කිසාගෝතමී නිබ්බුතපද කීම

star_outline

ඉක්බිත්තෙන් බෝධිසත්ත්‍වයෝ “මිනිස්ලොව උපන්නාහට දරුකෙනෙකුන් ලැබීම නම් ඉතා උගහටය. ඉනුත් පුතකු ලැබීම නම් ඊටත් වඩා උගහටය. දැන් ම මහණ වන්නට නො ගොස් රජ ගෙට ගොසින් ම පුතුන් දැකපියා රාත්‍රිභාගයෙහි මහබිනික්මන් කෙරෙමි”යි සිතා මහත් වූ ශ්‍රීහස්තයෙන් නුවරට වැද ශක්‍ර දේවේන්‍ද්‍ර ලීලායෙන් රජගෙට නික්මුනුදෑය. එ වේලෙහි කිසාගෝතමී නම් බැදෑ බිසොවක් බෝසතුන් වීථියෙහි වඩනා ලීලා හා ඓශ්චර්‍ය්‍යය දැක ඉතා කුල්මත් ව ඇතුළු ගෙයි ගින්ද නොහී මතු මාලේ සිංහපඤ්ජරයෙහි දොර හැර බෝසතුන්ගේ රූපලීලා දැක නිල්වලා ගබකින් චන්ද්‍රමුඛයක් පෑවා සේ සිංහපඤ්ජර මුඛයෙන් තමාගේ මුඛය බෝසතුන්ගේ අභිමුඛයට දක්වාලා:

නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතො නූන සො පිතා,

නිබ්බුතා නූන සා නාරි - යස්සායං ඊදිසො පතී’යි

යන මේ ගය කියා “සිද්ධාර්ථ නම් [1]පුරුෂයාණනි! අද තොප මෑණියන්ගේ ද සිත නිවී ගිය. තොපගේ මේ ශ්‍රී දුටු පියාණන්ගේ ද සිත නිවී ගිය. යම් ස්ත්‍රියක් තොපගේ ශරීර පහස් ලද්දා නම් ඇගේ ද සිත නිවී ගියේ යැ”යි යන බිසොවුන් කී තෙපුල් අසා “මම ත් නිවන් සොයමි. මෙයිත් නිවී ගියැ යි යන සේ කිය යි. මට මෝ ප්‍රිය බස් කියයි. අද ම මා ගිහිගෙය හැර ගොස් මහණ වුව මැනවැ”යි සතුටු ව “මට ප්‍රියතෙපුල් කී වියට ප්‍රිය වස්තුවකින් පූජා කෙරෙමි”යි කර තුබූ ලක්‍ෂයක් වටනා මුතුහර ගළවා ඒ කිසාගෝතමීන්ට යවුදෑ ය. කිසාගෝතමී මුතුහර දැක “සිද්ධාර්ථ කුමාරයෝ මා කෙරෙහි ප්‍රේමයෙන් කර තුබූ මුතුහර එවාපූ ය. ඒකාන්තයෙන් මා කෙරෙහි ප්‍රතිබද්ධ වූ සිත් ඇත්තාහු ය. යශෝධරා දේවීන් සේ ම මාත් අගමෙහෙසුන් කෙරෙති”යි සිතූහ.

ඉක්බිත්තෙන් බෝධිසත්ත්‍වයෝ මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් ප්‍රාසාදයට නැගී ශ්‍රී යහනෙහි සැතපුනු සේක. එ කෙණෙහි රජගෙය සුවඳතෙල් වැට පහනින් ඒකාලෝක කළහ. සර්වාලඞ්කාරයෙන් සැරහුනා වූ නෘත්‍ය ගීත වාදයයෙහි දක්‍ෂ වූ දේව ගණන් බඳු රූ ඇති සතලිස් දහසක් නාටක ස්ත්‍රීහු පිරිවරා ගත්හ. එයින් සමහරු නටති. සමහරු ගී කියති. සමහරු වංගි පිඹිති. සමහරු වීණා ගාති. සමහරු අත්තල ඵලති. සමහරු වස්කුලල් පිඹිති. සමහරු නෘත්‍යාඞ්ග දක්වති. සමහරු ලීලා දක්වති. සමහරු වයති. යනාදීන් ක්‍රීඩාවට පටන් ගත්හ. බෝසතාණෝ කෙලෙසුන් කෙරෙහි විරක්ත වූ සිතින් ඒ ක්‍රීඩායෙහි සිත් නො ලා අනික් ඇලයෙන් නැමී නිද්‍රාවට පටන්ගත්හ. ඒ ස්ත්‍රීහු බෝසතුන් නිදන සේ දැක “නිකම් නටා වෙහෙසුණු කිම් දැ”යි තූර්‍ය්‍ය භාණ්ඩයන් බිම තබා එම බෙරෙහි හිස තබා සිටි සිටි තෙන වැද හෙව නිදන්නාහු ය. ප්‍රදීපාලෝකයෙන් ඒකාලෝකම ය. බෝසතාණෝ යහනින් නැගී වැඩහිඳ ස්ත්‍රීන්ගේ නොයෙක් විකාර දුටුදෑ ය. සමහරු කුණු කෙළ ධාරා වගුරුවති. සමහරු දත් කති. සමහරු තලු ගසකි. සමහරු නන් දොටති. සමහරු අපගත වස්ත්‍රව කෝපීන ස්ථාන දක්වති. බෝධිසත්ත්‍වයෝ මොවුන්ගේ විප්‍රකාර දැක කාමයෙහි අතිශයින් ලෝභ නැති ව “මේ ස්ත්‍රීහු පෙරයම් වේලෙහි දිව්‍යාඞ්ගනාවන් සේ සිටියාහු ය. දැන් මෘත රූප වැනියාහු යැ යි සසර කලකිරී එ තැන නොයෙක් කුණපයෙන් පිරුණාවූ අමුසොහොනක් සේ වැටහින. තුන් භවය ම ගිනි ගත් ගෙවල් සේ සිතින.

  1. රූ සයුරාණෙනි,