ඉක්බිත්තෙන් මෙසේ සැරහුම් ලදින් වැඩහුන් කල ආතත විතතාදි වූ පඤ්චාංගික තූර්‍ය්‍ය නාදයන් පවත්වා මහත් වූ උත්සව වී ය. බ්‍රාහ්මණයෝ ජය නන්‍දාදි මඞ්ගල ස්තුතියට පටන් ගත්හ. එ කෙණෙහි පාණ්ඩුකම්බල ශෛලාසනයෙන් පැනනැගී ශක්‍ර දේවේන්‍ද්‍රයා සේ බෝසතාණෝ මගුල් සල වටින් පැනනැගී රථාලඞ්කාරයෙන් හෙබියා වූ මඟුල් රථයට පැන නැගී සිටගත් සේක. එ කෙණෙහි යශෝධරා නම් අගබිසෝ රුවන් කුසින් රාහුල නම් පුත්රුවන පහළ විය.
එකල ශුද්ධෝදන රජ්ජුරුවෝ යෙහෙළනියන් පුතකු වැදූහ යි අසා “එතෙකින් මපුතණුවන් දරුමලින් බැඳ ගමනරඳවා ගනිමි යි මහණ විය නො දෙමි යි මට වූයේ අනුබලයෙකැ”යි ඉතා සතුටු ව “ම පුතණුවන්ට සතුටු හසුන් කියව”යි අමාත්‍යයන් මඟුල් වෙස් ගෙන්වා බෝසතුන් කරා යවුවාහු ය. එ වේලෙහි අමාත්‍යයෝ දිව දිව ගොස් “හිමි! තොප හා එක්වැනි වූ පුතනු කෙනෙක් උපන්හ”යි බෝසතුන්ට දැන්වූහ. බෝසතාණෝ එ බස් අසා “රාහුලයෙක් උපන, ඒ මට ගිහිබන්‍ධන යැ”යි කී සේක. ශුද්ධෝදන රජ්ජුරුවෝ මපුතණුවෝ කුමක් කිවූ දෝ හෝ යි විචාරා “රාහුලො ජාතො” යි කී සේකැයි අසා මෙ තැන් පටන් මාගේ මුනුබුරාණෝ රාහුලයෝ යයි නම් දුන්හ.