අන්තිම ගිහි ඇඳුමෙන් සැරසීම

star_outline

මෙසේ තව ද සාරමසක් ගිය කල ඇසළ මැදි පොහෝ දින සම්ප්‍රාප්ත විය. බොහෝ ආයු ඇති බෝධිසත්ත්‍වයෝ මේ නිමිත්ත දක්නාහු සියක් සියක් අවුරුද්දෙන් දකිති. ආයු මඳ කාලයෙහි උපන් බෝධිසත්ත්‍වවරයෝ සාරමසින් සාරමසකට දකිති. මේ කාරණයෙන් අප මහා බෝධිසත්ත්‍වයන් ද සාරමසක් ගිය කල මෙ තුන් කාරණය දුටු සමයෙහි සතර වන ගමනෙහි මෙසේ ඇසළ මැදි පොහෝදිනය සම්ප්‍රාප්ත විය. එදා උයන් කෙළියට යනදෑ දෙවියන් මවා පෑ සකස් කොට හැඳ පෙරව වියදඬු පමණින් දුර නො බලා උපශාන්ත වූ ගුණයෙන් සැදී සිටියා වූ මහණවෙස දැක “යහළු මේ උපශාන්ත වූ වේශයකින් හොබනාහු කවුරුදැ”යි විචාරා දෙවියන්ගේ ආනුභාවයෙන් “ස්වාමීනි තපස් වෙසෙකැ”යි කී කල “මේ උපශාන්ත වූ වෙසෙක. ඒකාන්තයෙන් මේ වෙස ගත්තාහට සසරින් ගැළවීමෙක් වේමයැ” මහණ වෙසෙහි සතුටු ව එදා උයන් කෙළියට ගිය සේක.

ඒ උයනෙහි දිවාභාගයෙහි නඳුන් උයන් වන් ශක්‍රයා සේ උද්‍යාන ක්‍රීඩා කොට, මඟුල් පොකුණට බැස ජල ක්‍රීඩා කොට, හිරු හස්තගත වේලෙහි මඟුල් සලවට වැඩහිඳ සර්වාභරණයෙන් සැරසෙමි යි සිතූසේක. ඒ අදහස් දන්නා වූ ඇමැතියෝ ලක්‍ෂවටනා සළු හා සූසැට ආභරණයන් ගෙනහැර සිසාරා සිටගත්හ. ඒ කෙසේ වූ ආභරණ ද? යත්:

පාදාංගුලි, පාදජාලා, පාදාභරණ, පාදශාඞ්ඛලා, පාදසිි, ජංඝා පත්‍ර, වළලු, කෙයූරා භරණ, ඌරුජාලා, හිණ සැද, මකරපට, උදර බන්‍ධන, හස්තාංගුලි, හස්ත මුද්‍රිකා, කෛපෝට්ටු, අඞ්ගදාභරණා, ගලමුතුමාලා එකාවැළ, අවුල්හර, සද්දම්, මුතු දම්, රන් දම්, රිදී දම්, සිද්දතුදම්, පබළු දම්, කර්ණාභරණ, කර්ණාවතංස, කර්ණ කුණ්ඩල, ලලාටපට, වොටුනු යනාදි මේ සූසැට ආභරණයන් හා මල් සුවඳ විලවුන් ගෙන පිරිවරා සිට ගත්හ.

එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන් පශ්චිමභවයෙහි ලබන අලඞ්කාරය හෙයින් ශක්‍රදේවේන්‍ද්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුනු විය. සක්දෙව්රජ පරීක්‍ෂා කරනුයේ බෝසතාණන් මහණ වනදා පශ්චිමාලඞ්කාරයැ යි දැක විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා කැඳවා “යහළු විශ්වකර්‍ම දිව්‍යපුත්‍රය! සිද්ධාර්ථ කුමාරයෝ අද මධ්‍යම රාත්‍රියෙහි මහබිනික්මන් කොට සෙට අලුයම මහණ වෙති. මේ උන්ගේ පශ්චිම වූ මහණ පූජාලඞ්කාර ය. තෝ ගොස් ඒ මහාපුරුෂයා දිව්‍යාභරණයෙන් සරහාලව”යි නියෝග කෙළේ ය. එ කල විශ්වකර්‍මයා දිව්‍යානුභාවයෙන් ඇසිල්ලකින් අවුදින් මගුල් කපු වෙසක් ගෙන කපුවා අත තුබූ වෙළුම් සළුව ගෙන බෝසතාණන් සිරස වෙළී ය. එ වේලෙහි බෝසතාණන් ඔහුගේ අත දිව පහස් දැන “මේ මනුෂ්‍යයෙක් නො වෙයි. ඒකාන්තයෙන් මේ දේවතාවෙක් ම යැ”යි දත්සේක. ඒ විශ්වකර්ම දිව්‍යපුත්‍රයා එදා සරහනුයේ අකුළාලූ කල තලමල් තුඹ මල් සා ඇති විදාපි කල සයොදුන් දොළොස් යොදුන් සා ඇති දිවසළු දහසක් පටින් සිරස වෙළා මිණි වොටුනු පළඳවා දිව්‍යාභරණයෙන් අලඞ්කෘත කෙළේ ය. මෙසේ බෝසතුන් මහණ වනදා ඒ විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා එදා කළා වූ අලඞ්කාර පරම්පරාව දැන් දක්වා සසුන් වැද මහණ වන්නවුන්ට ව්‍යවහාර වී යැ යි දතයුතු.