අශ්වරාජයා පිටට පැන නැගි දෑ ය.
ඒ අශ්වරාජයාගේ ග්‍රීව ය පටන් වාලධිය දක්වා අටළොස් රියන් දිග ඇත්තේ ය. දිගට සුදුසු වූ උස ඇත්තේ ය. ඉතා සුදු ය. පිරිසිදු වූ සකක් වැන්නේ ය. මහත් වූ බල හා දව ඇත්තේ ය. ඉදින් හේෂාරවයක් කෙරේ නම් කුරපහර දේ නම් හැම නුවර වෙවුල්වාපි ය යි. එසේ හෙයින් කිසි අරගලයක් නො වන සේ නැගු නැගු කුරපහරින් කුරපහරට දෙවියෝ අතුල්තල දුන්හ. බෝසතාණෝ ඒ අශ්වරාජයා පිට හිඳ ඡන්න නම් අමාත්‍යයා ලවා අසු වාලධිය ගන්වා එදා රෑ වූ පසළොස් පැය ගිය වේලෙහි මහ වාසල්දොරට පැමිණිදෑය. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ පුතණුවන් නො වේලෙක සොරා පලා යෙතියි දහසක් යෝධයන් වසාලන දහසක් යෝධයන් හයාලන, [1]බිලියලන දොර දෙකක් ලැවූහ. දහස් ගණන් යෝධයෝ රැකවල් ගෙන නිදන්නාහුය.
මාගේ බෝධිසත්ත්‍වයෝ ඉතා බලසම්පන්න සේක. දශබලධාරී දෑය නාරායණ බලයෙන් ඡද්දන්ත හස්තින් දසදෙනෙක් හට බල ඇතිසේක. උපෝසථ කුලයෙන් සියක් ඇතුන්ට බල ඇතිසේක. හෙම කුලයෙන් දහසක් ඇතුන්ට බල ඇතිසේක. මඞ්ගල කුලයෙන් දසදහසක් ඇතුන්ට බල ඇතිසේක. ගන්‍ධ කුලයෙන් ලක්‍ෂයක් ඇතුන්ට බල ඇතිසේක. පිඞ්ගල කුලයෙන් දසලක්‍ෂයක් ඇතුන්ට බල ඇතිසේක. තම්බ කුලයෙන් කෙළක් ඇතුන්ට බල ඇතිසේක. පණ්ඩර කුලයෙන් දසකෙළක් ඇතුන්ට බල ඇතිසේක. ගඞ්ගෙය්‍ය කුලයෙන් කෙළසියයක් ඇතුන්ට බල ඇතිසේක. කාලාවක කුලයෙන් කෙළ දහසක් ඇතුන්ට බල ඇතිසේක. මධ්‍යම පුරුෂ ගණනායෙන් දසකෙළදහසක් පුරුෂයන්ට බල ඇතිසේක. මෙසේ එකොළොස් දහස් එකසිය එකොළොස් කෙළ එකොළොස් ලක්‍ෂ එකොළොස් දහස් එක්සිය දසමහා බලධාරී සේක.
ඉදින් දොර නො හැරේ නමුත් “ඡන්නයා අසු වල්ගය අල්වාගත දී අසූ දෙකලනේ බදාගෙන අටළොස් රියන් මහ පවුර ගරුඩ රාජයකුසේ පැන දමාපියමි”යි සිතූ සේක. අමාත්‍යයා සිතන්නේ “ඉදින් දොර නො හැරේ නම් මාගේ ස්වාමිදරුවන් දකුණු දසරුවෙහි හිඳුවාගෙන අශ්වරාජයා සකක් සේවම අත්ලෙහි තබාගෙන කිසි අරගලයක් නො කොට පවුර පැනපියා මම් ම ගෙන යෙමි”යි සිතීය. කන්ථක නම් අශ්වරාජයා සිතන්නේ “ඉදින් දොර නො හැරේ නම් අමාත්‍යයා වල්ගය ගතදීම, මාගේ ස්වාමියා පිට වැඩඉන්දදීම, මේ ප්‍රාකාරය සිංහයකු සේ පැන පියා අද ගෙන යෙමි”යි සිතීය. ඉදින් දොර නො හැරුණේ වී නම් මේ තුන්දෙනම තමන් තමන් සිතු සිතූ සේම පැන පලා යන බල ඇත්තාහ. එ කෙණෙහි වාසය අරක්ගත් දෙවියෝ “මතු අපට නිවන් දොර හැර දී ලුව මැනවැ”යි සතුටු පඬුරු දුන්නාසේ වාසන් දොර හැරපීහ.
-
බියලි, ↑